“සිතුවම් කලාව” ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මේ දක්වා ම නොනැසී පවතින කලා මාධ්‍යයක් ලෙසයි සැලකෙන්නේ. එකී සිතුවම් කලින් කලට විවිධ පරම්පරාවන්ට ආවේණික ලක්ෂණ සහිත ව චිත්‍රණය වී ඇති බැව් ඉතිහාසය පිරික්සීමේ දී අපට පැහැදිලි වෙනවා. ප්‍රාග් ඓතිහාසික යුගයෙන් ඔබ්බට ගිය කල මෙකී සිතුවම් ආරාමික චිත්‍ර සහ ලෞකික චිත්‍ර වශයෙන් දෙකොටසකට වෙන් කොට හඳුනාගන්න පුළුවන්.
බෞද්ධ ස්තූප, ධාතු ගර්භ සහ භික්ෂු ආවාස ඇතුළු එකී මෙකී නොකී ආගමික ලක්ෂණ සහිත සිතුවම් ආරාමික චිත්‍ර වශයෙනුත්, සීගිරි සිතුවම් වැනි ගුහා සහ ලෙන් ආශ්‍රිත අනෙකුත් චිත්‍ර ලෞකික චිත්‍ර වශයෙනුත් සරල ව අර්ථකථනය කරගත හැකි යි. “මූර්ති කලාව” ද එලෙසින් ම දිගු ඉතිහාසයකට උරුමකම් කියන කලා ශානරයක්. සීගිරියෙන් නොනැවතී එකී සිතුවම් කලාවේ සහ මූර්ති කලාවේ නොදුටු පැහැ ගැන කතා කරන්න යි මේ එළඹුම.
එහෙයින්, “UNSEEN COLORS” ප්‍රදර්ශනය නැරඹීමට අපි දැන් කොළඹ කෞතුකාගාර පරිශ්‍රයට පියනඟමු…
ඔබ දැන් සිටින්නේ කොළඹ කෞතුකාගාර පරීශ්‍රයේ පිවිසුම් ද්වාරය අබියස යි. දැන් එතැනින් දකුණු පර්යන්තයට අපි යොමු වෙමු. ඔව්..! ඔබට දැන් Unseen Colors දැකගන්නට පුළුවන්. එන්න… මුලින් ම අපි Unseen Colors ඔබට නේත්‍රාස්පර්ශ කරවන්නට නිර්මාණාත්මක වෙහෙස ගත් ශිල්පීන් තිදෙනා හඳුනා ගනිමු.
මේ චිත්‍ර ශිල්පී ප්‍රසන්න වීරක්කොඩි. පහුගිය කාලෙ එක එක දෑතින් තාප්ප පුරා ඇන්ද, සමාජ මාධ්‍ය පුරා හුවමාරු වුණ බොහොමයක් ඓතිහාසික චිත්‍රවල නියම උරුමක්කාරයා මෙන්න මෙයා. එළාර – දුටුගැමුණු චිත්‍රය එහෙම මතක ඇතිනෙ. මං ඒ ගැන මතක් කළේ ඔබට ප්‍රසන්න වීරක්කොඩි හඳුන්වා දීමේ පහසුවට. මෙතන තියෙන ඓතිහාසික ලක්ෂණ සහිත හැම සිතුවමක් ම චිත්‍රණය වුණේ ප්‍රසන්නගේ පින්සලෙන්.
ප්‍රසන්න වීරක්කොඩිගේ පියාණන් තමයි අපි හැමෝ ම දන්න ගම්පෙරළිය, සිකුරු තරුව, සංදේශය, දෑස නිසා වගේ තවත් බොහොමයක් සිනමා කෘතිවල කලා අධ්‍යක්ෂණය කළ ආරියවංශ වීරක්කොඩි. පොඩි කාලේ ඉඳන් පවුලෙ තිබුණු කලා පසුබිමත් එක්කයි ප්‍රසන්නගේ කලා අභිරුචිය වැඩි වර්ධනය වෙලා තියෙන්නෙ. ඒ ආභාසයත් එක්ක කාලයක් මුළුල්ලේ සතතාභ්‍යාසයේ යෙදීමෙන් හැදී වැඩුණු සිත්තර හැකියාව හැර වෙනත් කිසිදු ශාස්ත්‍රීය අධ්‍යයනයක් ඔහු සිදුකොට නැති බව යි ඔහු Roar අපට පැවසුවේ.
“වනජීවී චිත්‍රයි මං මුල් කාලෙ ඇන්දේ. ඒත් කාලයත් එක්ක මට අපේ ඉතිහාසය පිළිබඳ ඇල්මක් ඇති වුණා. ඊටපස්සෙ මං ඒ සම්බන්ධ දේවල් හොයන්න, බලන්න, කියවන්න පටන් ගත්තා. පස්සෙ ඒ දේවල් සිතුවමට නැඟුවා. එහෙම තමයි ඓතිහාසික චිත්‍ර අඳින්න යොමු වුණේ…”
ප්‍රසන්න වීරක්කොඩි මහත්මයාගේ සිතුවම්වල තියෙන විශේෂ ලක්ෂණ කිහිපයක් Roar අපට ඇස ගැටුණා. ඔහු තමන් දකින කියවන ඉතිහාස මූලාශ්‍ර ඒ අයුරින් ම සිතුවමට නොගෙන තමන්ගේ අනන්‍යතාවක් ඊට ආරෝපණය කරලා තිබුණා. ඔහුගේ චිත්‍රවල නිරූපණය වන ශරීර හැඩතල, කොණ්ඩ මෝස්තර, ආයුධ, වස්ත්‍රාභරණ සහ සංඥා වගේ බොහොමයක් දේවල් උපකල්පිත වුණත්, සංකල්පීය වශයෙන් ඉතා දියුණු වගේ ම නූතන ලක්ෂණ පෙන්නුම් කරනවා.
ඒ වගේ ම මේ බොහොමයක් චිත්‍රවල රණකාමීත්වය නිරූපණය වෙලා තිබුණා. ඔහු සිතුවම්කරණයට යොදාගෙන තිබුණ අමුද්‍රව්‍ය වුණත් ඉතා ගුණාත්මක බවින් ඉහළ බව මේ සිතුවම්වල සජීවි භාවය ම අපට සාක්ෂ්‍ය සපයනවා.
මේ ඇතැම් චිත්‍ර හරි ම මැවුම්කාර යි; ගුප්ත යි. වර්ණ සංකලන පවා විශ්වීය යි. අවධානයෙන් මේ චිත්‍ර දිහා මොහොතක් බලාන හිටියොතින් මේ දේවල් ඔබටත් නිරීක්ෂණය වන බව නියත යි.
“රටක් විදියට ලංකාව ලෝකෙට ගෙනියන්න නම් අපි Change වෙන්න ඕනි. Mentality එක වෙනස් කරගන්න ඕනි. දේවල් දිහා බලන විදිහ වෙනස් කරගන්න ඕනි. Update වෙන්න ඕනි. කම්මැලිකම අහක් කරගන්න ඕනි. කෙටි මාර්ග අතෑරලා අනන්ත කලාවට පිවිසෙන්න ඕනි.
ඒ වගේ ම තමයි රජයෙන් වුණත් Artistලාට මීට වඩා අනුග්‍රහයක් ලබාදෙන්න ඕනි. Popularity එක විතරක් ම නෙවෙයි කලාව කියලා තේරුම්ගන්න ඕනි. චිත්‍ර නිර්මාණ දකින මිනිස්සුන්ට චිත්‍ර ශිල්පීන් ගැනත් දැනගන්න ලැබෙන්නෙ අන්න එතකොට…”
”මේ ඉන්නෙ චිත්‍ර ශිල්පී ලෙස්ටර් පෙරේරා. ලෙස්ටර් අඳින්නෙ වනජීවී චිත්‍ර. දිගු කාලයක් මුළුල්ලේ මුහුදු ලිහිණින්, පොර කුකුළන් ඇතුළු විවිධ පක්ෂීන්, ඩොල්ෆින් මසුන්, තල්මසුන්, කැස්බෑවන් ඇතුළු තවත් බොහෝ සත්ත්ව කොට්ඨාස සම්බන්ධයෙන් පර්යේෂණ කළ, කුරුලු අධ්‍යයන කව (Birds Clubs) කිහිපයක් එක්ක ම තවමත් වැඩකටයුතු කරමින් ඉන්න චරිතයක් විදිහටයි ලෙස්ටර් තවදුරටත් ඔබට සමීප කරවන්න කැමති.
ඒ වගේ ම දැනටමත් දෙස් විදෙස් චිත්‍ර ප්‍රදර්ශන 15කට අධික සංඛ්‍යාවක ඔහුගේ මේ වනජීවී සිතුවම් ප්‍රදර්ශනයට ලක් වී තිබෙනවා.
ලෙස්ටර් ගෙ අතීත කතා හරි ම රසවත්. ඔහු පුංචි අවධියේ ඔහුගේ පියා දඩයමේ ගිහින් තියෙනවා. ඔහුත් ඇතැම් දවස්වල පියා සමඟ එක්ක කැලෑ වදිනවා. තාත්තා දඩයමේ යෙදෙන කොට මේ පුංචි කොලුගැටයා සත්තු දිහා, ගස්කොළං දිහා හරි අවධානයෙන් විපරම් කළා. සතා සිවුපාවන්ගෙ හැසිරීම්, ශරීර හැඩතල, වර්ණ, ගස්කොළංවල හැඩ, පාට ආදී වශයෙන් නොයෙකුත් දෑ දිහා ඔහු හරි අවධානයෙන් බලා ඉඳලා තියෙනවා.
Scouting යනවැයි ගෙදරට බොරු කියා මේ දේවල් තවදුරටත් අධ්‍යයනය කරන්න කොල්ලො කුරුට්ටෝ එක්ක කැලෑ පැනලා, කෑම්පින් කරලා, ට්‍රිප් එහෙමත් ගිහින් තියෙනවා. පස්සෙ පස්සෙ පුස්තකාලවලට ගිහින් ඊට අදාළ පොත් පත් එහෙමත් පිරික්සනවා. තරුණ කාලෙ දී කාලයක් සතුන් වත්තේ ස්වේච්ඡා සේවකයෙක් (Volunteer) විදියට ලෙස්ටර් වැඩ කරලා තියෙන්නෙත් වනජීවීන් පිළිබඳ අධ්‍යයනය කරන්න තිබුණු රුචිකත්වය නිසා ම යි. පස්සෙ කාලෙක Life, Discover, Fortune වගේ සඟරා එක්ක එකතු වෙලා වැඩ කරලත් තියෙන බව තමයි ලෙස්ටර් Roar අපට කිව්වෙ.
“මං උපතින් කතෝලික වුණාට මං කිසිම ආගමක් අදහන්නෙ නෑ. හැබැයි, බෞද්ධ දර්ශනයේ තියෙන ඇතැම් මූලධර්මයන් එක්ක මං එකඟයි. ඒත් මගේ ඇත්ත ම ආගම තමයි; සොබාව – සෞන්දර්යය…”
ලෙස්ටර් තවමත් Bird Watching Tour Guiding කරනවා. බ්‍රිතාන්‍ය සමාගම් කිහිපයක් එක්ක ම ඔහු Tour Guide කාර්යයේ යෙදිලා තියෙනවා. ඊට අමතර ව ගත්තොත්, ඉන්දියාවේ හැම අස්සක් මුල්ලක් නෑර ම ඔහු සංචාරය කරලා තියෙනවා. ඉන්දියාවේ තියෙන බොහෝ ප්‍රාන්තවල ඔහු පර්යේෂණාත්මක කර්තව්‍යවල යෙදිලා තියෙනවා. ඔහුගේ මේ අධ්‍යයන හා ජීවන අත්දැකීම්වල පරාසය ඔහු අඳින වනජීවී සිතුවම් ඉතා සියුම් ව නිරීක්ෂණය කළා ම මනාව වැටහෙනවා.
ඒ චිත්‍රවල ඉන්න පක්ෂීන්ගෙ, සතා සිවුපාවන්ගෙ හැඩතල, ඉරියව්, වර්ණ දිහා බැලුවා ම ඔහු කෙතරම් සූක්ෂම අයුරින් වනජීවීන් දිහා විමසිල්ලෙන් බලා තියෙනවා ද කියලා ඔප්පු වෙනවා. මේ චිත්‍රවල තියෙන ගස් කොළං කෙතරම් සජීවී ද කියා ඔබ ම ඇවිත් බලන්න. මේවා චිත්‍ර ද, ඡායාරූප ද කියලා හිතෙන තරමට ඒවා හරි ම ජීව ගුණයකින් යුක්ත යි වගේ ම විචිත්‍රවත්. ඔහුගේ චිත්‍රවල තවත් කැපී පෙනෙන ලක්ෂණයක් තමයි; ඇක්රිලික්, දිය සායම්, පෑන් සහ තින්ත වගේ විවිධ වූ මාධ්‍යයන්ගෙන් ඔහු සිය ප්‍රවීණත්වය විදහා පා තිබීම. ඔහු ඇඳි Scribble Arts පවා ඇස් අදහාගත නොහැකි තරම් විශිෂ්ට යි.
“චිත්‍ර කලාවට ළැදි බොහෝ අය අදටත් ඉන්නවා. ඒත් ප්‍රශ්නය තියෙන්නෙ, ශ්‍රී ලංකාවේ චිත්‍ර ප්‍රදර්ශනයක් තියන්න පුළුවන් මට්ටමේ ගැලරීස් තියෙන්නෙ ඉතා ම අතලොස්සක්. ඒවත් හරි මිල යි. ඉතින් කොහෙද අපි ප්‍රදර්ශන තියන්නෙ. සතියක් එකාමාරක්වත් තියන්නත් එපැයැ. අනික ඔය ගැලරිවලට එන පිරිසත් සීමා සහිත යි. ප්‍රදර්ශන තියන්න ඕනි, ඕන මනුස්සයෙකුට ඇවිත් රසවිඳින්න පුළුවන් තැන්වල. අන්න ඒකයි ශ්‍රී ලංකාවේ සිතුවම් වීදියට සීමාවෙලා තියෙන්නෙ. ඔන්න ඔය හැමදේම හිතලා තමයි අපි Unseen Colors කොළඹ කෞතුකාගාරයට ගෙනාවේ…”
අඳුරගන්න… මේ ඉන්නෙ මෙතන තියෙන මූර්තිවල නිර්මාතෘ ලලිත් සේනානායක. ඇත්තට ම මේවට මූර්ති කියන්න ම බෑ. සිංහලෙන් මේවා එලෙස හැඳින්වීමත් අසාධාරණ යි. ඒ නිසා මම ඔබට මෙහෙම කියන්නම්. Assemble Arts, IInstallations ඇතුළු නිර්මාණ තමයි ලලිත් ගේ ප්‍රකාශන කලාව වෙන්නෙ.
ලලිත් ගෙ පවුලේ තිබිලා තියෙන්නෙත් කලා පසුබිමක්. ඔහුගේ පියාත් දක්ෂ මූර්ති ශිල්පියෙක්. ඒ ආභාසයත් එක්ක ඔහුත් මූර්ති කලාවට ඇල්මක් බැල්මක් හෙළූ බවයි ඔහු Roar අපට කීවෙ. ඔහු මුල් කාලෙ ජාතික කෞතුකාගාරය මෙහෙය වූ චිත්‍ර පාඨමාලාවක් හදාරා තිබෙනවා. ඔහු මූර්ති කලාව පිළිබඳ මූලික දැනුම ලබාගන්නෙ එස්. පී. චාර්ල්ස් කලා ගුරුන් වෙතිනු යි. ඔහු පසු කලෙක දී අවුරුදු 5ක් පමණ මහාචාර්ය සරත් චන්ද්‍රජීව යටතේ මූර්ති කලාව වැඩිදුර ප්‍රගුණ කරලා තියෙනවා. ඊට අමතර ව, බ්‍රිතාන්‍ය කවුන්සිලය (British Council) ඇතුළු තවත් පිරිපුන් කෝෂ්ඨාගාර පරිශීලනය කොට තවදුරටත් ඒ පිළිබඳ ව අධ්‍යයනය කර, දැනුම ලබා ගෙන තිබෙනවා.
ලලිත් සේනානායක දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වගේ ම මූර්ති ශිල්පියෙක්. ශ්‍රී ලංකාවේ මෙන් ම විදේශ රටවලත් ඔහු තම චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය කර තිබෙනවා. ඔහු නිර්මාණය කරන මූර්ති සඳහා යොදා ගන්නේ ඉවතලන වාහන කොටස්, ලෝහ සහ ප්ලාස්ටික් ආදී අමුද්‍රව්‍ය යි. ලෝහ භාවිතයෙන් නිම කර ඇති මූර්ති අතර සත්ත්ව රූ සහිත මූර්ති විශාල ප්‍රමාණයක් ද තිබෙනවා. ලෝහ භාවිතයෙන් නිර්මාණය කළත් මේ මූර්තිවල ස්වභාවිකත්වය ඒ ආකාරයෙන්ම ආරක්ෂා වී තිබෙන ආකාරය දැකගන්න පුළුවන්. එහිදී සතුන්ගේ ඉරියවු සහ චර්‍යාවන් ඉතාම නිවැරදි ව දැක්වීමට ලලිත් සේනානායක සමත් වී තිබෙනවා.
අතට අහුවෙන ඕනැ ම දේකට පණ පොවන්නට පුළුවන් කලාවක් තමයි Assemble Art කියන්නෙ. එකලස් කිරීමේ කලාවේ නිරත වන්නාට නිදහස් මනසක් තිබිය යුතුයි. ඔබට දිස්වෙන මේ නිර්මාණ බොහොමයක් ඊට සාක්ෂ්‍ය සපයාවි. මේ සත්ත්ව හිස් නිර්මාණාත්මක ජීව ගුණයෙන් කෙතරම් පිරී ඇති ද බලන්න… මේ සත්ත්ව ස්කන්ධ, ඉරියව් කුමන කෝණයෙන් බැලුවත් කෙතරම් සජීවී ද බලන්න… ඒ තමයි ලලිත් ගේ ප්‍රවීණත්වය.
ඔහුගේ මෙම නිර්මාණ දිහා බලද්දී අපට වැටහෙන දෙයක් තමයි; කෘත්‍රිම අමුද්‍රව්‍ය සහ සොබාදහම අතරැති සහසම්බන්ධතාව මෙන්ම පවතින වූ විසමතා වෙත ද ඔහුගේ අවධානය යොමු වී ඇති බව. එම සියලු ධර්මතා මිනිස් සන්තානයට කාවදින අයුරින්, උසස් සහෘදාස්වාදයක් උදෙසා නිමවා තිබෙනායුරු සුවිශේෂ යි.
Assemble Art ක්ෂේත්‍රය තුළ ලලිත් සේනානායක නාමය ශ්‍රී ලංකාවේ පමණක් නොවේ, විදේශීය වශයෙනුත් කතා බහට ලක්වෙන බව Roar අප ඔබට කියන්නේ නිහතමානී ආඩම්බරයකින්. ශ්‍රී ලංකාවේ මෙන් ම ලෝකයේ බොහෝ රට රටවල, නගරවල වගේ ම පොදු මෙන් ම පෞද්ගලික ස්ථානවලත් ඔහුගේ නිර්මාණ ව්‍යාප්ත ව තිබෙනවා. වියවුල් සමඟ වෙසෙන බොහෝ හිත්වලට නිරවුල් සැනසුම ගෙන දෙන ගුණය මොහුගේ නිර්මාණවල අඩංගු යි.
“UNSEEN COLORS” ප්‍රදර්ශනය නැරඹීමට ඔබ තවමත් කොළඹ කෞතුකාගාරයට ගියේ නැති නම් දෙසැම්බර් 16 වැනිදාට කලියෙන් එහි ගොස් මේ නිර්මාණවල අසිරිය විඳගන්න.