Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිලාධිකම තෙල් ලබාදෙන සඳුන් ගසේ තතු

සුදු හඳුන් කියන්නේ අපේ රටේ ලොකු ඉල්ලුමක් තිබෙන, කලාතුරකින් දකින්න ලැබෙන ගසක්. ඒ වගේම ලෝකයේ ඉහළම වටිනාකමක් ලැබෙන දැව සපයන ශාකයක්. මේ හින්දා සඳුන් ගස් හොරෙන් කපාගෙන යාම ගැන නිතර ආරංචි ලැබෙනවා. මේවා බොහෝවිට තිබෙන්නේ පෞද්ගලික වතුවල, සහ විහාර ඉඩම්වල. ගලේවෙල වෙහෙරබැදිහින්න විහාර භූමියේ පිහිටි අක්කර 25ක සුදු හඳුන් වනයත් සොරු කපාගෙන යාම නිසා තර්ජනයට ලක්වී ඇති බව පසුගිය කාලෙ වාර්තා වුණා. සුදු හඳුන් දැව කිලෝවක් රුපියල් 7000කටත් ඉහළ මිලකට අලෙවි කරන බව පැවසෙනවා.  මේ අතර පසුගිය දා වාර්තා වුණේ බත්තරමුල්ල අපේගම අසල අක්කර 9ක භූමියක සඳුන් ගස් 1000කින් යුක්ත ජාතික සඳුන් උයනක් රෝපණය කිරීමට රජය කටයුතු යොදන බව යි.

ගසේ වගතුග

ලංකාවේ මල් පිපුණු සඳුන් ගසක්- delmaconservation.org

Santalum album යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ඉන්දියානු සුදු හඳුන්වලට සංස්කෘතයෙන් කියන්නේ ‘ස්වේත චන්දන’ කියලයි. ‘ගන්ධසාර’, ‘මලයජ’, ‘සර්පාවාස’ ආදී සංස්කෘත නාමවලින් ද එය හඳුන්වනවා. ඉංග්‍රීසියෙන් ‘sandalwood’ ලෙස ද, දෙමළෙන් ‘ශන්දක්කට්වාර්ය’ නමින් ද සුදු හඳුන් ශාකය හඳුන්වනවා. මෙය අයත් වන්නේ සැන්ටලාසිටයේ හෙවත් සඳුන් කුලයට යි. සඳුන් කුලයට අයත් ගස් අර්ධ පරපෝෂිත වන අතර පඳුරු හෝ පැළෑටි ලෙස වැවෙනවා. මෙම ගස විදේශීය ශාකයක් වන අතර නිජබිම ලෙස සැලකෙන්නේ ඉන්දියාව යි. එය අඩි 25- 30ක් පමණ උසට වැඩෙන ශාකයක්.

ගසේ කොටස්-wikipedia.org

කොළ තුඩැති කෙළවරකින් යුක්ත යි. මතුපිට දිලිසෙන අතර යටිපැත්ත ලා කොළ පාට යි. ගස වැවෙන්නේ සෘජු කඳක් ලෙස යි. අතු ඉති නැවෙමින් වර්ධනය වන්නේ නැහැ. සුමුදු පොත්තක් දැකගත හැකියි. එය අළුවන් දුඹුරු පාට යි. මල් දම් රතු පාටැති යි. කළු පැහැති කුඩා පල හටගන්නවා. හඳුන් ශාකය ඉන්දියාවේ උප විශේෂ ගණනාවකින් යුක්තයි. ඒවා ‘ශ්වේත චන්දන’, ‘රක්ත චන්දන’, ‘කුචන්දන’, ‘කාලියක බර්බර’, ‘හරි චන්දන’, ‘මයිසූර් චන්දන’ ලෙස සඳහන් වෙනවා.

සඳුන් පත්‍ර- wikipedia.org

සුදු හඳුන් ශාකයේ අන්තර්ගත රසායනික ගුණ නම් කඳේ හා මුල්වල 3.6% අතර ප්‍රමාණයක් වාෂ්පශීලී තෙලක් පැවතීම යි. මේ තෙල කහ පාට යි. නාසය විනිවිද යන සුවඳකින් යුක්ත යි.

අප රටේ අතරමැදි කලාපයේත්, තෙත් පහතරට ප්‍රදේශවලත් ගෙවතුවල සහ ලඳු කැලෑවල මේ ගස වැවෙනවා. සුදු හඳුන්වල වටිනාකම පිළිබඳ ගොවීන් හා වගාකරුවන් දැන සිටිය ද එය තවමත් ඔවුන් අතර ප්‍රචලිත වූ ආකර්ෂණීය වගාවක් වී නැහැ.  බීජ මඟින් ප්‍රචාරණය අපහසු වීමත්, ශාකයේ වර්ධනය ඉතා සෙමෙන් සිදු වීමත් යන කරුණු එයට බලපා තිබෙනවා.

පැතිරීම

ඉන්දියාවේ සඳුන් වනයක්- pinrest.com

මේ ගස ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය (එරට හවායි දූපත) වැනි රටවල පැතිර තිබෙනවා. සුදු හඳුන් ගස ඉන්දියාවේ මයිසූරය, කොයිම්බටුර්, සහ චෙන්නායි අවට වගා කරනවා. ලංකාවේ ද වගා කෙරෙන අතර මහා පරිමාණ ලෙස වගාකිරීමක් නම් දකින්න නැහැ. ඖෂධ පිණිස ගත යුත්තේ සුවඳවත් අරටුව සහිත සුදු හඳුන් දැවය යි. 

සුදු හඳුන්වල අගය ඒවා වැවෙන බිම් හා ගස් කපන කාලය අනුව වෙනස් වෙනවා. සරු බිම්වල සෑදෙන ගස්වලින් ලැබෙන්නේ අඩු තෙල් ප්‍රමාණයක්. ගල් සහිත භූමියක සෑදුන විට තෙල් ප්‍රමාණය අධික වන අතර ගුණයෙන් ද වැඩි බව යි පැවසෙන්නේ.

වෙහෙරබැදිහින්න සුදු හඳුන් වනය- dinamina.lk

ලංකාවේ අනවසර කැපීම් හේතුවෙන් සඳුන් ගස් ගහනය ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. මේ නිසා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත මඟින් මෙය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත ශාකයක් ලෙස නම්කර තිබෙනවා.

පරපෝෂිත සඳුන්

සඳුන් කුඩු සහ දැව – netmeds.com

බොහෝ දෙනෙක් නොදන්න කරුණක් තමයි මේ ගස  අර්ධ පරපෝශීත ගසක්බව. එසේ සැලකෙන්නේ සුදු හඳුන් ශාකයේ මුල්වලින් ගසට අවශය පෝෂ්‍ය ද්‍රව්‍ය තනිවම උරාගැනිමට නොහැකි නිසයි. ධාරක ශාකයක් මත යැපෙමින්, සුදු හඳුන් ශාකය එම ධාරක ශාකයෙන් තමාට අවශ්‍ය ජලය හා වෙනත් සංඝටක අවශෝෂණය කරගැනීමක් සිදු කරනවා. ඒ නිසා වෙනත් ශාකයක මුල් ඒ සඳහා අවශ්‍ය වෙනවා. මෙනිසා සුදු හඳුන් වවනවිට දාස්පෙතියා, මුකුනුවැන්න, නිදිකුම්බා ආදී ශාක සුදු හඳුන් ගස අසල වැවීම කෙරෙනවා.

ආයුර්වේද ඔසුවක්

රූපාලංකාරයට නැතිවම බැරි සඳුන්- netmeds.com

හිසෙහි වේදනාව, දැවිල්ල, චර්ම රෝග, මානසික රෝග, අතීසාර, පණු රෝග, රක්ත පිත්ත, හෘද රෝග, කල්ගත වූ කැස්ස, මූත්‍ර අඩස්සිය, මූත්‍ර දැවිල්ල ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට සුදුහඳුන් ශාකයේ පිටපොත්ත, දළු, අරටුව, අරටුව දැවූ අලු, සහ තෙල් භාවිතා කරනවා. සුදුහඳුන්වල දුඟද නසන, දාහය සමනය කරන, පණුවන් නසන, මුත්‍රකාරක, ස්වේද ජනක, රුධිරය පිරිසිදු කරන විෂනාෂක ආදී ගුණයන් රැසක් සහිත යි.

සමේ පැහැපත් පෙනුම ගැන විශාල උනන්දුවක් දක්වන කාන්තාවන්ට නම්  සුදු හඳුන් ගැන කතා නොකරම බැහැ. පුරාණ රාජ කුමාරිකාවන් තම සම නිරෝගීව මෙන්ම පැහැපැත්ව තබගැනීම උදෙසා සුදුහඳුන් ගලගා එළකිරි සමග මිශ්‍රකර සමේ ආලේප කළ බව සඳහන් වෙනවා.

මේ ගසේ ළපටි කොළ මැල්ලුමක් ලෙස හෝ සලාදයක් ලෙස අහාරයටත් එක්කර ගත හැකියි.

අතීත කතා

සඳුන් ආලේපන- netmeds.com

පුරාණයේ සිටම සුදුහඳුන්වල වටිනා ඖෂධීය ගුණය ගැන දැන සිටි බවට සාහිත්‍ය කෘතිවලින් සාක්ෂ්‍ය ලැබෙනවා.  අතීතයේ දඹදිව මියුළු නුවර සිරිවර්ධන සිටුතුමාට දාව උපන් කුමරා මව් කුසින් බිහිවන විට සුදුහඳුන් කැබැල්ලක් මිට මොළවාගෙන උපන් හෙයින්, ‘මහා ඖෂධයක් ගෙන ආ තැනැත්තා’ යන අර්ථයෙන් ‘මහෞෂධ’ නමින් හැඳින්වූ බව උම්මග්ග ජාතකයේ සඳහන් වෙනවා. මුල් කාලයේ විවිධ ආගමික හා සංස්කෘතික කටයුතු සඳහා සුදු හඳුන් යොදා ගෙන තිබෙනවා. අදටත් ඉන්දියාවේ ආගමික ප්‍රතිමා ආදිය නිර්මාණයට සඳුන් දැව යොදාගන්නා අතර සඳුන් කුඩු මිශ්‍ර ජලයෙන් ප්‍රතිමා නෑවීමත් කෙරෙනවා.

අධික මිලක්

ඉහළ මිලක් ඇති සඳුන් තෙල් – wikipedia.org

වර්තමානය වන විට අන්තර්ජාතික වෙළෙඳපොළ තුළ ද සුදු හඳුන් හා ඒ අශ්‍රිත නිෂ්පාදන අලෙවි වන්නේ ඉහළම මිලකට යි. සඳුන් තෙල් ලීටරයක් ඇ. ඩොලර් 3000ක් පමණ වෙනවා. ඖෂධ නිෂ්පාදනයට මෙන්ම සුවඳ විලවුන්, සුවඳකාරක ඇතුළු රූපලාවණ්‍ය නිෂ්පාදන රැසක් සඳහා අමුද්‍රව්‍යයක් ලෙස ද සුදු හඳුන් යොදාගන්නවා. දැවවලින් නිර්මාණය කරන විසිතුරු කැටයම් සඳහා ද සුදු හඳුන් යොදාගන්නවා. සුදු හඳුන් දැවයෙන් කළ නිර්මාණ සඳහා ඉන්දියාව, තායිවානය හා හොංකොං වැනි රටවල ඉහළ ඉල්ලුමක් පවතිනවා. යුරෝපය, ජපානය, උතුරු ඇමෙරිකාව ආදි රටවල්වලින් ද ඒවාට ඉල්ලුමක් තිබෙන බව වාර්තා වෙනවා.

සුදු හඳුන් පර්යේෂණ

සඳුන් දැව ප්‍රතිමාවක් – wikipedia.org

සුදු හඳුන්වල අණුක ජීව විද්‍යාත්මක වටිනාකම ගැන පර්යේෂණ ව්‍යාපෘතියක් 2016 වසර මැද භාගයේ පටන් සිදු කෙරෙනවා. ඒ සඳහා මූලිකත්වය ගෙන තිබෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨයේ කෘෂි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානය යි. එහි අධ්‍යක්ෂිකා ආචාර්ය ප්‍රදීපා සී. ජී. බණ්ඩාරනායක මහත්මියගේ මූලිකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් සුදු හඳුන් පර්යේෂණවල නිරත වෙනවා. මේ පර්යේෂණ මගින් සති පහක් වැනි කෙටි කාලයක් තුළ සියයට අනූවක් පමණ බීජ පැළ කිරීමට හැකි ක්‍රමවේදයක් සොයාගත් බව වාර්තාවී තිබෙනවා. වගාවන් තුළ ඇති උසස් ලක්ෂණයන්ගෙන් යුත් මව් ශාක හඳුනාගෙන, ඒවායෙන් පටක රෝපණය මඟින් පැළ ලබාගැනීමත් පර්යේෂණයේ අරමුණක් වී පවතිනවා. මෙම පර්යේෂණයේ දී සුදු හඳුන් ගස  සඳහා සුදුසු ධාරක ශාක හඳුනාගැනීමටත් කටයුතු කර තිබෙනවා. දැනට භාවිත කරන රනිල කුලයේ ශාක සහ රනිල කුලයේ නොවන ධාරක ශාක සඳුන් පැළ සමඟ විශේෂිත වීදුරු ආවරණ බඳුන් තුළ වගා කර අධ්‍යයනය කළා. ඉන් ලැබුණු දත්තවලට අනුව පෙනී යන්නේ නිල් කටරොඩු සමඟ වැවීමේදී සුදු හඳුන් පැළෑටි ඉතා හොඳින් වර්ධනය වන බවයි.

රූපාලංකාර ඔසුවක්

සඳුන් සත්කාරය- netmeds.com

වර්තමානයේ දේශිය මෙන්ම විදේශිය වශයෙන් නිෂ්පාදනය කරණු ලබන සෑම ආලේපනයකම සුදු සඳුන් එක්කිරීම දැකගත හැකියි. අප රටේද සබන් වර්ග, ක්‍රිම් වර්ග රාශියක් සඳුන් යොදා නිපදවනවා. විශේෂන්ම සුදු සඳුන් භාවිතයෙන් සම රැලි ගැසිම, මුහුණ් ඇති වන කුරුලෑ, සම අවපැහැගැනීම් ආදිය වලක්වාගත හැකියි. මේ සඳහා අවශ්‍ය සඳුන් තෙල් හා සඳුන් කුඩා සැපයුමක් අප රටේ නැති නිසා ඒවා ඉන්දියාවෙන් ආනයනය කෙරෙනවා. ඉන්දියාව මහා පරිමාණයෙන් සඳුන් වගාකරමින් සඳුන් තෙල් නිපදවන රටක්.

 

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

healthline.com

Silumina.lk

britannica.com/plant/sandalwood

සිරිලක ගස් කොළන් අත්පොත- මාක් ඈෂ්ටන්, නීලා ද සොයිසා සහ තවත් අය-පරි. අතුල විජයසිංහ

කවරය - සඳුන් තෙල් හා දැව -netmeds.com

Related Articles