Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හැඩය නිසා කතාබහට ලක් වන ගොඩනැඟිලි කිහිපයක්

අප මෙන් ම අප වටා ඇති අනිකුත් සියලු දෑ හි සුන්දරත්වය පදනම්ව ඇත්තේ විවිධත්වය මත යැයි පැවැසීම වරදක් නොවේ. මිනිස් සහ සත්ත්ව වර්ගයා පමණක් නොව ගස්වැල් පවා එකිනෙකට වෙනස් ආකාරයෙන් නිර්මාණය වී ඇත්තේ එබැවිනි. මේ නිසා තමන් කරන ඕනෑම දෙයක් යම්කිසි විවිධත්වයක් ඇති යමක් බවට පත් කිරීමට බොහෝ දෙනෙක් උත්සහ කරති.

එවැනි ප්‍රයත්නයන්හි ප්‍රතිපල ලෙස සැලැකිය හැකි, අසාමාන්‍ය හැඩයන්ගෙන් යුතු ගොඩනැඟිලි කිහිපයක් පිළිබඳ ව මේ ලිපියෙන් සොයා බලමු.

නිදහස් දෙව්මැදුර – එක්සත් ජනපදය

නිදහස් දෙව්මැදුර ලෙස හඳුන්වන, අසාමාන්‍ය හැඩයක් ගන්නා මෙම ගොඩනැඟිල්ල එක්සත් ජනපදයේ මිසූරි ප්‍රාන්තයේ පිහිටා ඇත. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රජාව (Community of Christ) නම් ආගමික කණ්ඩායාමට අයත් මෙහි ඉදිකිරීම් 1990 අප්‍රේල් 6 දින ආරම්භ වී 1994 අප්‍රේල් 17 දින අවසන් විය.

මේ වන විට එය ක්‍රිස්තියානි ආගමික වතාවත් මෙන් ම ඉගැන්වීම් කටයුතු සඳහා ද යොදා ගනී. එහි පැවැත්වෙන ආගමික දේශන සහ ඉගැන්වීම් බොහොමයක් සාමය සහ සංහිඳියාව පදනම් කරගත් ඒවා වීම විශේෂත්වයකි.

නිදහස් දෙව්මැදුර – www.atlasobscura.com

“Gyo Obata” නම් ගෘහ නිර්මාණ ශිල්පියාගේ ප්‍රධානත්වයෙන් මෙම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සිදු විය. නූතන සහ සම්ප්‍රදායික ආගමික ස්ථානවල දැකිය හැකි ලක්ෂණ ගණනාවකින් මෙම ගොඩනැඟිල්ල සමන්විත වේ. එහි දැකිය හැකි අඩි 300ක්, එනම් මීටර් 91ක් ඉහළට දිවෙන වානේ විශේෂයෙකින් සිදු කර ඇති සර්පිලාකාර කොටස සුවිශේෂී වේ. වීදුරුවලින් සකස් කළ පිය ගැට පෙළක් ඔස්සේ එහි ඉහළ මහලට පිවිසිය හැකි ය. එම පිය ගැට පෙළ දෙපස නූතන සහ සාම්ප්‍රදායික ආගමික ඉගැන්වීම් නිරූපණය කරන සිතුවම් ගණනාවක් ඇඳ ඇත.

රෙන්’ ගොඩනැඟිල්ල – චීනය

චීනයේ ෂැංහයිහි පිහිටා ඇති මෙම ‘රෙන්’ ගොඩනැඟිල්ලේ උස අඩි 610ක්, එනම් මීටර් 186ක් වේ. මහල් 53කින් සමන්විත මෙහි ඉදිකිරීම් 2003 දී ආරම්භ වී 2007 දී අවසන් විය.

මෙම ගොඩනැඟිල්ල පිහිටි ස්ථානයේ මහල් 68කින් යුතු ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට 1996 දී සැලසුම් කර තිබුණත් එම ව්‍යාපෘතිය පසුකාලීනව අවලංගු කැරිණි. එසේ අවලංගු කළ ව්‍යාපෘතිය ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රතිපලයක් ලෙස රෙන් ගොඩනැඟිල්ල ඉදිකිරීමට අදාළ ආයතනවල අවසරය හිමි විය.

රෙන් ගොඩනැඟිල්ල – www.archilovers.com

හෝටල්, ක්‍රීඩාංගණ සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන ගණනාවකින් සමන්විත මෙම ‘රෙන්’ ගොඩනැඟිල්ලේ ප්‍රධාන කොටස් දෙක ජලයෙන් මතු වී එකිනෙකට සම්බන්ධ වන ආකාරයෙන් ඉදි කර ඇත. එම කොටස් දෙකෙන් එකක් ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා වෙන් කර ඇති අතර අනික් කොටස හෝටල් සහ සම්මන්ත්‍රණ ශාලා සඳහා වෙන් කර ඇත.

“වඩාත් හොඳ නගරයක්-වඩාත් හොඳ ජීවිතයක්” යන සංකල්පය යටතේ ෂැංහයි නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ගොඩනැගිල්ල ඉදි කර ඇත.

පියාපත් හැඩැති කෞතුකාගාරය – එක්සත් අරාබි එමීර් රාජ්‍යය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි සාදියත් දූපතේ පිහිටි පියාපත් හැඩැති කෞතුකාගාර ගොඩනැඟිල්ල ඉදි කර ඇත. එය එරට පළමු ජනාධිපතිවරයා වන සෙයිඩ් බින් සුල්තාන් අල් නහ්යන් ගේ නමින් නම් කර ඇත. 2012 දී මෙම ගොඩනැඟිල්ල විවෘත කිරීමට සැලැසුම් කර තිබුණත් එය පසු ව 2013 දක්වාත්, ඉන් අනතුරු ව 2021 දක්වාත් කල් ගොස් තිබේ.

2021 දී එය විවෘත කළ නමුත් ගොඩනැඟිල්ලේ යම් යම් කොටස් තවමත් ඉදිකෙරෙමින් පවතී. 2025 වන විට එම ඉදිකිරීම් කටයුතු අවසන් කළ හැකි වනු ඇති බව වාර්තා වේ.

පියාපත් හැඩැති කෞතුකාගාරය – www.thearchaeologist.org

කෘත්‍රිම ව සකස් කළ පස් කණ්ඩියක් මත පියාපත් පහක් නිරූපණය වන ආකාරයෙන් මෙම ගොඩනැඟිල්ල ඉදි කර ඇත. ගොඩනැඟිල්ලට පිවිසීම සඳහා පස් කණ්ඩිය මැදින් වැටුණු උමඟක් වැනි මාර්ගයක් ඔස්සේ ගමන් කළ යුතු ය. ප්‍රදර්ශන කුටි ගණනාවකින් සමන්විත කෞතුකාගාර ගොඩනැඟිල්ලේ විශාල ශ්‍රවණාගාරයක් ද පිහිටා ඇත.

එහි ඉදිරිපස ඉඩකඩ සහිත ආලින්දයක් පිහිටා තිබෙන අතර, සංගීතය සහ නැටුම් සමඟ බැඳුණු ක්‍රියාකාරකම් සඳහා එම කොටස භාවිත වේ. විදුලි පහන් දැල්වූ පසු මෙම ගොඩනැඟිල්ල දර්ශනීය ලෙස දිස් වේ.

බාස්කට් ගොඩනැඟිල්ල – එක්සත් ජනපදය

මේපල් දැව භාවිතයෙන් බාස්කට් නිෂ්පාදනය කරන ලෝන්ගාබර්ගර් නම් සමාගමේ මූලස්ථානය වන මෙම ගොඩනැඟිල්ල එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ ඩ්‍රෙස්ඩන් හි පිහිටා තිබේ. 1973 දී ආරම්භ කළ එම සමාගමේ හිමිකාරිත්වය අවස්ථා ගණනාවක දී වෙනස් විය.

හිමිකාරිත්වය වෙනස් වීම සමඟ එහි මූලස්ථානය ද තැනින් තැනට ගෙන ගිය අතර 1997 දී මෙම සුවිශේෂී හැඩයක් සහිත ගොඩනැඟිල්ල ඉදි කර තිබේ. එය ඉදි කළ මුල් කාලයේ දී සමාගමේ සිටි සේවකයන් සංඛ්‍යාව 8,000කට වැඩි වූ බව කියැවේ.

බාස්කට් ගොඩනැඝිල්ල – www.CNN.com

“Big Basket” නමින් හඳුන්වන මෙම ගොඩනැඟිල්ල මහල් 16කින් සමන්විත වේ. නූතන ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ මනාව පිළිබිඹු කරන ගොඩනැඟිල්ලක් ලෙස සැලැකෙන මෙය ප්‍රමාණය හැරුණු කොට අනික් සෑම අතින් ම බාස්කට් එකකට සමාන ආකාරයෙන් ඉදි කර ඇත.

ලෝන්ගාබර්ගර් සමාගම නිෂ්පාදනය කරන මධ්‍යම ප්‍රමාණයේ බාස්කට් එකක් මෙන් 160 ගුණයක් ගොඩනැඟිල්ල විශාල වන අතර එහි ඉහළ කොටසේ සාමාන්‍ය බාස්කට් එකක මෙන් අඬු දෙකක් පවා දැකිය හැකි ය. මෙම ගොඩනැඟිල්ල නැරඹීමට බොහෝ දෙස් විදෙස් සංචාරකයෝ ද පැමිණෙති.

බිත්තර හැඩැති කාර්යාලය – ඉන්දියාව

ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි මෙම බිත්තර හැඩැති කාර්යාල ගොඩනැඟිල්ල බොහෝ සංචාරකයන්ගේ සිත් ඇදගනී. බිත්තරයක හැඩය නිසා මුම්බායි නගරයේ පිහිටි වඩාත් සුවිශේෂී ගොඩනැඟිල්ල ලෙස මෙය වාර්තාවක් ද තබා ඇත.

හොංකොං හි පිහිටි සමාගමක් සකස් කළ සැලැසුමකට අනුව ඉදි කර ඇති මෙම ගොඩනැඟිල්ල පාරිසරික සැලසුම් සහ නවීන ඉංජිනේරු විද්‍යාව එකට කැටි කළ නිර්මාණයක් ලෙස විශාල වශයෙන් කතාබහට ලක් වේ. මෙම ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් ම වීදුරු යොදා ගෙන ආවරණය කර ඇත.

බිත්තරයක හැඩැති කාර්යාලය – www.worldarchitecture.org

මහල් 13කින් සමන්විත වන මෙහි විශාලත්වය වර්ග අඩි 33,000 කි. කාර්යාල සඳහා වෙන් කළ කොටස්, බිම් මට්ටමට ඉහළින් ඉදි කළ උද්‍යානයක් සහ වාහන 400ක් සඳහා ප්‍රමාණවත් වන රථගාලක් ගොඩනැඟිල්ලට අයත් වේ. සුවිශේෂී හැඩය නිසා එය ඉදිකිරීමේ දී අවශ්‍ය වූ අමුද්‍රව්‍ය ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකට අවම කරගත හැකි වූ බව ද කියැවේ. තවත් විශේෂත්වයක් වන්නේ මෙම ගොඩනැඟිල්ල පිහිටි පරිශ්‍රයේ ම ඇති සුළං මෝල් සහ සූර්ය කෝෂ පැනල මඟින් ඊට අවශ්‍ය විදුලිය උත්පාදනය කිරීම යි.

භූගත නිවාස

ස්විට්සර්ලන්තයේ සැක්ස් හි දැකිය හැකි මෙම භූගත නිවාස එරට හමු වන ගල් ගුහාවලට සමාන ආකාරයෙන් ඉදි කර ඇත. පොළොව හාරා, ඇතුළත බදාම යොදා, ඉදිරිපසට බිත්තියක් ඉදි කර මෙම නිවාස සම්පූර්ණ කර තිබේ. ස්විස් ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන “Peter Vetsch” මෙම නිවාස සංකල්පය මුලින් ම හඳුන්වා දී ඇත.

ඔහු ස්විට්සර්ලන්තයේ සහ තවත් රටවල් කිහිපයක ඉදි කර ඇති භූගත නිවාස ගණන 47කි. මෙම සංකල්පයට අනුව නිවාස ඉදිකිරිම හරහා භූමිය මතුපිට ඉඩකඩ අවම වශයෙන් භාවිත කර අංග සම්පූර්ණ නිවසක් ඉදි කළ හැකි බවත්, පරිසර විනාශය අවම කළ හැකි බවත් ඔහුගේ මතය යි.

භූගත නිවාස – www.homedit.com

බුබුළු මාලිගාව

ප්‍රංශ භාෂාවෙන් “Palais Bulles” ලෙසින් හැඳින්වෙන මෙම අසාමාන්‍ය හැඩයක් සහිත නිවස ප්‍රංශයේ කෑන්ස් නගරයට ආසන්න ව පිහිටි “Théoule-sur-Mer” හි පිහිටා තිබේ. මෙම ගොඩනැඟිල්ල හංගේරියානු ගෘහ නිර්මාණ ශිල්පී “Antti Lovag” ගේ සැලැසුමකි. එහි ඉදිකිරීම් 1975 දී ආරම්භ වී 1989 දී අවසන් විය.

මෙය පළමුවෙන්ම ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයෙක් සඳහා ඉදි කළ නමුත් පසුව, විලාසිතා නිර්මාණ ශිල්පියෙක් එය මිල දී ගෙන තිබේ. නිවාඩු කාලය ගත කිරීම සඳහා ඔහු සහ පවුලේ හිතවතුන් එතැන් පටන් මෙම නිවස භාවිතා කරයි. වර්ග මීටර් 1,200ක විශාලත්වයෙන් යුතු මෙම නිවසේ විශාල උද්‍යානයක්, විවේකාගාරයක්, එළිමහන් රංග පීඨයක්, නිදන කාමර 10ක්, පිහිනුම් තටාක ගණනාවක් සහ කෘත්‍රිම ව නිර්මාණය කළ දියඇලි කිහිපයක් ද දැකිය හැක.

බුබුළු මාලිගාව – www.designboom.com

කවරයේ ඡායාරූපය - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි පියාපත් හැඩැති ගොඩනැඟිල්ල - www.fosterandpartners.com
මූලාශ්‍ර :
www.easemytrip.com
www.homedit.com
www.archilovers.com

Related Articles