Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යෝගට් ගැන ඔබ නොදත් රස රහස් 6ක්

යෝගට් සාදනු ලබන්නේ කිරිවලට යෝගට් මුහුන් යොදා මිදවීමෙනි. බඩගින්නට මෙන්ම තිබහ ද සංසිඳුවිය හැකි මේ අපූරු නිපැයුම ක්‍රි.පූ 5000 දී පමණ මෙසපොතේමියාවේ සොයාගත් බව විශ්වාස කෙරේ. පුරාණ ඉන්දියානු ලේඛනවල, යෝගට් සහ මී පැණි සංයෝජනය “දෙවිවරුන්ගේ ආහාරය” ලෙස හැඳින්වේ.

යෝගට්වල කැල්සියම්, විටමින් බී 6 සහ බී 12, රයිබොෆ්ලැවින්, පොටෑසියම්, සහ මැග්නීසියම් අඩංගු වේ. සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබාදෙන යෝගට්වලින් අස්ථි සෞඛ්‍යය, ආහාර ජීර්ණයට ආධාර කිරීම වැනි වාසි රැසක් ලද හැකි වන අතර ඇතැම් යෝගට්වල ඇති ක්‍රියාකාරී, සජීවී බැක්ටීරියාවන් බඩවැල් නිරෝගීව තබා ගැනීමට උපකාරී කරයි.

අත්‍යාවශ්‍ය පෝෂක සහ දියවැඩියාවට තිත

උදෑසන ආහාරය සඳහා ධාන්‍ය සමඟ (coricostache.com)

සිරුරට අවශ්‍ය අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් රැසක් යෝගට්වල අඩංගු වේ. නිරෝගී දත් හා අස්ථි සඳහා අවශ්‍ය ඛනිජයක් වන කැල්සියම් විශාල ප්‍රමාණයක් යෝගට් මඟින් ලබා ගත හැකි වේ. එක් කෝප්පයකින් (245g) දෛනික කැල්සියම් අවශ්‍යතාවයෙන් 49%ක් සපුරන්නට යෝගට් සමත් වෙයි.

රුධිර පීඩනය, පරිවෘත්තීය හා අස්ථි සෞඛ්‍යය නියාමනය කිරීම සඳහා ඉවහල් වන මැග්නීසියම්, පොස්පරස් සහ පොටෑසියම් මෙන්ම විටමින් බී 12 සහ රයිබොෆ්ලේවින් මඟින් හෘද රෝගවලින් ආරක්ෂා වීමට හැකි වේ. යෝගට් ආහාරයට ගැනීමෙන් දියවැඩියා (type-2) අවදානම ද පහව යන බව පර්යේෂණ පෙන්වා දෙයි.

ශක්තිජනක ආහාරයක් ලෙස

 

ව්‍යායාම කිරීමෙන් පසු නැති වූ ශක්තිය ප්‍රතිස්ථාපනය කිරීමට යෝගට්වල ඇති කාබෝහයිඩ්‍රේට උපකාරී වේ. පොටෑසියම් සහ සෝඩියම් ද ඔබ දහඩිය හරහා පිටවූ ඉලෙක්ට්‍රෝලයිට ප්‍රතිස්ථාපනය කිරීමට උපකාරී වේ. බොහෝ ශක්තිජනක පාන වර්ග කැෆේන් සහ සීනි අධික බැවින් වඩාත් සෞඛ්‍යමත් ආහාරයක් ලෙස යෝගට් ඒ වෙනුවට යොදා ගත හැකි වේ.

රෝගී වූ විට ද ඝන ආහාර වෙනුවට යෝගට් හොඳ විකල්පයකි. ගැස්ට්‍රයිටීස් පාලනය කිරීමේදී H. pylori බැක්ටීරියාව නැසීමට යෝගට් උපකාර කරන බවත්, (ඖෂධ ප්‍රතිකාර යටතේ) දිනපතා යෝගට් කෝප්පයක් ආහාරයට ගැනීමෙන් වැඩි ප්‍රතිඵල ලද හැකි බවත් පර්යේෂණ සනාථ කරයි.

ඍජු අස්ථි පද්ධතියකට පහසු මඟක්

ඔස්ටියෝපොරෝසිස් වළකන පෝෂක යෝගට් සතු වේ (medicalnewstoday.com)

කැල්සියම්, ප්‍රෝටීන්, පොටෑසියම්, පොස්පරස් ඇතුළු අස්ථි සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා යෝගට් ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් අඩංගු වේ. අස්ථි දුර්වල වීම මඟින් ඇතිවන, වැඩිහිටියන් තුළ බහුලව දක්නට ලැබෙන ඔස්ටියෝපොරෝසිස් වැළැක්වීම සඳහා යෝගට් සතු විටමින් හා ඛනිජ ලවණ උපකාරී වේ. 

පර්යේෂණයන්ට අනුව, යෝගට් වැනි කිරි ආහාර අවම වශයෙන් දිනකට අවම වශයෙන් දිනපතා ලබා ගැනීම අස්ථිවල ස්කන්ධය පවත්වා ගැනීමට හා ඒවායේ ශක්තිමත් බව ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ.

මනා පෙනුමැති සිහින් සිරුරක්

ස්ථුලතාව පාලනයට යෝගට් හොඳ ආහාරයක් (thedailymeal.com)

බර පාලනය කිරීමට උපකාරී වන ගුණාංග කිහිපයක් යෝගට් සතුව ඇත. එහි අඩංගු වන ඉහළ ප්‍රෝටීන් ප්‍රතිශතය කැල්සියම් සමග, ආහාර රුචිය අඩු කරන හෝමෝන උත්තේජනය කිරීමට ක්‍රියා කරයි. යෝගට් පරිභෝජනය මඟින් ශරීරයේ බර අඩු කරගැනීම, මේද ප්‍රතිශතය සහ ඉණෙහි වට ප්‍රමාණය අඩු කරගැනීමට හැකිවන බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.

මේ නිසා පමණ ඉක්මවා ආහාර ගැනීම අවම කර ගැනීමට එය උපකාර වන අතර පෙර සඳහන් කළ පරිදි ගැස්ට්‍රයිටීස් ඇති වීම ද පාලනය කරන බැවින් ආහාර පාලනය කරන අයට වඩාත් උචිත ආහාරයක් බවට පත්වෙයි.

නීරෝගීමත් ජීවිතයකට දොරටුවක්

පලතුරු මඟින් සැරසූ විට දරුවන් වඩාත් ප්‍රිය වෙයි (videoblocks.com)

යෝගට් පරිභෝජනය කිරීමෙන් (විශේෂයෙන් එහි ප්‍රෝබයොටික් අඩංගු නම්) ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වීම සිදුවන අතර රෝග වැළඳීමේ සම්භාවිතාව අවම කරයි. එසේම, ආහාර ජීර්ණ පද්ධතිය නියාමනය කිරීමට සහ ආම්ලික වායු, පාචනය, මලබද්ධය සහ බඩ පුරවා දැමීම අඩු කිරීමට උපකාරී වේ.

යෝගට්වල ප්‍රතිශක්තීකරණ ගුණ වැඩි වීමට එය සතු මැග්නීසියම්, සෙලිනියම් සහ සින්ක් ද උපකාරී වේ. ඒවා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට දායක වන ඛනිජ ලවණ වේ.

සැම අත සිත්ගත් යෝග‍ට් මිතුරා

කුඩා කල පටන්ම ‍සෞඛ්‍යමත් දිවියකට රහසයි යෝගට් (verywellfamily.com)

කැල්සියම්, බී විටමින් සහ ඛනිජ ලවණ ආදී ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසක් යෝගට් මඟින් ලබා ගත හැකි වේ. එසේම, යෝගට් දිනපතා ආහාරයට ගැනීමෙන් ගැස්ට්‍රයිටීස් පාලනය, යහපත් අස්ථි සෞඛ්‍යයක් ලබා ගැනීමට හැකි වේ.

ප්‍රෝබියොටික්, විටමින් සහ ඛනිජ ලවණ ඇති බැවින් ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවිය හැකි අතර සෙම්ප්‍රතිශ්‍යාව වැනි නිතර ඇතිවන රෝගවලින් වැළකෙමින් නීරෝගී දිවියකට මඟ පාදා ගත හැකිය. ඊළඟ වතාවේ ඔබ යෝගට් එකක් අතට ගනිද්දී එහි පියන විවෘත කරත්ම එහි රස, සුවඳ පමණක් නොව මේ දේවල් ද ඔබේ මනදොල සපුරනු ඇති.

කවරය: rd.com

මූලාශ්‍රයයන්:

  • The Sensory Evaluation of Dairy Products ස්ටෙෆනි ක්ලාක්, මයිකල් කොස්ටෙලෝ, මේරි ආන් ඩ්‍රේක්, ෆ්ලොයිඩ් බොඩිෆෙල්ට් (2009) - books.google.com
  • A Taste of Persia: An Introduction to Persian Cooking නජ්මී බැට්මන්ග්ලිජ් (2007) - books.google.com
  • අමෙරිකානු ජෛව තාක්ෂණ තොරතුරු පිළිබඳ ජාතික මධ්‍යස්ථාන වෙබ් අඩවිය - ncbi.nlm.nih.gov
  • medicalnewstoday.com
  • webmd.com
  • nutritiondata.self.com
  • Oxford ජර්නල - academic.oup.com

Related Articles