Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රාග් ඓතිහාසික යුගයේ භාවිතා කළ ශිලා මෙවලම් තාක්ෂණය

1968 වසරේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශය ආරම්භ කිරීමේ එක් අරමුණක් වුණේ එතෙක් සිදුකරමින් තිබුණු මෙරට ප්‍රාග් ඓතිහාසික මානවයන් පිළිබඳව ගවේෂණය වඩාත් පුළුල් කිරීම යි. එම නිසා එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙසින් කටයුතු කළ ආචාර්ය රාජා ද සිල්වා කැණීම් අංශයේ වැඩ කටයුතු කරගෙන යාමේ වගකීම භාරදුන්නේ දක්ෂ පුරාවිද්‍යාඥයෙකු වුණු ආචාර්ය ශිරාන් දැරණියගලට යි. එදා සිට ලංකාවේ ප්‍රාග් ඓතිහාසිය යුගය පිළිබඳව සිදු කළ ගවේෂණවල දී මානවයන් භාවිතා කළ ශිලා මෙවලම් රැසක් හමු වුණා. විවිධ ප්‍රමාණයන්ගෙන් සහ හැඩයන්ගෙන් යුක්ත වුණු එම ශිලා මෙවලම් සොයාගැනීම මඟින් ප්‍රාග් ඓතිහාසික යුගයේ දී භාවිතා කළ තාක්ෂණික ක්‍රම පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකියාව ලැබුණා. 

මෙරටින් හමු වුණු පැරණිතම ශිලා මෙවලම්

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය ලෙසින් සලකනු ලබන්නේ ආසන්න වශයෙන් ක්‍රි.පූ 125,000 හෝ ඊට පෙර යුගයේ සිට ක්‍රි.පූ 1000 දක්වා ගෙවුණු අවධිය යි. එම කාල සමය තුළ පූර්ව ශිලා, මධ්‍ය ශිලා සහ නව ශිලා ලෙසින් යුග 3ක් දක්නට ලැබුණා. එම යුග අතුරින් පූර්ව ශිලා යුගයට අයත් වුණේ ක්‍රි.පූ 125,000 හෝ ඊට පෙර සිට ක්‍රි.පූ 70,000 දක්වා ගෙවුණු අවධිය යි. මෙරට පූර්ව ශිලා යුගයට අයත්යැ යි සැලකෙන ස්ථාන වන්නේ මිනිහා ගල් කන්ද, බූන්දල පතිරාජවෙල, බූන්දල වැල්ලේගංගොඩ, සහ ඉරණමඩු යන ප්‍රදේශ යි. එම ස්ථාන කිහිපය ආශ්‍රිතව සිදු කරන ලද කැණිම්වල දී පැරණිතම ශිලා මෙවලම් හමු වුණේ  බූන්දල ප්‍රදේශයේ දී යි. බූන්දල ප්‍රදේශයෙන් හමු වුණු ශිලා මෙවලම් තිරුවාණා සහ චර්ට් නම් ගල් විශේෂවලින් සාදා තිබුණා. එතරම් දියුණු මට්ටමක නොතිබුණු එම ශිලා මෙවලම් ප්‍රාථමික ගණයේ ඒවා වුණා. එම නිසා බූන්දලින් හමු වුණු ශිලා මෙවලම්වල ජ්‍යාමිතික හැඩතල දක්නට ලැබුණේ නැහැ. පූර්ව ශිලා යුගයේ දී මෙරට තුළ ප්‍රාථමික ගණයේ ශිලා මෙවලම් දක්නට ලැබුණත් මධ්‍ය ශිලා යුගය වන විට එම තාක්ෂණය දියුණු මට්ටමකට පත්ව තිබුණා.

මධ්‍ය ශිලා යුගයේ දී ශිලා මෙවලම් තාක්ෂණය දියුණු වුණු හැටි 

මධ්‍ය ශිලා යුගයට අයත් කාල සීමාව ලෙසින් සලකනු ලබන්නේ ආසන්න වශයෙන් ක්‍රි.පූ 70,000 සිට ක්‍රි.පූ 7000 දක්වා ගෙවුණු කාල සමය යි. මෙම යුගයේ දී ලංකාවේ වාසය කළ ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ මානව ජනාවාස ස්ථානගතව තිබුණේ පහතරට තෙත් කලාපීය ලෙන් සහ පහතරට වියළි කලාපීය ලෙන් ආශ්‍රිතව යි. ඒ අනුව මධ්‍ය ශිලා යුගයේ දී පාහියන් ලෙන, බටදොඹ ලෙන, බෙලි ලෙන, බටතොට ලෙන, සහ අළු ලෙන ආදී ස්ථාන ආශ්‍රිතව මානව ජනාවාස පැවති බවට සාධක හමුව තිබෙනවා. එම මානව ජනාවාස තුළ ජීවත් වුණු මානවයන් ජ්‍යාමිතික හැඩතලවලින් යුක්ත වුණු ශිලා මෙවලම් භාවිතා කළ බවට සාධක හමුව තිබෙනවා. එහි දී ශිලා මෙවලම් සෑදීම සඳහා චතුරස්‍රය, ත්‍රපීසියම, සහ ත්‍රිකෝණය වැනි හැඩතල භාවිතා කළා. ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලා මෙවලම් තාක්ෂණය නම් වුණු එම ශිලා තාක්ෂණය මධ්‍ය ශිලා යුගයෙන් ආරම්භ වී ක්‍රි.පූ 500 පමණ දක්වා පැවතුණු බව ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව සිදුකරන ලද පරීක්ෂණවල දී අනාවරණය වුණා.

ජ්‍යාමිතික හැඩයෙන් යුත් ශිලා මෙවලම් (archeology.lk) 

ජ්‍යාමිතික ශිලා මෙවලම්වලට අමතරව සිදුරු සහිත කුඩා ශිලා මෙවලම් ද එම යුගයේ දී භාවිතා කළ බවට සාධක හමුව තිබෙනවා. එසේම බලංගොඩ මානවයින් විසින් භාවිතා කළ බලංගොඩ උල් ආයුධ නම් ශිලා මෙවලම් විශේෂය ද එම අවධිය තුළ දක්නට ලැබුණු විශේෂිත මෙවලමක් වුණා. විනිවිද පෙනෙන තිරුවාණා ගල් යොදාගෙන සාදා තිබෙන එම ශිලා මෙවලම සෙ.මී 3ක පමණ දිගකින් යුක්ත යි. එම ගල් ආයුධ වර්ගයේ සෑම පැත්තකම පතුරු ඉවත් කර හැඩ ගන්වා අග තියුණු උලක් ආකාරයට නිර්මාණය කර තිබෙන ආකාරය දැකිය හැකියි. ඊට අමතරව සත්ත්ව අස්ථිවලින් සාදන ලද ආයුධ ද කැණීම්වල දී හමුව තිබෙනවා.

විවිධ ශිලා මෙවලම් හමු වුණු ස්ථාන කිහිපයක් 

පසුගිය දශක කිහිපය තුළ ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ස්ථාන ආශ්‍රිතව කැණීම් සිදු කළා. එම කැණීම්වල දී ප්‍රාග් ඓතිහාසික මානවයන් භාවිතා කළ ශිලා මෙවලම් රැසක් හමු වුණා. ඒ අනුව බූන්දල පතිරාජවෙල, බූන්දල වැල්ලෙගංගොඩ, ඉරණමඩු ආදී ප්‍රදේශවලින් පූර්ව ශිලා යුගයට අයත් ශිලා මෙවලම් හමු වුණා. එසේම මධ්‍ය ශිලා යුගයට අයත් වුණු බුලත්සිංහල පාහියන් ලෙන, කිතුල්ගල බෙලි ලෙන, කුරුවිට බට දොඹ ලෙන, අළු ලෙන, බෙල්ලන් බැඳි පැලැස්ස ආදී ස්ථානවලින් ද ශිලා මෙවලම් රැසක් හමු වුණා. 

ඉහත යුගයන් දෙකට අයත් වුණු ශිලා මෙලම්වල පැහැදිලි වෙනසක් දක්නට ලැබෙනවා. එහි දී විවිධ කාර්යයන් සඳහා භාවිතා කරන ශිලා මෙවලම් මධ්‍ය ශිලා යුගයේ දී හමු වුණත් පූර්ව ශිලා යුගයේ දී එවැනි ශිලා මෙවලම් හමු වුණේ නැහැ. ඉන් නිගමනය කළ හැක මධ්‍ය ශිලා යුගයට වන විට ආදි මානවයන්ගේ ජීවන රටාව තරමක් සංකීර්ණ වී තිබුණු බවයි.

කිතුල්ගල බෙලි ලෙන (Inspirock)

ශිලා මෙවලම් සෑදීමට භාවිතා කළ පාෂාණ වර්ග 

පූර්ව ශිලා සහ මධ්‍ය ශිලා යුගවල දී විවිධ ශිලා මෙවලම් සෑදීම සඳහා විවිධ පාෂාණ වර්ග භාවිතා කළා. එලෙස භාවිතා කළ පාෂාණ වර්ග අතුරින් තිරුවාණාවලට ප්‍රමුඛස්ථානයක් හිමි වුණා. තිරුවාණාවලට අමතරව කහඳ, පළිඟු, යමහල් ස්ඵටික, සහ වෙනත් ඛණිජ වර්ග ශිලා මෙවලම් සෑදීම සඳහා භාවිතා කළා. පහත දක්වා තිබෙන්නේ එම පාෂාණ වර්ග පිළිබඳව තොරතුරු යි.

*තිරුවාණා– විනිවිද පෙනෙන තිරුවාණා, ක්‍ෂිර පැහැ තිරුවාණා, කණිකාමය ක්‍ෂිරපැහැ තිරුවාණා, රෝසපැහැ තිරුවාණා, කණිකාමය රෝසපැහැ තිරුවාණා, අඹතේස්ත

*කහඳ– පාරභාසක කහඳ, පාරාන්ධ මධ්‍ය කණිකාමය කහඳ, කණිකාමය කහඳ

*පළිඟු වර්ග 

*යමහල් ස්ඵටික– කළු ගල්, ඩයෝරයිට්

*වෙනත් ඛණිජ වර්ග– රතු හිරියල්, මිනිරන්, තලාතු මිනිරන්, ලුහු යමහල් පාෂාණ

විවිධ හැඩවලින් යුත් ශිලා මෙවලම් (Daily Mail)

විවිධ කාර්යයන් සඳහා ශිලා මෙවලම් භාවිතා කළ ආකාරය 

ප්‍රාග් ඓතිහාසික මානවයන්ට කැපීම, තැලීම, සීරීම, සහ සිදුරු කිරීම වැනි එදිනෙදා ජීවිතයේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙවලම් අවශ්‍ය වුණා. එම නිසා විවිධ කාර්යයන් ඉටුකර ගැනීම සඳහා එකිනෙකට වෙනස් හැඩවලින් යුත් ශිලා මෙවලම් නිර්මාණය කළා. එලෙස තැනූ ආයුධ අතර මිටි, වංගෙඩි, ඇඹරුම්ගල්, මෝල්ගස්, හිල් විදින ලද මිටි ආයුධ දක්නට ලැබුණා. ඔවුන් දඩයම් කිරීම, මස් සකස් කිරීම, අල හෑරීම, අල සුද්ධ කිරීම, කැකුණ තැලීම වැනි කාර්යය සඳහා ශිලා මෙවලම් භාවිතා කර තිබෙනවා. ඉන් පැහැදිලි වන්නේ ප්‍රාග් ඓතිහාසික මානවයාට කාර්යයන් පහසු කරගැනීම සඳහා විවිධ මෙවලම් තැනීමට හැකි සූක්ෂම නුවණක් තිබුණු බව යි. එසේම නූතන දියුණු ලෝකය නිර්මාණය වීම සඳහා අත්තිවාරම වැටුණේ එදා ආදි මානවයන් විසින් නිර්මාණය කළ ශිලා මෙවලම් මඟින්. 

කවරයේ ඡායාරූපය- ශිලා මෙවලම් (The Verge)

මූලාශ්‍රයයන්- ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය- රාජ් සෝමදේව 

Related Articles