මේ දවස්වල උදේ පාන්දරට තිබෙන සීතලත් එක්ක නැතු ව ම බැරි දෙයක් තමයි උණු උණුවේ දුම් දමන තේ කෝප්පයක්. වතුර හැරුණු විට ලෝකයේ වැඩි ම පිරිසක් පරිභෝජනය කරන පානය ලෙස සැලකෙන තේ, කහට රසකින් යුතු තරමක් තිත්ත චීන හරිත තේවල සිට පැණි රසැති සහ මල් හෝ ඇට වර්ග යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද තේ දක්වා වූ විවිධ වර්ගයන්ගෙන් යුක්ත වෙනවා.
බ්‍රිතාන්‍යයන් විසින් ක්‍රිස්තු වර්ෂ 1867 දී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද තේ, අද වන විට ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන ආදායම් මාර්ගයක්. එසේ ම ලෝකයේ ඉහළ ම තත්ත්වයේ තේ නිෂ්පාදනය කරන රටක් ලෙසත් ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ යි. මේ ලිපිය උදේ පාන්දරට නැතු ව බැරි තේ ගැන යි.
තේ වගාවේ ඉතිහාසය
Camellia sinensis යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන සදාහරිත ශාඛයක් වන තේ ගසේ නිජබිම ලෙස සැලකෙන්නේ චීනය යි. අතීතයේ දී තේ වගා කිරීම නැගෙනහිර ආසියාවට, ඉන්දියානු අර්ධද්වීපයට සහ අග්නිදිග ආසියාවට පමණක් සීමා වී පැවතුන ද වර්තමානයේ දී නිවර්තන සහ අර්ධ නිවර්තන දේශගුණයක් දක්නට ලැබෙන රටවල් බොහෝමයක තේ වගා කිරීම සිදු කරනවා.
මුල් කාලීන ව නිරිතදිග චීනය ආශ්‍රිත ප්‍රදේශවල ඖෂධීය පානයක් ලෙස යොදා ගන්නා ලද තේ, එදිනෙදා පරිභෝජනය සඳහා යොදා ගැනීම ආරම්භ වී ඇත්තේ චීනයේ ටැන්ග් රාජ සමයේ (එනම් ක්‍රිස්තු වර්ෂ 1 වැනි සියවසේ) දී යි.
ඉන් පසු ව නැගෙනහිර ආසියාවේ ද ක්‍රමයෙන් තේ පානය ජනප්‍රිය වූ අතර 16 වැනි සියවසේ පෘතුගීසි වෙළඳුන්ට සහ පූජකයින්ට එය හඳුන්වා දී තිබෙනවා. 17 වැනි සියවස වන විට තේ පානය කිරීම බ්‍රිතාන්‍ය ජාතිකයන් අතර ප්‍රචලිත වූ අතර තේ වගාව සම්බන්ධයෙන් චීනය සතු වූ ඒකාධිකාරය බිඳ දමමින් මහා පරිමාණයෙන් වාණිජමය අරමුණු සඳහා තේ වගා කිරීම ඉන්දියානුවන්ට හඳුන්වා දෙන ලද්දේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින්.
වාණිජමය නොවන අරමුණු සඳහා බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාවට මුල් ම වරට ක්‍රිස්තු වර්ෂ 1824 දී චීනයෙන් තේ පැළයක් ආනයනය කර ඇති අතර එය පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයේ රෝපණය කර තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 1867 දී වාණිජමය වගාවක් ලෙස ශ්‍රී ලංකාවට තේ වගාව හඳුන්වා දී ඇත්තේ ස්කොට් ජාතික ජේම්ස් ටේලර් විසින් මහ නුවර ලූල්කඳුර වතුයාය සඳහා යි.
තේ සැකසීම සහ වර්ගීකරණය
තේ දලු නෙළීමෙන් පසු ව හැකි ඉක්මනින් වියළීම හෝ මැලවීම සහ ඔක්සිකරණය කිරීම සිදු කරනවා. තේ දලුවල අඩංගු වන අන්තස්ශෛලීය එන්සයිම මගින් තේ දලුවල ඇති හරිතප්‍රද බිඳ දැමීම සහ ටැනින් නිකුත් කිරීම සිදු කර එන්සයිම ඔක්සිකරණය වේගවත් කරන අතර ඒ හේතුවෙන් තේ දලු වඩාත් තද පැහැයක් ගැනීම ඇරඹෙනවා.
ඉන් පසු ව තරමක් තද පැහැ ගත් තේ දලු රත් කිරීම සිදු කරන අතර එයින් බලාපොරොත්තු වන්නේ අන්තස්ශෛලීය එන්සයිම විනාශ කර තේ දලු තව දුරටත් තද පැහැ ගැන්වීම නතර කිරීම යි. කළු තේ නිෂ්පාදනයේ දී තේ දලු රත් කිරීමට සමගාමී ව තව දුරටත් තේ දලු වියළීම ද සිදු කරනවා. මෙසේ තේ නිෂ්පාදනය සඳහා තේ දලු සැකසීම ඉතාමත් පරීක්ෂාකාරී ව නිසි උෂ්ණත්වය සහ තෙතමනය පවත්වා ගනිමින් මනා පාලනයක් යටතේ සිදු කළ යුතු අතර නොඑසේ නම් ඉතාමත් ඉක්මනින් තේ දලු මත බැක්ටීරියා වැඩීම සහ පුස් බැඳීම සිදු වන නිසා ඒවා පරිභෝජනයට නුසුදුසු වෙනවා.
තනි වතුයායකින් ලබා ගන්නා ලද තේ දලුවලින් නිෂ්පාදිත තේ වෙළඳපොළේ මිල දී ගැනීමට තිබුණ ද බොහෝමයක් තේ මිශ්‍ර කරන ලද ඒවා යි. මෙසේ තේ මිශ්‍ර කිරීමේ දී බොහෝ විට එක ම වැවිලි ප්‍රදේශයකින් හෝ ආසන්නයේ පිහිටි වැවිලි ප්‍රදේශ කිහිපයකින් ලබා ගන්නා තේ මිශ්‍ර කිරීම සිදු කරනවා. එයින් අපේක්ෂා කරන්නේ වැඩි රසයකින් යුතු ඒකාකාරී තේ ඉහළ මිලකට අලෙවි කිරීම යි.
තේ කුඩු මගින් ඉතාමත් ඉක්මනින් සහ පහසුවෙන් ගන්ධයන් උරා ගැනීම සිදු කරන බැවින් තේ සැකසීමේ දී, ප්‍රවාහනයේ දී සහ ගබඩා කිරීමේ දී පරීක්ෂාකාරී විය යුතු වෙනවා. තේවල ඇති මෙම ගුණය නිසා ම වර්තමානයේ දී තේ නිෂ්පාදකයන් වැනිලා සහ මිංචි වැනි සුවඳින් යුතු සුවඳ ගන්වන ලද තේ නිෂ්පාදනය කිරීම කෙරෙහි පෙළඹී තිබෙනවා.
සාමාන්‍යයෙන් තේ වර්ගීකරණය කිරීම සිදු කරන්නේ එය සකසන ආකාරය මත වන අතර ඒ අනුව මූලික වශයෙන් තේ වර්ග 6 ක් හඳුනා ගත හැකි යි.
සුදු තේ
මැලවීම සිදු කරන ලද එහෙත් ඔක්සිකරණයට ලක් නොකරන ලද තේ
අන්තර්ජාතික වශයෙන් එතරම් ජනප්‍රිය නොවුණත් ඖෂධීයමය වශයෙන් ගුණයෙන් වැඩි තේ විශේෂයක් වන සුදු තේ උසස් ප්‍රමිතියකින් යුතු ව ලබා ගැනීමට අවශ්‍ය නම් ස්වභාවික ආලෝකය යටතේ මැලවීම සිදු කළ යුතු වෙනවා. සුදු තේ පානය සැකසීමෙන් පසු ව ළා කහ පැහැයක් ගන්නා අතර එය නිෂ්පාදනය සඳහා යොදා ගන්නේ තේ ගසේ ඇති මල් පොහොට්ටු සහිත දල්ල යි.
කහ තේ
මැලවීම සහ ඔක්සිකරණය සිදු නොකරන ලද එහෙත් තේ දලු කහ පැහැ ගැන්වීමට ඉඩ හරින ලද තේ.
ඉතාමත් දුර්ලභ සහ මිල අධික තේ විශේෂයක් වන කහ තේ සැකසීමේ හරිත තේ සැකසීමට සමාන ක්‍රමවේදයක් අනුගමනය කරන අතර මේවා ලෝකයේ ඉහළ ම තත්ත්වයේ පවතින තේ විශේෂයක් ලෙස ද සැලකෙනවා.
හරිත තේ
මැලවීම සහ ඔක්සිකරණය සිදු නොකරන ලද තේ.
මුල් වරට චීනයේ දී නිෂ්පාදනය කරන ලද හරිත තේ, අද වන විට ලෝකයේ වඩාත් ජනප්‍රිය වී ඇත්තේ එහි අඩංගු වන ඖෂධීයමය ගුණාංග හේතුවෙන්. තරමක් කහට ගතියකින් සහ තිත්ත රසයකින් යුතු හරිත තේ සැකසීමේ දී මද උෂ්ණත්වයකින් යුතු ජලය යොදා ගැනීම වඩාත් යෝග්‍ය අතර හරිත තේ පානය කිරීම මගින් හෘද රෝග අවධානම අඩු වීම, සිරුරේ බර අඩු වීම සහ සිරුරේ සීනි මට්ටම අඩු වීම වැනි ප්‍රතිලාභ හිමි කර ගත හැකි යි.
ඌලොන්ග් තේ
මැලවීම සහ ඇඹරීම සිදු කරන ලද අර්ධ වශයෙන් ඔක්සිකරණයට ලක් කළ තේ.
සාම්ප්‍රදායික චීන තේ විශේෂයක් වන ඌලොන්ග් තේ බොහෝ විට මී පැණි හෝ පලතුරු රසයන්ගෙන් යුක්ත වන අතර ඒවායේ යම් තාක් දුරකට කැෆේන් ද අඩංගු වෙනවා.
කළු තේ
මැලවීම සහ පොඩි කිරීම සිදු කර සම්පූර්ණයෙන් ම ඔක්සිකරණයට ලක් කරන ලද තේ (චීන තේ සාම්ප්‍රදායේ දී මෙය ‘රතු තේ’ ලෙස හඳුන්වයි)
සාමාන්‍යයෙන් කළු තේ පානයක් සැකසීමේ දී ඉහළ උෂ්ණත්වයකින් යුතු ජලය යොදා ගන්නා අතර මිනිත්තු 3 ක් හෝ 4 ක් පැසෙන්න හැරීම අවශ්‍ය වෙනවා. අනෙකුත් තේ වර්ගවලට වඩා ප්‍රබල රසයකින් යුක්ත කළු තේ නිෂ්පාදනයේ දී ඉහළින් ම සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකි යි.
පැසුණු (fermented) තේ
සැකසීමෙන් පසු ව පැසීමකට ලක් කරන ලද හරිත තේ (චීන තේ සාම්ප්‍රදායේ දී මෙය ‘කළු තේ’ ලෙස හඳුන්වයි)
මෙම තේ විශේෂයන් අතරින් ලෝකයේ වඩාත් සුලබ ව දක්නට ඇති තේ විශේෂ ලෙස සුදු තේ, හරිත තේ, ඌලෝන්ග් තේ සහ කළු තේ හැඳින්විය හැකි යි.
තේ පානය කිරීමේ අනුහස්
තේ පානය කිරීම මගින් සිරුරේ දරා ගැනීමේ හැකියාව වර්ධනය කරනවා. හරිත තේ මගින් සිරුරේ මේද දහනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරන අතර එයින් මාංශපේෂීවල දරා ගැනීමේ ශක්තිය ඉහළ නංවනවා. දිනකට එක් වතාවක් හෝ තේ පානය කිරීමේ තවත් වාසියක් වන්නේ හෘද රෝග අවධානම පහළ දැමීම යි. එසේ ම නිතර ම තේ පානය කිරීම මගින් පාකින්සන්ගේ රෝගය වැනි සිරුර පිරිහෙන රෝග වැළඳීමේ අවස්ථාවන් පහළ යන බව යි පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේ.
තේ පානය මගින් සිරුර සජලනය කරන අතර හිරුගෙන් නිකුත් වන අහිතකර කිරණ මගින් සිරුර ආරක්ෂා කිරීම ද සිදු කරනවා. එසේ ම විකිරණ මගින් සිරුරට සිදු වී ඇති හානි යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා තේ මගින් ලබා දෙන දායකත්වය ඉහළ යි.
දෙවැනි වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් සඳහා තේ ඉතාමත් සුදුසු යි. හරිත තේ මගින් සිරුරේ සීනි මට්ටම පහළ දමමින් දියවැඩියාව පාලනය කිරීම සිදු කරනවා.
කවරයේ පින්තූරය: (mutfakdergisi.net)
මූලාශ්‍ර: healthland.time.com, en.wikipedia.org, teavivre.com