Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීන සටන් හෙවත් කුංෆු

කුංෆු කියන්නේ බොහෝ පිරිසක් ඉතා කැමැත්තෙන් හදාරන සටන් කලාවක්. සටන් කලාවක් ප්‍රගුණ නොකළත් එයට කැමති බොහෝ පිරිසකගේ ලැයිස්තුවේ ඉහළම තැනක් මේ සඳහා ලැබෙනවා. අනෙකුත් සටන් කලාවන්ට සාපේක්ෂව මෙහි ආධ්‍යාත්මික ශක්තිය වැඩි දියුණු කරන අභ්‍යාස ඇතුළත් වෙන බව සඳහන් වෙනවා.

www.pinterest.com

ආරම්භය චීනයේ..

ඔබ කුංෆු සටන් කලාව හදාරන කෙනෙක් නම් එහි ආරම්භය කොහොමද සිදු වුණේ කියලාත් දන්නවා ඇති. ක්‍රි. ව. 5 වන සියවසේදි චීනයේ ඇරඹුණු මෙය එරටට දායාද කරලා තියෙන්නේ ඉන්දියාවේ සිට චීනයට සංචාරය කළ බෝධිධර්ම නමැති දමිළ භික්ෂුවක් විසින්. ඉන්දීය ජනයා අතර එතරම් ප්‍රසිද්ධ නැතත් බෝධිධර්ම භික්ෂුවට චීන වැසියන් බොහෝ ගරු බුහුමන් දක්වනවා.

බෝධිධර්ම භික්ෂුව

බෝධිධර්ම භික්ෂුව චීනයට වැඩම කරන්නෙ සෙන් දහම ව්‍යාප්ත කිරීම සඳහායි. නමුත් ඊට අමතරව උන්වහන්සේගෙන් චීන වැසියන්ට වෙදකම, ෆෙන්ෂුයි සහ සටන්කලාවන් ඉගෙන ගන්නටත් අවස්ථාව ලැබුණා. ඒ සටන් කලාවන් අතරින් චීන සටන් ලෙස හැඳින්වෙන කුංෆු සටන් කලාව ප්‍රමුඛ වුණා. අද වනවිට ලෝකයේ දියුණුම රටක් බවට පත්ව ඇති චීනයට ඒ තත්ත්වයට පත්වෙන්න බෝධිධර්ම භික්ෂුවගේ දායකත්වය බලපෑ බව චීන වැසියන් විශ්වාස කරනවා.

wallpapercave.com

කුංෆු නාමය

Kung Fu නමෙහි Kung යන්නෙන් නිපුණත්වය, දුෂ්කර පුහුණුව සහ වෑයම වැනි අදහස් අර්ථවත් කරනවා. Fu ලෙස අරුත් ගැන්වෙන්නේ කාලය ගත කිරීමයි. සරලවම කුංෆු සටන් කලාවේ නිපුණත්වයක් ලැබීමට තිබිය යුතු පුහුණුව, ඒ සඳහා දැරිය යුතු දිගු කාලීන උත්සාහය ගැන මෙයින් කියැවෙනවා.

චීනයේ පිහිටි බෝධිධර්ම භික්ෂුවගේ පිලිරුවක් (neozen888.wordpress.com)

සටන් කලාව නිර්මාණය

ඉන්දියාවේ කාංචි පෙදෙසෙහි (වර්තමාන තමිල්නාඩුව) ප්‍රාදේශීය රජෙකුගේ තුන්වන පුතු විදියට “බෝධිතර” කුමාරයා ඉපදෙනවා. වයස අවුරුදු හතක ළාබාල කාලයේ පටන්ම බුදු දහම ගැන පැහැදෙන බෝධිතර කුමරු ප්‍රක්ඥතර කියන ගුරුවරයා යටතේ බුදුදහම හදාරන්න පටන් ගන්න අතරේම සටන් කලාවත්, වෙදකමත් ප්‍රගුණ කරනවා. ඉන්පසුව ‘බෝධිධර්ම’ නමින් පැවිදි බව ලබා ගෙන උන්වහන්සේ චීනයට වඩින්නේ තමන්ගෙ ගුරුවරයාගේ අවසන් කැමැත්ත වන චීනයේ ධර්ම ප්‍රචාරය සිදු කිරීමට යි. අති දක්‍ෂ සටන් කරුවකු වන බෝධිධර්ම භික්ෂුවට භාවනා ක්‍රම මගින් ලබාගත්  විශ්වාස කළ නොහැකි විශාල බලයක් තිබු බවත්, තව කෙනෙක්ගේ මනස පාලනය කිරීමේ හැකියාව, අග්නි, වායු සහ සොබාදහම  ඔහුගේ බලයට නතු කිරීමේ හැකියාව වැනි විශේෂ හැකියාවන් තිබුණු බවත් පැවසෙනවා.

මේ කාලයේ සිටි චීන අධිරාජයා චීනයේ ෂැඔලින් පන්සල කොල්ලකා භික්ෂූන් වහන්සේලාව මහත් පීඩාවන්ට ලක් කළා. මේ නිසා එහි සිටි භික්ෂූන් ශාරීරිකව මහත්සේ අඩපණව සිටි අතර මෙම තත්වය අධ්‍යයනය කල බෝධිධර්ම හිමියන් විවිධ සත්වයින්ගේ ඉරියව් ඇසුරු කර ගනිමින් ශාරීරික අභ්‍යාස මාලාවක් නිර්මාණය කරනු ලැබුවා. මෙම අභ්‍යාස මාලාව ෂැඔලින් පන්සලේ ශාරීරිකව දුර්වලව සිටි භික්ෂූන් වහන්සේලාගේ සෞඛ්‍ය තත්වය නගා සි‍ටුවීමට බෙහෙවින් උපාකාරී වෙලා තියෙනවා.

ෂැඔලින් පන්සල (wallpapercave.com)

ඉන්පසුව එම ශාරීරික අභ්‍යාස අධිරාජයාගේ පීඩනයන්ට විරුද්ධව සටන් කිරීම සඳහා සටන් කලාවක් ලෙස දියුණු කරනු ලැබුවා. සියවස් ගණනාවක් තිස්සෙ පැවතගෙන ආ කුංෆු සටන් කලාව අද වන විට නිකායන් සහ ගුරුකුල කිහිපයක් යටතේ උගනුවනු ලබනවා. චීනයේ වෙන් වෙන් වශයෙන් කුංෆු සටන් ක්‍රම 300ක් පමණ පවතින අතර උතුරු චීනයේ සහ දකුණු චීනයේ කුංෆු සටන් ක්‍රම වල සැලකිය යුතු වෙනස්කම් දකින්න පුළුවන්. සමහර ක්‍රම ප්‍රදේශය අනුවත්, ගුරුවරයා අනුවත්, පුහුණුවේ ස්වභාවය අනුවත් වෙනස් වෙනවා.

සටන් කලාවන් කිහිපයක්

මෑත කාලයේදි කුංෆු විවිධ වයස් මට්ටම් වල විවිධ ජාතීන් අතර ප්‍රචලිතයි. ඒත් එක්කම කුංෆු මධ්‍යස්ථාන ගණනාවක් ලොව පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. මෙහිදී පාද, ඉඟ, උරහිස් හැසිරවීම සහ සිටගැනීමේ ඉරියව් නිතිපතා පුහුණු කළ යුතුයි. බෘස් ලි, යිප් මැං, හුඕ යුආජියා, වොං ෆෙයි හං සහ සැං ෂැංෆෙං කුංෆු සටන් කලාවේ නොමැකෙන චරිත ලෙස සටහන් වෙනවා. කුංෆු සටන් කලාව උගන්වන ලොව සුප්‍රසිද්ධ ස්ථාන කිහිපයක් තියෙනවා.

(wallpapercave.com)

ෂැඔලින් සටන් කලාව

හෙනාන්හි ෂැඔලින් පන්සල ආශ්‍රිතව පිහිටා ඇති මෙම සටන් මධ්‍යස්ථානයේ බෞද්ධ පසුබිමක් යටතේ ශාරීරික අභ්‍යාස සහ මානසික අභ්‍යාස පුහුණු කරවනවා.

වූදං සටන් කලාව

මෙයත් ෂැඔලින් කුංෆු වලට බොහෝ සමානයි. ටාඕවාදයේ න්‍යායන් පසුබිම් කරගෙන ඉගැන්වීම් කෙරෙන අතර තායි චී සටන් කලාව මෙයින් පැන නැගුණක්.

එමයි සටන් කලාව

ෂැඔලින් සහ වූදං සටන් කලාවන්ගේ සම්මිශ්‍රණයක් ලෙස එමයි කුංෆු හැඳින්විය හැකියි. මෙම ගුරුකුලය සිචාං පෙදෙසේ එමයි හි පිහිටා තිබෙනවා.

තායි චි

මෙය සාපේක්ෂව වේගවත් බවෙන් අඩු සටන් විලාසයක්. තායි චි; ටාඕවාදය, තාර්කිකත්වය, පාරම්පරික වෙදකම සහ ශාරීරික අභ්‍යාස වල එකතුවක් කිව්වොත් නිවැරදියි. මෙහිදී ශක්තිය, නම්‍යශීලී බව සහ ක්‍රියාශීලීත්වය ඇසුරු කරගනිමින් සටන් කිරීම සිදු වෙනවා.

නවීකරණය වූ කුංෆු සටන් – වූෂු

1949 චීනයේ කොමියුනිස්ට් පක්ෂය බලයට පැමීණීමෙන් පසුව කුංෆු සටන් කලාවත් එම පක්ෂයේ මතයට අනුකූල විය යුතු වුණා. ඔවුන් ටාඕවාදයේ සහ බුදු දහමේ ආභාෂය මෙහි තිබීම අනුමත කළේ නැහැ. මේ නිසා සාම්ප්‍රදායික කුංෆු සටන් ක්‍රමය වූෂු නමින් ක්‍රීඩාවක් ලෙස නව්‍යකරණය කෙරුණා. වූෂු චීනයේ ජාතික ක්‍රීඩාව වශයෙන් රට පුරා පාසල් වලට සහ විශ්ව විද්‍යාලවලට හඳුන්වා දුන්නා.

wallpapercave.com

Wu යන්නෙන් යුද්ධයත් Shu යන්නෙන් කලාවත් අර්ථ දැක්වෙනවා. මේ අනුව යුධ කිරීමේ කලාව ලෙස වූෂු හැඳින්විය හැකියි. වර්තමානයේ මෙය සාම්ප්‍රදායික සටන් කලාවකට වඩා ක්‍රීඩාවක් ලෙස තමයි උගනුවනු ලබන්නේ. Taolu සහ Sanda ලෙස වූෂු ක්‍රම දෙකක් තිබෙනවා. Taolu හි මූලික ඉරියව්, මිටින් පහර දීම්, සමතුලිත තාවය, පැනීම් සහ පා පහර දීම් අඩංගු වෙනවා. මෙහිදී අත් ආවරණය කිරීමක් බොහෝ විට සිදුවන්නේ නැහැ. අනෙක් සටන් ක්‍රමය වන Sanda සාමාන්‍යෙයන් Muay Thai (තායි බොක්සිං) වලට සමානයි. සංෂොවු හෝ ලෙයි තායි ලෙසත් මෙය හඳුන්වනවා.

චිත්‍රපට

wallpapersboom.net

කථා තේමාව කුංෆු සටන් කලාව වුණු බොහොම ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් විදියට Enter the Dragon, Game of Death, Way of the Dragon, The 36th Chamber of Shaolin, The Black Kungfu Experience, True Legend, Ip Man, Kill Bill, Zatoichi, Kung Fu Hustle, Five Venoms සහ Ong Bak 2 දක්වන්න පුළුවන්. කුංෆු සටන් ඇතුළත් චිත්‍රපට ගැන කියද්දි අමතක කරන්නම බැරි චරිතයක් තමයි බෘස් ලී. මේ චිත්‍රපට අතරින් Enter the Dragon බෘස් ලීගේ ජනප්‍රියම චිත්‍රපටය ලෙස සඳහන් වෙනවා.

කවරයේ පින්තූරය: wallpapercave.com

මූලාශ්‍ර: www.talkkungfu.co.uk, www.travelchinaguide.com, www.kungfutoday.com, www.geek.com, www.chamiladealwis.com , www.topendsports.com, srilankamirror.com

Related Articles