වළගම්බා රජතුමාට රාජ්‍ය බලය ලබාගැනීමට උපකාර කළ කුපික්කලතිස්ස ස්වාමීන් වහන්සේට කෘතගුණ සැලකීමට, වළගම්බා රජතුමන් අනුරාධපුරයේ අභයගිරි නම් විහාරය කරවා පූජා කරනවා. මෑතකාලීන ව සිදු කළ පුරාවිද්‍යා පර්යේෂණවල දී අනාවරණය වී ඇත්තේ, එහි රන් කහවණු නිෂ්පාදනාගාරයක් ද පවත්වා ගෙන ගිය බව යි. මෙරට ඉතිහාසයේ මුදල් භාවිත කිරීම පිළිබඳ ව අධ්‍යයනය කිරීමේ දී සුවිශේෂී වන මේ සමඟ තවත් සොයාගැනීම් කිහිපයක් ම පුරාවිද්‍යාඥයන් සිදු කළා. මෙම ලිපියෙන් අපි ඒ ගැන සොයා බලමු.
අභයගිරි ඉතිහාසය
මහින්දාගමනයෙන් පසුව මෙරට බුදු දහමේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකුවේ මහා විහාරය යි. එහෙත් වළගම්බා රජු, කුපික්‌කිලතිස්‌ස හිමියන්ට අභයගිරි විහාරය පූජා කළ පසු එය පෞද්ගලික ව බාරගැනීම වරදක් ලෙස යි මහා විහාරික භික්‌ෂූන් වහන්සේලාගේ මතය වුණා. ඒ හේතුවෙන් මහා විහාරය හා අභයගිරිය යනුවෙන් ආයතන දෙකක් බිහි වුණා. මේ අතරින් මහා විහාරය ථේරවාද බුදු දහමත්, අභයගිරිය මහායාන බුදු දහමත් පිළිගැනීම හේතුවෙන් ස්‌වාධීන අධ්‍යාපන ආයතන දෙකක් ලෙස මෙය ස්ථාපිත වුණා.
අභයගිරියට රාජ්‍ය අනුග්‍රහය නොමඳ ව ලැබුණු අතර, ලංකාවට කිත්සිරිමෙවන් රජ දවස (ක්‍රි.ව. 303-331) වැඩම කළ දන්ත ධාතුන් වහන්සේ ද අභයගිරියට වැඩම කෙරුණා. අභයගිරිය, මහා විහාරයට වඩා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ අතර ලංකාවට පමණක් සීමා වී තිබූ ධර්ම ශාස්‌ත්‍රීය සේවාව ජාත්‍යන්තර සේවාවක් බවට පත් කළේ ද එම ආයතනය යි. චීන ජාතික පාහියන් හිමි, අභයගිරි විහාරයේ වැඩ විසීම නිසා චීන-ලංකා සබඳතාව ද වර්ධනය වුණා. ජාවා දූපත් සමඟ පවා අභයගිරිය සබඳතා පැවැත්වූ බව සෙල්ලිපිවලින් හෙළි වෙනවා.
අභයගිරි නව අධ්‍යාපන සම්ප්‍රදායය
අභයගිරි අධ්‍යාපන ආයතනය, නව අධ්‍යාපන සම්ප්‍රදායයක් බිහි කළ අතර අභයගිරි විශ්වවිද්‍යාලය සතු ව මූල නමින් හැඳින්වෙන තවත් අධ්‍යාපන ආයතන 4ක් ද වුණා. ඒවා උත්තර මූලය, වහදු මූලය, කපාරා මූලය සහ මහනෙත්පා මූලය යනුවෙනුයි හැඳින්වුණේ.
ඒ අනුව අභයගිරිය විශ්වවිද්‍යාලය හුදෙක් ආගමික ඉගැන්වීම් පිළිබඳ ව පමණක් නොව, එකල ජනතාවගේ සාමාන්‍ය ජීවිතයට අයත් ශිල්ප ශාස්ත්‍ර, කලා හා විද්‍යා අංශවල දියුණුවට ද විශාල සේවාවක් ඉටු කළා. එහි වූ අධ්‍යාපන සම්ප්‍රදායෙහි කැපීපෙනෙන ලක්‌ෂණයක් වුණේ තාක්‌ෂණික විෂයයන් ඉගැන්වීම යි. පුරාවිද්‍යා පර්යේෂණ අතරතුර අභයගිරි විහාර භූමියෙන් රන් කහවණු නිෂ්පාදනාගාරයක් හමුවීමෙන් එකී තාක්ෂණික අධ්‍යාපනය කෙතරම් ඉහළ මට්ටමක පැවැතුණේ ද යන්න පිළිබිඹු වෙනවා.
ලංකාවේ රන් කහවණු ඉතිහාසය
ක්‍රි.පු. දෙවැනි සියවසේ සිට මෙරට සෙල්ලිපිවල කහවන, කසපන, කහාපන ආදී වචන සඳහන් වුණත්; එසේ හැඳින්වුණේ කාසි වර්ගයක් ද නැතහොත් පොදු මුදල් ඒකකයක් ද යන වග අපැහැදිලි යි. ප්‍රථම වරට මෙරට රන් කහවණු නිෂ්පාදනය සිදුකෙරුණේ අනුරාධපුර රාජධානි සමයේ මැද භාගයේ දී යි. එම යුගයේ අගභාගයේ දී බාල වර්ගයේ රත්‍රන් සහ තඹ කාසිවල රන් ආලේප කරමින් ද කහවණු නිකුත් ව තිබුණා.
වටිනාකම අනුව කහවණු, අඩ කහවණු, දෙ අක සහ අක වශයෙන් මෙම කාසි භාවිතයට ගැනුණු අතර කාසිවල දෙපසෙහි ම විවිධ රූප සටහන් තිබුණා. කාසියේ මුහුණතෙහි ධනයට අධිපති යැයි සැලකෙන කුවේරගේ රූපය ද, පිටුපස හක්ගෙඩියක සහ නෙළුම් මලක රූපය ද සටහන් වන බව යි ඇතැම් පුරාවිද්‍යාඥයන් පවසන්නේ. ඊට අමතර ව මේ ගැන තවත් මත පවතින අතර විවිධ කහවණුවල ඉර සහ සඳ, කුසලාන, නෙළුම් මල සහ අඩ සඳ, පිච්ච කැකුළ සහ නෙළුම් මල, ගෝලය සහ වළල්ල, පිච්ච මල සහ හක්ගෙඩිය යන රූප සටහන් දැකිය හැකි බව සඳහන් වෙනවා.
අභයගිරියේ කහවණු නිෂ්පාදනය සහ කැණීම්වල දී සොයාගත් කහවණු
1994 වසරේ දී “යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ අභයගිරි විහාර ව්‍යාපෘතිය” මඟින් මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා ඇතුළු පුරාවිද්‍යා කණ්ඩායමක් අභයගිරි ස්ථූපයට නිරිත දිගින්, නැතහොත් දෙවැනි සමාධි බුදු පිළිමයට පිටුපසට වන්නට පිහිටි ගරා වැටුණු පොකුණක කැණීම් සිදු කළා. එහි දී ප්‍රථමයෙන් රන් කහවණු දෙකක් සහ ග්‍රෑම් 438ක පමණ බරින් යුතු රන්මුවා (රනින් කරන ලද) පලකයක් ද හමුවුණා. තවදුරටත් කැණීම් කිරීමේ දී, පොකුණේ සිට වයඹ දිසාවට වන්නට පිහිටි ඉවුරක් අසලින් කම්හලක නටබුන් ද සොයාගැනුණා. එම කම්හල් භූමියේ තිබී කෝව (ලෝහ උණු කිරීමට භාවිතා කරන භාජනයක්) තැන්පත් කරන උඳුන් හයක් ද හමුවුණා.
පොකුණ නිර්මාණය කර ඇති කාලය පිළිබඳ පරීක්ෂා කිරීමේ දී, එය කාල දෙකකට අයත් වුණා. පළමුව නිර්මාණය වී තිබූ පොකුණේ වයඹ දිග මුල්ලට ආසන්න ඉවුරේ ඉහත සඳහන් කළ කම්හල් භූමිය පිහිටියා. පසු අවධියක දී, එම කම්හලේ බිම ද වැසී යන පරිදි පොකුණේ ඉවුර උස් කොට බඳවා ඇති බව සොයා ගත්තා. අභයගිරි විහාර භූමිය ජනශූන්‍ය වී විනාශයට ගොදුරු වූ කාලයේ දී මෙම කම්හල් භූමිය සහිත පොකුණේ ඉවුරු ද ගරාවැටී තිබුණා.
රන්මුවා පලක
මෙහි තිබී හමු වූ රන්මුවා පලක පහ ම රන් උණු කොට, යම්කිසි නොගැඹුරු භාජනයක තැටියක් සේ වත්කොට යි සකස් කර තිබුණේ. එම පලක වර්තමානයේ දී භාවිත කරන රත්‍රන් කුට්ටි නොහොත් රත්‍රන් බිස්කට්වලට සමාන වන අතර, බර අනුව එකිනෙකට වෙනස් වන සේ නිෂ්පාදිත යි.
මෙසේ හමු වූ පලක මත ‘එක්සිය දෙකලන්දයි’, ‘එකුන් අනූවයි’, ‘අටාසූවයි’ ආදී ලෙසින් සටහන් ව තිබුණා. ඒ, එක් එක් ඵලකයන් හි බර ප්‍රමාණය යි. පුරාවිද්‍යාඥයන් මෙහි සඳහන් කලඳක ප්‍රමාණය අනාවරණ කරගත් අතර, කලඳක් යනු ග්‍රෑම් 4.3කි. ‘එක්සිය දෙකලඳ’ යනු කලං 102ක් වන අතර, එසේ සටහන් කර තිබූ පලකයෙහි බර ග්‍රෑම් 438ක්. මේ අනුව, රත්‍රන් සම්බන්ධ කිරුම් මිණුම් ද දියුණු තත්ත්වයක පැවති බව අනාවරණය වෙනවා.
තවත් සොයාගැනීම්
මේ පොකුණට ඊසාන දෙසින් 1993 වසරේ දී සිදුකළ කැණීම්වල දී රන්කරුවකුට අයත් වැඩ නිම නොකළ රන් ආභරණ රාශියක්, ඒ ආභරණ නිපදවීමට කැබලි කරන ලද රන් තහඩු තැන්පත් කළ ලෝහමය මංජුසාවක් හා රන් කහවණු නිපදවීම සඳහා භාවිත කළේ යැයි සැලකෙන අච්චු අටක් ද හමුවුණා. එම අච්චුවල සලකුණු හා ප්‍රමාණයන් සැලකීමේ දී, ඒවා පෙර හමු වී ඇති රන් කහවණු සමඟ බොහෝ සෙයින් සමාන යි.
මෙම කාසි අභයගිරි විහාර භූමියේ දී නිෂ්පාදනය කිරීමට හේතුව මෙතෙක් නිශ්චිත නොමැති වුව ද, අභයගිරි විහාරය රජු සමඟ ඉතා සමීප සබඳතාවක් පවත්වා ගෙන ගිය බව එම සාධකවලින් පිළිබිඹු වෙනවා. ඇතැම් විට, අභයගිරි සෙල්ලිපියෙන් හෙළි වන පරිදි එකී විහාරස්ථානයට අතිවිශාල ආදායම් මාර්ග ද, විශාල ශ්‍රම බළකායක් හා ආදායම් පරිපාලනය සඳහා වන නිලධාරී පැලැන්තියක් ද වූ නිසා එහි පරිපාලන කටයුතුවලට අවශ්‍ය රන් කහවණු එම භූමියේ දී ම නිපදවා ගන්නට ඇතැයි අනුමාන කළ හැකි යි.
අභයගිරි කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති රන් කහවණු- Central Cultural Fund
වර්තමාන තත්ත්වය
මෙසේ කැණීම්වලින් සොයාගත් පොකුණ, වර්තමානය වන විට ඉතා හොඳින් සංරක්ෂණය කර ඇති අතර මෙම කැණීම හේතුවෙන් ම බොහෝ දෙනා එය රත්‍රන් පොකුණ ලෙස හඳුන්වනවා. අභයගිරි කෞතුකාගාරයේ මෙම කහවණු හා රන්මුවා පලක ප්‍රදර්ශනයට තබා ඇති අතර, කොළඹ ජාතික කෞතුකාගාරයේ ද ඉන් එක් පලකයක් තැන්පත් කර තිබෙනවා.