ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අපේ කාන්තාවන් දැකුම්කළු ලෙස හැඩ වී සිටින්නට ඇති බවට නොයෙකුත් සාක්ෂි හමුවී තිබෙනවා. අවුරුදු 5000 කට එහා සමාජ තත්ත්වය කොහොම තිබෙන්නට ඇතිද කියල අපිට මේ පුරා විද්‍යාත්මක කැණීම් වලින් යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දීර්ඝ කාලයක් තිස්සේ, ශරීර අලංකාරය සඳහා ආභරණ පැළඳීම මෙන්ම රූපලාවන්‍යය කෙරෙහි විශේෂ අවධානයක් ආදි කාලයේ කතුන් යොමු කරන්නට ඇති බවට ඔප්පු වෙන විවිධ සායම් වර්ග, සුවඳ විලවුන් මේ පුරා විද්‍යාත්මක සාක්ෂි අතර තිබෙනවා .
කන්තරෝඩෙයි, අනුරාධපුර ගෙඩිගේ සහ පොම්පරිප්පුව යන පෙදෙස් වල සොහොන් බිම් වලින් තඹ වලින් සාදන ලද ඇස් පිහාටු කළු කිරීම සඳහා හා රූපලාවණ්‍ය සඳහා භාවිතයට ගත් අඳුන් කූරු වගේම ජේතවන කැනීම් වලදී මාලවලට අල්ලන පෙන්ඩන සහ රනින් නිමවූ අගස්ති මාල හමුවී තිබෙනවා.
ලංකාවේ මුලින්ම ආභරණ පැළඳූ කාන්තාව අවුරුදු 30,000කට පෙර බටදොඹ ලෙනෙහි ජීවත් වූ බවට බටදොඹලෙනෙහි කල කැනීම් වලින් හෙළිදරව් වෙනවා. මේ පුරා විද්‍යාත්මක සාක්ෂි අතර වසර 16,000ක් පමණ පැරණි පැතලි පබළුත් හමුවෙලා තිබීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. (මූලාශ්‍රය : ජේ. ආර් සමන් මංජුලගේ “හෙළයෝ ” ග්‍රන්ථය ඇසුරෙනි)
එදා පැළඳූ අබරණ සහ සළුපිළි
උඩරට රාජධානි සමයේ රන් ආභරණ පැලඳීමට අවසරය ලැබුනේ විශේෂ වරප්‍රසාද හිමි අයට පමණයි. මොවුහු රන් ආභරණ රජුගේ අතින් තෑගි ලද්දවුන් වූහ. රජුන්ගේ සුඛෝපභෝගි නීති අනුව රත්තරන් යනු විශේෂ අයට පමණක් වෙන් වූ අගනා ලෝහයකි. පුද්ගලයෙකුගේ සමාජ තත්ත්වය සහ ධන සම්පත්තිය ප්‍රදර්ශනය වන්නේ ඔහුගේ ඇඳුමේ විලාසිතාවෙන් නොව එහි වර්ගයේ උසස්කම සහ සංඛ්‍යාව අනුව බව එකල විශ්වාසයක් පැවතිණි.
“උත්සව අවස්ථාවලදී සම්පූර්ණ ඇඳුම් කට්ටලයකින් සැරසෙන පිරිමි කෙටි හැට්ටයකින් තම සිරුර වසා ගනිති, විශිෂ්ටතම ලියවැල්, මැහුම් වැඩ යෙදූ කවණි වලින් සැරසෙති. සමහර අවස්ථාවල, එක පිට එක යෙදූ තුප්පොට්ටි සයක් හෝ අටක් හෝ ඇඳ ගනියි. උකුළ තරම් මහත් වන සේ පිම්බූ හැට්ටයකින් ඔහු ගේ උරහිස් අස්වාභාවික පෙනුමකින් යුක්ත වල සේ පළල් කෙරෙයි. සිංහල පිරිමින්ගේ ඇඳුම කපු හෝ හණ රෙද්දෙන් කළ හැට්ටයකි. ඉණෙන් රෙද්දක් විලුඹ තෙක් පැළඳ එහි කෙළවර දෙකකුල් මැදින් ඉණට ගෙන එහි රඳවති. එවිට එහි පෙනුම කලිසමක් සේය. යම් ප්‍රභූත්වයක් ඇති අය මහත් ආඩම්බරයෙන් රතු හිස්වැස්මක් පළඳිති. පිරිමින්ගේ අතැඟිලිවල රිදියෙන් තඹයෙන් හෝ පිත්තලෙන් කළ මුදු දක්නට ලැබේ. වංශවතුන් පළදිනුයේ රන් මුදු වය.” – රොබට් නොක්ස්ගේ එදා හෙළ දිව
ගෙදර දොරේහි ස්ත්‍රීහු ස්වකීය ඇඳුම් පැළඳුම් ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූ අතර වැඩ කටයුතු වල යෙදීමට සුව පහසු වතක් ඇඟ ලා ගැනිම ඔවුන්ට ප්‍රමාණවත් ය. එසේ වුවද එලියට බැස්සේ පිල් විදහාගත් මොණරුන් ලෙසිනි.
උසස් පන්තියේ ස්ත්‍රීහු බැහැරක් යද්දී කපු පිළියෙන් කළ නිල් රතු පිළියෙන් මල් මැසූ අත් දිග සැට්ටයක් උඩු කයෙහි ලා සේලයක් හඳිති. අතෙහි රිදී වළලු දමා පය පාද මුදු හා අතැඟිලිවල රිදී මුදු දමති. ගෙළේ පබළු මාලයක් හෝ පපුව පුරා වැටෙන කැටයම් කළ රත්තරන් පෙවූ රිදී පළඳිති.
බැලඩියස්ගේ ලංකා පුරාවෘත්තයේ ඔහු සිංහලයින් අංග ලක්ෂණ හා ගති පැවතුම් අතින් මලබාර්වරුන්ට බෙහෙවින් සමානාත්වයක් දක්වන බව සඳහන් කරනවා. දෙකොටසේම කන් දිග ය. දෙකණෙහි නන් විධ කැටයමින් සුන්දර වූ රන් පෙවූ, ගල් කුණ්ඩලාභරණ වෙති. ළපැටි කාලයෙහි ඔවුන්ගේ කන් විදිනු ලැබ එහි සිදුරු පුළුල් වීම පිණිස කවාකාර ලෙස සුරුට්ටු කළ තල් පතක් කන් සිදුරු වල ඔබති. කල් යාමේදි මුහුණ දෙපස වළලු දෙකක් මෙන් එල්ලා වැටෙන කන් පෙති දෙකක් දන්කට ලැබෙයි. ඒ රටේ ස්ත්‍රීන් එය සිත්කළු ශරීරාලංකාරයක් සේ සැලකුවත් රොබට් නොක්ස් මෙය දුටුවේ රූමත් ස්ත්‍රීයකගේ අංග විකාරයක් ලෙසටයි.
තමන් හට ගමනක් යන විට අඳින්නට ඇඳුම් නොමැති නම්, ඇඳුම් ඇති අයගෙන් ඉල්ලා ගෙන යාමට දුප්පතුන් මැලි නොවුණි. එසේ අනුන්ගෙන් ඉල්ලා ඇඳ පැළඳගෙන යාම නින්දාවක් හෝ මදිකමක් සේ ඔවුන් නොසැලකූ අතර ගමන යන අතර මගදී වුවත් මම අසවලාගෙන් ඉල්ලාගත්තා යැයි කියන්න පවා ඔවුහු ලජ්ජා නොවෙති. සල්ලි පනම් ඇති මහගෙදර ගැහැණු ඇඳුම් පැලඳුම් සඳහා නොමසුරුව වියදම් කරන ලද නමුත් අරපිරිමැස්මට නිතැතින්ම ලැබූ පුහුණුව ඇත්තෝය. මාටින් වික්‍රමසිංහයන්ගේ ගම් පෙරළියේ එක පරිච්ඡේදයක අගහිඟකම් මැද්දේ අරපිරිමැස්මෙන් දිවි ගෙවන නන්දා ගැන මේ විදිහට සඳහන් වෙනවා.
“පෙර සිටම මහ ගෙදර ගෑණු හොඳින් අඳිති; පළඳිති; ඇඳුම් පැලඳුම් සඳහා නොමසුරුව වියදම් කරති. නන්දාට ඇඳුම් පැළඳුම් සැපයීම මඳක් වියදම් යන කාරියක් වුවද ජිනදාස කිසි විටෙක නොකෙඳුරුවේ ය. නන්දා ඇඳුම් පැලඳුම් සඳහා නිකරුනේ සතයක් වත් වියදම් නොකළ නමුදු, කුල සිරිතක් හැටියට හැමටිවට පිරිසිදුව ඇන්දාය. ගමනක් බිමනක් යන්නේ නොඅඩුව ඇඳුම් පැලඳුම් ලත් විට පමණි. අඩු මිළට විකුණන කවර රෙද්දක් වුවද ඈ ගෙදරට අඳින නමුත් ගෙයින් පිටව යන විට නම් ඈට ටිකක් වටිනා රෙදි පිළි වුවමනා ය.”
කෙස් කළඹ
පංචකල්‍යාණයෙන් අගතැන්පත් වීම රූපසුන්දරියක සතු විය යුතු ලක්ෂණ ලෙස එකල සමාජයේ පිළිගැනිණ. ඒ අතරින් ජන්ම දායාදයක් වශයෙන් ලැබුණු හිස කෙස් හෙවත් කේශ කල්‍යානය දිනපතා තෙල් ආලේප කොට පස්සට පීරා, ආභරණයක් සේ රැකගැනීම සිංහල ගැහැණු ළමුන්ගේ වගකීමක් ලෙස සැළකුණා. දිගු කෙස් කළඹ කොටට කැපීම විලාසිතාවක් බවට පත්වූයේ හැත්තෑව, අසූව දශකයෙන් පසුවය.
“බාරිය ඔබෙ අංග පහෙන් එකක් තමයි දුවේ කොණ්ඩෙ
බාලිය වෙයි දඩුවම් ලැබු කැපුවෝතින් උඹේ කොණ්ඩෙ
පඬිවරයෙක් කියා තිබේ.”
ලොවේ දසත පූජිත ගරු විරිඳු පෙළෙන් උපුටාගත් කොටසකි මේ. අද කාලේට මේ අදහස්, දැනමුතුකම් නොගැලපුණාට අපේ අම්මලගේ, අත්තලගේ කාලේ ගැහැණු ළමයින් කොණ්ඩය කපනවාට වැඩිහිටියන් එතරම් මනාපයක් දැක්වූයේ නැහැ.
බහුශ්‍රැත උඩරට අමාත්‍යවරයෙකු විසින් අංග සම්පූර්ණ අභුරීපිකාවකගේ කේශ කලාපය විස්තර කරන ලද්දේ මෙසේයි-
“ඇයගේ කේශ කලාපය මොනර පිල් කළඹක් මෙන් ඝන විය යුතුය. දෙදණ දක්වා වැටෙන සේ දික් විය යුතුය. අක් බඹුරු විය යුතු ය”
සාමාන්‍යයෙන් සිංහල කාන්තාවෝ ගමනෙහි යෙදෙන විටත්, නිවසේ සිටින විටත් පහසුව තකා කොණ්ඩය ගුළියක් කොට පසු පසින් ගැට ගසා ගනිති. උත්සව අවස්ථාවන්හි, සිය කෙස් කළඹ මී වදයක ආකාරයෙන් හිස් මුදුනේ සිටින සේ ඉතා කලාත්මක ලෙස ගැට ගැසීමට ඔවුහු පුරුදුව සිටියහ. උසස් පැලැන්තියේ ස්ත්‍රීහු කේශ කලාපයෙහි අමතර ආභරණ නොපැළඳුවත්, කැටයමින් ලකල් වූ මලක් වැනි හිසක් ඇති අරුමෝසම් ලෝහමය කූරක් කොණ්ඩයේ ගසා ගනිති.
හිස් වැසුම්
“මේ රටේ ජනයා නිතරම පාහේ හිස් වැසුම් පළඳිති. ඔටුන්නක රූපාකාරයෙන් සාදන ලද මේ හිස් වැස්ම ද වංශවතුන්ගේ හිස්වැස්ම ය, සාමාන්‍ය ජනයාගේ හිස්වැස්ම දැයි දෙයාකාර වෙයි. මේ කවර හිස්වැසුමෙහිත් මුදුනේ පෙති දෙකක් ඇත්තේ ය. හාන්දුරුවන්ගේ හිස් වැස්ම වර්ණවත් ය. සුදු හෝ නිල් පාට ය. සාමාන්‍යයෙන් හිස් වැස්ම සහ මුදුනේ පෙති ද නා නා වර්ණයෙන් යුක්ත විය හැකි අතර පෙත්ත නිරන්තරයෙන්ම රත් පාට ය.” – රොබට් නොක්ස්ගේ ලංකාද්වීපය පිළිබඳ ඓතිහාසික විස්තරය
මරක්කල මිනිසුන්ගේ ෆෙස්z තොප්පිය
ඒ කාලේ ඇඳුම, පෙනුම සහ ගති පැවතුම් අතින් මරක්කල පුද්ගලයින් සිංහලයින්ට වෙනස් වුනේ මද වශයෙනි. රතු ෆෙල්ට් රෙද්දෙන් නිමවන ලද ෆෙස්z තොප්පිය දහනමවන සියවසේ අග භාගයේදි ලක්දිව මුස්ලිම්වරුන් අතර ජනප්‍රිය වුණා. සාමාන්‍ය ජනයා අතර තුර්කි තොප්පිය ලෙස ප්‍රචලිත මේ අපූරු හිස්වැස්ම වර්තමානයේ විවාහ මංගල්‍යයේ මනාලයට පමණක් සීමා වුණු හිස්වැස්මක් බවට පත්වෙලා තිබෙනවා.
මොරොක්කෝවේ ෆෙස්z යන නගරයෙන් මෙම විලාසිතාව බිහි වූ නිසා මේ තොප්පියට ෆෙස්z යන නම පට බැඳෙන්නට ඇතැයි විශ්වාසයක් පැවතෙනවා.
කුල භේදය මත පදනම් වූ ඇඳුම් පැළඳුම්
භාරත සමාජයේ කුල භේදය දැඩි වශයෙහ් දක්නට ලැබුනත් සිංහලයන් අතරේ මෙය පැවතුනේ මඳ වශයෙනි. කුල භේදය මත පදනම් වූ සමාජ වරප්‍රසාද අතර ඇඳුම් පැළඳුම් වල විවිධත්වය විශේෂයෙන් කැපී පෙණිනි.
සිංහලයන්ගේ අති විශාල කුලය ලෙස සලකන ගොවි වංශයේ අය ඇඳුමෙන් ද, නාමයෙන් ද, සෙසු වැසියන්ගෙන් වෙනස් වෙති. වංශවන්තයන්ගේ ජාතික ඇඳුම චාම් ය. පිරිමි ඇඳුම, හිස් මුදුන අනාවරණය වන පරිද්දෙන්, තලප්පාවක් සේ හිස වටා ඔතන ලේන්සුවකින් (සුම්බරයකින්) ද වළලුකර තෙක් වැටෙන සේ කටිය වටා ඔතන තුප්පොට්ටිය නම් දෙපාද දික් රෙද්දකින් ද සමන්විතය. ගැහැනුන් හිස නොවසති. හේලය නම් පාද දික් රෙද්දක් කටිය වටා ඔතා ඉන් කොනක් වම් උරහිස මත දමති. හාන්දුරු පෙළෙන්තිය මෙන් ලෝකුරු හා ඇත්ගොව් කුල වලට තමන්ට ඕනෑම ඇඳුමක් ඇඳ ගත හැකි විය. මොවුන් විහාරයකට ඇතුළු වීමේදි උරහිස් අනාරවරණය කරති, මෙසේ නොකරන්නන් අනෙත් ආත්ම භාවයකදී ගඩු හා චර්ම රෝග වැලඳී දඬුවම් විඳිතියි යන්න ඔවුන් තුළ විශ්වාසයක් පැවතියේ ය.
“අඩු කුලයේ ස්ත්‍රී හු දණ හිසට රෙදි කඩක් ඇඳ උඩුකය නග්නව තබා ගත යුත්තා හ. තද ශීත කාලයේ මුත් දණින් පාතට රෙදි කඩක් ඇන්ද නොහැක්කේය. හීන කුලික් ස්ත්‍රී පුරුෂයන් හට ඉදින් ශීතයක් ඇතිහුවහොත් රෙදි කඩක් පෙරවා ගැනීමේ තහනම් නැත්තේය. වංශවතකු, හාමුදුරුවකු හමුවුවහොත්, වහ වහා එම රෙද්ද ඉවත් කොට ගත යුතු ය. නැත හොත් “උණුසුමට යි හාන්දුරුවනේ, මට සමාවයි!” කියා සමාවක් ගත යුතු ය. කුඹල් කුලයට අයත් කුඹල්ලු උඩුකය වසා ඇඳුම් අඳින්නට තහනම් වූවෝ වෙති. වස්ත්‍රය ඇන්ද යුත්තේ දණ දක්වා පමණකි. කින්නර කුලයේ පිරිමින් හට හිස්වැසුම් පැළඳීමත් ස්ත්‍රීන් හට හැට්ට ඇඳීමත් තහනම් ය. මොවුන්ගේ කර්මාන්තය කලාල නිෂ්පාදනය කිරීමයි. පහත් කුලයක් සේ සැලකෙන කුරුට්ටන්ගේ ස්ත්‍රී පක්ෂයට සැට්ට ඇඟලිය නොහැකිය. දණහිසට පහතට වැටෙන ලෙස රෙදි ඇන්ද නොහැකිය. සිරිතක් වශයෙන් මෙපිට සෙසු කිසිම අඩු කුලයක ස්ත්‍රී පුරුෂයන් හට රෝගයක් නොමැතිව ශරීරය ආවරණය කර ගැනීමට අවසරයක් නැත්තේ ය.” – රොබට් නොක්ස්ගේ එදා හෙළ දිව ඇසුරෙනි.
ලාංකික ඇඳුම් පැළඳුම් වලට පෘතුගීසි බලපෑම
“රජ තුමාගේ ඇඳුම මදක් පුදුම එළවන සුළුය. මේ රජු ක්‍රිස්තු පූජක කෙනෙකුගේ හිස්වැස්මක් හා සමාන වූ කොන් සතරක් ඇති, මුදුනෙහි ඉදිරිපසින් පියාපත් තුනකින් අලංකාර වූ ඔටුන්නක් පළඳින්නේ ය. පෘතුගීසි නිල ඇඳුමේ ආකාරයට පිටිපසින් එල්ලෙන දිග පටියක් ඇත්තේ ය… ” – රොබට් නොක්ස් (1681) රාජසිංහ රජුගේ ඇඳුම් විලාසිතාව විස්තර කළේ මෙන්න මෙහෙමයි.
උඩරට නායකයින් උඩුකයට අඳින ලද කබාය හෙවත් ජුවාන් හැට්ටය පෘතුගීසි Doublet ජැකැට්ටුවට බෙහෙවින් සමානකමක් දක්වනවා. මධ්‍යතන යුගයේ බටහිර යුරෝපයේ ජනප්‍රිය වූ doublet කබාය ස්පාඤ්ඤයේ ගොන් හරඹ ක්‍රීඩාවලදී තරඟකරුවන් අඳින තේජවන්ත ජැකැට්ටුවේ අනුහුරුවක් කිව්වොත් ඔබත් ඊට එකඟ වේවි.
පෘතුගීසි පාලනයට පෙර ශ්‍රී ලංකාවේ ඇඳුම් පැලැඳුම් නිමවුම් ක්‍රම එතරම් දියුණු තත්ත්වයක නොපැවතිණි. සිංහල කතුන් පෘතුගීසි සොල්දාදුවන් කසාද බැඳීමත් සමඟම පෘතුගීසි ආභාෂය ශ්‍රී ලංකාවේ ඇඳුම් පැළඳුම් වලට එකතු වුණා යැයි අපට විශ්වාස කළ හැකිය. යුරෝපයේ ආකාරයට අඳින්නට පළඳින්නට රෝමානු කතෝලික ආගමේ ව්‍යාප්තියත් බලපාන්නට ඇත. පතොරම්, මෝස්තර, බීරළු රේන්ද වැනි වදන් මැහුම් ක්‍රම අතරට එක් වූයේ පෘතුගීසි බලපෑම් වල ප්‍රතිඵලයක් ලෙසිනි. පහත දැක්වෙන්නේ සිංහල වාග් මාලාවට එක්වූ එවන් පෘතුගීසි වචන කිහිපයකි.
කලිසම (පෘතු. Clacao), කමිසය (පෘතු. Camisa), බස්තම (පෘතු. Bastao), කබාය (පෘතු. Caba), බොත්තම් කාසිය (පෘතු. Kasa de Botao), ජේත්තුව (පෘතු. Jeito), මල්ල (පෘතු. Mala), සාක්කුව (පෘතු. Sacoo), ලේන්සුව (පෘතු. Lenco), පීත්ත පටිය (පෘතු. Fita), ගාන්චුව (පෘතු. Gancho), අල්පෙනෙති (පෘතු. Alfinete)
මූලාශ්‍රය : Tagus to Taprobane – ශිහාන් ද සිල්වා ජයසූරිය
කවරයේ පින්තුරය: Lankapura.com