Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සැබෑ වයසට වඩා වයස්ගත පෙනුමක් හිමි වන්නේ ඇයි?

වයස්ගත වීම අපි කාටත් උරුම දෙයක්. ක්‍රමයෙන් මැදිවියට ළඟා වෙනකොට තරුණ වියේ දී නොදුටු අන්දමින් මුහුණ රැළි වැටීම ඇරඹෙන හැටි, ඇස් යට කළු වීම් මෙන් ම සමේ තෙල් සහිත බව අඩු වී ගොස් සම වියළි බවට පත් වෙන අයුරු කාට කාටත් දැක ගැනීමට ලැබෙනවා. ඒ කාලෙට තමයි බොහෝමයක් දෙනා (විශේෂයෙන් ම කාන්තා පාර්ශවය) සමේ තරුණ බව රැක ගැනීම සඳහා විවිධ ක්‍රියා මාර්ග ගන්නේ. නමුත් සත්‍ය වශයෙන් ම සම වයස්ගත වීම ඇරඹෙන්නේ විසි පස් වැනි වියේ දී පමණ බව ඔබ දැන සිටියා ද? ඒ කාලය තුළ දී නිසි ආකාරයට සම රැක ගැනීම තුළින් අනවශ්‍ය ආකාරයේ වයස්ගත පෙනුමක් ලැබීම වැළැක්වීමට හැකියාව පවතිනවා.

(cg-cosmetics.com)

එසේ ම සමට අවශ්‍ය පෝෂණය සහ රැකවරණය අවශ්‍ය පරිදි ලබා නොදුන්නොත් සැබෑ වයසට වඩා වයස්ගත පෙනුමක් හිමි වීම වැළැක්විය නොහැකි යි. ඊට අමතර ව ඔබ විසින් අනුගමනය කරන වැරදි පුරුදු ද සැබෑ වයසට වඩා වයස්ගත පෙනුමක් උරුමකර දීමට දායක වෙනවා. මේ ලිපියේ අරමුණ වන්නේ නොදැනුවත්ව ම සිදු කරන එවැනි වැරදි පුරුදු කිහිපයක් ගැන ඔබ ව දැනුවත් කිරීම යි.

පමණ ඉක්මවා හිරු එළියට නිරාවරණය වීම

උදා හිරු එළියේ පවතින විටමින් ඩී සංයෝගයන් සමේ මෙලනින් නිෂ්පාදනය සඳහා ඉතා විශාල දායකත්වයක් ලබා දුන්න ද අනවශ්‍ය පරිදි හිරු එළියට නිරාවරණය වීම සැබෑ වයසට වඩා වයස්ගත පෙනුමක් හිමි වීමට ප්‍රබල හේතුවක් (මේ මගින් වයස්ගත වීමේ ක්‍රියාවලිය සඳහා 70% ක පමණ දායකත්වයක් ලබා දෙනවා). හිරු එළියේ පවතින විකිරණ මගින් ඔක්සිකරණය හරහා සමේ පවතින කොලජන් (සත්ත්වයින්ගේ සම්බන්ධක පටකවල දක්නට ලැබෙන ප්‍රෝටීන් විශේෂයක්) තන්තු විනාශ කර සමට වියළි ස්වභාවයක් ලබා දීම සිදු කරනවා. මෙය පසු කාලීන ව රැළි වැටුණු සහ රළු සමක් ඇති වීමට බලපානවා.

(educio.cz)

එම නිසා හිරු කිරණවල ඇති විකිරණශීලිතාවය ඉහළ- උදෑසන 10 සිට සවස 3 දක්වා අතර කාලය තුළ හිරු එළියට නිරාවරණය වීම හැකිතාක් අවම කළ යුතු අතර නිරන්තරයෙන් ම කුඩයක් සහ අව් කණ්ණාඩි භාවිතා කිරීම වැදගත්. එසේ ම අවශ්‍ය නම් ආරක්ෂණ ආලේපන වුව ද භාවිතා කළ හැකි යි. නමුත් මෙම ආලේපන තෝරා ගැනීමට ප්‍රථම වෛද්‍යවරයෙක් ව හමු වී ඔබගේ සමේ ස්වභාවය පිළිබඳ ව වැටහීමක් ලබා ගැනීම වඩාත් සුදුසු යි. මෙසේ තෝරා ගන්නා ආලේපන මුහුණේ පමණක් නොව හිරු එළියට නිරාවරණය වන ගෙල සහ දෑත්වල ද ආලේප කිරීම කෙරෙහි ද අවධානය යොමු කරන්න.

නිසි පෝෂණයක් නොමැති වීම

(hungryforever.com)

සමබර නොවූ ආහාර රටාවක් පැවතීම ද සැබෑ වයසට වඩා වයස්ගත පෙනුමක් හිමි වීමට හේතුවක්. සම සියුමැලි ව සහ සුසිනිඳුව පවත්වා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය දෙයක් තමයි, ප්‍රෝටීන්. මේ නිසා සමට අවශ්‍ය කරන ප්‍රෝටීන් නොමැති වීම සමේ තරුණ පෙනුම රැක ගැනීමට ඉහළ ම දායකත්වයක් ලබා දෙන කොලැජන් තන්තු සහ හයිලරොනික් අම්ල නිෂ්පාදනය අඩාල වීමට හේතු වෙනවා.

එසේ ම සැබෑ වයසට වඩා වයස්ගත පෙනුමක් හිමි වීම වැළැක්වීමට අත්‍යවශ්‍ය තවත් සාධකයක් තමයි, ප්‍රතිඔක්සිකාරක. ඒ අතරින් එළවළු සහ පලතුරුවල බහුල ව දක්නට ලැබෙන විටමින් ඊ, බීටා-කැරොටීන්, ලියුටීන් සහ ලයිකොපීන් වැනි ජාරක ප්‍රතිඔක්සිකාරක මගින් හිරු එළිය මගින් සමට සිදු වන හානිය යථා තත්ත්වයට පත් කිරීමට ලබා දෙන දායකත්වය කිසිදු ආලේපනයක් මගින් සිදු කළ නොහැකි යි. මේ නිසා එදිනෙදා ආහාර වේල එළවළු සහ පලතුරු සපිරි සමබර ආහාර වේලක් වීම සමේ තරුණ පෙනුම රැක ගැනීමට අතිශය වැදගත් වෙනවා.

(marketingtochina.com)

සම දිගු කාලයක් දීප්තිමත් ව පවත්වා ගැනීමට නම් අධික පැණි රස අනුභව කිරීමෙන් වැළකී සිටිය යුතු යි. රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමේ දී සීනි අණු, ප්‍රෝටීන් හෝ ලිපිඩ අණු සමග බන්ධන ඇති කර ගන්නා අතර එහි ප්‍රතිඵලයක් ලෙස සම ඉරි තැලීම සහ රැළි වැටීම සිදු වෙනවා. එසේ ම සම එල්ලා වැටීම සිදු වන්නේ ද අධික පැණි රස අනුභව කිරීමේ ප්‍රතිඵලයක් ලෙස යි. එසේම සැකසූ මස් වර්ග, මත්පැන් සහ මත්ද්‍රව්‍ය, අධික ලුණු සහිත ආහාර, අධික සැර සහිත ආහාර, ශක්තිජනක පාන වර්ග සහ කෝපි වලිනුත් වැළකෙන එක වැදගත්.

ප්‍රමාණවත් නින්දක් නොමැති වීම සහ නිදන ඉරියව්

(luluandlattes.com)

දිවා කාලයේ දී සමට සිදු වන හානිය අලුත්වැඩියා කිරීම සහ නව සෛල නිෂ්පාදනය කිරීම සිදු වන්නේ පුද්ගලයෙක් තද නින්දක සිටින විට යි. පුද්ගලයෙක් තද නින්දේ සිටින විට (එනම් රාත්‍රි 11 සිට අලුයම 4 දක්වා කාලය තුළ දී) පිටියුටරි ග්‍රන්ථිය මගින් සම්බන්ධක පටක නිෂ්පාදනයට සහ සමේ පිළිසකර කිරීමට අවැසි හෝමෝන නිපද වන බැවින් එම කාලය තුළ අඳුරු පරිසර තත්ත්වයක් යටතේ නින්දට යාම සමේ තරුණ පෙනුම රැක ගැනීම සඳහා අතිශය වැදගත්.

ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම මෙන් ම නිවැරදි ඉරියව් අනුගමනය කරමින් නින්දට යාමත් සැබෑ වයසට වඩා වයස්ගත පෙනුමක් හිමි වීම වැළැක්වීමට දායක වෙනවා. මුහුණ කොට්ටයට තද කර නිදා ගැනීම මගින් කාලයත් සමග මුහුණේ ස්ථිර ඉරි තැලීම් ඇති කරන අතර මුහුණේ පැත්තක් පමණක් කොට්ටයට තද කිරීම මගින් කම්මුල්වල සහ නිකටේ කුඩා ඉරි සහ රැළි ඇති කරනවා. මේ නිසා උඩු අතට නිදා ගැනීම වඩාත් සුදුසු අතර කොට්ටය සඳහා සිනිඳු ආවරණයක් යොදා ගැනීමත් සමේ තරුණ පෙනුම රැක ගැනීමට උපකාරී වෙනවා.

(sleepsolutionsus.com)

නිසි කලට පෙර සම වයස්ගත වීම සඳහා මූලික වශයෙන් ම බලපාන්නේ මෙම කරුණු තුන යි. මේ මගින් කෙටි කාලීන මෙන් ම දිගු කාලීන ව ද ඉතාමත් අයහපත් ප්‍රතිඵල උදා කරනවා. මීට අමතර ව කෙටි කාලීන ව නොවුණ ද නිසි කලට පෙර සම වයස්ගත වීම සඳහා බලපාන හේතූන් රාශියක් පවතිනවා.

1. නිතර ම මුහුණ ස්පර්ශ කිරීම

ඇතැම් අවස්ථාවල දී අපි නොදැනුවත් ම කල්පනා කරමින් සිටින විට කම්මුලේ අත තබා ගැනීම, දිගින් දිගට ම නිකට ස්පර්ශ කිරීම, නාසය කැසීම වැනි ක්‍රියාවන් සිදු කරනවා. මෙය ඉක්මණින් සම රැළි වැටීමට හේතු වෙනවා මෙන් ම දෑත්වල ඇති විෂබීජ මගින් කුරුලෑ ඇති වීමටත් හේතුවක්.

(yogasmoga.com)

2. පෝනිටේල්

ගැහැණු ළමයින් අතර ජනප්‍රිය සහ ඉතාමත් පහසු කොණ්ඩා මෝස්තර ක්‍රමයක් තමයි, පෝනිටේල්. නමුත් නිතර ම පෝනිටේල් දැමීම තුළින් සම ඇදීමට ලක් වන අතර ම පසු කාලීන ව නළලේ මුල කෙස් ගිලිහී තට්ටය පෑදීමට ද හේතුවක් වෙනවා.

3. දෑස් පිරිමැදීම

මෙය බොහෝ වේලාවට දෑස් අධික ලෙසට වෙහෙසට පත් වූ විටෙක හෝ හෙම්බිරිස්සාවක් ඇති විටෙක අප අතින් නොදැනුවත් ව ම සිදු වෙන දෙයක්. නිරන්තරයෙන් මෙසේ ඇස් පිරිමැදීම හෝ කැසීම ඇහි පිහාටු සඳහා තදින් ම බලපාන අතර අකාලයේ ඇහි පිහාටු දුර්වල වීමට සහ ගැල වී යාමට ද හේතුව වෙනවා. මෙය දිගින් දිගට ම පුරුද්දක් ලෙස සිදු කිරීම ඇස් වටා කළු වීමට ද හේතු විය හැකි යි.

(visioneyeinstitute.com.au)

4. පමණට වඩා ආලේපන භාවිතා කිරීම

ලස්සණට සිටීමට ඔබ කැමති වුණත් ගනකම් අලේපන තට්ටුවක් මුහුණ මත තැවරීම ඔබේ සමට ඉතාමත් අහිතකර යි. එයින් සමට වාතයට ලබා ගැනීමට ඇති අවස්ථාව අහිමි කරන අතර එය සම එල්ලා වැටීමට, ඇස් වටා කළු වීමට මෙන් ම සමට අස්වාභාවික වර්ණයක් ගෙන දීමටත් හේතු වෙනවා.

මුලාශ්‍ර:

  1. naturalon.com
  2. health.com
  3. brightside.me

කවරයේ පින්තූරය: starbene.it

Related Articles