Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගත – සිත සැහැල්ලු කරන යෝගා

සාර්ථකත්වය – තමන් විසින් තෝරා ගත් හෝ තමන්ට තෝරා ගන්නට සිදු වුණු කුමන හෝ මාර්ගයකින් සාර්ථක වෙන්නට හැම දෙනාම සිහින දකිනවා, ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ඒත් සමහර වෙලාවට කිසිම දෙයක් හරියට සිද්ධ වෙන්නෙ නැති අවස්ථා වලදි වැටුණු තැනින් නැඟිටලා ඉදිරියට යන්න හිත ශක්තිමත් කර ගැනීම අත්‍යාවශ්‍ය වගේම අනිවාර්යයෙන් කලයුතු දෙයක්.

ඇත්තෙන්ම අපේ මනස බලවත් කර නොගන්නා තාක් අපට කිසිදු දෙයකින් සැබෑ සාර්ථකත්වය ළඟා කරගන්න බැහැ. ඒ සඳහා අපි අපේ මනසේ සැබෑ අයිතිකරුවන් බවට පත් විය යුතුමයි. පුරාණ ඉන්දියාවෙන් ලෝකයට උරුම වුණු යෝගා පුහුණුව ගැන ඔබ නොදැන සිටින්නට හේතුවක් නැහැ. යෝගා, මනස වගේම ශරීරයත් ශක්තිමත්ව, නිරෝගීව සහ නම්‍යශීලීව පවත්වා ගන්නට උපකාරී වන ක්‍රමයක්. මේ ලිපිය ඒ ගැනයි.

යෝගා?

යෝගාාසනයක රැඳී සිටින අවස්ථාවක්. (alphacoders.com)

“යෝගා” යන්නෙහි අදහස එකම බන්ධනයක් යටතට ගෙන ඒම හෝ එකට සම්බන්ධ කිරීම යන්නයි. මිනිස්‌ සිරුරේ ඇති නිල ස්‌ථාන යෝගා ආසන පුහුණු කරන විට තෙරපීමට ලක්‌ වෙනවා. ඒවායේ ස්‌වාභාවික ක්‍රියාවලිය වඩා විධිමත් කර ශරීරයේ සියළුම පද්ධති වල මනා ක්‍රියාකාරීත්වයක් පවත්වා ගන්නට මෙය උපකාර කරනවා.

අතීත කථාව

ශිව දෙවියන් සහ පාර්වතී දේවිය. (wallpapersafari.com)

වසර දස දහස් ගණනකට එපිට ඈත අතීතයේදී ඉන්දියාවේදි තමයි යෝගා ආරම්භ වුණේ. පුරාවෘත්ත වල සඳහන් වෙන විදියට පළමුවෙන්ම යෝගාා පුහුණුව ආරම්භ වෙන්නෙ ශිව දෙවියන්ගෙන්. පාර්වතී දේවිය තමයි පළමු ගෝලයා වෙන්නෙ.

ශිව දෙවියන් සවිඥානකත්වයේ සංකේතය ලෙස සැලකෙන අතර පාර්වතී දේවීය ඥානයෙන් අගතැන්පත්, ලොව සියළුම මැවීම් වල නිර්මාතෘවරිය ලෙසත් සඳහන් වෙනවා. කුණ්ඩලිනී ශක්තිය ලෙස හඳුන්වන මෙම බලය සියළු දෙනා තුළම නිද්‍රා ගතව පවතින්නක්. යෝගා වලින් කරන්නේ මේ නිද්‍රාගත ශක්තිය අවදි කිරීමයි.

තන්ත්‍ර

අවධානය පවත්වා ගැනීම මෙහි මූලිකවම පුහුණු කරනු ලබනවා. (alphacoders.com)

යෝගා ශිල්ප ක්‍රම අඩංගු ලිඛිත මූලාශ්‍රය විදියට තන්ත්‍ර හඳුන්වන්න පුළුවන්. තන්ත්‍ර කියන වචනය “තනෝති” සහ “ත්‍රායති”  යන වචනයන්ගේ එකතුවක්. “තනෝති” යන වචනයේ අර්ථය වර්ධනය ලෙසත් “ත්‍රායති”  යන වචනයේ අර්ථය නිදහස ලෙසත් දක්වා තිබෙනවා. සරලව පැහැදිලි කළොත් සවිඥානකත්වය වර්ධනය කර ගැනීමත් ශක්තීන් නිදහස් කිරීමත් ලෙස මෙය දැක්විය හැකියි.

මෙහි පළමු පියවර වෙන්නෙ ශරීරයේ සහ මනසේ සීමාවන් සහ හැකියාවන් අවබෝධ කර ගැනීමයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒකට ප්‍රධානම හේතුව වෙන්නෙ එකිනෙකාගේ ශරීර ස්වභාවයන් සහ මනසේ තත්ත්වයන් වෙනස් මට්ටම් වල පැවතීමයි. තනි පුද්ගලයෙකු වශයෙන් තමාව තමා විසින් හඳුනා ගැනීම සහ අවබෝධ කර ගැනීමයි මෙහිදී සිදු වන්නෙ.

ඉන්පසුව මේ මොහොත තුළ සිහිය පිහිටුවා ගැනීම හෙවත් සියයට සියයක් මනස යම්කිසි අරමුණක් වෙත ඉලක්ක කරමින් අවධානය පවත්වා ගැනීමේ අභ්‍යාසත්, සීමාවන් හඳුනා ගනිමින් ශරීරයේ ශක්තිය නිදහස් කිරීමේ අභ්‍යාසත් එකම අවස්ථාවකදී පුහුණු කරවනවා. සිත එකඟ කර ගැනීමට අප කරන භාවනාවන් සහ ශරීරයේ නම්‍යශීලි බව පවත්වා ගැනීමට සිදු කරන ව්‍යායාම ක්‍රම වෙන වෙනම කරනවා වෙනුවට එකම අවස්ථාවකදී පුහුණු කිරීමයි මෙහි විශේෂත්වය.

පුරාණ රහසක්

රුධිර ගමනාගමනය ක්‍රමවත් කිරීමත් මෙයින් සිදු වෙනවා. (hdwallpaperslatest.com)

අතීතයේදී යෝගා ශිල්ප ක්‍රම රහසක් ලෙස තබාගත් අතර ඒවා ලියා තැබුවේ හෝ ජනතාවට අනාවරණය කළේ නැහැ. අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කර ගත් මේ දැනුම ගුරුවරයාගෙන් ගෝලයාට කට වචනයෙන් තමයි ආවෙ.

යෝගා පිළිබඳව මුලින්ම ලිඛිත සඳහන් දකින්නට ලැබෙන්නෙ තන්ත්‍ර සහ වේද ග්‍රන්ථ වල. ඒවායෙත් සංකේතාත්මක සඳහනක් පමණයි දැක්වෙන්නෙ. පතංජලී නම් ඉසිවරයාගේ ලියවිලි වලට අනුව යෝගා; යම, නියාම, ආසන, ප්‍රාණයාම, ප්‍රත්‍යහාර, ධරණ, ධ්‍යාන, සහ සමාධි ලෙස මාර්ග අටක් ඔස්සේ පැහැදිලි කරලා තියෙනවා.

අද වන විට

යෝගා බටහිර ලෝකවාසීන් අතර අතිශය ජනප්‍රිය වී තිබෙනවා. (wall.alphacoders.com)

පතංජලී ඍෂිවරයාගෙන් සියවස් කිහිපයකට පසුව යෝගාාචාරීන් තරුණ බව පවත්වා ගැනීම සඳහා යෝගාා පුහුණු ක්‍රමයක් නිර්මාණය කරනවා. පුරාණ වේද ග්‍රන්ථ වල ඇතැම් ක්‍රම ඉවත් කරමින් ඔවුන් අවබෝධය ලබා ගැනීම සඳහා ශරීරය භාවිතා කරන්නට පෙළඹෙනවා. තන්ත්‍ර යෝගාා ක්‍රම වෙනස් කරමින් ශරීරය මූලික කරගත් පුහුණු ක්‍රමයක් හඳුන්වා දෙන අතර මෙහිදී ඇදීමේ සහ ඉහිල් කිරීමේ අභ්‍යාස කරමින් භෞතික ශරීරයේ පැවැත්ම අවබෝධ කරගැනීම ප්‍රධානවම සිදු වෙනවා. මනස ඒක්‍රාග්‍ර කිරීමත් ඒ සමඟම සිදු වෙනවා. ශරීරය තුළින් අවබෝධය ලබා ගන්නා මෙම ක්‍රමය බටහිර ලෝකයේ “හත යෝගා” ලෙස හඳුන්වනවා.

1800-1900 අතර කාලයේදී යෝගාාචාරීන් බටහිරට සංක්‍රමණය වෙන්න පටන් ගන්නවා. ඉන්පසුව මේ පිළිබඳව මිනිසුන්ගේ අවධානය යොමු වීම සහ කැමැත්ත වර්ධනය වීමත් සමඟ යෝගා අනුගමනය කරන පිරිස ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙලා ලොව පුරා යෝගා පාසල් ආරම්භ වෙනවා.

අද වන විට බාල, තරුණ හෝ මහළු භේදයකින් තොරව යෝගා පුහුණු වෙන පිරිසක් බිහි වෙලා තියෙනවා. ගර්භණී මව්වරුන්ට, රෝගීන්ට යම් යම් සීමාවන් යටතේ යෝගා පුහුණූ වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබට හිතෙනවා ඇති ස්ථූල ශරීර ඇති අයට යෝගාා ව්‍යායාම කළ නොහැකියි කියලා. එහි කිසිදු සත්‍යතාවයක් නැහැ. ආරම්භයේදි සඳහන් කළා වගේම මෙහිදී කළ යුතු වන්නේ තම ශරීර ස්වභාවය අවබෝධ කරගෙන එහි ශක්‍යතාවයන් හඳුනා ගනිමින් ක්‍රමානුකූලව අත්දැකීම් සහිත ගුරුවරයෙක් යටතේ පුහුණු වීමයි. මෙහිදී අනෙකා අභිබවා ඉස්මතු වීමක් හෝ සමහර ආසන වල රැඳී සිටීමේ හැකියාවක් නැති නිසා හීනමානයක් ඇති කරගත යුතු වන්නේ නැහැ.

ගර්භණී මවක් යෝගා පුහුණුවෙන අවස්ථාවක්. (www.newhdwallpapers)

ක්‍රමයෙන් ආසනයක රැඳී සිටින කාලය වැඩි කළ යුතු වෙනවා. මෙම ආසන පුහුණු වීම ගුරුවරයෙකුගේ මඟපෙන්වීම යටතේ ඉතාමත් ප්‍රවේසමෙන් සහ ඉවසීමෙන් කළ යුතුයි. ආරම්භයේදී සමහර ඉරියව් වල රැඳීම ඔබට අපහසු වේවි. තමන්ගේ ශරීරය තමන්ගේ පාලනයෙන් කෙතරම් දුරස් වෙලාද කියලා ඔබට වැටහේවි. ඒ වගේම ඔබට රැඳෙන්නට හැකි ආසන වල රැඳී සිටීමේදී කාලයත් සමඟ මනසෙන් ඒ වෙත දක්වන අවධානය ගිලිහී යෑම සාමාන්‍ය දෙයක්. ඉවසීම, අවධානය යොමු කිරීම, දරා ගැනීම, තමන්ගේ ශරීරය සහ මනස තමන්ගේ පාලනයේ තබා ගැනීම යෝගා පුහුණුවේදී ඔබට උපයාගත හැකි වත්කම්.

විද්‍යාත්මක පදනම

යෝගා පුහුණුවෙන් මොළයේ රසායනික සංයුතිය වෙනස් වන බව නවතම පර්යේෂණ වලින් හෙලි වෙනවා. මොළයේ තියෙන GABA (Gamma-Amino Butyric Acid) කියන ස්නායු සම්ප්‍රේෂකය වර්ධනය කරලා ඍජුවම ශරීරයේ දුබල බව ඉවත් කර ස්නායු සංසිඳුවීමට මෙයට හැකියි. මෙහි ප්‍රතිඵලය මධ්‍යසාර භාවිතයේ එක් මට්ටමකදී ලැබෙන ශාන්ත භාවයට සමාන ශාන්ත භාවයකට පුද්ගලයා ගෙන ඒමයි. නමුත් මධ්‍යසාර භාවිතය හානිකරයි වගේම එයින් ලැබෙන සන්සුන් බවත් ඉතාම කෙටි කාලීනයි.

මිනිත්තු 60ක යෝගා පුහුණුවකින් මොළයේ තැලමසට මුදා හරින GABA මට්ටම ඒ හා සමාන කාලයකදී ඇවිදීමේදි මුදා හරින ප්‍රමාණයට වඩා 27%කින් වැඩියි. යෝගා පුහුණු වන කාලය තුළ ක්‍රමවත්ව සිදු කරන ශ්වසනය, භාවනාව සහ ශරීර චලනයන් මෙයට හේතු වෙනවා.

මධ්‍ය ස්නායු පද්ධතියේ ප්‍රධාන ද්‍රව්‍යයක් වන ධූසර ද්‍රව්‍යය (gray matter) ප්‍රතිෂතය ඉහළ නැංවීම මෙහි තවත් වාසියක්. ශරීරයේ පේෂි පාලනය, පෙනීම සහ ඇසීම, මතකය, හැඟීම්, අදහස් ප්‍රකාශ කිරීම, තීරණ ගැනීම, වේදනාවන් දරාගැනීම සහ ස්ව පාලනය මේ හා බැඳී පවතිනවා. සාංකාව, දිගු කාලීන මානසික වේදනාව, විශාදය වැනි ඍණාත්මක තත්ත්වයන් නිසා ධූසර ද්‍රව්‍ය මට්ටම අඩු වෙනවා. යෝගා ස්වභාවික වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරමින් මෙවැනි සිතුවිලි සමනය කරන්නටත් පුද්ගලයාට ඉහළ ආත්ම විශ්වාසයෙන්, අවධානය රැක ගනිමින්, සැහැල්ලුවෙන් ජීවිතයේ අභියෝග වලට මුහුණ දීමටත් අවශ්‍ය ධාරිතාවය ලබා දෙනවා.

ඔබ නිවැරදිව යෝගා වටහාගෙන පුහුණු කළොත් වඩා යහපත් පුද්ගලයෙකු වීමේ හැකියාව ලැබෙනවා. එය පුහුණු කරන්නට කරන්නට එයින් ලැබෙන ප්‍රතිඵල දිනෙන් දින වර්ධනය වෙනවා.

යෝගාාසන බොහොමයක් තියෙනවා. එක් එක් යෝගාාසන වලින් විවිධ පේෂීන්ට අභ්‍යාස ලබා දෙන අතර තෙරපෙන නිලයන්ද වෙනස් වෙනවා. එයින් ලැබෙන ප්‍රතිපලත් විවිධාකාරයි. ඒ නිසා ඒ ගැන වෙනම ලිපියකින් කතා කළ යුතුයි.

කවරයේ පින්තුරය: alphacoders.com

මූලාශ්‍ර: www.biography.com, www.lifetimetv.co.uk, omkarahyoga.com, www.yogabasics.com

Related Articles