මේ අර්බුද සමයේ ආහාර විස වීමේ අර්බුදයෙන් මිදෙන හැටි

ශ්‍රී ලංකාව ඉන්ධන හිඟය හා බලශක්ති හිඟය, ඉහළ උද්ධමනය, ඉහළ යන භාණ්ඩ මිල සමඟ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන් පෙන්වා දී ඇතැයි බීබීසී සිංහල සේවය පසුගිය දා වාර්තා කර තිබුණා. අසාර්ථක කාබනික වගා ක්‍රියාවලියේ ප්‍රතිපල හේතුවෙන් කෘෂි නිෂ්පාදනවල බරපතල හිඟයක් ඇතිවීම අර්බුදය තවත් ගැඹුරු කරන්නට හේතු වී ඇතැ යි ද එම වාර්තාවේ සඳහන්.

ශ්‍රී ලංකාවේ ලක්ෂ 57ක ජනතාවක් මේ වන විට මානුෂීය ආධාර අවශ්‍ය වන තත්ත්වයක පසුවවන බවයි වාර්තා වන්නේ. තවත් ලක්ෂ 63ක පිරිසක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා සිටිනවා. ලක්ෂ 67ක ජනතාවක් ප්‍රමාණවත් ආහාර වේලක් අනුභව නොකරන බවත් වාර්තා වනවා.

ආහාර හිඟයක්

ආහාරවල මිල ලොව පුරා අධික ලෙස ඉහළ යමින් පවතින අතර ඒ හේතුවෙන් බොහෝ දෙනකුට ඒවා ලබා ගැනීම ද අපහසු ව තිබෙනවා. ඇතැම් විට ආහාර හිඟයක් ද දක්නට ලැබෙනවා. ලෝකයේ බොහෝ ප්‍රදේශවල වෙසෙන ජනතාවට මෙම නව තත්ත්වයන්ට අනුගත වීමට සිදු ව තිබෙනවා. ඒ අනුව, ඇතැම් විට ඔවුන් ගන්නා ආහාර වෙනස් කිරීමට, ඇතැම්විට ලබා ගන්නා වේල් ප්‍රමාණය අඩු කිරීමට මෙන් ම පවතින බලශක්ති හිඟය හේතුවෙන් නිසි ලෙස පිළියෙළ නොකළ ආහාර අනුභවයට ද ඔවුන්ට සිදුවනවා.

 කුණු වූ ආහාරයක කුණු වූ කොටසේ පමණක් නොව, අනෙක් කොටසේ ද ආහාර විස වීමට අදාළ ක්ෂුද්‍රජීවීන්, ධූලක හෝ රසායනික ද්‍රව්‍ය තිබිය හැකියි- pinterest.com

 

ඉහත හේතු නිසා මේ අර්බුද සමයේ බොහෝ දෙනෙක් උත්සාහ දරන්නේ හැකි තාක් අඩු මිලට බඩු භාණ්ඩ එක් රැස් කර ගැනීමට යි. මේ අතර ආහාර ද්‍රව්‍ය ද වන අතර, බොහෝ දෙනා ඒවායේ තත්ත්වය, ආරක්ෂිත බව වැනි දේ නොසලකා, මිලෙන් අඩු වීම යන කාරණාව සලකා පමණක් ආහාර මිලදී ගන්නා ආකාරය ද දැකගන්නට පුළුවන්.  තවත් බොහෝ දෙනෙක් ආහාර වැඩි වශයෙන් ගබඩා කරගන්නටත් හුරු වී තිබෙනවා. මෙලෙස සමහර ආහාර ද්‍රව්‍ය ගබඩා කරන්නේ ආරක්ෂිත තත්ත්ව යටතේ නොවන අතර, මේ නිසා ඒවාට විෂ ද්‍රව්‍ය මුසුවන්නටත්, විෂ ද්‍රව්‍ය ඒ තුළ නිපදවෙන්නටත් පිළිවන්. 

ප්‍රවාහන ගැටලු සහ විදුලිය සිඳලීම් නිසා ද මෙම තත්ත්වය උග්‍ර වී තිබෙනවා. ශීතකරණවල ගබඩා කර තැබිය යුතු ආහාරවලට මේ හේතුවෙන් සිදු වන හානිය ද ඉමහත්.  මේ නිසා රට පුරා ආහාර විෂවීම් පිළිබඳ සිද්ධි වාර්තා වීම ඉහළ යාමේ අවදානමක් ඇති වී තිබෙනවා. මෙය ඉක්මනින් ම විසඳාගත යුතු ගැටලුවක් වන අතර, මේ ලිපිය වෙන් වන්නේ ආහාර විස වන ආකාරය සහ එවැනි විස වීම් හැකිතාක් අවම කරගන්නා ආකාරය පිළිබඳ ඔබ වෙත ගෙන ඒම සඳහා යි.

ආහාර විස වීම සිදුවන්නේ කොහොමද?

සරලව ම පැවසුවහොත් ආහාර විස වීම සිදුවන්නේ යමෙක් වෛරස හෝ බැක්ටීරියාවලින් ආසාදනය වූ ආහාර අනුභව කිරීම නිසා යි, එසේත් නැතිනම් පරපෝෂී සතුන්, ඔවුන්ගෙන් නිකුත් වූ ධූලක, වෙනත් ආකාරයක විස වර්ග සහ රසායන ද්‍රව්‍ය එක්කාසු වූ ආහාර අනුභව කිරීම නිසා ද ආහාර විස වීම සිදුවෙනවා.

ආහාර විස වීම සිදුවන්නේ යමෙක් වෛරස හෝ බැක්ටීරියාවලින් ආසාදනය වූ ආහාර අනුභව කිරීම නිසා යි – Gerardo Vieyra/NurPhoto via Getty Images

 

ආහාර විස වීම නිසා ඇතිවන රෝගී තත්ත්වය ඉතා සුළු තත්ත්වයේ පටන් ක්ෂණික මරණය කැන්දන බරපතල තත්ත්වයක් ඇතිවීමේ අවස්ථාව දක්වා වූ විශාල පරාසයක විහිදී පවතිනවා. ආහාර විෂ වීම නිසා සුළු හෝ මදක් බරපතල ශාරීරික අපහසුතා ඇතිවන අතර, ඒවා ක්ෂණික හෝ සෙමෙන් අඩු වැඩි වන ඒවා විය හැකි යි. එමෙන් ම තාවකාලිකව ශරීරය විජලනය වීම ද ආහාර විස වීමකදී සිදුවිය හැකි යි.

ආහාර විස වීමේ සුළු සිද්ධීන් පැය කිහිපයකට හෝ දින දෙක තුනකට සීමා විය හැකි යි. එනම් ආහාර විස වීමට අදාළ රෝග ලක්ෂණ මතු වී පැය හෝ දින කිහිපයක දී ඒවා අඩු වී, වියැකී යන අතර, දීර්ඝ කාලීන අතුරු ආබාධ ශරීරයේ ඉතිරි වන්නේ නැහැ. කෙසේ නමුත් බොටුලිසම වැනි බරපතල ඝණයේ ධූලක හෝ විස රසායන ද්‍රව්‍ය ශරීරගත වීමක දී ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වුවහොත් එය රෝගියාගේ මරණයට පවා බොහෝ විට හේතු විය හැකි වෙනවා. මේ නිසා මෙවැනි අර්බුද සමයක ආහාර විස වීම් පිළිබඳ ව සියලු දෙනා ඉතා අවධානයෙන් සිට්ය යුතු වෙනවා.

ආහාර විස වීමට වගකිවයුත්තෝ කවරහු ද?

බැක්ටීරියා වර්ග රාශියක් ආහාර විස වීම සිදුකළ හැකි ඒවා වෙනවා. ස්ටැපිලොකොකස් ඕරියස් වැනි බැක්ටීරියා, එම රෝගය වැලඳුණු පුද්ගලයන්ගේ ඛේටය සහ මළ ද්‍රව්‍ය ඔස්සේ ආහාර සහ පානවලට මුසු විය හැකි යි. ආහාර සැකසීමේ දී දෙ අත් පිරිසුදු නොකිරීම සහ මුඛ ආවරණයක් නොපැළඳීම මීට හේතු වෙනවා. මෙලෙස සකසන ආහාර සහ පාන වර්ග අනුභව හෝ පානය කරන්නකුට එම බැක්ටීරියාව ආසාදනය වෙනවා. ඊ කෝලයි බැක්ටීරියාවලින් ආසාදනය වූ ජල මූලාශ්‍රවලින් ජලය පානය කිරීම ද, ඒවා මුසු වූ ආහාර අනුභව කිරීම ද නිසා මිනිසුන්ට අතීසාර තත්ත්ව ඇති වෙනවා.

 සත්ත්ව වසුරුවලින් ආහාර ආසාදනය වීම සිදුවිය හැකියි- rentokil.ie 

මෙය මිනිසුන් මඟින් හෝ සත්ත්ව වසුරු මඟින් ආසාදනය විය හැකි යි. සැල්මොනෙල්ලා බැක්ටීරියා ආසදනය වූ බිත්තර සහ මාංස වර්ගවලිනුත් ඉතා භයානක ආහාර විස වීම් ඇති වෙනවා. සැල්මොනෙල්ලා ආසාදනය බොහෝ විට ඉක්මන් ප්‍රතිකාර මඟින් සුවකර ගත හැකි වූව ද සමහර අවස්ථාවල දී එය ජීවිත හානි ගෙන දෙන තරම් ප්‍රබල ලෙස ක්‍රියාකාරී වෙනවා. විශේෂයෙන් පිසූ මාළු, මාංශ සහ කිරි ආහාරවල ආහාර විස වීමට අදාළ ක්ෂුද්‍රජීවී වර්ධනය ඉතා පහසුවෙන් සිදු වෙනවා. විශේෂයෙන් අනවශ්‍ය ලෙස දිගු වේලාවක් ඒවා කාමර උෂ්ණත්වයේ තැබූ විට මෙලෙසස සිදුවීමේ ඉතා වැඩි අවදානමක් තිබෙනවා.

බොටුලිසම ඇති කරවන ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් බැක්ටීරියාව ක්‍රියාකාරී වන්නේ නිර්වායු තත්ත්වවල යි. මෙම බැක්ටීරියාව පහසුවෙන් ටින් කළ ආහාරවල ඇති වන අතර, ආහාර නිසි ලෙස පිස ගැනීමෙන් ඒවා විනාශ කරගත හැකි යි. කුඩා දරුවන්ට ආසාදනය වූ මී පැණිවලින් ද බොටුලිසම වැලඳුණු සිද්ධීන් වාර්තා වන අතර, එය බොහෝ අවස්ථාවල බරපතල තත්ත්වයකට පත් වී තිබෙන්නේ ඔවුන් සතු දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතිය නිසා යි.

අමු මාංසමය ආහාර, විශේෂයෙන් කවච සහිත මුහුදු ජීවීන් ද පහසුවෙන් ආහාර විස වීම් ඇති කරනවා. සමහර හතු වර්ග, බෙරි වර්ග සහ පැළෑටි වර්ගවල ස්වභාවිකව ම පවතින විස රසායනික නිසා ආහාර විස වීම සිදු වෙනවා.

පැළ වී ඇති අර්තාපල් අලවල ‘සොලනින්’ නම් රසායනිකයක් ඇති අතර, එය ද මිනිස් සිරුරට විස වෙනවා. කල් ඉකුත් වූ සහ නිසි ලෙස ගබඩා නොකළ ආහාරවල ද පහසුවෙන් දිළීර ඇති වී, ඒවායෙන් නිකුත් වන ධූලක නිසා ද ආහාර විස වීම සිදු වෙනවා. විශේෂයෙන් රටකජුවල ඇති ඇෆ්ලටොක්සීන් පහසුවෙන් මිනිස් සිරුරට ඇතුළු වී විස වීම් ඇති කරනවා. මේවාට අමතර ව කෘත්‍රිම ව ආහාරවලට එකතු කළ හෝ, අහම්බයකින් එකතු වූ රසායනික ද්‍රව්‍යවලින් භයානක විස වීම් ඇති විය හැකි යි.

ආහාර විස වීම් වලක්වාගන්නේ කොහොමද?

ආහාර විස වීම් බොහෝ දුරකට වලක්වා ගැනීමට හැකියාව පවතින අතර, පහත ක්‍රමවේද අනුගමනය කිරීමෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වෙනවා.

අර්බුද සමයෙහි ලැබෙන ආහාරවල පිරිසුදු බව පිළිබඳ එතරම් විශ්වාසය තබාගත නොහැකි නිසා ඒවා සෝදාහැරිය හැකි ඒවා නම් පිරිසුදු ජලයෙන් හොඳින් සේදිය යුතු වෙනවා. තම අත් ද, ආහාර සකසන උපකරණ ද සබන් යොදා හොඳින් සෝදා ගත යුතු වෙනවා. මාංසමය ආහාර අධි ශීතකරණයෙන් ඉවතට ගෙන දිගු කාලයක් කාමර උෂ්ණත්වයේ, නිරාවරණය කර තැබීමෙන් වැලකිය යුතු වෙනවා. අධි ශීත කළ මාංස, සාමාන්‍ය ශීතකරණයේ තබා අයිස් දියවීමට හැරීම ප්‍රශස්ත ක්‍රමවේදය වන අතර, ඒවා ඉවතට ගෙන හැකි ඉක්මනින් පිසීම සිදු කිරීම නුවණට හුරු වෙනවා.  අමු මාංස සහ පිසූ මාංස  මෙන් ම, මාංස සමඟ වෙනත් නොපිසූ ආහාර ද එකට ගැටෙන පරිදි නොතැබිය යුතු වෙනවා. මාංසමය ආහාර, මාළු සහ බිත්තර ආහාරයට ගැනීමට පෙර හොඳින් ම පිස ගැනීමට වග බලා ගත යුතු වෙනවා. විශේෂයෙන් දිනපතා විදුලි විසන්ධි වීම නිසා ශීතකරණවල පවතින මාංසමය ආහාර පරිභෝජනයේ දී අනිවාර්යයයෙන් ම හොඳින් පිරිසුදු කිරීමත්, පිසීමත් කළ යුතු වෙනවා.  

 අවිධිමත් ලෙස ආහාර ඇහිරීම ආහාර විෂවීම් වලට අත වනනවා- wasserstrom.com

 

ආහාර අනවශ්‍ය ලෙස, තෙතමනය සහිත තැන්වල ගබඩා නොකළ යුතු අතර, ඒවා භාවිතයට ගැනීමේ දී හොඳින් පරීක්ෂා කර ගත යුතු වෙනවා. අසුරන ලද ආහාරවල කල් ඉකුත්වීමේ දිනය පිළිබඳ හොඳින් ම සැලකිලිමත් විය යුතු වෙනවා. ටින් කළ ආහාරවල ඇසුරුම ඉදිමී ඇතිනම් කිසි ලෙසකින් එම ආහාර භාවිත නොකළ යුතු වෙනවා. මාංශ ආහාර සැකසීම සඳහා භාවිත කරන උපකරණ අනෙකුත් ආහර සඳහා භාවිත නොකළ යුතු අතර, එසේ කරන්නේ නම් ඒවා හොඳින් ම පිරිසුදු කරගත යුතු වෙනවා. පැස්චරීකරණය නොකළ කිරි භාවිතයේ දී  ඒවා හොඳින් නටවා භාවිත කළ යුතු වෙනවා.  නිවසේ දී ආහාර ටින් කිරීමේ දී පිරිසුදුභාවය අතිශය වැදගත් වෙනවා.

රෝග ලක්ෂණ පවතින්නේ නම්

ආහාර විස වීමකට අදාළ අතීසාරය, ඔක්කාරය සහ වමනය වැනි රෝග ලක්ෂණ ඇති වූ විට, ඒවා දිගට ම පවතියි නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර පැතීම අනිවාර්යයයෙන් සිදු කළ යුතු වෙනවා. විශේෂයෙන් නිවසේ දී කෙරෙන නිල නොවන, අවිධිමත් ප්‍රතිකාර ක්‍රමවලට යොමු වීම නිසා රෝගී තත්ත්වය බරපතල විය හැකි යි. වර්තමාන තත්ත්වය යටතේ දී වෛද්‍යවරයකු හදිසියේ හමුවීමට යාමේ බාධා රාශියක් තිබුණ ද, මෙවැනි තත්ත්වයකට සූදානම් ව ඕනෑම වේලාවක වෛද්‍යවරයකු හමුවට යාමට හැකිවන පරිදි යම් ක්‍රමවේදයක් සකසාගෙන තිබීමත් නැණවත් වනවා.

කවරයේ ඡායාරූපය - healthline.com 

මූලාශ්‍ර:

Webmd.com

Mayoclinic.org

medscape.com

Related Articles

Exit mobile version