Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

“Knight Rider” ටෙලිකතා මාලාවේ තිරය පිටුපස කතා

ශ්‍රී ලංකාවේ අතිශයින් ජනප්‍රිය වූ විදේශීය ටෙලිකතා මාලා ගැන සැලකීමේ දී ක්‍රියාදාම ජවනිකා සහ ත්‍රාසජනක බවින් පිරුණු “Knight Rider” කතා මාලාවට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. අපරාධකරුවන් සමඟ සටන් කරමින් යුක්තිය පසිඳලීම උදෙසා කැපවුණු මයිකල් නයිට් සහ කෘත්‍රිම බුද්ධිය සහිත සුපිරි මෝටර් රථයේ සුසංයෝගය අදටත් අපට ඉතා සුන්දර මතකයක්.

“Knight Rider” කතා මාලාවේ තේමා ගීතයත් අතිශයින් ජනප්‍රිය යි. සමහර විට මේ ලිපිය කියවන මොහොතේ පවා ඒ අපූරු තේමා ගීතය ඔබගේ මනසේ රැව් පිළිරැව් දෙනවා ඇති.

අපරාධ, ක්‍රියාදාම සහ විද්‍යා ප්‍රබන්ධ වැනි වර්ගීකරණ කිහිපයකට අයත් වන මෙම ටෙලිකතා මාලාව නිර්මාණය කළේ ග්ලෙන් ඒ. ලාසන්. මෙහි මුල් විකාශනය 1982 සිට 1986 දක්වා NBC ටෙලිවිෂන් නාළිකාව හරහා සිදු වූ අතර, එය කොටස් 22 ක් හෝ 24 බැගින් වූ අදියර හතරකින් යුක්ත වුණා. “Knight Rider” කතා මාලාවේ අප දන්නා ජනප්‍රිය කරුණු හැරුණු කොට තවත් අප්‍රසිද්ධ කරුණු බොහෝමයක් තිබෙනවා. ඒවායින් කිහිපයකට අවධානය යොමු කිරීමටයි මේ සූදානම.

“K.I.T.T” නමැති පරිගණක වැඩසටහන “2001: A Space Odyssey” නම් කෘතියේ එන “HAL 9000” පරිගණකයේ ආභාෂයෙන් නිර්මාණය වූ බව පැවසෙනවා – www.pinteres t.co.uk

ආතර් සී. ක්ලාක්ගේ “හල්” ගුරු කොට ගත් “කිට්”

“Knight Rider” කතා මාලාවේ තිරය පිටුපස වැඩි බරක් ඉසිලූ ග්ලෙන් ඒ. ලාසන්, 70 සහ 80 දශක වල රූපවාහිනී මාලා නාටකයන් නිර්මාණය කිරීමෙහි ලා නමක් දිනා සිටි තැනැත්තෙක්. Battlestar Galactica, Magnum PI, Quincy ME, වැනි මාලා නාටක ඔහුගේ ජනප්‍රිය වූ නිර්මාණ ලෙස සැලකිය හැකි යි. කෙසේ නමුත්, තමා කොටු වී සිටින රාමුවෙන් පිටතට පැමිණ සුවිශේෂී අදහසක් ඔස්සේ යමින් නිර්මාණයක් බිහි කිරීමේ අපේක්ෂාවක් ඔහුට තිබුණා. අපරාධවලට එරෙහි ව සටන් කරන, කතා කළ හැකි මෝටර් රථ‍යක් ගැන අදහසක් ඔහුට පැමිණියේ ඒ අනුව යි.

එකල කෘත්‍රිම බුද්ධිය විද්‍යාව තුළ ශක්තිමත් වෙමින් තිබූ සංකල්පයක් වුවත්, එය ජනප්‍රිය ධාරාවෙන් ප්‍රේක්ෂයා හමුවට ගෙන ඒම සැබෑ අභියෝගයක් වුණා. එබැවින්, Knight Rider කතා මාලාව තවත් බොහෝ මූලයන් මත පදනම් වූ නිර්මාණයක් වශයෙන් ගොඩනැඟීම වඩාත් සුදුසු බව ලාසන්ට වැටහුණා. මයිකල් නයිට් පදවන වාහනයේ අඩංගු කර ඇති “K.I.T.T” නමැති කෘත්‍රිම බුද්ධිය සහිත පරිගණක මොඩියුලය, ආතර් සී. ක්ලාක් රචිත “2001: A Space Odyssey” නම් කෘතියේ එන “HAL 9000” පරිගණකයේ ආභාසයෙන් නිර්මාණය කිරීම ඊට කදිම උදාහරණයක්.

ඩේවිඩ් හැසල්හොෆ් වර්තමානයේ දී – www.whats-on-netflix.com 

 මයිකල් නයිට්ගේ ගතිගුණත් “ලෝන් රේන්ජර්ගේ” චරිත ස්වභාවය සමඟ සමපාත වන බව කියැවෙනවා. “ලෝන් රේන්ජර්” යනු 50 දශකයේ එක්සත් ජනපදය තුළ ඒ නමින් ම විකාශය වූ ටෙලිකතා මාලාවක එන චරිතයක්. අශ්වයකු පිට නැඟී වික්‍රම පෑ ලෝන් රේන්ජර් වැනි පුද්ගලයකුට නවීන මෝටර් රථයක් ලබා දුන්විට ගොඩනැඟෙන කතාව ග්ලෙන් ඒ. ලාසන් නිර්මාණශීලි ව ඉදිරිපත් කළා.

කිට් වෙනුවෙන් සටන් වැදුණු විලියම්

මයිකල් නයිට්ගේ ත්‍රාසජනක මෙහෙයුම්වලට නොමඳ සහයක් ලබා දෙන කිට්ගේ කටහඬ බොහොම සුවිශේෂී එකක්. පරිගණක වැඩහසටනක් වුවත්, කිට්ගේ කථන හැකියාව මිනිසකුට බොහෝ සමාන බව ඔබට මතක ඇති. කිට්ගේ හඬ කැවීම් ශිල්පියා ලෙස කටයුතු කළේ විලියම් ඩැනියෙල්. ඔහු නයිට් රයිඩර් සමඟ සම්බන්ධ වූ අලුත කිට්ගේ කටහඬ වඩාත් යාන්ත්‍රික ස්වභාවයකින් ඉදිරිපත් කිරීමට සැලසුම් කොට තිබුණා. විලියම් ඩැනියෙල් නිර්මාණය දෙස වෙනස් ම කෝණයකින් බලමින් කිට්ට වඩාත් මානවවාදී ප්‍රකාශනයක් තිබිය යුතු බව යෝජනා කළා. ඒ අනුව විලියම් ඩැනියෙල්ගේ ස්වභාවික කටහඬ කිට් වෙනුවෙන් යොදා ගත් අතර, එය නොසිතූ සාර්ථකත්වයක් අත්කර ගත්තා.

ඩේවිඩ් හැසල්හොෆ් සහ විලියම් ඩැනියෙල්ස් – www.pinterest.co.uk 

විලියම් නොදුටු හැසල්හොෆ්

කිට් සහ මයිකල් නයිට් අතර පවතින්නේ ඉතා ශක්තිමත් මිතුදමක්. ඔවුන් දෙදෙනා අතර වරින් වර ඇතිවන විහිළු තහළු, තර්ක විතර්ක, ටෙලිකතා මාලාවේ ඒකාකාරීත්වය බිඳ දැමීමට මහත් රුකුලක් වූවා. කෙසේ නමුත්, සැබෑ ලෝකයේ දී කිට් සහ මයිකල් අතර පැවතුණේ බොහොම දුරස්ථ සම්බන්ධයක්. ටෙලිකතා මාලාව නිර්මාණය වන අතරතුර ඩේවිඩ් හැසල්හොෆ් සහ විලියම් ඩැනියෙල්ස් එකිනෙකා හමු වී තිබුණේ නැහැ.

ඔවුන් දෙපළ ප්‍රථම වතාවට මුණ ගැසුණේ නයිට් රයිඩර් කණ්ඩායම වෙනුවෙන් සංවිධානය කළ නත්තල් සාදයක් අතරතුර යි. ඒ වනවිට නයිට් රයිඩර් ටෙලිකතා මාලාවේ ප්‍රදර්ශන කටයුතු අරඹා තිබූ අතර, විශාල ජනප්‍රියත්වයක් ද අත්කර ගෙන තිබුණා.

“මිනිසෙක් මා සිටි මේසය අසලට පැමිණ ‘හායි, මම විලියම් ඩැනියෙල්ස්. මං තමයි කිට්ට හඬ දෙන්නේ’ යැයි පැවසුවා. එවිට මාත්, “ආහ්! මම ඩේවිඩ් හැසල්හොෆ්. මං තමයි මයිකල්ට රඟපාන්නේ” කියමින් මාව හඳුන්වා දුන්නා. ඒ තමයි අපේ පළමු සංවාදය.”

CBS නාළිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඩේවිඩ් හැසල්හොෆ් එසේ පවසා තිබුණා.

K.I.T.T. ගේ විරුද්ධවාදියා වූ K.A.R.R. ගේ කථන පෙට්ටිය – www.deviantart.com 

නාමාවලියේ නොමැති ඩැනියෙල්ස්

කිට් වෙනුවෙන් හඬ ලබා දෙන විලියම් ඩැනියෙල්ස්ගේ නාමය Knight Rider හි ආරම්භක හෝ අවසාන නාමාවලිය තුළ දක්නට ලැබෙන්නේ නැහැ. මෝටර් රථයට තමන්ගේ ම මනසක් ඇති බව ප්‍රේක්ෂකයන්ට හැඟවීම හෝ තාත්ත්වික බව රැක ගැනීම සඳහා විලියම් ඩැනියෙල්ස් එවැනි පියවරක් ගත් බව පැවසෙනවා. ඔහුට ඔහුගේ සැබෑ අනන්‍යතාව ප්‍රේක්ෂකයාට දැන්වීමටත් අවශ්‍ය වුණෙත් නැහැ.

විලියම්ගේ සැලැස්ම අසාර්ථක වුණා. ටෙලිකතා මාලාවේ නොසිතූ විරූ ජනප්‍රියත්වයත් සමඟ “කිට්”ට හඬ ලබා දෙන තැනැත්තා අනාවරණය වූවා පමණක් නොව, පොදු ස්ථානවල විලියම් ඩැනියෙල්ස් සිටින විට ඔහු හඳුනා ගැනීමට පවා Knight Rider රසිකයන් සමත් වුණා.

K.I.T.T. පරිගණක වැඩසටහනේ කථන පෙට්ටිය – www.deviantart.com 

විලියම් ඩැනියෙල්ස්ගේ හඬ කතා මාලාව පුරාවට ම අවශ්‍ය වූවා මෙන් ම, ඔහු නිර්මාණයේ සාර්ථකත්වය වෙනුවෙන් සාධනීය කාර්යභාරයක් ඉටු කළා. ඔහුට කථාංගයක වැඩ කටයුතු අවසාන කිරීමට ගත වුණේ මිනිත්තු 45 ක් වැනි කෙටි කාලයක් පමණ යි. විශේෂත්වය වන්නේ ඔහු “කිට්” වෙනුවෙන් හඬ ලබා දෙන විට අදාළ කථාංගය නරඹමින් නොසිටීම යි.

විලියම්ට,මයිකල් නයිට්ගේ චරිතය රඟ දක්වන ඩේවිඩ් හැසල්හොෆ්ගේ දෙබස් සහ ඊට “කිට්” වශයෙන් ලබා දෙන පිළිතුරු සපයා දී තිබුණා. පටිගත කිරීමේ කුටිය තුළ සිටින කිසිවකු මයිකල් නයිට්ට අදාළ වාක්‍ය හඬ නඟා කියවන විට “කිට්” ලබාදෙන පිළිතුරු විලියම්ගේ හඬින් පටිගත කළා මිසක කථාංගයක් ධාවනය වන අතරතුර කිට් වෙනුවෙන් හඬ කැවීමක් සිදු කළේ නැහැ.

K.I.T.T.එදිරිව K.A.R.R.

නයිට් රයිඩට් ප්‍රබන්ධයට අනුව කෘත්‍රිම බුද්ධිය සහිත මෝටර් රථයේ නිර්මාතෘ මත පදනම් ව මෝටර් රථයේ පරිගණක වැඩසටහනට “Knight Industries Two Thousand (K.I.T.T.)” යන නාමය ලබා දුන්නා. ටෙලිකතා මාලාවේ නිෂ්පාදන කටයුතු සිදු කළ මුල් අවධියේ දී “K.I.T.T.” නාමය වෙනුවට “Trans Am Two Thousand” හි මුලකුරු (T.A.T.T.) භාවිත කිරීමට තීරණය වුණා. කෙසේ නමුත්, නිෂ්පාදක කණ්ඩායම තම මුල් තීරණය වෙනස් කිරීම කොතරම් කාලෝචිත වූවා දැ යි නයිට් රයිඩර් රසිකයෙක් ලෙස ඔබට හැඟෙනවා ඇති.

“K.I.T.T.” ගේ දුෂ්ට ආකෘතියට නමක් දීමේ කාලය පැමිණි විට එම දුෂ්ඨ මෝටර් රථය “K.A.R.R” ලෙස නම් කිරීමට තීරණය වුණා. එහි විහිදුම් අර්ථය වන්නේ “Knight Automated Roving Robot” යන්න යි. මෙම දුෂ්ට මෝටර් රථය වෙනුවෙන් හඬ ලබා දුන්නේ පීටර් කලන්. පීටර් කලන්ගේ කටහඬ අපට යළිත් වඩාත් සමීප වූ අවස්ථාවක් තිබෙනවා. “The Transformers” කාටූන් සහ චිත්‍රපට මාලාවේ “ඔප්ටිමස් ප්‍රයිම්” වෙනුවෙන් හඬ ලබා දෙන්නේ පීටර් කලන් වන අතර, ඔහු ක්ෂේත්‍රයේ සිටින දක්ෂත ම හඬ කැවීම් ශිල්පියෙක්.

නයිට් රයිඩර්ට මූලික ආභාෂයක් ලැබුණු “The Lone Ranger” – www.imdb.com 

KITT නිර්මාණය කොට ඇත්තේ මිනිස් ජීවිතය ආරක්ෂා කිරීමේ මූලික නියෝගය මත වුවත්, KARR වැඩසටහන් ගත කර ඇත්තේ ස්වයං සංරක්ෂණය සඳහා යි. එමඟින් ඔහු නිර්දය සහ අනපේක්ෂිත තර්ජනයක් බවට පත් වුණා. KITT තරම් KARRට අත්දැකීම් නොමැති අතර, KARRට ලෝකය පිළිබඳ ඇත්තේ අඩු සංජානනයක්. මේ හේතුව නිසාමිනිසුන්ගේ ආත්මාර්ථය හමුවේ KARR පහසුවෙන් අවභාවිතයට ලක් වෙනවා. මෙය ඉතා විශිෂ්ට පරිකල්පනයක් ලෙස හැඳින්විය හැකි යි. එමඟින් නයිට් රයිඩර් රසිකයන් වෙනස් ම මානයකට රැගෙන යාමට නිර්මාණකරුවන් සමත් වුණා.

K.I.T.T. තනිවම වාහනය පැද වූ හැටි

ඇතැම් දර්ශනවල රියදුරකු රහිත ව K.I.T.T. ම, වාහනය ගෙන යන අවස්ථා ඔබත් දැක ඇති. මෙවැනි දර්ශන රූගත කිරීම සඳහා මෝටර් රථය තුළ පාලක පුවරුවට මඳක් පහළින් දකුණු ආසනයේ රිය පැදවීමේ විශේෂිත ස්ථානයක් නිර්මාණය කිරීමට නිර්මාණකරුවන් කටයුතු කළා. මගී පාර්ශවය පැත්තෙන් කැමරාවට අනාවරණය නොවන පරිදි එහෙත්, අවට නිරීක්ෂණය කිරීමට තරම් ප්‍රමාණවත් උසකින් රියදුරකු තැබීමට ඔවුන් සැලසුම් කොට තිබුණා.

වෘත්තීය ගායකයෙක් වශයෙන් ද ඩේවිඩ් හැසල්හොෆ් සාර්ථකත්වයක් ලැබුවා – www.giantbomb.com 

වැඩිපුරම බාගත වූ රින්ග් ටෝනය

නයිට් රයිඩර් හී ආරම්භක තේමා වාදනය ටෙලිකතා මාලාවක් වෙනුවෙන් 80 දශකයේ දී නිර්මාණය වූ ජනප්‍රියත ම තේමා වාදනයක් ලෙස සැලකිය හැකි යි. තේමා වාදනය සඳහා ආභාසය ලබා ගත් මූලාශ්‍රය ඉතා පැරණි එකක්. එය 1836-1891 අතර කාල වකවානුවේ ජීවත් වූ ලියෝ ඩෙලිබ්ස් නමැති සංගීතවේදියාගේ “සිල්වියා” නිර්මාණය මත පදනම් වී තිබෙනවා.

ලියෝ ඩෙලිබ්ස්ගේ පැරණි නිර්මාණය හරහා නයිට් රයිඩර්ට ගැළපෙන පරිදි තේමා වාදනයක් නිර්මාණය කිරීමේ වගකීම ස්ටූ ෆිලිප්ස් භාර ගත් අතර, 2005 දී වැඩියෙන් ම බාගත කළ “රින්ග් ටෝනය” ලෙස නයිට් රයිඩර් තේමා වාදනය වෙනුවෙන් ස්ටූ ෆිලිප්ස් සම්මානයක් පවා දිනා ගත්තා.

ඩේවිඩ් හැසල්හොෆ්ගේ සාර්ථක සංගීත එකතුවක් වූ “Crazy for you” හි ඇල්බම් කවරය – open.spotify.com 

හැසල්හොෆ්ගේ සාර්ථක ම නිර්මාණය..?

නයිට් රයිඩර් හරහා අතිශයින් ජනප්‍රිය වූ ඩේවිඩ් හැසල්හොෆ්, සිය රංගන ජීවිතය ආරම්භ කළේ 1970 දශකයේ මැද භාගයේ නිර්මාණය වූ “The Young and the Restless” නිර්මාණයට දායක වීමෙන්. 1978 දී “Starcrash” චිත්‍රපටයට දායක වීමෙන් වෘත්තීය ජීවිතය තුළ වඩාත් ස්ථාවර වීමේ ගමන ඔහු ආරම්භ කළා. ඉන්පසු නිර්මාණ කිහිපයකට දායක වුවත්, නයිට් රයිඩර්හි ප්‍රධාන චරිතයට තෝරා ගන්නා තුරු ම හැසල්හොෆ්ට මතක හිටින රංගනයක් දායාද කිරීමට නොහැකි වුණා.

“මයිකල් නයිට්” චරිතය හරහා ඔහු අමෙරිකානු පාසල් දැරියන් සහ බොහෝ කාන්තාවන්ගේ සිත් දිනා ගත් චරිතයක් බවට පත් වූ අතර, තමා වටා කේන්ද්‍රගත වූ අනපේක්ෂිත ජනප්‍රියත්වය ප්‍රයෝජනයට ගනිමින් ඔහු ගායන ක්ෂේත්‍රයට පිවිසුණා. ඔහු ඒක පුද්ගල ගීත ඇල්බම් කිහිපයක් ලෝකයට දායාද කළ ගායකයෙක්. මුල් කාලයේ නිකුත් වූ ඔහුගේ ගීත ඇල්බම ඉහළ අලෙවියක් ද වාර්තා කළා.

 ඩේවිඩ් හැසල්හොෆ් යනු 19 සියවසේ දී ජර්මනියේ සිට උතුරු අමෙරිකාවට සංක්‍රමණය වූ මුතුන් මිත්තන්ගේ සම්භවය ලැබූ පුද්ගලයෙක්. මේ නිසා ඔහු ජර්මනිය, ඔස්ට්‍රියාව වැනි රටවල සුවිශේෂ ලෙස ජනප්‍රිය වුණා. කෙසේ නමුත්, හැසල්හොෆ්ගේ සාර්ථක ම ව්‍යාපෘතිය ලෙස සැලකෙන්නේ “Baywatch”ටෙලිකතා මාලාව යි. නයිට් රයිඩර් පරයා යමින් “Baywatch” හරහා ඩේවිඩ් හැසල්හොෆ්ට ගෝලීය මට්ටමේ ආකර්ෂණයක් ලැබුණා. ශ්‍රී ලංකාවේ අපිට “Baywatch” ටෙලිකතා මාලාවට වඩා ඩේවිඩ් හැසල්හොෆ් හදවතට සමීප වූයේ නයිට් රයිඩර් හරහා යි.

“Knight Rider”කොතරම් අපේ හදවත් වලට සමීප වුවත්, හැසල්හොෆ්ගේ සාර්ථකම නිර්මාණය ලෙස සැළකෙන්නේ “Baywatch” – www.imdb.com 

කවරයේ ඡායාරූපය- මයිකල් නයිට් සහ කිට් සුසංයෝගය අද සුන්දර මතකයක් - www.nme.com

මූලාශ්‍ර:

www.mentalfloss.com

www.eightieskids.com

knight-rider.fandom.com

screenrant.com

Related Articles