ශ්‍රී ලංකාවේ අපිට අඩුවක් නැති දෙයක් තියෙනවා නම් ඒ තමයි විවිධත්වය. විවිධ ජාතීන්, ආගම් වලට අයිති පිරිස් ගණනාවක් ජීවත් වන අපේ රට ගණන් කරන්න බැරි තරම් ජාති, ආගම්, කුල ගොඩක් තියෙන ඉන්දියාව ආසන්නයේ තියෙන පුංචි දූපතක්. අපේ රටේ කාලයක් එකටම තිස්සේ ජීවත් වුණු විවිධ ජාතීන් සහ ආගම් නිසා සමහර වෙලාවට සංස්කෘතික වශයෙන් තියෙන වෙනස්කම් ඉස්සර තරම්ම ඉස්මතු වෙලා පෙනෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපේ රටේ හැමෝම වගේ කිසිම භේදයක් නැතිව අනිත් ජාතීන්ගේ උත්සව පවා සමරන්න පෙළඹෙන්නේ. මේ කියන කතාව වෙසක්, නත්තල්, තෛපොංගල්, රාමසාන් කාල වල කොළඹට ආවොත් ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්.
ආහාර වර්ග වලටත් අපේ රටේ පවතින සංස්කෘතීන් සහ සම්ප්‍රදායන් අතරින් සුවිශේෂී තැනක් හිමි වෙනවා. හැම ආගමික උත්සවයකදීම, හැම සංස්කෘතික අංගයකදීම වගේ ආහාරවලට තමයි ප්‍රධාන තැනක් ලැබෙන්නේ. සිංහල දෙමළ අළුත් අවුරුද්දට භාවිත වෙන කිරිබත් සහ “රාව කසේරි” (රුලං පුඩිං), මුස්ලිම් උත්සව වල ප්‍රධානම තැනක් ගන්න වටලප්පන් වගේම ක්‍රිස්තියානි උත්සවවලදී නැතිවම බැරි කේක් වර්ග වගේ දේවල් භේදයක් නැතිව කාගේත් ආහාර වේලට එකතු වෙනවා.
එදිනෙදා ආහාරයට ගන්න දේවල් අතිනුත් ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතියට සුවිශේෂී තැනක් හිමි වෙනවා. අපේ රටේ ආහාර වට්ටෝරු බොහොමයක් විවිධ සංස්කෘතීන් වලින් වගේම අධිරාජ්‍ය පාලකයන්ගේ බලපෑම් වලටත් ලක් වෙලා සකස් වුණු ඒවා. ශතවර්ෂ ගණනාවක් තිස්සේ අපේ රටේ විවිධ ප්‍රදේශ වල සිටි අධිරාජ්‍ය පාලකයන්ගේ සංස්කෘතීන් වලින් අපේ ආහාර වට්ටෝරු වලට යම් යම් අංග එකතු වුණා.
කොහොම නමුත් කාලයත් එක්කම මේ හැම කෑම වට්ටෝරුවකම ශ්‍රී ලාංකික සුවිශේෂිත්වයක් ඇති වුණු බව නම් සැකයක් නැහැ. මේ නිසා පිටින් ලැබුණු සමහර ආහාර වට්ටෝරු වුණත් දැන් අපේ රටේ ආහාරයට ගන්න විදිහ බැලුවාම ඒවා ආපු මව්රටවල මිනිසුන්ටත් අඳුනා ගන්න බැරි වෙන අවස්ථා ඕන තරම්.
අපේ රට ඇතුලේම නිර්මාණය වෙලා වැඩි වෙනසකට ලක් නොවුණු ආහාරයක් තමයි කිරිබත් කියන්නේ. යොදා ගන්නේ පොල් කිරි වුණත්, එළකිරි වුණත් කිරිබත් කියන ආහාරය ලෝකයේ වෙන කිසිම රටක දකින්න නොලැබුණු අපේ රටේම නිර්මාණයක්.
යන්තම් දැනුණත් කටට කෙළ උනන සුවඳවල් සහ කොච්චර කෑවත් ඇති නොවෙන රසවල් වලින් පිරුණු ශ්‍රී ලාංකික ආහාර වට්ටෝරු වල ලෝකයේ අනිත් හැම රටකටම වඩා සුවිශේෂීත්වයක් තියෙනවා. අපේ රටේ කෑමක් කන කෙනෙක්ට ලෝකයේ වෙනත් බොහෝ ආහාර මෙලෝ රහක් නැහැ වගේ දැනෙනවා කියන්නේ බොරුවට නෙවෙයි. ඉතින් මේ කියන්න යන්නේ අපේ කෑම බීම ලෝකයේ හැම රටකටම වඩා වෙනස් වෙන වැදගත් හේතු දහයක් ගැනයි. අපේ රටේ ආහාර සුවිශේෂී වෙන තවත් වැදගත්ම හේතුවක් අන්තිමටම තියෙනවා.
අපේ සමහර කෑම වට්ටෝරු අපිටම ආවේණිකයි
අපේ සමහර කෑම බීම දකින්න ලැබෙන්නේ අපේ රටේම විතරයි. ළූණු සහ මිරිස් එකට කොටලා හදන ලුණු මිරිස්, ඇඹුල් වැඩිපුර දාලා හදන ඇඹුල් තියල් වගේ දේවල් මොන තරම් ශ්‍රී ලංකාවට ආවේණිකයිද කියනවා නම් වෙන රටකට ගියොත් ඒවා කවදාවත් කන්න බැරි වෙන තරම්. එහෙම කන්න ලැබෙන ලාංකික කෑමක වුණත් අපේ අම්මලා හදන කෑම වල රස තියෙන්නේ හරිම කලාතුරකින්.
ඉතින් කාලයක් ඉන්න හිතාගෙන රට යන අපේ කට්ටිය කොහේ ගියත් යන්නේ ගෙදරින් හදා ගත්තු කෑම බෝතල් වල පුරවා ගෙනයි. එයාලගේ බෑග් වල එක එක අහු මුළු වලින් හමු වෙන ජාති හැත්තෑ පහක විතර කට්ට සම්බෝල, අච්චාරු, කරවල පචාඩි වගේ බෝතල් දකිනකොට ඒ රටවල රේගු නිලධාරීන්ගේ මූණු වෙනස් වෙන හැටි නම් බලන්නම වටිනවා.
හැම කෑමක් එක්කම කරි හත අටක් ලැබෙනවා
වෙනත් රටවල් වල තියෙන “සෙවන් කෝස්, එයිට් කෝස් මීල්” වෙනුවට අපේ රටේ දකින්න ලැබෙන්නේ මේ “කෝස්” ඔක්කොම එකට එකතු වුණු “මීල්” එකක්. පිටි කෑම වර්ගයක් තමයි හැම වෙලාවේම ප්‍රධාන තැන ගන්නේ. බත්, ඉඳි ආප්ප, පිට්ටු වගේ ප්‍රධාන කොටසට අමතරව වටේට බෙදා ගන්න ජාති ගණනාවක් තියෙනවා. එළවලු වර්ග, මස් මාළු, අච්චාරු, අල වර්ග, මැල්ලුම් වගේම කෑමට නැතිවම බැරි පපඩම් එහෙමත් මේ අතර තියෙනවා. ඉතින් අපේ රටේ කෑම වේලක් කියන්නේ විවිධ රස වර්ග, සුවඳ වර්ග ගොන්නක් එකම පිඟානකට එකතු වුණු භෝජන සංග්‍රහයක්. අනික ඔය මොනවා තිබුණත් පරිප්පු කරිය තිබුණේ නැත්තන් ඉතින් කෑවත් කෑවේ නෑ වගේ.
එක කෑමක් වර්ගයක් විතරක් කනවා කියලා දෙයක් ශ්‍රී ලංකාවේ ඇත්තෙම නැති තරම්. බිරියානි ගත්තත් විවිධ හොදි වර්ග එහෙම පහක් විතර තියෙනවානේ.
කවදත් අපිට නැතිවම බැරි පොල්
පොල් නැත්නම් අපේ රටේ ගොඩක් කෑම වර්ග කන්න හිතෙන්නේ නැහැ. මොකද අපේ රටේ පොල් නැතිව හදන කෑම වර්ගයක් තියෙනවා නම් ඒ බොහොම කලාතුරකින්. පොල් ගෙඩියේ ඇතුළත දේවල් නම් කවදාවත් අහක යන්නේ නැහැ. සම්බෝල, මැල්ලුම්, පිට්ටු, රොටී වර්ග හදන්න පොල් ගාලා ගන්නවා. හොදි වර්ග කොයි එක හදන්නත් ගන්නේ පොල් මිරිකලා ගන්න පොල් කිරි. පොල් කිරි දාන්නේ නැති මස් වර්ග වගේ දේවල් වලට වුණත් රස වැඩි වෙන්න එකතු කරන විනාකිරි හදන්නේ පොල් වතුර වලින්. උයන පිහින වෙලාවට නැතිවම බැරි පොල්තෙල් ලබා ගන්නෙත් පොල් ගෙඩියෙන්මයි.
කෑම උයන හැම ශ්‍රී ලාංකික කුස්සියකින්ම උදේ දහවල් වෙනසක් නැතිව ඇහෙන සුපුරුදු සද්දේ තමයි පොල් ගාන හඬ. හැමදාම දවසට පැයක්වත් පොල් ගාන්න, බ්ලෙන්ඩර් කරන්න, මිරිකන්න නාස්ති වුණත් ලංකාවේ කටවල් වලට පොල් කිරි ටිකක් නැතිව හැදෙන කෑමක රසක් ඇත්තෙම නැති තරම්. පොල් රොටී සහ පොල් සම්බෝල කියන්නෙත් අපේ රටේ කවුරු අතරත් ජනප්‍රියම කෑමක්. බටර් එක්ක පාන් කන්න කැමති කෙනෙක්ට ඒකට පොල් සම්බෝලෙකුත් එකතු කර ගත්තොත් දැනෙන රස කියන්න බැරි තරම්.
පොල් ගෙඩියේ බාහිර කොටස් දැන් කුස්සි වල නම් වැඩිය පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් ඉස්සර කාලේ හිස් පොල් කට්ට පවා ලුණු දාලා තියන්න භාවිත කෙරුණා. පොල් කටුව වගේම පොල් මුඩ්ඩ පවා ලිප් අවුළුවන්න යොදා ගත්තා. කෑම කාලා ඉවර වුණාම වළං හෝදන්න පවා ගන්නේ පොල් මුඩ්ඩ. ඉතින් කෑම උයන එකේ හැම පියවරකදීම පොල් මොන තරම් වැදගත් වුණාද කියලා බැලුවාම පොල් නැත්නම් අපිත් නැහැ කියන එකත් වැරදි නැහැ.
අපි හැම දේටම දාන කහ
අපේ රටේ කිසිම හොද්දක් කහ ටිකක් නැතිනම් සම්පූර්ණ නැහැ. හැමෝම කන බත් එක පවා කහ ටිකක් දාලා කහ බත් වෙන අවස්ථා ඕන තරම්. දකුණු ආසියාවටම ආවේණික වුණු ඉඟුරු වගේ අලයක් කුඩු කරලා හැදෙන කහ මේ ප්‍රදේශ වල විෂ නසන්න, පිරිසිදු කරන්න එහෙමත් නිතරම යොදා ගැනෙනවා. සමහරු කියනවා කහ නිතර ආහාරයට ගත්තාම පිළිකා අඩු වෙනවා කියලත්. (මේක තහවුරු වෙලා නම් නැහැ, ඒත් කහ නිතර කන එකෙන් හොඳක් මිසක් නරකක් වෙන්න නම් ඉඩක් නැහැ)
කොහොම වුණත් අපේ රටේ කරි වල රස, පාට, සුවඳ ගණනාවක් ඇති කරන්න කහ කියන්නේ අත්‍යාවශ්‍ය අංගයක්. ඒ නිසාම කහ අපේ රටේ ආහාර වල සුවිශේෂී බවට වැදගත් සාධකයක් වෙනවා.
ටිකක් සැරට කන්න අපි කවදාවත් මැලි වෙන්නේ නැහැ
අපේ රටේ කෑමක් කාලා සැරයි සැරයි කියලා වතුර හොයන විදේශිකයන් හරිම සුපුරුදු දසුනක්. මේකට ප්‍රධාන හේතුව අපේ රටේ හැම කෑමක්ම වගේ දිවට හොඳට දැනෙන්න මිරිස් තුන පහ දාලා හදන එකයි. මිරිස්, අමු මිරිස් සහ ගම්මිරිස් කියන්නේ අපේ අම්මලා උයන්න ගියාම එයාලගේ හොඳම යාළුවෝ තුන් දෙනා. තුනපහ, කහ වගේ දේවල් ටිකක් පරිස්සමෙන් දැම්මත් මිරිස් දානකොට හැන්ද පුරවලා ගන්න එයාලා කවදාවත් මැලි වෙන්නේ නැහැ.
බත් ගොඩක් බෙදාගෙන කන පුරුද්ද තියෙන අපේ අනිත් අයටත් ඉතින් කරි එකෙන් පොඩ්ඩක් අනා ගත්තත් හොඳට සැරට තියෙනවා නම් ඊට වඩා දෙයක් නැහැ. මිරිස්, අමුමිරිස්, ගම්මිරිස් වගේම අබ, කරපිංචා, සුදු ළූණු, කුරුඳු, කරාබු නැටි, එනසාල්, ඉඟුරු, සූදුරු සහ කොච්චි එහෙමත් දාලා කන කෙනාට දුම් විසි වෙන්න හදන කෑම එක ශ්‍රී ලංකාවටම ආවේණිකයි කියන්න පුළුවන්.
කෑමක් කන්න ගියාම “මිරිස් දාල නම් කනවා නැතිනම් නොකා ඉන්නවා” කියන එක අපේ අයට හොඳට හුරු සංකල්පයක්. සැරට කාලා උණු වතුර එකක් බිව්වාම තමයි නියම ශ්‍රී ලාංකික ආහාරයක රස දැනෙන්නේ.
කෘත්‍රීම සෝස් වර්ග, මයොනේස් සහ ක්‍රීම් පාවිච්චිය හරිම අඩුයි
අපේ රටේ කෑම පිසින බොහෝ දෙනා කෘත්‍රීම රසකාරක පාවිච්චි කරන්නේ හරිම කලාතුරකින්. බොහෝ බටහිර ආහාර වට්ටෝරු වල ප්‍රධානතම අංගයක් වුණත් මයොනේස් අපේ රටේ කෑම වර්ග වලට යොදා ගන්නෙම නැති තරම්. (Mayonnaise – මේ ගැන මේ ලිපිය කියවන සමහරු අහලාවත් නැති වෙන්න පුළුවන්) අපේ රටේ කෑම කාලා පුරුදු සමහරුන්ට මයොනේස් කන්නත් ටිකක් අප්පිරියයි.
ඩෙවල් වර්ග ඇතුළු චයිනීස් කෑම වලට නිතරම යොදා ගන්න තක්කාලි සෝස් සහ සෝයා සෝස් වර්ග ගැනත් අපේ ගොඩක් අම්මලාගේ ලොකු පැහැදීමක් නැහැ. “ඕවා දාලා තේරුමක් නැහැ, ඒවා නොදා ඊට වඩා රසට කෑම හදන්න පුළුවන්” කියලා තමයි එයාලා නිතරම කියන්නේ. ඇත්තට සම්බෝල, අච්චාරු වර්ග එහෙම තියෙන එකේ අපේ කෑම වලට ඔය සෝස් වර්ග මොකටද? අනික පොල් කිරි තියෙන එකේ අපිට මොකටද ක්‍රීම්?
කොයි කෑමටත් එකතු වෙන රම්පෙයි කරපිංචයි
“සිලන්ට්‍රෝ”, “පාස්ලි”, “තයිම්” වගේ අපිට කියන්නත් නුහුරු කොළ වර්ග බටහිර ආහාර පාන “ගානිෂ්” කරන්න නිතරම යොදා ගැනුණත් අපිට නම් ඕන වෙන්නේ රම්පෙයි කරපිංචයි විතරයි. රත් වෙච්ච තෙල් වලට ළූණුයි කරපිංචයි දාලා බැද ගන්න එක අපේ රටේ කොයි කෑම වර්ගය හදද්දීත් ආරම්භක පියවර කියලා සලකන්න පුළුවන්. රසයි සුවඳයි වගේම කරපිංචා සහ රම්පෙ කියන්නේ ඖෂධීය ගුණ අතිනුත් බොහොම ඉහළ කොළ වර්ග දෙකක්. සෞඛ්‍යට වගේම කෑම කල් තියා ගන්නත් මේවායින් හොඳ පිටුවහලක් ලැබෙනවා.
අපේ රටේ ඕනෑම පලාතක තියෙන පස් වල ලේසියෙන්ම රම්පෙයි කරපිංචයි පැළ වෙන නිසා තවමත් වැඩි දෙනාගේ ගෙවල් වල රම්පෙ පැළයකුයි, කරපිංචා ගහකුයි දැකගන්න පුළුවන්. මේවා කඩෙන් අරගෙන තියාගෙන කනකොට වඩා ඒ වෙලාවේ කඩලා ගත්තාම ගොඩක් රසයි කියන එක ගොඩක් අම්මලා අත්දැකීමෙන්ම දන්න දෙයක්.
අපේ සමහර “ඩිෂ්” දැක්කාම මේ මොනවද කියලා හිතෙන අවස්ථා ඕන තරම්
“බ්‍රොකොලි”, “බ්‍රසල්ස් ස්ප්‍රවුට්ස්” වගේ අපිට කියා ගන්නත් අමාරු එළවලු වර්ග වෙනුවට අපේ රටේ පාවිච්චි වෙන්නේ නෙලුම් අල, වැටකොළු, මුරුංගා, බණ්ඩක්කා, පතෝල සහ කොහිල වගේ දේවල්. අර්තාපල් වල තියෙන දිව පිනවන පිටි රසයට එකතු වෙන්න අළු කෙසෙල්, දෙල්, කොස්, පොලොස් වගේ දේවල් අපේ රටේ හැදෙනවා. පලා වර්ගත් අපේ කෑම වලට නැතිවම බැහැ. ගොටුකොළ, කතුරු මුරුංගා, කංකුන්, නිවිති, තම්පලා සහ තවත් බොහෝ පලා වර්ග ලංකාවේ ආහාරයට ගන්නවා.
සාමාන්‍යයෙන් මතක තියා ගන්න ඕන දෙයක් තමයි මොකක් හරි එළවළුවක් අඳුනා ගන්න අපහසු වෙන තරමට, හොයා ගන්න අපහසු වෙන තරමට වගේම කන්න අමාරු වෙන තරමට ඒවා ගුණෙන් වැඩියි කියන දේ. මේක අපේ පැරැන්නෝ නිතරම වගේ කියන දෙයක්.
ඉදුණු ගොරකයි සියඹලයි අපිට නැතිවම බැහැ
අපේ රටේ ගොරකා, සියඹලා දාන එකට කියන පොදු නමක් තමයි “ඇඹුල් දානවා” කියන එක. දෙහි ඇඹුල් ගොඩක් වෙලාවට උයන්නේ නැතිව ආහාරයට ගන්න සම්බෝල, මැල්ලුම් වගේ දේවල් වලට පාවිච්චි වුණත් උයනකොට ඇඹුල් රසය දෙන්න ප්‍රධානවම යොදා ගන්නේ ගොරකා – සියඹලා දෙක තමයි. විශේෂයෙන්ම අපේ රටට ආවේණික රසයකින් මාළු උයා ගන්නකොට මේ දෙක හොඳට යොදා ගන්නවා. මාළු වලින් එන සමහරුන්ට අප්‍රසන්න පිලී ගඳ නැති කරන්න මේ දෙක ඉතාම වැදගත්.
ගොරකා අපේ රටේ කෑම කල් තියා ගන්නත් විශේෂයෙන්ම යොදා ගැනෙනවා. අපි කවුරුත් දන්න දිව පිනවන ඇඹුල් තියල් එක හදන්නේ හොඳට ගොරකා දාලා අනලා තියලයි. ඒ වගේම කරියට දාන සියඹලා වලින් තරමක කාලයක් හරි කෑම කල් තියා ගන්න උදව්වක් ලැබෙනවා. මේවායින් ලැබෙන විටමින් ඇතුළු පෝෂණීය ගුණත් අපිට බොහොම වැදගත්.
කෑම උයන එක බොහොම වෙලා යන වැඩක්
උයන පිහන වැඩ ගැන හොඳට පුරුදු වුණු කෝකියෙක් නෙවෙයි නම් ශ්‍රී ලංකාවේ ආහාර වේලක් සකස් කරන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. උදේ කෑමට හදන සරල ආහාර වේලක් ගැන නිකමට හිතමු. වැඩි දෙනා උදේට කන්න කැමති ඉඳි ආප්ප ටිකක් හදනවා නම් ඒ එක්ක කන්න පොල් සම්බෝලෙකුයි, පරිප්පු කරියකුයි, චිකන් එකකයි හදන්න වෙනවා. ඉතින් උදේ පාන්දරම නැගිටලා ගෙඩියක දෙකක පොල් ගාන්න සිද්ධ වෙනවා. උදේට කෑම කාලා ඉවර වෙලා වැඩි වෙලාවක් යන්නත් කලින් කුස්සියට ගිහින් දවල් කෑමටත් මොනවා හරි හදන්න පොල් ගාන්න පටන් ගන්න ඕනේ. ඇත්තටම අනිත් හැම දේකටම වඩා පොල් ගාන එක අමාරුයි කියන එක නිතරම ඇහෙන මැසිවිල්ලක්.
ඒත් ඉතින් කලිනුත් කිව්වා වගේ කිරි රසක් නැති නම් කන එකෙනුත් වැඩක් නැහැ. ඉතින් අම්මලාත් මහන්සිය නොබලා රසට කෑම හදලා දෙනවා. අපේ අයට කටට රසට කෑම එකක් හදන එක වෙනම අධ්‍යයනයක් එහෙම කරලා ඉගෙන ගන්න තරම් අමාරුයි. ඒත් මොන තරම් අමාරුවෙන් හරි හදන කෑම වේලක් මේසයේ වාඩි වෙලා කන එක වගේ සතුටක් නම් වෙන කොහේවත් නැති තරම්, එහෙම නේද?
කනවා කියන්නේ කන එකටමත් නෙවෙයි
අපේ රටේ කෑම වේලක තියෙන අපිටම ආවේණික ලක්ෂණ එතැනින් ඉවර වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට කෑම හදපු කෙනා තමන්ගේ වැඩ කොටස ගැන හොඳක් අහගන්න කැමැත්තෙන් කෑම මේසය අවටම ගැවසෙනවා. (ගොඩක් වෙලාවට අම්මා හරි පවුලේ වෙනත් ගැහැණු සාමාජිකයෙක් හරි) “ඔයාත් මෙසේ වාඩි වෙලා අපිත් එක්කම කන්න” කියලා කිව්වත් එයාලගේ වැඩේම තමන් කන එක පසුවට තියලා කෑම කන අනිත් හැමෝටම අඩු වැඩිය බෙදන එක. තමන් අමාරුවෙන් හදපු කෑම වේලෙන් වැඩි හරියක් හැමෝගෙම බඩවල් වල තැන්පත් කරන එක තමයි එයාලගේ ඒකායන බලාපොරොත්තුව.
ඉතින් ඇති ඇති කියලා කියද්දීත් බලෙන්ම කෑම වර්ග ගොඩ ගහන එක ගොඩක් අම්මලා දූලාගේ පුරුද්දක්. කොච්චර බෙදුවත් අමාරුවෙන් කන එක ඉතින් අනිත් අයගේ යුතුකම. කන ගමන් හැම දේකම රස ගැන උයපු හැමෝටම ප්‍රශංසා කරන අතරේ වැඩිය නොකන දේවල් වල ගුණ නිසා කන්න කියලා කොහොම හරි කවන එකත් කෑම මේසයේ සුලභ දසුනක්. අපේ ශ්‍රී ලාංකික ආහාර වේලක සුවිශේෂීත්වය තියෙන්නේ හදලා තියෙන කෑම වල විතරක් නෙවෙයි කියන එක තේරෙන්නේ කවුරුත් හිනා වෙමින් කතා කර කර කෑම කන සුන්දර දර්ශනයක් දකිනකොටයි. ඇත්තටම මේක තමයි අපේ කෑම අපිටම සුවිශේෂී වෙන්න ප්‍රධානම හේතුව. “රෙසිපි” එක බලාගෙන ලංකාවේ කෑම පිටරටක හැදුවත් මේ සතුට නම් කවදාවත් වෙන රටකින් අත් විඳින්න බැහැ.
අපේ රටේ කෑම ගැන මේ ලිපිය ඔබට ගෙන එන්නේ Knorr පරිප්පු Twist වෙතින්.
කවරයේ රූපය : කොත්තු රොටී. පාන් පිටි අනලා හදන රොටී සහ එළවලු, බිත්තර මස්, මාළු එකතු වෙලා හැදෙන අපේ රටේ කවුරුත් හඳුනන ශ්‍රී ලාංකික ආහාරයක්. රූපය : mefoodie.net
පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ