Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ ප්‍රෝටීන ඌණතා ගැටලුව විසඳන ක්‍රම

ප්‍රෝටීන් යනු අත්‍යවශ්‍ය සාර්ව පෝෂකයක් වන අතර එය අපගේ ශරීරයේ සෑම සෛලයක ම වර්ධනය, පටක අලුත්වැඩියා කිරීම මෙන් ම, ආහාර දිරවීම සහ හෝමෝන නියාමනය වැනි ප්‍රධාන කාර්යයන් ද මෙහෙයව යි.

ශ්‍රී ලංකාව දේශීය ශාකමය ආහාර, සහ මස් ආශ්‍රිත ප්‍රෝටීන්වලින් පොහොසත් රටකි.  එබැවින් මෙරට මාංශමය ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලීම සඳහා කුකුළු මස් වැනි දැරිය හැකි මිලකට ලද හැකි, සහ පෝෂණ ගුණයෙන් අනූන විකල්ප ඇතුළත් වේ. කෙසේ වෙතත්, රට පුරා ම ප්‍රෝටීන් ඌණතාව පිළිබඳ ගැටලුවක් පවතින අතර, ආහාර රටාව ආශ්‍රිත විවිධ නිදන්ගත රෝග සහ අනෙකුත් රෝගී තත්ත්වයන් ව්‍යාප්ත වීමට එය දායක වෙමින් පවති යි. 

මෙම ගැටලුව විසඳීම සඳහා දැනුම්වත්භාවය සහ ප්‍රෝටීන් බහුල ආහාර ප්‍රභව අපේ ආහාර වේලට නිසි ලෙස ඇතුළත් කර ගැනීම අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රෝටීන් ඌණතාව

අපගේ ශරීරයේ ප්‍රෝටීන් ගබඩා නොවන බැවින්, සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතක් උදෙසා  සිරුරට දිනපතා ප්‍රෝටීන්  ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන් පරිභෝජනය කරන්නේ ප්‍රධාන වශයෙන් අඩු ප්‍රෝටීන් ප්‍රමාණයක්, සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ සහිත කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර වේලකි.

නවලෝක ප්‍රිමියර් සුවතා මධ්‍යස්ථානයේ සේවය කරන, සහතික ලත් පෝෂණවේදිනියක වන ෂයනා අමරසේකර අප සමඟ පැවසූයේ, “ශ්‍රී ලංකාවේ මන්දපෝෂණය සහ අධි පෝෂණය පිළිබඳ ගැටලුව හැමදා ම තියෙනවා. කාබෝහයිඩ්‍රේට් වැඩිපුර කෑමට එකතු කර ගන්න රටක් විදියට පෝෂ්‍යදායී ආහාර ගන්න ඕන බවට මිනිස්සුන්ට දැනුමක් නැතිකමත් ඒකට හේතු වෙන්න පුළුවන්” කියායි.

අපේ ප්‍රියත ම ආහාරය වන බත් සහ ව්‍යංජන ගැන සලකා බලන්න. ගෙදර දී සකසා ගන්නා මෙම ආහාර වේල සාමාන්‍යයෙන් අධික ලෙස සහල් ප්‍රමාණයක් සහ මස් හා එළවළු කුඩා ප්‍රමාණයක් සමඟ සැකසෙන අතර එමඟින් කාබෝහයිඩ්‍රේට් අතිරික්තයක් ඇති වී, ප්‍රෝටීන් හිඟයක් ඇති වේ.

කාලයාගේ ඇවෑමෙන් එවැනි ඌණතා නිසා සම, නිය පොතු සහ හිසකෙස්වල ගැටලු මෙන් ම තෙහෙට්ටුව, මාංශ පේශි ක්ෂය වීම, වර්ධන වේගය අඩුවීම, දුර්වල ප්‍රතිශක්තිකරණය, රක්තහීනතාව, අඩු රුධිර පීඩනය සහ තවත් ගැටලු රැසක් ඇති විය හැකි ය. ඊට අමතර ව, පිෂ්ටය බහුල සාමාන්‍ය ශ්‍රී ලාංකික ආහාර රටාව නිසා දියවැඩියාව, හෘද රෝග සහ ස්ථුලතාව වැනි වෙනත් සෞඛ්‍ය සංකූලතා ද ඇති වේ.

ප්‍රෝටීන් ඌණතාවට පෝල්ට්‍රි මස්වලින් විසඳුමක්

කුකුළු මස් ශ්‍රී ලංකාවේ බහුල මෙන් ම සෞඛ්‍ය සම්පන්න ප්‍රෝටීන් ප්‍රභවයකි– Organic Farmer

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO)මාළු හා කිරි නිෂ්පාදන හැරුණු විට, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල වලින් පොහොසත් ආහාරයක් ලෙස පෝල්ට්‍රි මස් වර්ග නිර්දේශ කර තිබේ. ගත වූ දශක දෙකක කාලය තුළ දී දෛනික පෝෂණ අවශ්‍යතාව සපුරන හොඳ ම විකල්පයක් ලෙස කුකුළු මස් කර්මාන්තය ශීඝ්‍ර වර්ධනයක් අත්කර ගෙන ඇත. කුකුළු මස් මෙන් ම පෝල්ට්‍රි (Poultry) ගණය යටතේ මෙරට කළුකුම් මස්, තාරාවන්, වටුවන් සහ අනෙකුත් කුඩා පක්ෂීන් ඇතුළු පුළුල් පරාසයක සුදු පැහැති මස් භාවිතයට ගැනේ. කෙසේ වෙතත්, දේශීය පෝල්ට්‍රි වෙළෙඳපොළෙන්  70% කට වැඩි ප්‍රමාණයක් කුකුළු මස් සහ බිත්තරවලින් සමන්විත වේ.

සංඛ්‍යාලේඛනවලට අනුව, වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 15% ක් කායික දුර්වල බවින් (මන්දපෝෂණ රෝග ලක්ෂණයකි) පීඩා විඳිති.

අපගේ මූලික පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා සෑම දිනක ම ශරීර බරින් කිලෝග්‍රෑමයකට ප්‍රෝටීන් ග්‍රෑම් 0.8 ක් ලබා ගැනීම නිර්දේශ කෙරේ. දිනපතා, පහසුවෙන් ලබා ගත හැකි උසස් ප්‍රෝටීන් ප්‍රභවයක් වන පෝල්ට්‍රි ගණයේ මස් වර්ග  භාවිතයෙන් මෙරට ප්‍රෝටීන් ඌණතාව කළමනාකරණය කර ගත  හැකි ය.

දේශීය, සෞඛ්‍ය සම්පන්න පෝල්ට්‍රි මස් වර්ග

කුකුළු මස් රට පුරා දක්නට ලැබෙන පෝල්ට්‍රි මස් වර්ගයකි. තාරා මස් සහ කළුකුම් මස් අඩු වශයෙන් භාවිතයට ගැනෙන අතර ඒවා ද සෞඛ්‍ය සම්පන්න විකල්ප වේ. මෙම පෝල්ට්‍රි නිෂ්පාදන මඟින් ලබා දෙන ප්‍රධාන ප්‍රතිලාභ කිහිපයක් මෙසේ යි.

කුකුළු මස්

ප්‍රෝටීන් බහුල වීම සහ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ල ම තිබීමට අමතර ව, සිහින් ව කැපූ කුකුළු මස් කැබැල්ලක විටමින් B12, කෝලීන්, සින්ක්, යකඩ සහ තඹ ඇතුළු අතිරේක විටමින් සහ ඛනිජ ලවණ රාශියක් අන්තර්ගත වේ. කුකුළු මස් හොඳ මනෝභාවයක් ලබා දීමට හා දේහ ශක්තිය වැඩි කිරීමට දායක වන අතර, සෙරොටොනින් නිෂ්පාදනය වැඩි කිරීමත්, සංජානන ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමටත් දායක වේ.

බිත්තර

සෞඛ්‍ය සම්පන්න දිවියකට අවශ්‍ය සෑම අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් ම සුළු වශයෙන් රැගත් බිත්තර ඉතා ම පහසුවෙන් ජීර්ණය වී සිරුරට උරා ගනියි. ලොව පුරා ම බිත්තර වනාහි ප්‍රෝටීන් බහුල පෝෂණ ප්‍රභවයක් ලෙස සැලකේ.

තාරා මස්

තාරා මස්, පෝෂ්‍ය පදාර්ථවලින් හොඳින් පොහොසත් ය. සෞඛ්‍ය සම්පන්න අසංතෘප්ත මේද අඩංගු තාරා මස් යනු උසස් තත්ත්‍වයේ ප්‍රෝටීන් ප්‍රභවයක් වන අතර එමඟින් අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල රාශියක් ලැබේ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වන විවිධ ක්ෂුද්‍ර පෝෂක ද ඒවායේ අඩංගු වේ.

කළුකුම් මස්

කළුකුම් මස් ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් ග්‍රෑම් 28 ක් අඩංගු වන අතර, වැඩිහිටි පුද්ගලයකුට නිර්දේශිත දෛනික ප්‍රෝටීන් ප්‍රමාණයෙන් අඩකට වඩා ඉන් සැපයේ. මේවා නියසින්, කෝලීන්, සෙලිනියම්, විටමින් B6, විටමින් B12, පොටෑසියම්, කැල්සියම් සහ තවත් බොහෝ විටමින් සහ ඛනිජ ලවණවලින් පොහොසත් ය.

ඔබ පෝල්ට්‍රි සහ මස් නිෂ්පාදන තෝරා ගත යුත්තේ කෙසේද?

සත්ත්ව ප්‍රෝටීන් ප්‍රභවයන් වලින් ඔබේ ප්‍රෝටීන් අවශ්‍යතාවට සහ සමස්ත පෝෂණ සමතුලිතතාවට ධනාත්මක වෙනසක් ලබා ගත හැකි ය. -WATTAgNet

ශ්‍රී ලංකාවේ නම්‍යශීලී නීති හා රෙගුලාසි ඇති බැවින් මස් වර්ග මිලදී ගැනීමේදී සාමාන්‍ය පාරිභෝගිකයකුට ඒවායේ තිබිය යුතු ගුණාත්මකභාවය හඳුනා ගැනීම දුෂ්කර වී තිබේ. කෙසේ වෙතත්, පහත උපදෙස් ඊට උපකාරී වනු ඇත.

  • ඔබ මිලදී ගන්නා නිෂ්පාදනය කාබනිකදැයි සොයා බලන්න
  • අවම අතිරික්ත මේදයක් ඇති, සිහින් මස් තෝරා ගන්න
  • මස්වල මූලාරම්භය පරීක්‍ෂා කරන්න (නිදහසේ වැඩුණු බව හෝ මහා පරිමාණ නිෂ්පාදනයක් ද යන වග)
  • පැකට් කළ නිෂ්පාදන නම්, ගබඩා කර තිබූ ආකාරය, සහ කල් ඉකුත් වීමේ දිනය පරීක්ෂා කරන්න

“සමබල ආහාර වේලක් ගන්න තැනින් ශ්‍රී ලංකාවේ ප්‍රෝටීන් ඌණතාවට පිළියම් යොදන්න පටන් ගන්න පුළුවන්,” ෂයනා කිය යි. “ඒ වගේම, ආහාර පිළියෙළ කරද්දිත් පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙන්නේ නැති විදියට සකසා ගන්න එක වැදගත්. උදාහරණයක් විදියට, එළවළු සහ මස් වර්ග තෙලෙන් තෙම්පරාදු කළා ම පෝෂණය ඉවත් වෙලා ඒවාට මේදයත් එකතු වෙනවා.”

කෙසේවතුදු, ශ්‍රී ලංකාවේ ප්‍රෝටීන් ඌණතාව දුරු කරලීම යනු අපට ආවේණික හා සිත්බැඳි සූප ශාස්ත්‍ර ක්‍රම හා ආහාර වර්ග පසෙකලීම නොවේ. අප කළ යුත්තේ, හොඳ දැනුමකින් යුතු ව අපගේ දෛනික පෝෂණ අවශ්‍යතාවට සරිලන පරිදි ආහාර වර්ග තෝරාගැනීම ය.

කවරයේ ඡායාරූපය: pixabay.com

Related Articles