Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමරිකාවේ මූලාරම්භය, “ජේම්ස් ටවුන්”

කොළොම්බස්ගේ දේශ ගවේශනය හේතුවෙන් යුරෝපීය ජාතීන්ට විවර වූ නව ලෝකය හෙවත් ඇමරිකාව 17 වන සියවසේ දී ජනපදකරණයට ලක්වුණා. මේ හේතුවෙන් බ්‍රිතාන්‍ය ජනපද 13ක් බිහිව, පසුව බ්‍රිතාන්‍යයටම එරෙහිව ගෙන යනු ලැබූ නිදහස් අරගලයකින් පසුව ක්‍රි.ව 1776 දී බ්‍රිතාන්‍යයෙන් මිදී ඇමරිකා එක්සත් ජනපදය පිහිටුවා ගත්තා. නමුත් අද ලෝකෙම බලවතා විදිහට සැලකෙන ඇමරිකානු එක්සත් ජනපදය බිහිවුණේ 17 වන සියවසේ බිහි වූ එක් පුංචි නගරයකින්. ඒ, “ජේම්ස්ටවුන්”.

නම් ලැබීම

16 වන සියවසේ පටන් යුරෝපීයයන් දේශ ගවේශනය විශාල වශයෙන් සිදුකරනු ලැබුවත්, බ්‍රිතාන්‍යයෙන් මේ සඳහා විශාල මැදිහත්වීමක් තිබුණේ නෑ. ඒත් 16 වන සියවසේ අග භාගය පමණ වෙද්දි ඔවුන් තම නාවික බලය ක්‍රමයෙන් වර්ධනය කරගත් අතර, ක්‍රි.ව 1606 දී පළමු ජේම්ස් රජු වර්ජිනියා වෙළඳ සමාගම ආරම්භ කිරීමට අනුග්‍රහය ලබාදුන්නා. මේ “වර්ජිනියා” කියන නම ලැබුන හැටිත් හරිම සුවිශේෂී යි. ක්‍රි.ව 1587 දී සර් වෝල්ටර් රැලේ හට නව ලෝකය හෙවත් ඇමරිකාව තුළ ජනපදයක් පිහිටුවීමට අවශ්‍ය වුණා. මේ සඳහා ඔහු වර්තමානයේ උතුරු කැරොලයිනා ප්‍රාන්තය ආසන්නයේ ඇති රොවනෝක් දූපත තෝරගත්තා. ඔහු එයට, බ්‍රිතාන්‍යයේ සිටි පළවෙනි එළිසබෙත් රැජිණට ගෞරවයක් පුදකිරීමේ අරමුණින් (ඇය කිසිදා විවාහ නොවූ නිසා “කන්‍යා රැජිණ” හෙවත් virgin queen යනුවෙන් හැඳින්වුණා) වර්ජින් නම් ඉංග්‍රීසි වචනයෙන් “වර්ජිනියා” ලෙස නම් තැබුවා. නමුත් මෙම ජනපදකරණය අසාර්ථක වන්නේ මෙම මුහුදු කලාපයේ ස්පාඤ්ඤ නාවික බලය නිසා ජනපදයට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ පැමිණීමට ප්‍රමාදවීමත් එක්ක. එම නිසා ජනපදයේ සියලු ජනපදිකයන් මියගිය අතර එය ඇමරිකාව තුළ ජනපදයක් පිහිටුවීමට එංගලන්ත වැසියන්ගේ ප්‍රථම උත්සහය වුණා.

වර්ජිනියා වෙළඳ සමාගමේ ශාඛා ද්විත්වයක් තිබුණා. ඒ, ලන්ඩනයේ වර්ජිනියා වෙළඳ සමාගම සහ ප්ලිමත් වර්ජිනියා වෙළඳ සමාගම වශයෙන්. මෙම වෙළඳ සමාගම මඟින් ඇමරිකාවේ ස්ථීර ජනාවාසයක් ඇරඹීමට අපේක්ෂා කෙරුනා.

James 1
පළමු ජේම්ස්/britannica.com

නව ලොව බලා

ක්‍රි. ව. 1606 දෙසැම්බර් 6 වන දින සූසන් කොන්ස්ටන්ට්, ගොඩ්ස්පීඩ්, සහ ඩිස්කවරි යන නෞකා ත්‍රිත්වයේ නැගි ඉංග්‍රීසින් 104 දෙනෙකු, කපිතාන් ජෝන් ස්මිත්ගේ ප්‍රධානත්වයෙන් වර්ජිනියා බලා ගමන් ආරම්භ කළේ නව ලොවක නව දිවියක් අරඹා සාර්ථකවීමේ අදහසින්. ඔවුන් 1607 වසරේ අප්‍රේල් මස උතුරු ඇමරිකාවේ චෙසපීක් බේ ප්‍රදේශයට ළඟා වූ අතර, ක්‍රි.ව 1607 මැයි 13 වන දින ජනපදයක් ගොඩනැගීමට සුදුසු ලෙස පෙනුණු, ජේම්ස් ගඟේ පිහිටි අර්ධද්වීපයකට ගොඩබැස්සා. මෙහි ගොඩනැගුණු ජනාවාසය “ජේම්ස්ටවුන්” ලෙස පළමු ජේම්ස් රජුට ගෞරවයක් ලෙස යි.

මෙම ජනාවාසයේ ආරක්ෂාවට බලකොටුවක් නිර්මාණය කෙරුණු අතර එහි වැඩකටයුතු එම වසරේම ජූනි 15 වෙනි දින පමණ වන විට අවසන් වුණා. බලකොටුව තුළ නිවෙස් කීපයක්, පල්ලියක්, සහ ගබඩා පිහිටුවා තිබුණා. මේ බලකොටුව ත්‍රිකෝණාකාර වූ අතර මෙහි කෝණ ත්‍රිත්වයේ කාලතුවක්කු රැඳවුම් ස්ථාන 03ක් තිබුණා. මෙනිසා ස්වදේශීය ජනයාගෙන් මෙන් ම ස්පාඤ්ඤයන්ගෙන් එල්ල වූ ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා වීමට මෙය ඉවහල් වුණා.

James town Plan
බලකොටුව ත්‍රිකෝණාකාර වුණා/pinterest.com/pin/25332816629379629/

ඇමරිකාවේ ප්‍රථම ඉංග්‍රීසි ජනපදය පිහිටුවීමට මෙම ප්‍රදේශයේ තිබුණ භූ ලක්ෂණත් බලපාපු ආකාරය දකින්න පුළුවන්. මොකද මේ ප්‍රදේශය දූපතක් නොවුණත් භූමියේ පැති 03ක් මුහුදට දිශානතව තිබුණා. අනික් කොටස භූමිය හා සම්බන්ධ වුණා. මේ නිසා ආක්‍රමණයන් පහසුවෙන් පරාජය කිරීමේ හැකියාව මේ භූ ලක්ෂණත් සමග එම ජනපදයට හිමි වුණා. අනික් ලක්ෂණය වන්නේ විශාල නැව් නවතා තැබිය හැකි ආකාරයේ මුහුදක් ජේම්ස්ටවුන් ආශ්‍රිතව පැවතීම යි. එම නිසා පහසුවෙන් නාවික කටයුතුවල යෙදිය හැකිවුණා. එම ප්‍රදේශයේ ස්වදේශීය ජනයා හෙවත් පවතාන් රතු ඉන්දියානුවන්ගේ නෙත නොගැටුණු ප්‍රදේශයක් ලෙස මේ ප්‍රදේශය හඳුනාගැනීම හා එම භූමිය වගාවට හිතකර වීම යන කරුණුත් පදනම් කරගෙන වර්ජිනියා සමාගම මේ ප්‍රදේශයේ ජේම්ස්ටවුන් පිහිටුවනු ලබනවා.

පාලකයන් තෝරාගැනීම

මේ විදිහට ජනාවාසයට සුදුසු භූමියක් තෝරගැනීමෙන් පසු ජනාවාසය පාලන කටයුතු ගෙනයෑම සඳහා පාලකයන් තෝරාගැනීම අවශ්‍ය වුණා. එංගලන්ත වර්ජිනියා සමාගම මෙම ජනපදයට ඒමට පෙර එංගලන්තයේ දීම මේ සඳහා නිලධාරීන් පත්කර තිබූ අතර, ඔවුන්ගේ නම් මුද්‍රා තැබූ පෙට්ටියක, මුද්‍රා තැබූ ලිපියක් ලෙස තැන්පත් කර තිබුණා. මෙවන් ලේඛන ත්‍රිත්වයක් පෙර සඳහන් නෞකාහි තැන්පත් කර තිබූ අතර එහිදී ඔවුන් අපේක්ෂා කරනු ලැබුවේ කුමන හෝ නෞකාවකට අනතුරක් සිදුවුවහොත් අනෙක් නෞකාවෙන් එම ලේඛන ලබා ගැනීමට හැකිවීම යි. මේ අනුව ජේම්ස්ටවුන්හි පාලක සභාවේ ප්‍රධානියා ලෙස එඩ්වඩ් මාරියා වින්ෆිල්ඩ් පත්වුණා.  

තව තවත් දුෂ්කරතා

නව ජනපද භූමිය ඉංග්‍රීසින් සිතූ තරම් වාසනාවන්ත වුණේ නෑ. මේ නිසා ක්‍රමයෙන් ජනපද වැසියන් මියයමින් සිටියා. මෙයට බලපෑ ප්‍රධානම කරුණක් වූයේ ගංගා ජලය ලුණු සහිත වීම යි. මේ නිසා වැසියන් බොහෝ සංඛ්‍යාවක් මියගිය අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට උණ, සාගත, ස්වදේශික ඇමරිකානුවන් හා ඇතිවූ යුද්ධ විශාල හේතුවක් වුණා.

නමුත් සෑම අඳුරු වළාවක රිදී රේඛාවක් තියෙනවා කියනවනේ. ඒ වගේ මේ කාලයේ දී ස්වදේශීය ගෝත්‍රය සමග එකඟතාවකට එන්නට ජනාවාසවැසියන්ට හැකිවුණා. ඔවුන් හා හුවමාරු පන්නයේ වෙළඳාමකට එකඟ වීමෙන් තමන්ට අවශ්‍ය ආහාර ලබාගන්නට ජනාවාසයේ පිරිස සමත් වුණා. මේ ආකාරයට ස්වදේශීය රතු ඉන්දියානුවන් සමග එකඟතාවකට පැමිණීමට ඉංග්‍රීසීන් අපොහොසත් වුණා නම් මෙම ජනාවාසය ද අසාර්ථක ජනපදයක් වීමට ඉඩ තිබුණා.

James town
ජනාවාසය පිහිටවූ භූමිය/history.com

ලාභදායී දුම්කොළ

බොහෝ ඉංග්‍රීසින් ප්‍රමාණයක් ඇමරිකාව බලා ගමන්කළේ රත්තරන් සෙවීමේ අරමුණින්. එහෙත් ඔවුන්ට මුහුණදීමට සිදුවූ කටුක අභියෝග නිසා එම අදහස් පසෙකට දමා ගොවිතැනට යොමුවීමට ඔවුන්ට සිදු වුණා. ක්‍රි. ව. 1612 දී, බර්මියුඩාවේ අතරමංව සිට ජේම්ස්ටවුන් වෙත පැමිණි ජෝන් රොල්ෆ් එම ජනාවාසයට වගාව සඳහා නව වර්ගයක දුම්කොළ හඳුන්වාදුන් අතර, ජේම්ස්ටවුන් පිහිටුවා ලාභ ඉපැයීමේ අරමුණින් සිටි වර්ජීනියා සමාගමට මෙය මහත් සහායක් වුණා.

ලාභය වැඩි කරගැනීමට නම් ශ්‍රමය අඩු මිලකට ලබා ගත යුතු නමුත් ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් ශ්‍රමය ලාභාදායීව ලබා ගැනීමට අපහසුවීම, මත ක්‍රි.ව 1619 දී අප්‍රිකානුවන් 20ක් වර්ජිනියාව වෙත රැගෙන ආවා. ඒ සමගම ඇමරිකානු වහල් සමාජ ක්‍රමයේ ආරම්භයත් සනිටුවහන් වුණා. නමුත් මුල් කාලයේ දී අප්‍රිකාවෙන් රැගෙන ආ කළු ජාතිකයන්ට වහලුන්ට වඩා සේවකයන්ගේ තත්ත්වයක් පැවතුණා.  

වර්ජීනියා සමාගම වටහාගත් තවත් දෙයක් වුයේ ජේම්ස්ටවුන් තුළ ස්ථීර ජනාවාසයක් බිහි කිරීමට නම් පවුල් ක්‍රමයක් එම ජනපදය තුළ ගොඩනැගිය යුතු බව යි. ඒ අනුව වහලුන් ගෙන ආ ලෙසින්ම කාන්තාවන් ද බ්‍රිතාන්‍යයෙන් රැගෙන ආ අතර ඔවුන් ඉංග්‍රීසි ජාතිකයන්ට විවාහ කර දී ජනපදය තුළ පවුල් ක්‍රමයක් ගොඩනැගුවා. නමුත් විවාහය ජනපදය තුළ සිටි ඉංග්‍රීසි ජාතිකයන්ට වුවමනා ආකාරයට සිදුකළ නොහැකි වුණා. කාන්තාවක් හා විවාහ වීමට අවස්ථාව හිමිවූයේ ලාභදායි දුම්කොළ වගාවක් තිබූ පුරුෂයන්ට පමණ යි. ඒ අනුව පවුම් 120කට මිළ කළ හැකි දුම්කොළ අස්වැන්නක් තිබේ නම් ඔහුට කාන්තාවක් ලබා ගැනීමට හැකි වුණා. එම නිසා කාන්තාවක් ලබා ගැනීමට නම් දුම්කොළ අස්වැන්න ඉතා හොද මට්ටමක පැවතීම අත්‍යඅවශ්‍ය කරුණක් බවට පත්වුණා.

ජේම්ස්ටවුන්හි ප්‍රථම දුම්කොළ අස්වැන්න ක්‍රි.ව 1614 දී එංගලන්තයට විකුණනු ලැබුවා. එය ඉතාමත් ලාභාදායී වූ අතර එම නිසා බොහෝ පිරිසක් දුම්කොළ වගාට යොමු වුණා. වර්ජීනීයා සමාගමට මුදල් ගෙවනු ලබන ඕනෑම පුදගලයෙකුට අක්කර 50ක ඉඩමක් ද ලබා දුන්නා. මේ නිසා එංගලන්තයෙන් පිරිස් ඇමරිකාවට පැමිණ ඉඩම් ලබාගෙන දුම්කොළ වගාට යොමුවුණා.

jamestown tobacco
දුම්කොළ වගාව/pinterest.com/pin/851743348261496959/

රාජකීය කොලනියක් වීම

ජේම්ස්ටවුන් බිහිවීමට වර්ජීනීයා සමාගම මැදිහත් වුවත් මෙම නගරය පාලනය කිරීමේ දී පොදු ප්‍රඥප්තියකට යටත්වීම ජේම්ස්ටවුන් ආරම්භයේ සිටම දකින්න පුළුවන්. ඔවුන් ක්‍රි. ව. 1606 දී වර්ජීනීයා ප්‍රඥප්තියත්, ක්‍රි. ව. 1609 දී දෙවන වර්ජීනීයා ප්‍රඥප්තිය යටතේත් පාලන කටයුතු ගෙන ගියා. නමුත් මෙම ප්‍රඥප්ති මඟින් ජනපදය පාලනය කරන්නාට අධික බලයක් හිමිවීම මත ඔවුන් බොහෝවිට ඒකාධිපති ස්වාභාවයේ තීරණ ගත් අතර, මෙම හේතුව නිසා ඇතැම් පාලකයන් ස්වදේශීය ජනයා සමග මිත්‍රත්වයෙන් ද ඇතැම් පාලකයන් ස්වදේශීය ජනයා සමග ගැටම් ඇති කර ගනිමින් ද කටයුතු කරනු ලැබුවා.

ක්‍රි. ව. 1614 දී රතු ඉන්දියානුවන් සමග ඇති වූ සාමය ක්‍රි.ව 1622 දී ගැටුමක් බවට පත්වුණා. ඒ, ස්වදේශීය රතු ඉන්දියානුවන්ගේ භූමි ප්‍රදේශවල ද ඉංග්‍රීසීන්ගේ ජනපද ව්‍යාප්තිය සිදුවීම මත යි. මේ නිසා පවතාන් රතු ඉන්දියානුවන් ඉංග්‍රීසින්ට එරෙහි ප්‍රහාරයක් සැලසුම් කළ අතර, එම ප්‍රහාරය ඉංග්‍රීසි විසින් සාර්ථකව මැඩ පැවත්වීමට ස්වදේශීය රතු ඉන්දියානු ළමයෙකුගේ අනතුරු ඇඟවීමක් හේතුවූවා. නමුත් ප්‍රහාරයෙන් ඉංග්‍රිසි ජනපද වැසියන් 1200න් 350-400ත් අතර සංඛ්‍යාවක් මිය ගියා. මෙම ගැටුම්කාරී වාතාවරණය දිගින් දිගට පැවති නිසා දේශපාලනික හා ආර්ථික අර්බුද රැසකට වර්ජීනියා සමාගමට මුහුණ දීමට සිදුවුණ අතර, මෙය ඉංග්‍රීසීන්ගේ ජනපද ව්‍යාප්තියට බාධාවක් මෙන්ම පාලනය ද වියවුල් වීමට හේතුවක් බවට පත්වුණා. මේ නිසා අවසානයේ ක්‍රි. ව. 1624 මැයි 24 වන දින පළමුවන ජේම්ස් රජු වර්ජීනියා සමාගමේ ප්‍රඥප්තිය අවලංගු කර, එය ඇමරිකාවේ පිහිටවූ පළමු රාජකීය යටත්විජිතය බවට පත් කරනු ලැබුවා. වර්ජීනීයා ජනපදය ඇමරිකානු විප්ලව කාල සීමාව දක්වා රාජකීය යටත්විජිතයක් ලෙස පැවතියා.

Today James town
අද ජේම්ස්ටවුන්හි පිහිටා ඇති, කපිතාන් ජෝන් ස්මිත්ගේ ප්‍රතිමාව/brianrose.com/

මේ, ජේම්ස්ටවුන් ඉතිහාසය ගැන ඉතා සරල, සුළු විස්තරයක් පමණ යි. එහි ඉතිහාසය මෙසේ එක් ලිපියකින් ලියා අවසන් කරන්නට බැහැ. අද වන විට ජේම්ස්ටවුන් ප්‍රදේශය ඓතිහාසික ප්‍රදේශයක් බවට පත් කර ඇති අතර එහි සංචාරය කරන්නෙකුට එය ගොස් නැරඹීමේ සහ ඇමරිකාවේ ප්‍රථම ඉංග්‍රීසි යටත් විජිතය සම්බන්ධයෙන් හොද දැනුමක් ලබා ගැනීමේ හැකියාවත් පවතිනවා. සුළු භූමි භාගයකින් ඇරඹි ඉංග්‍රීසි යටත් විජිත වර්තමාන ලෝකයේ ප්‍රබලම රාජ්‍යය දක්වා වර්ධනය වීමට “ජේම්ස්ටවුන්” මූල බීජය වූ ආකාරය අපිට මෙහෙම හඳුනගන්න පුළුවන්.

 

Related Articles