Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමතක නොවන නත්තල් ගීත කිහිපයක පිටුපස කතාව

නත්තලේ සීතල සමඟ ම අපට මේ අසරිමත් කාලය මතක් කරන තවත් අංගයක් තමයි නත්තල් ගීත. විද්‍යුත් මාධ්‍යවලින් නිතර ඇසෙන නත්තල් ගී අප සිත් තුළ අමුතු ම චමත්කාරයක් ඇති කරවනවා. දශක ගණනාවක් තිස්සේ ජනප්‍රිය සිංහල නත්තල් ගී කිහිපයක සුලමුල සොයා බැලීමටයි මේ උත්සාහය.

ජයකොඩි පියනම සැමරීමට නිකුත් කළ මුද්දරයක්- seylanlk.net

මර්සලින් ජයකොඩි පියතුමාගේ  රෑ තරු බබළනවා

නත්තල් කැරොල් ගීයට සිංහල ලකුණ හදුන්වා දුන් පුරෝගාමියා ලෙස සැලකෙන්නේ මර්සලීන් ජයකොඩි පියනම යි. සිංහල වචන භාවිතයේ විශිෂ්ට ප්‍රතිභාවක් දැක්වූ ජයකොඩි පියතුමන් ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා ඇරඹි සිංහල කතෝලික ගීත සාහිත්‍යය පෝෂණ මෙහෙවර ඉදිරියට රැගෙන ගියා. එතෙක් ඉංග්‍රීසි සහ ලතින් බසින් ගායනා කළ නත්තල් කැරොල් රමණිය සිංහල ගීත බවට පත්වී පොදු ජනතාව අතර ජනප්‍රිය කිරීමට ජයකොඩි පියතුමාට අවස්ථාව ලැබුණා. 1

927 දෙසැම්බර් 20 වැනි දින පූජක වරම් ලැබූ ඔහුගේ මුල් ම කැරොල් ගීය ලියවුණේ 1949 දී යි. එදා සිට අද දක්වා සෑම නත්තල් කාලෙක ම අපට ඇසෙන ඒ ගීතය තමයි  “රෑ තරු බබළනවා” . මෙය වර්තමානයේ නම් ගායනා කරන්නේ කලාශූරී ලතා වල්පොල යි.

 ගීතය ගයන ලතා වල්පොල- songhub.lk

අපි එම ගීය කියවා බලමු:

රෑ තරු බබළනවා                               

මල් පිපිලා වාගේ

එළියෙන් නැහැවෙනවා

මල් වැහැලා වාගේ

රැව් පිළි රැව් දෙනවා

ගීත නාද වාගේ

බිළිඳෙකු හිනැහෙනවා

මුහුදක රැළි වාගේ

සීත සුළං එනවා

උයනක සිරි වාගේ

ගොපළුන් දුර එනවා

පැණි බඹරුන් වාගේ

බිළිඳෙකු හිනැහෙනවා

පොපියන කුසුම් වගේ

තුරුලක පෙරැළෙනවා

හිම මත හිම වාගේ

 

මෙම ගීතයෙන් පසුව  “සීනු හඬින් ලොව පිබිදෙනවා, රැයක අඳුර දුරුවෙලා, රනින් මුදු සදාලා” ආදී ජනප්‍රිය නත්තල් කැරොල් ගීත රාශියක් පියතුමන් අතින් රචනා වුණා.  ජේසු සමිඳුන් හා මරියතුමිය දෙස ශ්‍රී ලාංකේය ඇසකින් බලන්නට උත්සාහ කළ ජයකොඩි පියතුමා වසර 96ක් ආයු වළඳා 1998 ජුනි 15 වැනි දින ස්වර්ගස්ථ වුණා.

 ජයවර්ධනපුර සරසවි සිසුන් නත්තල් කැරොල් ගායනයක- Sjp.ac.lk

කරුණාරත්න අබේසේකරගේ බෙත්ලෙ­හෙම් පුරේ

නත්තල මතක් කරනා මේ ගීතය ලියා තිබෙන්නෙත් තවත් විශිෂ්ට ගීත රචකයකු මෙන් ම බෞද්ධයකු ද වුණු කරුණාරත්න අබේසේකර යි. වර්ෂ 1972 දී ලියූ බෙත්හෙලෙම් පුරේ ගීය අදටත් එකසේ ජනප්‍රිය යි. මෙම ගීය නත්තල් පණිවිඩයක් මෙන් සිත්සන් තුළ පහන් හැගීමක් මතු කරනවා. මෙම ගීතයේ සංගීතය නිර්මාණය කර ඇත්තේ  ක්ලැරන්ස් විජේවර්ධනයි. ඔහු එම සංගීතය නිර්මාණය කර ඇත්තේ බටහිර සංගීත භාණ්ඩ යොදා ගනිමින්. ගීතය පටිගත කර ඇත්තේ දළුගම සරසවි ශබ්දාගාරයේදියි. එහි පටිගත කිරීම කළේ ශබ්ද පරිපාලක මර්වින් රුද්‍රිගෝ.  එදා සිට අදටත් මේ ගීය ගායනා කරන්නේ ගායන ශිල්පී අනිල් භාරතී.

ඔහු එම අත්දැකීම පසුකලෙක පුවත්පතකට මෙසේ පවසා තිබුණා.

ඒ කාලේ මං හිටියේ ක්ලැරන්ස් විජේවර්ධනගේ ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායමේ. ඒ කාලේ සංගීත කණ්ඩායම බොහෝම ජනප්‍රියයි. ක්ලැරන්ස්ට ඕන වුණා නත්තල ගැන ගීතයක් ලියා ගන්න බෞද්ධ අයකු ලවා. ඔහු ඒ සඳහා තෝරා ගත්තේ කරුණාරත්න අබේසේකරයන්. දවසක් ක්ලැරන්ස් කරුණාරත්න අබේසේකර හමුවෙන්න ගිහිල්ලා ඔහුගේ අවශ්‍යතාව කියලා.

ඔහු ඉතාම කෙටි කාලයකින් මේ ගීතය ලියලා ක්ලැරන්ස්ගේ අතට දීලා තියෙනවා. ක්ලැරන්ස් මේ ගීතයට තනුව නිර්මාණය කරලා මට දුන්නා

අනිල් ඔබ මේ ගීතය ගයන්න“ කියලා. මං එය සතුටින් බාර ගත්තා. කොහොම හරි ගීතය කියලා පැය විසිහතරක් යන්න කලින් එය බොහෝ ජනප්‍රිය වුණා. (silumina.lk/2018/12/22/)

 ගායන ශිල්පී අනිල් භාරතී- Silumina.lk

 

බෙත්ලෙ­හෙම් පුරේ දිළිඳු ගව­ ලෙනේ
ඔරුව තුළේ සිසිලෙ නිදයි
ජේසු බිලින්දා…

ලෙළෙන කැන් දිදී අමුතු තරු­වකි
අඳුර මැදින් එළිය මවයි
ජේසු බිලින්දා…

නිරි­ඳුන් තිදෙනා තරු­වෙන් දිලෙනා
මඟ අහ­ගෙන යති දැකු­මට
ජේසු බිලින්දා…

සත වෙත කරුණා පිනි දිය ගලනා
මුදු උල්පත පාදා දුනි
ජේසු බිලින්දා…

 පසුව අනිල් භාරතී තවත් ගීත කිහිපයක් ද එක්කර  බෙත්ලෙහෙම් පුරේ නමින් සංගත තැටියක් ද නිකුත් කළා.  

බාලොලි බාලොලියේ ලියූ බොදු ගීත රචකයා

ගුවන් විදුලියේ, රූපවාහිනියේ සහ මුද්‍රිත මාධ්‍යයේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨයෙක් වන සුනිල් සරත් පෙරේරා වඩාත් ප්‍රකට ගීත රචකයකු ලෙසයි.   ඔහු ලියූ අගනා  ගීත රාශියකින් අපේ ගීත සාහිත්‍යය පොහොසත් කර තිබෙනවා.  බෞද්ධයකු අතින් ලියවුණු පල්ලියේ කිතුණු ගීතිකා පොතට ගිය එකම ගීය ලෙස සැලකෙන්නේ සුනිල් සරත් ලියූ බාලොලි බාලොලියා ගීතය යි.

ලතා වල්පොල ගායනා කරන එම ගීතයේ සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්නගෙන්. මේ ගීතය ගැන සුනිල් සරත් පුවත්පතකට මෙසේ සදහන් කර තිබුණා: 

කිතුනු පල්ලිය සහ කිතුනු ජනතාව මට ලබා දුන්නු විශාල ඇගයීමක් ගෞරවයක් විදිහටයි මා එය සලකන්නේ. කතෝලිකයන්ගේ ජන වන්දනාවේ දී ගායනා කිරීම සඳහා අනුමතවූ කිතුණු ගී 01- ගීතිකා පොතට මේ ගීතය ඇතුළත් වෙලා තියෙනවා. මේ සින්දුව දෙස් විදෙස් සිංහල කතෝලික ජනතාව අතර හුඟක් ජනප්‍රියත්වයට පත්වෙච්ච සිංහල කැරොල් ගීතයක්. මේ ගීතයේ තනු නිර්මාණය කළ ෂෙල්ටන් ප්‍රේමරත්නත් බෞද්ධයෙක්. එයත් සුවිශේෂී කාරණයක්. ගීතය ගායනා කළේ ලතා වල්පොල අපේ ප්‍රවීණ ගායිකාව. ඒ වගේම තවත් ප්‍රවීණ ගායිකාවක් වන චන්ද්‍රිකා සිරිවර්ධන ඇතුළු පිරිසත් ගායනයේදී සහාය වුණා. 

 සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න- thunmansala.com

 

මෙම ගීතයට අමතර ව ඔහු තවත් නත්තල් ගී 10ක් පමණ රචනා කර තිබෙනවා. සුනිල් සාන්තයන් අතින් තනු නිර්මාණය වෙලා අයිවෝ ඩෙනිස් ගායනා කළ ජේසු උපන් දා කියන කැරොල් ගීතය රචනා කළෙත් සුනිල් සරත් පෙරේරා යි.  

අපි බාලොලි බාලොලියේ ගීයේ පද පෙළ කියවා බලමු.

බා ලොලි බා ලොලියේ

බා ලොලි බා ලොලියේ

මිනිස් වෙසින් ආ විමුක්තියේ හඬ

මරිය මවුන් නැළැවිල්ලට මුසු වෙත

ස්වර්ග රාජ්‍යයේ දොරගුළු ඇරලා

දෙව් බිලිඳෙක් ගවලෙන් ගැබ ඉපැදිණ

දැක දෙපස දැඩි යදම් බඳින ලද

දුක්බර වු ජනතාව අවදි කොට

දේව දයා සම කරුණා උල්පත

සීත රැයේ බෙත්ලෙහෙමෙන් මතු විණ

පාප අඳුර සන්තාප ඉවත ලන

නව චින්තනයට මාවත හෙළි කළ

රුවන් තාරතා එළියක් එක ලෙස

අහස් තලේ හිඳ බැලුම් හෙළා ඇත

 ක්ලැරන්ස් විජේවර්ධන – dailynews.lk

මිහිරි නත්තලේ ලියා ගැයූ ක්ලැරන්ස්

ක්ලැරන්ස් විජේවර්ධන  සංගිතයේ බටහිර ඉසව්ව ස්පර්ශ කළ සංගීතඥයෙක්. ඔහු ගී පද රචකයෙක්, තනු නිර්මාපකයෙක් ලෙසත් අමරණීය ගීත රැසක් බිහි කර තිබෙනවා.  ඒ අතර ම ඔහු නත්තල් ගීත කිහිපයක් ම ලියා ගායනා කර තිබෙනවා. ඒවායේ සංගීත නිර්මාණය ද ක්ලැරන්ස් සතුයි. ගීත රචනයට ක්ලැරන්ස් දැක්වූ ප්‍රතිභාව ඔහු සතු වූ විවිධ හැකියාවන් අතරින් සියල්ලට ම ඉහළින් කැපී පෙනෙනවා. ඔහුගේ වදන් ඉතා සරල යි. සුගම යි. සිතට මිහිරි යි. තැනට උචිත යි.  කෙටි වදන් භාවිතයෙන් අපූරු නත්තල් රසයක් ජනිත කිරීමට ක්ලැරන්ස්ට හැකියාව ලැබී තිබෙනවා.

ඒ අතරින් වඩාත් ජනප්‍රිය ගීයක් තමයි මිහිරි නත්තලේ සිසිල මදනලේ ගීතය.

මිහිරි නත්තලේ සිසිල මදනළේ
පිපුණු මල් සැළේ සුවඳ සිත් ඇලේ

බෙත්ලෙහෙමේ ගව මඩුවේ ගව ඔරුවේ රෑ යාමේ
දෙවු බිළිඳා ඇත නොනිදා
ලොවට සාම පණිවුඩේ ගෙනා
මිහිරි නත්තලේ . . .

නිල් අඹරේ තනි තරුවේ රැස් පැතිරේ මඟ පාදා
දෙවු දූලා වට වීලා
ගයති ගීත සුරලොවින් ගෙනා

මිහිරි නත්තලේ මේ ගීත සියල්ලම ලියවී ඇත්තේ කලකට පෙර යි. සමහර ගීත දශක ගණනාවක් පැරණි යි. අද ඉලෙක්ට්‍රොනික සංගීතය ප්‍රචලිත වෙලා තිබුණත් මෙවැනි විශිෂ්ට නත්තල් ගී නම් නිර්මාණය වන්නේ කලාතුරකින් බවයි පේන්නේ.

කවරයේ ඡායාරූපය- ජයකොඩි පියනම, කරුණාරත්න අබේසේකර,  සුනිල් සරත් පෙරේරා සහ ක්ලැරන්ස්- facebook/ sunilsarathpereara.org

මූලාශ්‍ර:

Silumina.lk

Deshaya.lk

Sarasaviya.lk

Captions- cover

Related Articles