මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ පෙරලිකාර සොයාගැනීම් 8ක්

ආර්මේනියානු කඳු වැටියෙන් ආරම්භ වන යුප්‍රටීස් සහ ටයිග්‍රීස් ගංගා වැටෙන්නේ පර්සියන් බොක්කට යි. මෙම ගංගාවන් වසරේ එක් කාලයක දී පිටාර ගැලීම සිදුවුණු නිසා යුප්‍රටීස් සහ ටයිග්‍රීස් යන ගංගා දෙකට මැදිව පිහිටි භූමිය සරුසාර වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම භූමියේ ගොඩනැගුනු මානව ශිෂ්ටාචාරයකට “මෙසපොතේමියානු ශිෂ්ටාචාරය” යන නම ලැබුණා. 

ලොව පැරණිතම ශිෂ්ටාචාරය වශයෙන් සැලකෙන්නේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරය යි. මේ ශිෂ්ටාචාරය සියවස් ගණනාවක් පැවතුණා සේම, එම ශිෂ්ටාචාරය ලෝකයේ ගමන වෙනස්කළ පෙරලිකාර නව නිර්මාණ රැසක් ලෝකයට දායාද කළා. මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ මෙසපොතේමියානු යුගයේ දී බිහිවුණු එවැනි නිර්මාණයන් 8ක්.

1) රෝදය සොයාගැනීම 

අද වන විට ලෝකයේ ප්‍රවාහන කටයුතු ඉතාමත් දියුණු මට්ටමකට පත්ව තිබෙනවා. තාක්ෂණයෙන් උසස් යාන වාහන පසුගිය සියවස් දෙක තුළ බිහිවුණා. මීට වසර 6000කට පමණ පෙර මිනිසා යාන වාහන භාවිතා කළේ නැහැ. නමුත් මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ සුමේරියන් යුගයේ දී මිනිසා රෝදය නිර්මාණය කිරීමත් සමගම විශාල පෙරළියක් සිදුවුණා. 

මුල් යුගයේ දී සුමේරියන්වරු නිර්මාණය කළ රෝදවල, භ්‍රමණය වන අක්ෂයන් ලී තැටි තුළට ඇතුල් කර තිබුණා. එනිසා රෝද බරින් වැඩි වුණා. මේ රෝද භාවිතයෙන් කරත්ත නිර්මාණය කළ සුමේරියන්වරුන් ඒවා ඇඳගෙන යෑමට ගවයන්, බූරුවන් වැනි සතුන් භාවිතා කළා. 

මේ රෝද යෙදූ කරත්ත භාවිතා කිරීමේ දී මිනිසාට එක් දෙයක් වැටහී ගියා. ඒ, රෝදවල බර ගතිය අඩු කළොත් වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට හැකි බව යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මිනිසා ලී තැටි සිදුරු කර සැහැල්ලු රෝද සෑදීමට පුරුදු වුණා. 

රෝදයක් සහිත කරත්තයක් (ancienthistorylist.com)

2) නගුල නිර්මාණය කිරීම 

මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ ප්‍රධාන ජීවනෝපායක් වුණේ කෘෂිකර්මාන්තය යි. එනිසා මෙසපතේමියානුවන් ඔවුන්ගේ වැඩ කටයුතු පහසුවෙන් කරගැනීම සඳහා විවිධ මෙවලම් නිර්මාණය කිරීම සඳහා උනන්දු වුණා. ඔවුන් බිම් සකස් කිරීම පහසුකිරීම සඳහා නගුල නම් මෙවලම සොයාගත්තා. 

මුල් යුගයේ දී නගුල බරින් ඉතාමත් වැඩි වුණා. එම නිසා එයින් වැඩ කිරීමට පහසු වුණේ නැහැ. නමුත් ක්‍රමයෙන් කුඩා වුණු නගුල පහසුවෙන් හැසිරවිය හැකි තත්ත්වයට පත්වුණා. එනිසා යම්කිසි කාලයක් ගතවන විට නගුල කෘෂිකාර්මික කටයුතු සඳහා නැතිවම බැරි උපකරණයක් බවට පත්වුණා. ඒ අයුරින් වසර දහස් ගණනක් තිස්සේ කෘෂිකර්මාන්තය සඳහා යොදාගත් නගුල අද වන විටත් ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණයක් ලෙසින් භාවිතා කරනවා. 

නගුල (history.com)

3) වාරිමාර්ග ක්‍රම 

ඈත අතීතයේ මෙසපොතේමියානු ශිෂ්ටාචාර ප්‍රදේශවලට වසර පුරාම ඒකාකාරීව වර්ෂාව ලැබුණේ නැහැ. සමහර කාලවල දී නිසි පරිදි වර්ෂාව නොලැබී යාම නිසා ඔවුන්ගේ අස්වනු විනාශ වුණා. අස්වනු විනාශ වීමට පිළියමක් කල්පනා කළ මෙසපොතේමියානු වැසියන් වර්ෂා කාලවල දී ගංගා සහ දොළපාර හරස් කරමින් ජලය එක් රැස් කරගන්නා ආකාරය පිළිබඳව සොයාගත්තා. ඔවුන් කාණු, ඇළ මාර්ග, සහ වේලි ඉදිකරනු ලැබුවා. වර්ෂා කාලවල දී කුඩා ජලාශවලට ජලය එකතු කරගත්තා. 

එකතු කරගන්නා ලද ජලය වර්ෂාව හිඟ කාලයේ දී වේලි මඟින් ගොවි බිම් වෙතට ලබාදෙන්නට මෙසපොතේමියානුවන් සමත් වුණු නිසා වසර පුරාවටම කිසිදු ගැටලුවකින් තොරව වගා කටයුතු සිදුකිරීමට හැකියාව ලැබුණා.  

මෙසපොතේමියානු යුගයේ දී භාවිතා කරන ලද පැරණි වේල්ලක් (Pinterest)

4) කාසි භාවිතය ආරම්භ වීම 

මෙම ශිෂ්ටාචාරය ආරම්භ වුණු යුගයේ සිටම නගර තුළ මෙන්ම නගර අතර ද අභ්‍යන්තර වෙළඳ ක්‍රමයක් පැවතුණා. මුල් යුගයේ දී වෙළඳ ගණුදෙනු කරද්දී භාණ්ඩ හුවමාරුව සිදුවුණා. පසුව එවැනි ගණුදෙනුවල දී මුදල් ඒකකයක් ලෙසින් මැටි බෝල භාවිතා කළා. ඊළඟට මැටිබෝල වෙනුවට මැටි මුද්‍රා භාවිතා කෙරුණා. නමුත් එම මැටි බෝල සහ මැටි මුද්‍රා මඟින් භාණ්ඩයක වටිනාකම තීරණය කළේ කෙසේදැ යි යන්න පැහැදිලිව සඳහන් වී නැහැ. 

ක්‍රි. පූ. 2500 පමණ වන විට භාණ්ඩයක වටිනාකම තීරණය කිරීම සඳහා රිදී සහ බාර්ලි වැනි දේවල් භාවිතා කර තිබෙනවා. තවත් කාලයක් ගතවන විට ලෝහයෙන් සකස් කරන ලද, මැද සිදුරක් තිබුණු කාසි ගණුදෙනු සඳහා භාවිතා කළා. එම කාසිවල තත්ත්වය වඩාත් දියුණු වී බැබිලෝනියානු යුගයේ දී ෂෙකල් කාසි භාවිතය ආරම්භ වුණා. ෂෙකල් කාසි සෑදීම සඳහා අවශ්‍ය වුණු රන්, තඹ, සහ රිදී වැනි ලෝහ අසල ප්‍රදේශවලින් ගෙන්වූ බවට සාක්ෂ්‍ය මැටි පුවරු ලිපිවල සඳහන්ව තිබෙනවා.

ෂෙකල් කාසියක් (Wikipedia)

5) රුවල් බෝට්ටුව නිපදවීම 

මෙසපොතේමියානු ශිෂ්ටාචාරය බිහිවුණේ ගංගා දෙකක් මැද නිසා, එහි වැසියන්ට සමහර ප්‍රදේශ හරහා ගොඩබිමින් ගමන් කරනවාට වඩා වැඩි වේගයකින් ගංගා හරහා ගමන් කිරීමට හැකියාව ලැබුණා. නමුත් ඔවුන්ට ගංගා හරහා ගමන් කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් තිබුණේ නැහැ. එනිසා අක්‍රමවත්ව සකසන ලද පහුරු භාවිතා කරමින් ගංගා හරහා ගමන් කිරීමට මෙසපොතේමියානු වැසියන් උත්සාහ කළා. නමුත් වැඩි බරක් පටවාගෙන ගංගා හරහා ගමන් කළ පහුරු අනතුරුවලට ලක්වුණා. එසේම ගඟේ සැඩ පහර වැඩි අවස්ථාවන්වල දී පහුරක ගමන් කිරීම අනතුරුදායක වුණා. ඒ අනුව ගංගා හරහා ගමන් කිරීමට වඩාත් සුරක්ෂිත ක්‍රමයක අවශ්‍යතාවය මතුවුණා. 

නිර්මාණශීලී මිනිසුන් කොට්ඨාසයක් වුණු මෙස්පොතේමියානු වැසියන් රුවලක් සහිත බෝට්ටුවක් නිර්මාණය කළා. එදා ඔවුන් සොයාගත් රුවල් බෝට්ටුව අදටත් භාවිතා කෙරෙනවා.

රුවල් බෝට්ටුවක් දැක්වෙන කැටයමක් (Wikipedia)

6) භාෂාව සහ ලේඛන කලාව 

මිනිසා භාෂාව සහ ලේඛන කලාවට පිවිසීම ආරම්භ වුණේ මෙසපොතේමියානු යුගයෙන් බව පැහැදිලි වන්නේ කැණීම්වලින් සොයා ගන්නා ලද මැටි පුවරුවල ලියැවී තිබෙන දේවල් නිසා යි. මෙසපොතේමියානු වැසියන් විවිධ ආකාරයේ සලකුණුවලින් ඔවුන්ට ආවේණික වුණු අක්ෂර පද්ධතියක් නිර්මාණය කළ බවට සාක්ෂ්‍ය හමු වී තිබුණා. මෙසපොතේමියානු යුගයේ විසූ සමහර ප්‍රභූවරුන් සතුව තිබුණු ඉඩම් සහ දේපල ප්‍රමාණයන් පිළිබඳව තොරතුරු ද මැටි පුවරුවල වාර්තා කරනු ලැබුවා. එසේම වෙළඳ වාර්තා, තාරකා විද්‍යාව පිළිබඳව වාර්තා ද එවැනි පුවරුවල සටහන් කළා. එම සටහන් ක්‍රමය කියුනිෆෝම් යනුවෙන් හඳුන්වනු ලැබුවා. එවැනි මැටි පුවරු රැසක් මෙසපොතේමියානු ශිෂ්ටාචාරය පැවති ප්‍රදේශ ආශ්‍රිතව කරන ලද කැණීම්වල දී හමුව තිබෙනවා. මැටි පුවරුවල ලිවීම සඳහා ඔවුන් එකිනෙකට වෙනස්  සංකේත වර්ග 700ක් පමණ භාවිතා කර තිබීම විශේෂත්වයක්.  

පැරණි මැටි පුවරුවක් (history.com)

7) අංක පද්ධතියක් හඳුන්වාදීම 

මෙසපොතේමියානු ශිෂ්ටාචාර යුගයට පෙර ජීවත් වුණු මිනිසුන්ට ස්ථීර අංක පද්ධතියක් තිබුණේ නැහැ. නමුත් මෙසපොතේමියානු යුගයේ මිනිසුන් වෙළඳාම් කටයුතු සිදුකළ නිසා ඔවුන්ට ස්ථීර අංක පද්ධතියක් අවශ්‍ය වුණා. එනිසා එම යුගයේ දී අංක පද්ධතියක් බිහිවුණා. මේ සංඛ්‍යා පද්ධතිය 60 පාදය මුල් කරගෙන ගොඩනගනු ලැබුවා. එහි දී ඉලක්කම් ලිවීම සඳහා සංකේත 2ක් පමණක් භාවිතා කර තිබීම සුවිශේෂී යි. එම සංකේත දෙක භාවිතා කිරීමෙන් ඔවුන් සෑම ඉලක්කමක්ම ලියනු ලැබුවා. ඒ අයුරින් නිර්මාණය කරන ලද සංඛ්‍යාංක පද්ධතිය “බැබිලෝනියානු සංඛ්‍යාංක පද්ධතිය” ලෙසින් හඳුන්වන ලබනවා.

බැබිලෝනියානු සංඛ්‍යාංක පද්ධතිය (Wikipedia)

8) සිතියම් විද්‍යාව ලෝකයට දායාද කිරීම 

මෙතෙක් හමුවුණු ලොව පැරණිම සිතියම ලෙස සලකනු ලබන්නේ ක්‍රි. පූ. 600 දී පමණ මැටි පුවරුවක් මත අඳින ලද ‘බැබිලෝනියානු ලෝක සිතියම යි. එහි ‘කටුක නදිය’ නම් වුණු සාගරයෙන් වට වුණු පැතලි තැටියක් සේ පෘථිවිය දක්වා තිබෙනවා. බැබිලෝනියාව සහ යුප්‍රටීස් ගඟ ලෝකය මැද පිහිටා තිබෙන ඍජුකෝණාස්‍ර ද්විත්වයක් ලෙස ද, ඇසිරියාව සහ සූසා වැනි අසල්වැසි රාජ්‍යයන් ඒ වටා පිහිටි කුඩා වෘත්ත මඟින් ද දක්වා තිබෙනවා. එසේම කටුක නදිය හෙවත් මුහුදට පිටින් සත්ත්වයන් වාසය කරන හඳුනා නොගත් දූපත් පවතින බව ද එහි දැක්වෙනවා. 

ලොව පැරණිම සිතියම (Osama Amin)

කවරයේ ඡායාරූපය- මෙසපොතේමියානු යුගයේ නිර්මාණයක් (Invaaluable)  

මූලාශ්‍රයයන්- ducksters.com

                         history.com 

Related Articles

Exit mobile version