දශක කිහිපයක් තිස්සේ යුද සංග්රමයන්ට මුහුණ දෙන නමුත් ලෝක වාසීන්ගේ අවධානය යොමු කර ගැනීමට සමත් දුටුවන්ගේ නෙත් පිනවන සොඳුරු ස්වභාවික පුදුමයන්ගෙන් පාකිස්තානයට අඩුවක් නැහැ. කාරකෝරම් කඳුවැටියේ සිට සාරවත් ඉන්දු නිම්නය දක්වා වැටී ඇති බිම් පෙදෙස ආවරණය කරන පුරාණ සේද මාවත සහ සහස්ර කිහිපයක් වයසැති මොහෙන්ජෝදාරෝ ශිෂ්ටාචාරයට අයත් නටබුන්, සංචාරක සිත් වසඟයට පත් කරන බව පැවසීම අතිශයෝක්තියක් නොවෙ යි. ස්වභාවික සුන්දරත්වය පමණක් නොව සියවස් ගණනාවක් මුළුල්ලේ විකසනය වූ මිථ්‍යා කථා, ජනප්‍රවාද, කවි, ගීත සහ සාම්ප්‍රදායික නර්තනයන් ද පාකිස්තානය සතු වෙනවා.
රහස් සහ මිථ්‍යාවන්ගේ දේශය: චිත්‍රාල්
පාකිස්තානයේ වඩාත් ම උතුරු දෙසින් පිහිටා ඇති බිම් පෙදෙස ආවරණය කරන චිත්‍රාලි දිස්ත්‍රික්කය අයත් වන්නේ ඛයිබර් පක්තුන්ක්වා පළාතට යි. යාබද ව පිහිටි හින්දු කුෂ් කඳුවැටිය සිසරා පැතිරුණු මිථ්‍යා කථා රැසක් උපත ලබා ඇත්තේ චිත්‍රාල් දිස්ත්‍රික්කයේ ඉතිහාසය සහ සංස්කෘතිය මත පදනම් ව යි. නිබඳ ව සීතල රාත්‍රීන් හි මිහි මත සැරිසරනවා යැයි පවසන හොල්මන් සහ මළවුන්ගේ ආත්ම වැනි අද්භූත ජීවීන්ට ප්රමුඛත්වයක් ලබා දෙමින් සහස්‍රයකට අධික කාලයක් පුරා වෙනස් වූ චිත්‍රාල් සංස්කෘති විශ්වාස සමඟ චිත්‍රාලි මිථ්‍යා කථා සම්ප්රදාය ද සෙමින් වර්ධනය වුණා.
පුරාණ චිත්‍රාලි විශ්වාස බොහෝමයක් මේ වන විට අභාවයට ගොස් තිබුණ ද දැනට සුරක්ෂිත ව පවතින මිථ්‍යා කථා මගින් ප්‍රාදේශීය සංස්කෘතික අංග සමඟ මනා ව මුසු වූ බාහිර බලපෑම් හි ප්‍රබල සුසංයෝගයක් පැහැදිලි ව දැක ගත හැකි යි. චිත්‍රාලි ජනප්‍රවාද තුළ මකරුන්, සුරඟනන් සහ රාජගුරුලන් පිළිබඳ කථා සුලබ වන අතර සමකාලීන මිථ්‍යා කථා සමග සැසඳීමේ දී චිත්‍රාලි සම්ප්රදායය තුළ වන සෑම අද්භූත සත්ත්වයෙක් ම අසමසම බව පැවසීමේ වරදක් නැහැ.
පෙරිස්ථානයේ සුරඟනන්
අඩි 25,000 (මීටර් 7,600) ක් උසැති හින්දු කුෂ් කඳු පන්තියේ උස ම කන්ද වන “අන්ධකාරයේ රජු” හෙවත් ටිරිච් මිර්, චිත්‍රාලි සම්ප්රදාය තුළ හැඳින්වෙන්නේ “පෙරිස්ථානය” ලෙස යි. ඒ “සුරඟනන්ගේ දේශය” යන අරුතින්. පෙරිස්ථානයේ පිහිටි දැවැන්ත රන් මාලිගාවක වාසය කරන සුරඟනන්ගේ ප්‍රධාන වගකීම වන්නේ ප්‍රදේශයේ සත්ත්ව සහ ශාඛ විශේෂයන් හි ආරක්ෂකයන් ලෙස කටයුතු කිරීම යි. එසේ ම පාකිස්තානයේ ජාතික සත්ත්වයා වන “මාර්කෝර්” නම් ඇඹරුණු අං තට්ටුවක් සහිත එළු රංචුවල රැකවලුන් ලෙස ද සුරඟනන් කටයුතු කරන අතර එළු දඩයමේ යන සියලු ම දඩයක්කරුවන් පළමු ව සුරඟනන් වෙත පූජාවක් සිදු කර ඔවුන්ගේ අවසරය ලබා ගත යුතු වෙනවා.
ජනප්‍රවාදයන්ට අනුව චිත්‍රාල් වැසියන්ට සුරඟනන් සමග විවාහ විය හැකි යි. චිත්‍රාල් හි පාලකයාට දාව සුරඟනකට උපන් කුමරියක්, ඇගේ පියාගේ මරණින් වසර 400 කට පසු ව පවා අසු පිට නැගී චිත්‍රල් හි සැරිසරන බව පැවසෙනවා. එසේ ම චිත්‍රාලි වැසියන්ගේ නිවෙස් ආරක්ෂා කරන “ඛංගි” නම් ගෘහස්ථ සුරඟනන් චිත්‍රාලි වැසියන් සලකන්නේ නිවසේ සාමාජිකයකු ලෙස යි. නිවෙස් ආරක්ෂා කිරීම හැරුණු විට ඔවුන් පලතුරු කැඩීම වැනි කාර්යයන් ද සිදු කරන අතර “ඛංගි” වෙනුවෙන් වෙන ම ආහාර පිළියෙළ කිරීම චිත්‍රාල් වැසියන්ගේ පුරුද්දක්.
දිව්‍යමය සුනඛයා “හල්මස්ති”
“ගිගුරුම” යන අරුතින් “හල්මස්ති” ලෙස නම් කර ඇති දිව්‍යමය සුනඛයාට චිත්‍රාලි සම්ප්රදාය තුළ හිමි වන්නේ ප්රමුඛ ස්ථානයක්. පෙනුමෙන් සුවිසල් වෘකයකුට සමාන “හල්මස්ති”ට අඳුරු රතු පැහැ ලොම් සහ දැවැන්ත හොම්බක් හිමි අතර සාමාන්‍යයෙන් “හල්මස්ති” දැක ගැනීමට ලැබෙන්නේ අලුතෙන් දරුවකු ඉපදුණු ස්ථානයක දී හෝ භූමදානයට පෙර මළ සිරුරක් සෝදා පිරිසුදු කරන ස්ථානයක දී යි. එවැනි ස්ථානයක් සත් දිනක් ගත වන තෙක් පාළු නොකළ යුතු වෙනවා. එසේ නොකළහොත් “හල්මස්ති” මළ සිරුරට හෝ දරුවන්ට ශාරීරික හානි සිදු කරන බවයි පැවසෙන්නේ. අලුත් උපන් දරුවන්ගේ වැඩි ආරක්ෂාව උදෙසා දරුවාගේ කොට්ටය යට යකඩ ආයුධයක් තැබීම චිත්‍රාලි වැසියන්ගේ සිරිත යි.
“හල්මස්ති” පිළිබඳ කථාවන්ට පදනම් වී ඇත්තේ පුරාණ සුමේරියානු මිථ්‍යා සාහිත්‍යයේ සඳහන් “ලිට්ටු” නම් යක්ෂණිය යි. දරුවන්ගේ රැගෙන යන යක්ෂණියක් ලෙස යුරෝපීයයන් අතර ජනප්‍රිය “ලිලිත්” ද යම් තාක් දුරට “හල්මස්ති”ට සමානකමක් දක්වනවා. තුර්කි මිථ්‍යා සාහිත්‍යයේ සඳහන් “අල්-බස්ති” නම් කාන්තා ආත්මයේ නමින් “හල්මස්ති” යන පදය නිර්මාණය වීමට වැඩි ඉඩකඩක් පැවතුණ ද ගතිලක්ෂණ අතින් “හල්මස්ති” වඩාත් සමීප වන්නේ චීන මිථ්‍යා සහිත්යයේ සඳහන් “ටියැංගු” නම් දිව්‍යමය සුනඛයාට යි. ගිගුරුම් හඬක් සමඟ අහසින් ගොඩ බසින “ටියැංගු”, හිරු සහ සඳු ආහාරයට ගැනීමට මගින් සූර්ය-චන්ද්‍ර ග්රහණයන් ඇති කරන බව යි සඳහන් වන්නේ.
“නීහැන්ග්” නම් දිය මකරා
වැව්වල වාසය කළ “නීහැන්ග්” නම් දිය මකරා පෙනුමෙන් තරමක් දුරට පියාපත් සහිත සර්පයකුට සමාන වෙනවා. රන්වන් කේෂර සහ කොරපොතු සහිත දැවැන්ත සත්ත්වයකු වන “නීහැන්ග්” චිත්‍රාලි වැසියන් බිය ගන්වමින් දිගු කාලයක් තිස්සේ ප්‍රාදේශීය වැව් හි වාසය කර ඇති අතර එක් දිනක් පුරාණ රණශූරයකු තල දෙකක් සහිත කඩුවක් භාවිතා කරමින් “නීහැන්ග්” නම් දිය මකරාගේ කුරිරු ක්‍රියාවන්ගෙන් චිත්‍රාලි වැසියන් සදහට ම ගලවාගෙන තිබෙනවා. “නීහැන්ග්” පෙනුමෙන් නැගෙනහිර ආසියානු මිථ්‍යා සාහිත්‍යයේ සඳහන් මකරුන්ට තරමක් දුරට සමාන යි.
චිත්‍රාලි යෝධයන්
චිත්‍රාලි මිථ්‍යා කථා සම්ප්රදයාගේ ප්‍රකට යෝධයකු වන “නැන්ග්”, වැව් පතුල් හි වාසය කරන අතර ඔහුට ඇත්තේ තනි ඇසක් පමණ යි. දිය යට ඇති දැවැන්ත නිධානයක් “නැන්ග්” සතු වෙනවා.
“ඩියෝ” නම් යක්ෂයකුගේ ගති ගුණ ඇති යෝධයා වාසය කරන්නේ ගැඹුරු වනාන්තරයෙන් හි ඇති ගල් ගුහාවල යි. ගිනි යෝධයකු වන “ඩියෝ”ට ගිනි බෝලයක් බවට පරිවර්තනය වීමේ හැකියාව පවතින අතර සංචාරයේ යෙදෙන්නන්ට ඔහු හමු වීමේ වැඩි හැකියාවක් පවතිනවා.
තවත් යක්ෂ යෝධයකු වන “බාසංගි”ට සුවිසල් බලයක් හිමි අතර දැඩි වර්ෂාවන් හෝ හිම කුණාටු ඇති අවස්ථාවල දී පෙනී සිටිනවා. ගල්ගුහාවල වාසය කරන “බාසංගි” මිනිසුන් ද ඇතුළු ව අනෙකුත් සත්ත්වයින් ආහාර ගන්නා බව යි පැවසෙන්නේ. “බාසංගි” පරාජය කළ හැකි එක ම ක්‍රමවේදය වන්නේ හිස ගසා දැමීම යි. නමුත් “බාසංගි”ට නැවත නැවතත් සත් වරක් හිස ප්‍රතිජනනය කළ හැකි බව චිත්‍රාලි වැසියන්ගේ විශ්වාසය යි.
චුමුර් දේකි නම් යකඩ පා ඇති අශ්වයා
යකඩ පා ඇති අශ්වයකු වන “චුමුර් දේකි” හඳුනා ගත හැකි එක ම ක්‍රමවේදය වන්නේ ඔහුගේ යකඩ කුර පොළොවේ වදින විට ඇති වන ශබ්දය යි. නමුත් එය අවාසනාව රැගෙන එන හඬක් ලෙස සැලකෙන අතර “චුමුර් දේකි” දකින්නන්ට අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ දීමට සිදු වෙන බවයි පුරාණ චිත්‍රාලි විශ්වාවාසය.