Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නත්තලට නැතුව ම බැරි ‘පැනටෝනි’

ලොව පුරා කිතුනු බැතිමතුන් ඉතා උද්‍යෝගයෙන් සමරන නත්තල් උත්සවයට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. නත්තල හා බැඳුණු නත්තල් ගස, සුබ පැතුම්පත් වැනි දෑ රැසක් අතර නත්තල වෙනුවෙන් ම සකස් කරන ආහාරපාන ද රැසක් තිබේ. නත්තල වෙනුවෙන් සකස් කරන බොහෝ ආහාරපානවල ආරම්භය සිදු වූයේ යුරෝපා රටවල ය. ඒ අතරින් ඉතාලි ජාතිකයන් මුලින් ම පිළියෙළ කළ, නත්තල වෙනුවෙන් ම සකස් කරන ‘පැනටෝනි’ නම් රසවත් අතුරුපස පිළිබඳ ව මෙම ලිපියෙන් සොයා බලමු.

ඉතාලියේ මිලානෝ නගරයේ ජීවත් වූ ජනතාව මුලින් ම සකස් කළ පැනටෝනි පැණි රස පාන් විශේෂයකි. එහි ආරම්භය ඉතාලියේ සිදු වූවත් මේ වන විට බටහිර, දකුණු සහ ගිනිකොන දිග යුරෝපයේ රටවල් ගණනාවක නත්තල සහ නව වසර සැමරීමේ දී පැනටෝනි ආහාරයට ගනී. ඊට අමතර ව දකුණු අමෙරිකානු රටවල්, එරිත්‍රියාව, ඔස්ට්‍රේලියාව, එක්සත් ජනපදය සහ කැනඩාව වැනි රටවල ද ජනප්‍රිය අතුරුපස විශේෂයක් ලෙස පැනටෝනි හැඳින්විය හැකි ය.

නත්තල් කෑම මේසයක් මත තබා ඇති පැනටෝනි – www.depositphotos.com

ඉතිහාසය

මූලාශ්‍රවල සඳහන් වන්නේ පැනටෝනි පිළියෙළ කිරීම ඉතාලියේ මිලානෝ නගරයේ ආරම්භ වූ බව යි. ‘පැනටෝ’ නම් කුඩා කේක් වර්ගයකට සමාන බැවින් ඒ සඳහා ‘පැනටෝනි’ යන නම ලැබුණු බව පැවැසේ. පුරාණ රෝම අධිරාජ්‍ය පැවති යුගයේ දී පැනටෝනි සකස් කිරීම ආරම්භ වන්නට ඇති බවට විශ්වාස කෙරේ.

ක්‍රිස්තු වර්ෂ 1500 ගණන්වල ජීවත් වූ, පාප් වහන්සේලාගේ සහා අධිරාජ්‍යයන්ගේ පුද්ගලික කෝකිවරයකු ලෙස කටයුතු කළ, බර්තලමියෝ ස්කාපිගේ පොතක ද පැනටෝනි පිළිබඳව සඳහන් වේ. පැනටෝනි සහ නත්තල අතර ඇති සම්බන්ධතාව පිළිබඳ මුල් ම ලිඛිත තොරතුරු ඇතුළත් වන්නේ 18 වැනි ශත වර්ෂයේ දී ඉතාලි ජාතික ඉතිහාසඥයකු, ආර්ථික විද්‍යාඥයකු, දාර්ශනිකයකු සහ ලේඛකයකු වූ පියෙට්‍රෝ වෙරි රචිත පොතක ය. එහි සඳහන් වන්නේ එකල පැනටෝනි සුඛෝපභෝගී පාන් වර්ගයක් වූ බව ය.

පියෙට්‍රෝ වෙරි – www.wikipedia.org

 දෙවැනි ලෝක යුද්ධයේ අවසානය වන විට ඕනෑම අයකුට දැරිය හැකි තරම් සාධාරණ මිලකට පැනටෝනි මිල දී ගත හැකි වූ බැවින් එය ඉතා කෙටි කලක් ඇතුළත ඉතාලිය ඇතුළු තවත් රටවල් ගණනාවක, නත්තල වෙනුවෙන් සකස් කරන ප්‍රධානත ම පාන් වර්ගය බවට පත් විය.

නිෂ්පාදනය පුළුල් වීම

20 වැනි සියවසේ මුල් භාගයේ දී ඉතාලියේ මිලානෝ හි බේකරිකරුවන් අනිකුත් ප්‍රදේශවලට ද ප්‍රමාණවත් වන සේ පැනටෝනි විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම ආරම්භ කළහ. මේ අතර ඉතාලියේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ඇන්ජෙලෝ මෝටා 1919 වසරේ දී එවකට නිශ්චිත හැඩයක් නොමැතිව සකසා ගත් පැනටෝනි වර්තමාන‍යේ දී දැකිය හැකි සිලින්ඩරාකාර හැඩයට සකස් කිරීම ආරම්භ කළේ ය. ඔහු ඒ සඳහා යොදා ගන්නා පිටි මිශ්‍රණය, පැය විස්සකට වැඩි කාලයක් තිස්සේ තුන් වරක් පදම් කරගෙන තිබේ.  

මෝටා ආරම්භ කළ බේකරිය – www.lifeinitaly.com

ඉන් අනතුරුව ඉතාලියේ ම තවත් බේකරිකරුවෙක් මෝටා ගේ පැනටෝනි වට්ටෝරුව අනුව පැනටෝනි නිෂ්පාදනය ආරම්භ කළේ ය. ඔහු 1925 වසරේ දී හඳුන්වා දුන් පැනටෝනි සන්නාමය වර්තමානයේ ද ඉතාලියේ ප්‍රසිද්ධ එකකි. මෝටා සහ අනික් ව්‍යාපාරිකයා පසුකාලීන ව තරගකාරී ආකාරයෙන් පැනටෝනි නිෂ්පාදනය කර තිබේ.

පසුව ඔවුන් ඉතාලියේ සෑම ප්‍රදේශයක ම පාහේ සිය නිෂ්පාදන බෙදාහැරී අතර ප්‍රදේශ ගණනාවක ශාඛා ද ආරම්භ කර තිබේ. 1990 වසරේ දී නෙස්ට්ලේ සමාගම මෙම සන්නාම දෙක ම මිල දී ගත් නමුත් ඉතාලියේ වෙරෝනා හි පිහිටි බේකරි සමාගමක් මේ වන විට නෙස්ට්ලේ සමාගමෙන් එම සන්නාමයන් මිල දී ගෙන තිබේ.

පැරැණි බේකරියක පැනටෝනි නිෂ්පාදනය කරන අයුරු – www.aparolamagazine.com

පෙනුම සහ පිළියෙළ කරගන්නා අයුරු

වර්තමානයේ දී බොහෝ විට සිලින්ඩරාකාර හැඩයක් ගන්නා පැනටෝනිවල ඉහළ කොටසේ විෂ්කම්භය පහළ කොටසේ විශ්කම්භයට වඩා වැඩි ය. එහි බර සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් එකක් පමණ වන අතර, උස සෙන්ටිමීටර් 12-15 අතර වේ. සාමාන්‍ය සිලින්ඩරාකාර හැඩයට අමතර ව තරුවක හැඩයට ද පැනටෝනි සකස් කෙරේ. ඒ සඳහා යොදා ගන්නා පිටි මිශ්‍රණය දිනකටත් වැඩි කාලයක් තිස්සේ යීස්ට් යොදා පදම් වීමට තබයි. එසේ සකස් කර ගත් පිටි මිශ්‍රණය අච්චුවල දමා, පෝරණුවේ පුළුස්සා ගනියි. එහි වියළා ගත් දොඩම්, ලෙමන් පොතු, වියළි මිදි ද අඩංගු වේ. ඊට අමතර ව මේ වන විට සකස් කරන පැනටෝනි සඳහා චොක්ලට් වැනි දේ ද යොදා ගනී.

පිළිගන්වන ආකාරය

ඒ ආකාරයෙන් පිළියෙළ කරගන්නා පැනටෝනි තිරස් අතට කැබලි කිහිපයකට කපා පිළිගන්වන්නේ ඒ වෙනුවෙන් ම සකස් කරන සුවිශේෂී පාන වර්ග එකක් හෝ කිහිපයක් සමඟ වීම තවත් විශේෂත්වයකි. එවැනි පාන අතර පැණි රසැති, උණුසුම් ඒවා සහ වයින් වර්ග ප්‍රධාන වේ. ඉතාලියේ සමහර ප්‍රදේශවල පැනටෝනි පිළිගන්වන්නේ ඒ සඳහා ම සකස් කරගත් ක්‍රීම් වර්ගයක් සමඟිනි. එය බිත්තර, චීස් සහ මධ්‍යසාර එකතු කර සාදා ගනී.

තිරස් අතට කපා ඇති පැනටෝනි – www.wikipedia.org

වර්තමාන තත්ත්වය

මේ වන විට ඉතාලියට අමතර ව ආජන්ටිනාව, බ්‍රසීලය, චිලී රාජ්‍යය, ඉක්වදෝරය, කොලොම්බියාව, උරුගුවේ, වෙනිසියුලාව, බොලීවියාව, පැරගුවේ සහ පේරු වැනි රටවල් ගණනාවක පැනටෝනි ජනප්‍රිය වී තිබේ. ඉතාලියේ සිට පැමිණ පේරු රාජ්‍යයේ පදිංචි වූ පුද්ගලයකුගේ පුත්‍රයකු වූ ඇන්ටෝනියෝ ඩි’ ඔනොෆ්‍රියෝ නවත ම සන්නාමයක් යටතේ පැනටෝනි නිෂ්පාදනය ආරම්භ කළේ ය.

සාමාන්‍යයෙන් පැනටෝනි සකස් කිරීමේ දී යොදා ගන්නා ලෙමන් සහ දොඩම් වැනි පලතුරු සපයා ගැනීම දුෂ්කර වූ බැවින් ඔහු ඒ වෙනුවට වියළා ගත් ගස්ලබු කැබලි යොදා ගෙන තිබේ. එම සන්නාමය මේ වන විට නෙස්ට්ලේ සමාගම සතු වන අතර එම සමාගම දකුණු අමෙරිකාව පුරා ම පැනටෝනි බෙදා හරියි. මේ වන විට ශ්‍රී ලංකාවේ ද පිහිටි ඉතාලි ආහාරපාන අලෙවි කරන ස්ථානවල පැනටෝනි නිෂ්පාදනය කරයි. 

වර්තමානයේදී පැනටෝනි නිෂ්පාදනය කරන අයුරු – www.sentinesource.com

ඉතාලියේ ආහාරපාන නිෂ්පාදන සමාගම් සහ බේකරිවල සෑම නත්තලක් සඳහා ම පැනටෝනි මිලියන 110කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බව ගණන් බලා ඇති අතර ඉන් ලබාගන්නා ආදායම දල වශයෙන් යුරෝ මිලියන 579 කි. 2013 වසරේ සිට හොඳම පැනටෝනි නිෂ්පාදකයා තෝරාගැනීම සඳහා ඉතාලියේ මිලානෝ නගරයේ දී තරගාවලියක් ද පැවැත්වේ.

 අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ ද මෑතක සිට පැනටෝනි සැණකෙළියක් පැවැත්වේ. එය දෙසැම්බර් 9 සිට 12 දක්වා සහ නැවතත් දෙසැම්බර් 16 සිට 19 දක්වා උදෑසන 10 සිට සවස 6 දක්වා පැවැත්වේ. එහිදී පැනටෝනි පිළිගැන්වීම සඳහා වයින්, චොක්ලට්, ක්‍රෑන්බෙරි සහ වොල්නට් යොදාගෙන සකස් කළ සෝස් වර්ගයක්, කුංකුම සහ විස්කි වැනි දේ යොදා ගනී. සම්පුර්ණයෙන් ම නොමිලේ පැවැත්වෙන මෙම සැණකෙළියේ දී පැනටෝනි සහ අනිකුත් නිෂ්පාදන මිල දී ගැනීමට ද සහභාගී වන්නන්ට හැකියාව ලැබේ.

කවරයේ ඡායාරූපය- පැනටෝනි - www.allrecipes.com

මූලාශ්‍ර:

www.allrecipes.com

www.painlesscooking.com

www.lifeinitaly.com

ඉතාලි අවන්හලක සේවය කරන අයෙකුගෙන් ලබාගත් තොරතුරු

Related Articles