ලංකාවේ ආහාර සංස්කෘතියේ නරක පුරුදු කිහිපයක්

ලංකාවේ ආහාර සංස්කෘතිය, නැතිනම් ෆුඩ් කල්චර් එක හරිම අපූරුයි. කාලයක් පුරාවට අපේ රටටම ආවේණික කෑම වට්ටෝරු වගේම අනිත් රටවල් වලින් එකතු වුණු ආහාර වර්ගත් එක්ක එකතු වෙලා හැදුනු අනන්‍ය ආහාර ක්‍රමයක් අපි සතුයි. අනෙක් බොහෝ අංශ වලින් වගේම ආහාර පැත්තෙනුත් අපිට බොහොම සාරවත් උරුමයක් තියෙනවා කියන්න පුළුවන්. හැබැයි ඒත් එක්කම ඇති වුණු අහාර පුරුදු නිසා ඇති වන ගැටළුත් ඉතින් නැතිවම නෙවෙයි.

විශේෂයෙන්ම ලංකාවේ මිනිස්සු සමහර ආහාර වර්ග එක්ක තියෙන සුවිශේෂ බැඳීම ගොඩක් දෙනෙක්ට අමුතු අත්දැකීමක්. ලංකාවේ ආහාර වර්ග රසය අතින් හරිම සුවිශේෂියි, කාට වුනත් බඩ පිරෙනකන් කන්න හිතෙන වගේම කාලයක් නොකා ඉද්දී වෙන මොනවා කෑවත් හරි යන්නේ නැති ලක්ෂණයකුත් අපේ කෑම වල අඩංගුයි. මේකට හොඳම උදාහරණය තමයි පිට රටක ඉන්න ලංකාවේ මනුස්සයෙක්ගේ අත්දැකීම. නිකමට අහලා බලන්න පොල් සම්බෝල ටිකක් කන්න නැතිව එයාල මොන තරම් අපහසුවෙන් ඉන්නවාද කියන එක. අහලා බැලුවොත් පුදුම හිතෙයි.

ඒ වගේම තමයි රසටත් වඩා අපේ කෑම වල තියෙන පෝෂණීය ගුණය සහ ගුණාත්මක බව. කොළ කැඳ, මැල්ලුම්, දිය බත්, ඇඹුල් තියල්, හැලප, එළවලු ව්‍යංජන වගේ අපේ නිරෝගී බවට බොහෝ සෙයින් බලපාන සමබල ආහාර බොහොමයක් මීට ඇතුළත්. අපේ රට පුරාම රසවත් එළවලු පලතුරු වර්ග ඕන තරම් වැවෙනවා. ඒ වගේම ආහාරයට ගන්න පුළුවන් කොළ ජාතිත් ඇති තරම් හොයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කිතුල් පැණි මී පැණි වගේ රස ගන්වන දේවල් නිසා කාලාන්තරයක් සීනි පාවිච්චි නොකිරීමෙන් ලබා ගත්තු නිරෝගී බවත් අපේ උරුමයක්.

ගොටුකොළ, ගා ගත් පොල්, ළූණු, තක්කාලි සහ උම්බලකඩ එකට දාල හදන ගොටුකොළ සම්බෝලය කියන්නේ අපේ රටේ තියන රසවත්ම වගේම ගුණදායකම කෑම වලින් එකක්.

ගොටුකොළ, ගා ගත් පොල්, ළූණු, තක්කාලි සහ උම්බලකඩ එකට දාල හදන ගොටුකොළ සම්බෝලය කියන්නේ අපේ රටේ තියන රසවත්ම වගේම ගුණදායකම කෑම වලින් එකක්.

ගොටුකොළ, කංකුං වගේ ගුණවත් කෑම කොයි තරම් තිබුණත් ආහාර නිසා ඇති වන කල් පවතින රෝග වලින් නම් ලංකාවේ මිනිස්සු බොහෝ දෙනෙක් දැන් දැන් පීඩා විඳින්න පටන් අරන්. දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හදවත් රෝග නිසා ලංකාවේ මිනිස්සු බහුතරයකට තියෙන ප්‍රධානම රෝග. මේ රෝග තුන නිසා තමයි රටේ සිදු වන මරණ වලින් 18.3%ක්ම සිදු වන්නේ! ලංකාවේ කාටත් ලොකු බඩක් තියෙනවා. (පාරේ යන ගමන් උවමනාවෙන් බැලුවොත් පෙනෙයි වැඩි දෙනෙකුට ලොකු බඩක් තියෙන බව) ඒ වගේම තමයි දැන් ලංකාවේ මිනිස්සු සමස්ථයක් වශයෙන් මහත් වෙන්න පටන් අරන් තියෙන බව පෙනෙන්න තියෙනවා. ජනගහණයෙන් 25.2%ක් ස්ථුල මට්ටමේ ඉන්නේ. ඒ වගේම තමයි යකඩ ඌණතාව, විටමින් – A ඌණතාව සහ ප්‍රෝටීන් හිඟ කම ලංකාවේ බොහෝ ප්‍රදේශ වල පැතිරුණු ප්‍රශ්න. විශේෂයින්ම ළමයින්ට මේ වගේ රෝග සුලබව හැදෙන බව පෙනෙන්න තියෙනවා. ඉතින් ඇත්තටම අපේ රටේ ආහාර ගුණදායක නම් මෙහෙම වෙන්නේ ඇයි?

උත්තරය ඇත්තටම සරලයි. අපිට කන්න කොයි තරම් පෝෂණීය, ගුණාත්මක ආහාර තිබුණත් අපි ඒවා ආහාරයට ගන්නා විදිහේ ලොකු අඩුපාඩු තියෙනවා. අපි දැන් ඔබට කියන්න හදන්නේ ඒ වගේ අනවශ්‍ය පුරුදු නිසා මේ තරම් හොඳ ආහාර තිබිලත් අපේ සෞඛ්‍යය දුර්වල වෙන්න හේතු වන නරක ආහාර පුරුදු කිහිපයක් ගැනයි.

බත් කන විදිහ

ගොඩ ගහපු බත් එකක්. ලංකාවේ මිනිස්සු සාමාන්‍යයෙන් කන්නේ මේ විදිහට බෙදා ගෙනයි. රූපය : faimouioui.wordpress.com

ගොඩ ගහපු බත් එකක්. ලංකාවේ මිනිස්සු සාමාන්‍යයෙන් කන්නේ මේ විදිහට බෙදා ගෙනයි. රූපය : faimouioui.wordpress.com

ලංකාවේ අපි කවුරුත් ආසයි බත් කන්න. ටිකක් නෙවෙයි ගොඩක් කන්න. අපි කෑම කන ජනප්‍රියම විදිහ තමයි පිඟාන පිරෙන්න කොත ගහලා බත් බෙදා ගෙන ඒක වටේට ව්‍යංජන හැන්ද හැන්ද බෙදා ගන්න එක. ඕන නම් බත් එකට හොදි ටිකක් දා ගන්නවා. දැන් මේ සේරම ටික අතින් අනාගෙන කන එක තමයි අපි කරන්නේ.

දැන් මෙහෙම කිව්වාම සමහරු හිතයි වෙන කොහොම කන්නද කියලා. වරද තියෙන්නේ කන විදිහේ නෙවෙයි, කෑම බෙදා ගන්න ප්‍රමාණ වල. මේක අනුපාතයක් විදිහට අරගෙන හිතුවොත් අපේ සාමාන්‍ය පිඟානක කෑම අනුපාතය බත් කොටස් 15ත එළවළු කොටස් 2කුයි මස් මාළු කොටස් 1කුයි වගේ. මේක සම්පුර්ණයෙන්ම වැරදියි. ඒ විතරක් නෙවෙයි අපි මේ වගේ කොත ගහලා බත් කන එක හැම වේලටම කරනවා. ඉතින් ප්‍රතිඵලය වෙන්නේ අපේ ඇඟට කිසිම ප්‍රයෝජනයක් නැති තරම් කාබෝහයිඩ්‍රේට ඇඟ ඇතුළේ ගොඩ ගැහෙන එකයි.

අපි මේ විදිහට බත් ගොඩක් කන්න පුරුදු වෙලා ඉන්න එකේ තවත් ලොකු සෞඛ්‍ය ගැටළුවක් තියෙනවා. ඒ තමයි සුදු බත් කන එක. බ්‍රිතාන්‍ය වෛද්‍ය ජර්නලයට අනුව සුදු බත් නිතර ආහාරයට ගත්තාම දෙවන වර්ගයට අයත් දියවැඩියාව (Type – 2 Diabetes) අවදානම සැලකිය යුතු විදිහට ඉහළ යන්න පුළුවන්. මේකට හේතුව විදිහට ඔවුන්ගේ නිගමනය වෙලා තියෙන්නේ සුදු බත් වල ග්ලයිසීමික අගය ඉතා ඉහළ වීමයි.

දැන් සමහරු කියයි අපේ මිනිස්සු පරම්පරා ගානක ඉඳන් බත් කෑවා කියලා. ඔව් ඒක ඇත්ත, නමුත් හැමදාම උදේ ඉඳන් රෑ වෙන තුරු වෙහෙසෙන ගොවියෙක් සහ උදේට ඔෆිස් ගිහින් එන කෙනෙක් අතර කැලරි අවශ්‍යතාවයේ ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේ මහන්සි වෙන කෙනෙක් තරමට කෑවොත් වෙන්නේ අනිවාර්යයයෙන්ම ඔබව ලෙඩ වෙන එකයි. අපි බත් ගොඩ ගහගෙන කන්න කොයි තරම් ආස වුණත් පස්සේ කාලෙක ඉස්පිරිතාල වල ලගින්න ආසාවක් නැතිනම් දැන් ඉඳන්ම බත් කන ප්‍රමාණය අඩු කරලා එළවලු හා මස් මාළු කන ප්‍රමාණය වැඩි කර ගන්න බලන්න.

අතිරික්ත කාබෝහයිඩ්‍රේට

කුරක්කන් වලින් සෑදූ ඉඳි ආප්ප. ඔබ කාබෝහයිඩ්‍රේට කන්න ආසම නම් කුරක්කන් පිටි වලින් සෑදූ ආහාර වලට මාරු වෙන්න බලන්න. රූපය : thepalindromic.wordpress.com

කුරක්කන් වලින් සෑදූ ඉඳි ආප්ප. ඔබ කාබෝහයිඩ්‍රේට කන්න ආසම නම් කුරක්කන් පිටි වලින් සෑදූ ආහාර වලට මාරු වෙන්න බලන්න. රූපය : thepalindromic.wordpress.com

කලිනුත් කිව්වා වගේ ශ්‍රී ලාංකිකයන් විදිහට අපි ආහාරයට ගන්නා කාබෝහයිඩ්‍රේට ප්‍රමාණය හරිම වැඩියි. නිකමට හිතලා බලන්න, අපි කෑම වේලකට බත් කන්නේ නැතුව හිටියත් වෙනත් මොනවා හරි පිටි ජාතියක්මනේ කන්නේ. පාන්, කොත්තු රොටී, ඉඳි ආප්ප, ආප්ප, මඤ්ඤොක්කා, බතල, පිට්ටු, රොටී වගේ පිටි කෑමක් තමයි අපි ප්‍රධාන වශයෙන් ගන්නේ. පර්යේෂණ වලින් පෙනෙන විදිහට ලංකාවේ මිනිස්සු ලබා ගන්නා කැලරි වලින් 71.2%ක්ම ගන්නේ කාබෝහයිඩ්‍රේට වලින් කියලා. ඉතුරු කොටසෙනුත් 18.9%ක්ම මේදය. ප්‍රෝටීන් වලින් කැලරි ලබා ගන්නේ 10.8%ක් විතරයි. මේ අනුපාතය කිසිසේත් ගැලපෙන එකක් නෙවෙයි. ලංකාවේ එන්න එන්නම ඉහළ යන දියවැඩියාවට ප්‍රධාන හේතුව පිටි ආහාර මිසක් සීනි නෙවෙයි.

ආහාර අතර විවිධත්වය අඩු කම

සමබල ආහාරයක්, ඔබේ කෑම පිඟාන මේ විදිහට දකින්න පුළුවන් කොයි තරම් කාලයකට සැරයක්ද? රූපය :  mylifeinsin.wordpress.com

සමබල ආහාරයක්, ඔබේ කෑම පිඟාන මේ විදිහට දකින්න පුළුවන් කොයි තරම් කාලයකට සැරයක්ද? රූපය : mylifeinsin.wordpress.com

අපිට කන්න කෑම ජාති මොන තරම් තිබුනත් අපි අපේ ආහාර වේල් නිවැරදි විදිහට සැලසුම් නොකරන නිසා කවදාවත් ගැලපෙන ආහාර නිසි කාලයක් පුරාවට ලබා ගන්න බැරි වෙනවා. පොඩි වයසේ ඉඳන් සමබල ආහාර වේලක් ගන්න එකේ වැදගත්කම කියලා දුන්නත් අපි හැම වෙලාවෙම කන්නේ කිසිම සම බලයක් නැති ආහාර. ලංකාවේ මිනිස්සුන්ගේ විවිධත්වය අඩු ආහාර සහ දියවැඩියාව අතර තියෙන සම්බන්ධය හොයන්න කරපු පරීක්ෂණයකදී තහවුරු වෙලා තියෙනවා සහභාගී වුණු අයගෙන් 5%ක්ම දවස පුරාවටම පිටි ආහාර විතරක් ගත්තු අය බව. (බත් එක්ක අල කරියක් වගේ) එහෙම ආහාර වේලක් ගන්න එකෙන් සිද්ධ වෙන එකම දේ ඔබව මහත් වෙන එකයි රුධිර ග්ලුකෝස් ප්‍රමාණය ඉහළ යන එකයි විතරමයි.

එළවලු පලතුරු වැවීම අතින් ඉහලින්ම ඉන්න රටක් වුනු ලංකාව ඒවා ආහාරයට ගැනීම අතින් නම් ඉන්නේ බොහොම පහළ තැනකයි. (දැන් තියෙන එළවලු පලතුරු වල මිල බැලුවම ආර්ථික තත්වය මේකට පැහැදිලි හේතුවක් කියලා හිතන්න පුළුවන්) ඒ වගේම තමයි කිරි ආශ්‍රිත ආහාර වර්ග ගැනීමත් බොහොම අඩුයි. අපි කවුරුත් බොන තේ එකේ පවා කිරි පිටි වලට වඩා තියෙන්නේ සීනි.

පොල් වලට තියෙන කෑදර කම

පොල් නම් අපේ කට්ටියට නැතිවම බැහැ. පොල් අපේ රටේ මිනිස්සුන්ගේ කැලරි වලින් 20%කටම වග කියනවා. රූපය : stylecraze.com

පොල් නම් අපේ කට්ටියට නැතිවම බැහැ. පොල් අපේ රටේ මිනිස්සුන්ගේ කැලරි වලින් 20%කටම වග කියනවා. රූපය : stylecraze.com

බත් අපේ ප්‍රධාන ආහාරය නොවුණා නම් අපේ ප්‍රධාන ආහාරය පොල් කියලා හිතෙන එකේ වරදක් නැහැ.

ලංකාවේ මිනිස්සු කුස්සියකට ගියාම හිරමනේකුයි, සමහර විට ගාල අයින් කරපු පොල් කටු ටිකකුයි තිබුණේ නැත්නම් ඒක කුස්සියක් කියලා වත් සලකන්නේ නැති තරම්. පුඩින්, හොදි, ව්‍යංජන, සම්බෝල, මැල්ලුම්, රසකැවිලි, රොටී, පිට්ටු වගේ අපේ කට්ටිය කන හැම දේකටම පොල් එකතු වෙනවා. පොල් ගාල හරි, මිරිකලා කිරි අරගෙන හරි හැම දේකටම දාන එක ලංකාවේ මිනිස්සුන්ගේ පුරුද්දක්.

2010දී කරපු සමීක්ෂණයකට අනුව ලංකාවේ මිනිස්සුන් වැඩිපුරම කන්නේ බත්, ඊළඟට කන්නේ පොල්. පුදුම හිතෙන තරම් පොල් ප්‍රමානයක් අපේ මිනිස්සු ආහාරයට ගන්නවා.

2010දී කරපු සමීක්ෂණයකට අනුව ලංකාවේ මිනිස්සුන් වැඩිපුරම කන්නේ බත්, ඊළඟට කන්නේ පොල්. පුදුම හිතෙන තරම් පොල් ප්‍රමානයක් අපේ මිනිස්සු ආහාරයට ගන්නවා.

පොල් කන එකේ ඇත්තටම ලොකු වැරද්දක් නැහැ. පොල් වල ප්‍රතිඔක්සිකාරක, විටමින් වගේම ඛණිජ වර්ගත් බොහෝ සෙයින් අඩංගුයි. පෙරදිග ආහාර වලින් වඩාත්ම ගුණදායක එකක් බව නිසැකවම කියන්න පුළුවන්. සමහර පරීක්ෂණ වලට අනුව පොල් කිරි එළ කිරි වෙනුවට හොඳ ආදේශකයක් විදිහටත් ගන්න පුළුවන් ලු. පොල් වල සංතෘප්ත මේදය තිබුණත් ඒක සැලකෙන්නේ හොඳ වර්ගයේ මේද විදිහටයි. මොකද එයින් ඔබේ රුධිර නාල ඇතුලත මේදය බැඳීම සිද්ධ වෙන්නේ නැහැ. කාලයක් පොල් තෙල් වලින් හදවත් රෝග වැඩි වන බව විශ්වාස කෙරුණත් එහෙම ගැටළුවක් නැති බවයි දැන් පිළිගැනෙන්නේ. කොහොම වුණත් හැම දෙයක්ම ප්‍රමාණයකට පාවිච්චි කරන්න ඕනේ නේද?

ලංකාවේ මිනිස්සුන්ට ප්‍රමාණයකට පාවිච්චි කරන්න කිව්වාට ගොඩක් වෙලාවට තේරෙන්නේ නැහැ වගේ. අපි කොයි වැඩෙත් එක්කෝ බාගෙට කරනවා, නැතිනම් ඕනෑවට වඩා කරනවා, පොල් කන එකත් ඒ වගේ. පොල් කියන්නේ කැලරි අධික කෑමක්. මිටි පොල් කිරි කෝප්පයකින් ඔබේ දෛනික කැලරි අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් සම්පූර්ණ වෙනවා. මේ නිසා නිතරම පොල් සහ පොල් තෙල් ආහාරයට ගන්න එක ඔබේ සෞඛ්‍යයට එතරම් හොඳ නැහැ, විශේෂයෙන් ඔබ බරින් වැඩි කෙනෙක් නම් මේ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඉතින් ලංකාවේ කෙනෙක් ඇඟ ලස්සන කර ගන්න කියලා කෑම පාලනය කරන්න හිතනවා නම් කන පොල් ප්‍රමාණය අඩු කරන්න කියන එක බොහොම හොඳ උපදෙසක් වේවි.

කොත්තු ප්‍රශ්නය

චීස් හා වෙනත් අහිතකර දේවල් වලින් පිරුණු කොත්තු කියන්නේ ලෙඩ ගොඩකට හේතුවක්. රූපය : foodacrossborderz.wordpress.com

චීස් හා වෙනත් අහිතකර දේවල් වලින් පිරුණු කොත්තු කියන්නේ ලෙඩ ගොඩකට හේතුවක්. රූපය : foodacrossborderz.wordpress.com

කොත්තු නිතරම ආහාරයට ගන්න එක ඔබේ මරණය ඉක්මන් කරන්න හේතුවක්! මේක නිකන්ම කියන දෙයක් නෙවෙයි, වෛද්‍ය පරීක්ෂණ ආයතනය කරපු පරීක්ෂණයක් ඇසුරෙන් ඔප්පු කරපු දෙයක්. ඔවුන් 2012දී කරපු අධ්‍යයනයකට අනුව නිතර කොත්තු හෝ ෆ්‍රයිඩ් රයිස් ආහාරයට ගන්න අයගෙන් 50%කටම ඉහළ කොලෙස්ටරෝල් අගයක් සහ අක්මා ගත එන්සයිම ඉහළ සාන්ද්‍රණයක් තියෙනවා. මේක හෘදයාබාධයක් ඇති වෙන්න තියෙන අවදානම බොහෝ සෙයින් වැඩි කරන කාරණාවක්. කොත්තු වල මිනිස් ඇඟට ඉතා අහිත කර ට්‍රාන්ස් මේදය පිරිලා තියෙනවා වගේම කොත්තු විකුණන ගොඩක් තැන් වල සෞඛ්‍යාරක්ෂිත බව ගැන කිසිම සැලකිල්ලක් නැති තරම්. හැම තැනම වගේ ඒ වෙලාවට කොත්තුව හදලා තමයි දෙන්නේ, හැබැයි පැය ගානක ඉඳන් හදන කොත්තු ටික කොත්තු මේසේ තියනවා. දාන එළවලු එහෙමත් අතින් අරගෙනයි දාන්නේ. (සමහර විට වටේ පියාඹන කෘමි සත්තුත් කොත්තු එකටම වැටිලා කෙටෙනවා!) ඉතින් හදවත් රෝග නැතිව ජීවත් වෙන්න ආසයි නම් නිතරම කන කොත්තු ප්‍රමාණය අඩු කර ගන්න බලන්න.

රෑට කන්නේ රජෙක් වගේ

රෑට කෑම කන්නේ හෙට ඉඳන් කන්න හම්බෙන්නේ නැහැ කියලා හිතාගෙන වගෙයි. මේකත් අපේ රටේ නරක කෑම පුරුද්දක්. රූපය : 1stslice.com

රෑට කෑම කන්නේ හෙට ඉඳන් කන්න හම්බෙන්නේ නැහැ කියලා හිතාගෙන වගෙයි. මේකත් අපේ රටේ නරක කෑම පුරුද්දක්. රූපය : 1stslice.com

උදේට රජෙක් වගේ කාලා රෑට හිඟන්නෙක් වගේ කන්න කියන කතාව කවුරුත් අහලා ඇති නේද? පේන විදිහට ඒ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා.

සාමාන්‍යයෙන් අපේ මිනිස්සු මොකක් හරි දෙයක් කරන්න හරි විදිහක් තියනවා නම් ඒකෙ අනිත් පැත්තනේ කරන්නේ, කන්න ගියාමත් එහෙමයි. රෑට තමයි රජෙක් වගේ කන්නේ. සාමාන්‍යයෙන් හැමදාම රෑට බත් හරි, කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස් හරි ලොකුවට කාලා ගොඩක් රෑ වෙලා නිදා ගන්න එකයි කරන්නේ. (සාක්ෂි ඕන නම් අපේ රටේ පාටි එකක් හරි කෑම කඩයක් හරි දිහා බලාගෙන ඉන්නකෝ) නමුත් දිගින් දිගටම තහවුරු වෙලා තියෙන විදිහට මෙහෙම රෑට ගොඩක් කන එක සෞඛ්‍යයට අහිතකරම දේවල් වලින් එකක්. මේක දැන් කාලේ ඉන්ටනෙට් එකේ පිරිලා තියෙන “බර අඩු කර ගන්නා ක්‍රමයක්” ජාතියේ මිත්‍යාවක් නෙවෙයි, කාලයක් පුරා කරපු පරීක්ෂණ බොහොමයකින් තහවුරු වුණු කාරණාවක්. ඒ නිසා රෑට කන ප්‍රමාණය අඩු කරගෙන අනිත් කෑම වේල් වල ප්‍රමාණය වැඩි කර ගත්තොත් හොඳයි.

තෙල් ප්‍රශ්නය

තෙල් පිරුණු ෂෝට් ඊට්. පැටිස්, රෝල්ස් වගේ “සෝටිස්” ලංකාවේ කා අතරත් හරිම ජනප්‍රියයි. රූපය : 1080.plus

තෙල් පිරුණු ෂෝට් ඊට්. පැටිස්, රෝල්ස් වගේ “සෝටිස්” ලංකාවේ කා අතරත් හරිම ජනප්‍රියයි. රූපය : 1080.plus

අපේ අයගේ තවත් නරක ආහාර පුරුද්දක් තමයි මිලෙන් අඩු පිරිපහදු කරපු පොල් තෙල් අපි කන හැම දේකටම දාන එක.

දැන් කාලේ අපි හැම දෙයක්ම බදින්නයි, තෙල් දාන්නයි, තෙම්පරාදු කරන්නයි පටන් අරගෙන. තියෙන වැඩ කොටසත් එක්ක තෙම්පරාදු කරපු ආහාර ඉක්මනින් නරක් වෙන්නේ නැති එක ලොකු පහසුවක්. ඒ වගේම තමයි හදිස්සියට කන ෂෝට් ඊට්ස්. මේවත් හදන්නේ ගැඹුරු තෙලේ බැදලා නිසා තෙල් ප්‍රමාණයෙන් ඉහළයි. ඒ වගේම තමයි අපි බහුතරය පිරිපහදු කරපු පොල් තෙල්ම පාවිච්චි කරන එකෙත් ප්‍රශ්නයක් තියනවා. ලංකාවේ බොහෝ පොල් තෙල් නිෂ්පාදකයන් (SLS තියන ආයතන පවා) පොල් තෙල් හදද්දී නිවැරදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම පාවිච්චි නොකරන බවට පෙන්න තියෙනවා. මේ නිසා පිරිපහදු කරන්න පාවිච්චි වෙන රසායනික වර්ග පොල් තෙල් එකට කවලම් වෙලා තියෙන්නත් පුළුවන්. ඇතැම් නිෂ්පාදන විධි නිසා විෂ ද්‍රව්‍ය හැදෙන්නත් ඉඩක් තියෙනවා කියලා හොයා ගෙන තියෙනවා.

උත්සව ආහාර

කවුරුත් කන්න ආස කැවුම්; මේ වගේ රසකැවිලි බොහොමයක් මේසෙට එන උත්සව කාලය සෞඛ්‍යය පිරිහෙන කාලයක් වෙන එකත් අහන්න දෙයක් නැහැ. රූපය : YamuTV

කවුරුත් කන්න ආස කැවුම්; මේ වගේ රසකැවිලි බොහොමයක් මේසෙට එන උත්සව කාලය සෞඛ්‍යය පිරිහෙන කාලයක් වෙන එකත් අහන්න දෙයක් නැහැ. රූපය : YamuTV

විවිධ ජාතීන් හා ආගම් ඉන්න රටක් වෙන එකේ ප්‍රතිඵලයක් තමයි අපි සිංහල/දෙමළ නොවුණත් අවුරුදු ලබන එක. ඒ වගේම තමයි රාමසාන් එකට ඔබ මුස්ලිම් නොවුණත්, නත්තලට ඔබ ක්‍රිස්තියානි නොවුණත් මේ හැම උත්සවයකටම කොයි කවුරුත් සහභාගී වෙනවා. විශේෂත්වය කියන්නේ ඒ හැම එකක්ම අපි සමරන්නේ තෙල් පිරුණු කෑම වලින්. කැවුම්, දොදොල්, වටලප්පන්, ක්‍රිස්මස් කේක් වගේ මොන උත්සව කෑමක් ගැන හිතුවත් මේක පැහැදිලියි. උත්සව කාලෙට කට්ටිය අඩි ගහලා පාටි දාන එකටම මේ තෙල් කෑම රොත්තත් එකතු වුණාම අවුරුද්ද පුරාවටම සෞඛ්‍ය ගැන හිතන්න කාලයක් නැති වෙන අහන්න දෙයක් නෙවෙයි.

බටහිර මිනිස්සුත් උත්සව තියනවා, නමුත් කලින් කිව්වා වගේ හැමෝම තමන්ගේ උත්සව තියන නිසා රටක් විදිහට ගත්තාම අපි උත්සව ගොඩාක් තියනවා. ඒ වගේම තමයි මේ උත්සව වල ප්‍රධානම වැඩේ තමයි බඩ පිරෙන්න කන එක. (නිකමට හිතන්න අවුරුද්දට කැවුම් නැතිව, රාමසාන් එකට වටලප්පන් නැතිව හරි යයිද කියලා) හැම වෙලාවකම ගැඹුරු තෙලේ බැදලා හරි, සීනි, පිටි වලින් පුරවලා හරි හදන මේ ආහාර හැම එකක්ම වගේ සෞඛ්‍යයට හරිම අහිතකර, ඔබව මහත් කරවන වගේම පරිපූර්ණත්වයෙන් හරිම අඩු ඒවා.

මෙහෙම කිව්වාට ඉතින් මේ වගේ උත්සව මග හරින එක හෝ ඒවාට ගිහින් කන්නේ නැතිව ඉන්න එක කවුරුත් කරන්නේ නැහැනේ. ඉතින් හොඳම දේ තමයි ටිකක් වැඩිපුර ව්‍යායාම වල යෙදෙන එක. කැවුම්, දොදොල්, වටලප්පන් මොන තරම් රස වුණත් ඒවා කන්න ගිහින් ලෙඩ වෙනවා වෙනුවට ටිකක් පාලනය කර ගන්න එක හොඳයි.

අපි මේ ලිපියෙන් අදහස් කරේ කටට රස දැනෙන ආහාර සේරම අයින් කරලා “ඇඟට ගුණ” දේවල් විතරක් කන්න කියන එක නෙවෙයි. එහෙම කරන්න ගියොත් ඇත්තටම ජීවත් වෙන එකත් අප්පිරියා වේවි කෑම වගේම. නමුත් අපි කාටත් පුළුවන් අපි කන කෑම වේලට පොඩි පොඩි වෙනස් කම් කරන්න. පිටි ආහාර ගනිද්දී පුළුවන් තරම් කුරක්කන් පිටි වලින් හදපු ආහාර ගන්න බලන්න. බත් බෙදා ගනිද්දී ටිකක් අඩුවෙන් දා ගන්න. බඩගිනි එන වෙලාවට පළතුරක් කන්න උත්සාහ කරන්න. එළවලු, මස් මාළු වැඩිපුර ආහාරයට එකතු කර ගන්න. පොල් සහ පොල් තෙල් කන එක සීමා කරන්න බලන්න. තේ බොද්දි සීනි හැඳි තුන හතර දාන එක නවත්තන්න. මේ වගේ සරල වෙනස්කම් කිහිපයක් කළොත් ඔබේ සෞඛ්‍යයට ලොකු වෙනසක් ඇති කර ගන්න පුළුවන්. හැමෝම මෙහෙම කලොත් ලංකාවම කාලයක් යද්දී ලෙඩ අඩු රටක් කර ගන්න අවස්ථාවක් තියෙනවා. එහෙම නේද?

කවරයේ පින්තුරය: kadjuhouse.com

Related Articles

Exit mobile version