ලෝක ඉතිහාසය පිරික්සීමේ දී රුසියාව තුළින් දාම ඝාතකයින් රාශියක් හමුවනවා. මේ අතරින් වැඩිම ලෝක අවධානයට පාත්‍ර වූ ඝාතකයෙකු ලෙස ඇලෙක්සැන්ඩර් පිචුෂ්කින් ව හඳුන්වන්නට පුළුවන්. ඔහු විසින් ඝාතනය කරන ලදැ යි තහවුරු වී ඇති මිනිස් ජීවිත ප්‍රමාණය 50කට වඩා මඳක් අඩු වුව ද, පාපොච්ඡාරණය කරමින් ඔහු පවසා ඇත්තේ, තමන් ඝාතන 61ක් සිදුකර ඇති බව යි. චෙස් පුවරුවේ ඇති එක් කොටුවකට එක් ඝාතනය බැගින් ඔහු විසින් සිදුකරන්නට ඇති බැව් සමහරෙක් හුවා දක්වන නිසා, ඔහු හට ‘චෙස් පුවරු ඝාතකයා’ යන අන්වර්ථ නාමයත් පටබැඳී තිබෙනවා.
කුඩා කාලය හා පළමු මනුෂ්‍ය ඝාතනය
ඇලෙක්සැන්ඩර් පිචුෂ්කින් උපත ලැබුවේ 1974 වසරේ අප්‍රේල් මස 9 වනදා රුසියාවේ අගනුවර වන මොස්කව් ආසන්න පෙදෙසක දී යි. ඔහු කුඩා කාලයේ ඔන්චිල්ලා පැදීමට ආශාවක් දැක්වූ අතර, එක් දිනෙක හදිසියේම ඔන්චිල්ලා පදිමින් සිටිය දී ඔන්චිල්ලාවේ අසුන් ගන්නා කොටස වැරෙන් ඔහුගේ නළල ප්‍රදේශයේ වදිනවා. මේ වන විට ඔහුගේ හිසෙහි ඉදිරි අස්ථි කොටස් එතරම් පරිණත වී නොතිබුණු අතර, මේ හේතුවෙන් ඔහුගේ මොළයේ ආවේග පාලනය, පෞරුෂය හා ගැටළු විසඳීමට අදාළ කොටස් යම් හානියකට ලක් වෙනවා. මේ අනතුර පසුකාලීනව ඔහු දාම ඝාතකයෙකු කිරීමට සමත් වූ මානසික තත්ත්වය ඇති කිරීමෙහි ලා හේතු වූ බැව් වෛද්‍යවරුන් පවසනවා.
ඇලෙක්සැන්ඩර් පිචුෂ්කින් සිය පළමු මනුෂ්‍ය ඝාතනය සිදුකරන ලද්දේ 1992 වසරේ දී යි. ඔහු කුඩා දරුවෙකු ඉහළ මාලයක ජනේලයකින් ඉවතට තල්ලු කරන්නට කටයුතු කළ අතර, එම දරුව එහි දී ලත් තුවාලවලින් මියයනවා. කෙසේ නමුත්, මෙය ඝාතනයක් ලෙස පොලිසිය සැක නොකළ අතර, කිසි ලෙසකින් පිචුෂ්කින් කෙරෙහි පොලිසියේ අවධානය යොමුවන්නේ නැහැ. පසුකාලීනව මෙම මරණය සියදිවි නසා ගැනීමක් ලෙසට තීරණය කෙරුණා.
ඝාතන රැල්ල
පළමු මිනිස් ඝාතනය සිදුකළ පසු දශකයක පමණ කාලයක් තුළ ඇලෙක්සැන්ඩර් මිනිස් ඝාතනයක් සිදුකළා නම් ඒ ඉතා කලාතුරකිනුයි. කෙසේ නමුත්, පළමු මිනිස් ඝාතනය සිදුකිරීමෙන් පසු ඔහු ලත් ‘ආශ්වාදයත්’, එවර ඔහු පොලිසියට හසු නොවීමත් යන කාරණා කෙමෙන් කෙමෙන් තවත් මිනිස් ඝාතන කරන්නට ඔහු යොමු කරනු ලැබුවා.
2001 වසරේ දී ඇලෙක්සැන්ඩර් එක පිට එක මනුෂ්‍ය ඝාතන කිරීම ඇරඹුවා. මුල දී මේ ඝාතන සිදුකිරීමෙහි ලා ඔහු හට කිසිදු අභිප්‍රායයක් නොතිබූ අතර, ඉක්මනින්ම ඔහු යම් ඉලක්කයක් සිතින් සාදා ගත්තා. ඇලෙක්සැන්ඩර් කුඩා කාලයේ පටන් චෙස් ක්‍රීඩාවට ද කැමැත්තක් දැක්වූ අතර, අවසානයේ ඔහු තීරණය කරන්නේ. එහි වූ කොටු 64ට අනුරූපව එක් මනුෂ්‍ය ඝාතනය බැගින් ඝාතන 64ක් සිදුකළ යුතු බව යි.
ඇලෙක්සැන්ඩර් පිචුෂ්කින් ගොදුරු සොයාගැනීම සඳහා වැඩිමනක්ම භාවිතා කළේ මොස්කව් හි බිට්සෙව්ස්කි උද්‍යානය යි. මෙහි දී ඔහු විසින් ගොදුරු කරගැනීමට සුදුසුයැ යි හැඟුණු අය සමග කුළුපග වන ඔහු, අනතුරුව ඔහු හා වොඩ්කා වීදුරුවක් තොල ගෑම සඳහා පැමිණෙන ලෙස ආරාධනා කළා. අනතුරුව දැඩි ලෙස වෙරි වන තුරු ඔවුනට වොඩ්කා ලබාදෙන ඔහු, මිටියක් ආධාරයෙන් ඔවුන්ගේ හිස පිටුපසට පහර දුන්න්නා. අනතුරුව එහි දී හිසෙහි ඇති වන සිදුරු තුළට වොඩ්කා බෝතල රිංගවීම ද ඔහු විසින් සිදුකළා.
මුල දී කාත් කවුරුත් නැති වැඩිහිටි පිරිමින් ඇලෙක්සැන්ඩර්ට ගොදුරු වූ අතර, පසුකාලීනව ඔහු ගැටවරයින් හා කාන්තාවන් ද ඝාතනය කිරීම සිදුකළා. විශේෂයෙන් එක් වරම පසුපසින් පැමිණ හිසට පහර දී සිය ගොදුරු අන්දමන්ද කිරීම ඔහු වඩාත් ප්‍රිය කළ විධි ක්‍රමය වුණා.
මරණයේ උද්‍යානය
1990 දශකයේ අග භාගය වන විට බිට්සෙව්ස්කි උද්‍යානයේ දී යමෙකු විසින් මිනිසුන් ඝාතනය කරන බවට කිහිපදෙනෙක් හටම ඉව වැටී තිබුණා. මුල දී සෑහෙන කාලයකට වරක් සිදු වූ මේ ඝාතන 2001 වසරේ පටන් නිතර නිතර සිදුවන්නට පටන් ගත් අතර, 2006 වසර වන විට දී එසේ ඝාතනය හෝ අතුරුදන් වූ ගණන 50ක් පමණ වී තිබුණා. මේ නිසා බොහෝ දෙනා එම උද්‍යානයට යාමට පවා බිය වූ අතර, මුහුණක් නැති ම්ලේච්ඡ සතෙකු විසින් මෙලෙස මිනිසුන් ගොදුරු කරගන්නා බවට කටකතාවක් ද පැතිරුණා. මේ පිළිබඳව ඉකමනින්ම යමක් කළ යුතුයැ යි මොස්කව් පොලිසිය තීරණය කළා. ඔවුන්ගේ අදහස වූයේ සංවිධානාත්මක තනි මිනිසෙකු හෝ කණ්ඩායමක් විසින් මේ ඝාතන සිදුකරන බවට යි.
ඇලෙක්සැන්ඩර් පිචුෂ්කින් දිවා කාලයේ සේවයේ නියුතුව සිටියේ සිල්ලර භාණ්ඩ විකුණන වෙළඳපොළක යි. ඔහු සාමාන්‍යයෙන් නිහඬ, එහෙත් සුහදශීලී අයෙකු බව බොහෝ දෙනා නිරීක්ෂණය කර තිබුණා. යම් යම් අමුතු හැසිරීම් තිබුණ ද, ඔහු කිසිවිටෙකත් ලේ පිපාසිතයෙකු බැව් කිසිවෙක් අනුමාන කර තිබුණේ නැහැ.
අවසන් ගොදුර හා පොලිසියට හසුවීම
ඇලෙක්සැන්ඩර් පිචුෂ්කින් අවසන් වතාවට ගොදුරු කරගැනීමට උත්සාහ කළේ ඔහු සේවයේ නිරත වී සිටි වෙළඳපොළට පැමිණි කාන්තාවකුයි. ඔහු ඇය හට, වන මැද ඇති සිය සුරතල් සුනඛයාගේ සොහොන බැලීමට යාමට ආරාධනා කළේ කලක් තිස්සේ සුහදශීලී වීමෙන් අනතුරුව යි. මෙය ඉතා අසාමාන්‍ය ආරාධනාවක් වූ හෙයින් උක්ත කාන්තාව ඔහු පිළිබඳව සැක සිතන්නට වුණා. කෙසේ නමුත් ඇය, ඔහු හා එය බැලීමට යන්නට අවසන තීරණය කළ අතර මේ නිසා ඇය ඔහු හට ගොදුරු වුණා.
ඇලෙක්සැන්ඩර් හට අවසන් වතාවට ගොදුරු වූ කාන්තාව, ඇය හට ඇති වූ සැකය නිසාම ඇගේ මිතුරු මිතුරියන් හට සිය ගමන් පිළිබඳ දන්වා තිබුණා. මීට අමතරව ඔහුගේ දුරකථන අංකය ද ලබා දී තිබුණා. ඇලෙක්සැන්ඩර් කොටු කරගැනීමට පොලිසියට වඩාත් උපකාරී වූයේ, ඇගේ මරණය සිදු වූ දින ඇය ඇලෙක්සැන්ඩර් හා එක්ව ගමන් කරනු මාර්ගයෙහි වූ කැමරාවක සටහන්ව තිබීම යි. මේ නිසා පහසුවෙන්ම ඇගේ මරණය පිළිබඳ සැක පිට ඇලෙක්සැන්ඩර් පිචුෂ්කින් අත්අඩංගුවට ගැනුණා.
අවසානය
පොලිසියට හසුවීමෙන් අනතුරුව ඇලෙක්සැන්ඩර් පිචුෂ්කින් තමන් විසින් සිදුකළ ඝාතනයන් බොහොමයක් ගැන ඉතා කැමැත්තෙන් පාපොච්ඡාරණය කළා. මෙහි දී තමන් ඝාතන 61ක් සිදුකළ බවත්, තවත් තුනක් සිදුකර ‘චෙස් පුවරුවේ කොටු 64’ සම්පූර්ණ කිරීමට නොහැකි වීම ගැන කණගාටු වන බවත් ඔහු පැවසුවා. කෙසේ නමුත්, විටින් විට ඔහු තමන් විසින් සිදුකළ ඝාතන ප්‍රමාණය පිළිබඳව වෙනස් සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළා. විටෙක එය 48ක් වූ අතර, තවත් විටෙක ඔහු පැවසුවේ තමන්ට ගණනය කරගත නොහැකි තරම් එය විශාල බව යි. කෙසේ නමුත්, අවසානයේ ඔහු විසින් සිදුකළ ඝාතන 49ක් පිළිබඳ සාක්ෂ්‍ය හමුවුණා.
2007 වසරේ දී ඔහුට එරෙහි කෙටි නඩු විභාගයකින් පසුව ඔහු වීදුරු කුටියක සිර කිරීම සඳහා තීන්දු කෙරුණා. මානසික සංකූලතාවය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව ඔහු හට මරණ දඬුවම හිමි වූයේ නැහැ.