මේ සාහිත්‍ය මාසයේ බෞද්ධ සාහිත්‍යයේ උසස් ම, එසේ ම රසවත් ම කෘතිය ලෙස සැලකෙන පන්සිය පනස් ජාතක පොත ගැන විමසා බැලීමට අපි උත්සාහ කළා.
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ
උපදේශ කතා ලෙස සැලකිය හැකි ජාතක කතාවලින් උත්සාහ කර තිබෙන්නේ බුදුන් වහන්සේගේ පෙර ආත්ම භවවල බෝසත් කතන්දර කියමින් මේ ආත්මයේ දිවි ගෙවන මිනිසුන්ගේ ජීවිත යහමගට ගැනීමට යි. බැතිමතුන් තුළ බියක් උපදවා ඔවුන් පවු කිරීමෙන් වළක්වා ගැනීම යි. ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද ජාතක කතා ජනප්‍රිය වී තිබෙනවා. ඉංග්‍රීසියෙන් මෙන් ම හින්දි ඇතුළු වෙනත් භාෂාවලින් ද ජාතක කතා පොත් එරට පළ වීමෙන් ඒ බව පැහැදිලි වෙනවා.
විවිධ භාෂාවන්ට පරිවර්තනය කර ඇති ජාතක පොත විශ්ව සාහිත්‍යයට අයත් කෘතියක් ලෙස යි සැලකෙන්නේ. බෝධිසත්ව චර්‍යාව හරහා ජාතක කතා තුළින් උපදේශාත්මක, හික්මුණු මිනිස් සමාජයක් බිහි කිරීමේ අරමුණෙන් රචනා වී තිබෙනවා. අපේ බැතිමතුන් කලකට පෙර මේ පොත හැඳින්වුයේ ජාතක පොත් වහන්සේ කියල යි. පුරාණයේ පන්සල්වල පිංකම්වල දී ජාතක පොත් වහන්සේත් පෙරහරේ රැගෙන ගියා. පෝය දිනවල විහාරවල ජාතක පොත කියවීම කලකට පෙර සුලබ ව දකින්නට ලැබුණු සිද්ධියක්. පන්සිය පනස් ජාතකය ලෙස මේ පොත හැඳින්වුණත් මෙහි ඇත්තට ම තිබෙන්නේ ජාතක කතා 547යි.
කතුවරයා සිවු වන පැරකුම් රජු ද?
මහා වංශයේ සඳහන් 30 වන පරිච්ඡේදයේ සඳහන් කරන ආකාරයට මෙම ග්‍රන්ථයේ කතුවරයා කුරුණෑගල රාජධානිය කොටගත් සිවු වන පණ්ඩිත පරාක්‍රමබාහු (1302-1326) රජු යි. චෝල රටෙන් පැමිණි භාෂා විශාරද භික්ෂු කෙනකු ගුරු තන්හි තබාගෙන ඒ හිමියන්ගෙන් පන්සිය පනසක් ජාතක කතා පාලියෙන් අසා ධාරණය කරගෙන සිංහලට පෙරළා ත්‍රිපිටකධාරි භික්ෂුන්ට අස්වා පිරිසුදු කොට ලිය වූ බව එහි විස්තර කෙරෙනවා.
ඉන්පසු පුස්කොළවල ලියවා රටේ හැමතැන ම පැතිර වු බවත් පැවසෙනවා. ඉන් අනතුරුව ජාතක කතා පොත් වහන්සේ තම ශිෂ්‍ය පරම්පාරාවට ඉගැන්වීම පිණිස මේධංකර නම් හිමියන්ට පවරා දී තිබෙනවා. උන්වහන්සේට පරාක්‍රම නම් පිරිවෙනක් කරවා දී එහි නඩත්තුවට පරණගම, තැඹිලිහෙල, දෙල්මඩ, මොරවක යන ගම් පූජාකොට තිබෙනවා.
ජාතක පොතේ ප්‍රස්තාවනාවේ සඳහන් වන අන්දමට පරාක්‍රම නම් ඇමති සත්පුරුණයාගේ ආරාධනාවෙන් ජාතක කතා පොත පාලියෙන් හෙළ බසට හරවා තිබෙන්නේ දැන උගත් කතෘ මණ්ඩලයක් විසිනු යි. කෙසේ වුණත් මෙහි උපත කුරුණෑගල යුගයේ දී සිදුවුණු බව පිළිගැනෙනවා. සිවු වන පරාක්‍රමහාබහු රජු ජාතක කතා ඇසීමට ප්‍රිය කළ බව සිංහල මහාබෝධි වංශයෙත් සඳහන් වෙනවා.
රජතුමන්ගේ ජාතක ප්‍රියත්වය නිසා හිතවත් ඇමතිවරුන් දෙදෙනාට එහි පරිවර්තනය කරවන ලෙස පවරා සහාය වන්නට ඇති බව විද්වතුන්ගේ මතතයි.
ඛුද්දක නිකාය පාලි සූත්‍ර පිටකයට අයත් කොටසක්. එය ග්‍රන්ථ පහළොවකින් සමන්විත යි. ජාතක පාලිය එහි දස වැන්න යි. පද්‍යයෙන් රචිත ජාතක පාලිය විවරණය කරමින් ලියවුණු අට්ඨකථාව හඳුන්වන්නේ ජාතකට්ඨකථා කියල යි. එය ලිව්වේ මහානාම රජු දවස ( ක්‍රි. ව. 406-428) විසූ අටුවාචාරින් වහන්සේලා යි. පාලි ජාතකට්ඨ කථාව සිංහලයට පෙරළමින් සාමාන්‍ය ජනතාවට තේරුම්ගත හැකි පරිදි ලියූ බෞද්ධ සාහිත්‍ය කෘතිය තමයි පන්සිය පනස් ජාතක පොත.
ජාතක කතාවල ඇතුළත් මූලික කතා ගෞතම බුදුන්ගේ දේශනා බව පෙනෙනවා. නමුත් පසුකාලීන ව එයට විවිධ කතාන්දර එකතු වී තිබෙන බව විචාරකයන්ගේ මතය යි. ජාතක කතා ගැන ආචාර්ය වින්ටනිට්ස් නම් විද්වතා අදහස් දක්වා තිබෙනවා. ඔහුට අනුව ජාතක කතාවල අන්තර්ගතය විවිධ යි. එම අන්තර්ගතය කොටස් හතකට ඔහු බෙදා දක්වනවා:
- ව්‍යවහාරික නීති සම්බන්ධ කථා
- තිරිසනුන් පිළිබඳ කථා
- හාස්‍ය හා විනෝදයෙන් පිරි කථා
- ලොමුඩැහැ ගන්වන දිග කථා නැතහොත් උපන්‍යාස
- නෛතික වර්ණනා
- කථන මාත්‍ර
- ධාර්මික කථා
ජාතක කතාවල ආකෘතිය
ජාතක කතා රචනා කර තිබෙන්නේ ඒකීය ආකෘතියකට යි. එය වර්තමාන කතාව (පච්චුප්පන්න වත්ථු), අතීත කතාව (අතීත වත්ථු), ගාථාව (ගාථා), අට්ඨකථාව හෙවත් ගාථාවට අර්ථ දැක්වීම හා පූර්වාපර සන්ධි ගැළපීම යනුවෙන් ප්‍රධාන කොටස් පහකින් යුක්ත යි. බුදුන් වහන්සේගේ අතීත ආත්ම භවයන් පදනම් කර ගනිමින් සම්පාදිත ජාතක කතාවල ප්‍රධාන චරිතය වශයෙන් ඇත්තේ බෝසත් චරිතය යි. සිංහල බෞද්ධ සංස්කෘතිය පරීක්ෂා කළ විට පෙනී යන්නේ ජාතක පොතෙහි යෝධ සෙවණැල්ල සිංහල භාෂාව, බෞද්ධ සංස්කෘතිය හා ඇදහිලි විශ්වාස මත වැටී තිබෙන බව යි.
කලකට පෙර මෙරට සිටි විශිෂ්ට සාහිත්‍යවේදියකු වූ සෝමවීර සේනානායක සඳහන් කර තිබුණේ තමාගේ සෑම සාහිත්‍ය නිර්මාණයක ම සෙවණැල්ල වුණේ ජාතක පොත බවයි. ජී. බී. සේනානායක විශිෂ්ට ලේඛකයා ද ජාතක පොත පසුබිම් කරගෙන වරදත්ත, චාරුමුඛ ආදී වශයෙන් නවකතා රාශියක් ලියා තිබෙනවා.
සිංහල ජාතක පොත සිංහල සාහිත්‍යය තුළ ඇති විශාලත ම පොත වශයෙන් ද වැදගත් වෙනවා. එහි පැරණි මුද්‍රණය පිටු 1855කින් යුක්ත යි. මේ පොත ඔසවා අතේ තබාගෙන කියවීමට වැඩි තරම් බර යි.
පන්සිය පනස් ජාතක පොත තරම් අධ්‍යයනයට භාජනය වූ වෙනත් කෘතියක් නොමැති අතර එය විද්වත් පාඨකයා අතර මෙන් ම සාමාන්‍ය ජනයා අතර ද බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. එහි ඇතුළත් කතා පුවත් විහාර චිත්‍ර ශිල්පියා මනහර සිතුවමට නගා තිබෙනවා. කවියා එය රසවත් පද්‍යයෙන් සරසා කවි පොත් ලියා තිබෙනවා. මූර්ති ශිල්පියා ඒ කතා පුවත් පුරාණයේ සිට අද දක්වා විහාරවල මූර්තිමත් කරනවා.
ජාතක කතාවල අරමුණ
ජාතක කතාවල ප්‍රධාන අරමුණ සමාජයට සාරධර්ම පිළිබඳ ආදර්ශයක් සැපයීම යි. ඒ කතාවලින් උදාහරණ ගෙන පව්කම්වලින් සමාජය වලක්වා යහපත් සමාජයක් ගොඩනැංවීම යි. ඒ සඳහා බෝධිසත්ව චරිතයේ දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යන දස පාරමිතාවලට අදාළ කතාපුවත් ඇතුළත් කර තිබෙනවා.
ජාතක පොතේ මුල් පිටපත
පන්සිය පනස් ජාතක පොතෙහි මුල් පිටපත ලෙස සැලකෙන පුස්කොළ පොතක් කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරස්ථානයෙහි අද ද ඉතා සුරක්ෂිතව තැන්පත් කොට තිබෙනවා. පුස්කොළවලින් සකස් කරන ලද පත්ඉරුවල පන්හිඳෙන් ලියා ඇති පන්සිය පනස් ජාතක පොතෙහි අක්ෂර අද ද ඉතා පැහැදිලි ව දක්නට පුළුවන්.
එම පුස්කොළ පොත ආරක්ෂිත මංජුසාවක් තුළ තැන්පත් කොට ඇති අතර වාර්ෂිකව එම විහාරස්ථානයෙන් ආරම්භ වී කුරුණෑගල නගරයෙහි වීදි සංචාරය කරන ශ්‍රී දළදා පෙරහරෙහි සරසන ලද හස්තිරාජයකු ගේ පිට මත තබා ගෙන යාම ද සිරිතක් ලෙස කෙරෙනවා. මෙම පොත ලියා අවසන් කොට හතරවෙනි පරාක්‍රමබාහු රජු ඇතකු පිට වඩා හිඳුවා පෙරහරකින් කුරුණෑගල නගරය වටා ප්‍රදක්ෂිණා කළ බවට සඳහන් කරුණ නිසයි අදත් එය පෙරහරේ ගෙනයන්නේ.
සාහිත්‍යමය අගය
ජාතක කතා රාශියක් ම වස්තු විෂය අතින් නූතන කෙටිකතාවට ළං වන බව විචාරකයන්ගේ මතය යි. මනුෂ්‍ය චරිතය විනිවිද දකින නූතන උසස් බටහිර නවකතාවලට සැසඳිය හැකි කතා වස්තූන් ලංකාවේ බිහි වුණේ ජාතක කතා රචනා කළ යුගයේ බව මාර්ටින් වික්‍රමසිංහ සඳහන් කර තිබෙනවා. බටහිර නවකතාකරුවන් මහත් කොට පෙන්වන නවකතා කලාවේ වස්තු බීජ පන්සිය පන්සිය පනස් ජාතක පොතෙහි දක්නට ඇති බව ඔහුගේ අදහස යි.
මිනිස් ජීවිතය, මානව චින්තනයේ ගැඹුරු තැන් හා සංකිර්ණ ගූඪ ස්වභාවය මේවායේ නිරූපණය වෙනවා. ගැඹුරු ජීවිත ප්‍රශ්න සාමාන්‍ය ජනතාවට පහසුවෙන් අවබෝධ කරගත හැකිසේ බොහෝ ජාතක කතාවල නිරූපණය කර තිබෙනවා. හේතුපලවාදී සම්බන්ධය සෑම ජාතක කතාවක ම පාහේ දක්නට ලැබෙනවා. මේ ලක්ෂණය නූතන කලාත්මක නවකතාවල ද ඇතුළත් විය යුතු බව විචාරකයන් පෙන්වා දෙන කරුණක්.
මිනිස් සිතේ ගූඪ භයංකර ස්වභාවය හෙළි කරන කතාවක් ලෙස අසනඝ කුමාර කතාවස්තුව දැක්විය හැකි යි. ධර්මපාල ජාතකය තවත් විශිෂ්ට මානව සිතුවිලි ලක්ෂණයක් විග්‍රහ කරන කතාවක්. එහි දී සිය බිළිඳු පුතා තමාට වඩා බිරියගේ සිත් දිනා ගෙන ඇතැයි සිතා ඊර්ෂ්‍යාවෙන් පෙළෙන රජු දරුවා මරවනවා. ඉන් හටගන්නා ශෝකයෙන් බිරිය ද මිය යනවා. ස්ත්‍රී ප්‍රේමය මුල්කරගෙන හට ගන්නා ඊර්ෂ්‍යාව දැක්වෙන කතාවක් ලෙස ක්ෂාන්තිවාදී ජාතකය දැක්විය හැකි යි. අසාතමන්ත ජාතකයේ විස්තර වන්නේ රාගයෙන් ඇවිස්සුණු මහලු ස්ත්‍රියක් ගැන යි. අන්ධභුත ජාතකයත් කෙටිකතාවක් සේ රසවත් මිනිස් සිත විග්‍රහ කරන නිර්මාණයක්.
ජාතක කතා කාව්‍ය
ජාතක කතා පොත පුරාණයේ පටන් ම ලේඛකයන්ට සිය කාව්‍ය කෘතිවලට වස්තු විෂය සැපයුවා. එසේ රචනා වූ අගනා කාව්‍ය රාශයක් අපගේ සාහිත්‍යය බබළවනවා. පුස්කොළ පොත් වශයෙන් තිබූ මේ කවිපොත් පසු ව මුද්‍රණය වුණා. අදටත් සමහර ගම්වල පෝදාට විහාරවල දී ඒවා කියවන හඬ අපට ඇසෙනවා. ගුත්තිල කාව්‍යය, කුස ජාතක කාව්‍යය, සඳකිදුරු දා කව, වෙස්සන්තර ජාතක කාව්‍යය, වෙස්සන්තර හෑල්ල, සසදාවත, සම්බුලා ජාතක කාව්‍යය, මුවදෙව්දා වත, චුල්ල පදුම ජාතක කාව්‍යය ඒ අතරින් කිහිපයක් පමණ යි.