තායිවානය යනු චීන ප්‍රධාන භූමියෙන් කිලෝමීටර 180ක් පමණ නැගෙනහිරට වන්නට ශාන්තිකර සාගරයේ පිහිටි දූපතක්. කලක් ෆෝර්මෝසාව නමින් හැඳින්වූ මෙම ප්‍රධාන දූපත සහ තවත් කුඩා දූපත් කිහිපයක් එක්ව අර්ධ වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති චීන ජනරජය නිර්මාණය වනවා.
1949 දී චීන ප්‍රධාන භූමිය කොමියුනිස්ට්වාදීන් විසින් අල්ලාගත් අවස්ථාවේ දී, එවකට චීන ජනරජයේ (Republic of China) රජය තායිවානයට පළා ගියා. දශක දෙකකට මදක් වැඩි කලක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද චීන නියෝජනය වූයේ මෙම චීන ජනරජය යි. නමුත් 1970 දශකයේ මුල් කාලයේ දී ප්‍රධාන භූමිය වන මහජන චීන සමූහාණ්ඩුව (People’s Republic of China) එම ස්ථානය ලබා ගත්තා. එයින් පසු බොහෝ රටවල් චීනයේ නිල රජය ලෙස පිළිගන්නේ මහජන චීන සමූහාණ්ඩුව යි. කෙසේ වෙතත් තායිවානය අදටත් නිල වශයෙන් හඳුන්වන්නේ චීන ජනරජය වශයෙන්.
තායිවානයේ මේ ආකාරයේ ජනරජයක් බිහිවූයේ පළමු වතාවට නොවේ. 1895 දී ද කෙටි කලක් පැවති ජනරජයක් එහි බිහි වුණා. එමෙන්ම නූතන ඉතිහාසයේ ආසියාවේ බිහි වූ පළමු ජනරජයන් අතුරින් එකක් ලෙස එය හැඳින්විය හැකියි. එකල තායිවාන දූපත හැඳින්වූ නම ආශ්‍රයෙන් මෙම රජය ෆෝර්මෝසා ජනරජය ලෙස හඳුන්වනු ලබනවා. එය බිහිවූ පසුබිම සුවිශේෂී එකක් ලෙස හඳුන්වා දිය හැකියි.
පළමු චීන – ජපන් යුද්ධය
1868 මෙයිජි ප්‍රතිසංස්කරණයේ සිට ජපානය නවීන රාජ්‍යයක් ලෙස වේගයෙන් පරිවර්තනය වුණා. මෙහිදී යුධ ශක්තිය අතින් එරට දියුණු වන්නට වූ අතර ඒ සමඟම කලාපීය වශයෙන් සිය බලය පැතිරවීමේ අවශ්‍යතාවයක් එරට පාලකයන් තුළ වුණා. ශතවර්ෂ ගණනක් කලාපයේ බලවතා වශයෙන් වැජඹුණ චීනය දුර්වල වූ රාජ්‍යයක් බවට පත්ව තිබීමත්, ඒ අවසරයෙන් බටහිර රටවල් ප්‍රදේශයේ සිය බලය පැතිරවීමත් පිළිබඳව ජපානය විමසිල්ලෙන් පසු වූ අතර එරටට අවශ්‍ය වූයේ බටහිර රටවල් කලාපය සම්පූර්ණයෙන් සිය ග්‍රහණයට ගැනීමට පෙර එහි සිය බලය ව්‍යාප්ත කිරීමයි.
ජපානය සිය අවධානය යොමු කළ ප්‍රදේශ දෙකක් වූයේ කොරියාව සහ ෆෝර්මෝසා දූපතයි. මෙයින් ෆෝර්මෝසාව යටත් කිරීම සඳහා 1874 දී සිදු කළ උත්සාහයක් අසාර්ථක වුණා. නමුත් චීනයේ පරිවාර රාජ්‍යයක් වූ කොරියාවෙහි චීන බලපෑම් සීමා කිරීම කෙරෙහි ජපානය වඩා සාර්ථක වෙමින් තිබුණා. මේ අනුව ජපානය සමඟ වෙළෙඳ ගිවිසුමකට එළඹීම සඳහා 1876 දී කොරියාව එකඟ කරවා ගැනීමට ජපානයට හැකි වුණා. කොරියාවේ පාලනය පිළිබඳ චීනය සහ ජපානය අතර ඝට්ඨනයක් ඇති වීමේ ඉඩකඩ දිනෙන් දින වර්ධනය වුණා.
1894 දී කොරියාවේ ඇති වූ කුමන්ත්‍රණයකින් පසු ඇති වූ ආකූලතාවයන් අතරතුර ජපානය විසින් තමන්ට හිතවත් පාලන තන්ත්‍රයක් එහි පිහිටුවීම හා සමඟ චීන ජපන් දෙපිරිස අතර යුධ තත්ත්වයක් වර්ධනය වුණා. මෙහිදී චීන සේනාංක ජපානය විසින් අන්ත පරාජයකට ලක් කරනු ලැබුණ අතර චීනය පරාජය භාර ගත්තා.
මෙම යුද්ධය නිමා වුණේ 1895 අප්‍රේල් 17 වන දා අත්සන් කරන ලද ෂිමොනොසෙකි ගිවිසුම මගින්. එමගින් ෆෝර්මෝසා දූපතේ පාලනය ද චීනය විසින් ජපානයට පවරා දෙනු ලැබුණා.
ජනරජය පිහිටුවීම
මේ කාලයේ චීනය පාලනය කළේ චිං අධිරාජ්‍යය විසින්. එම අධිරාජ්‍යය විසින් ෆෝර්මෝසාවට පත්කර තිබුණ ආණ්ඩුකාරවරයා වූයේ ටෑංග් ජින්ග්සොංග්. ෂිමොනොසෙකි ගිවිසුමේ වගන්ති පිළිබඳ ෆෝර්මෝසා හි චිං නිලධාරීන් දැනගත් විට එයින් කොටසකට ඊට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය වුණා. මේ පිරිසේ නායකත්වය ගත්තේ චියු ෆෙන්ග්‍ෂියා නම් වූ තරුණ නිලධාරියෙක්. මේ අය ටෑංග් කැමති කරවාගන 1895 මැයි 23 වනදා චීනයෙන් ස්වාධීන වූ ජනරජයක් ලෙස ෆෝර්මෝසාව ප්‍රකාශයට පත් කළා. ඔවුනගේ තර්කය වූයේ ෆෝර්මෝසාව තවදුරටත් චීනයට අයත් නොවන බැවින් ෂිමොනෙසෙකි ගිවිසුමට අනුව එය ජපන් පාලනයට යටත් නොවිය යුතු බවයි.
මේ කණ්ඩායමේ බලාපොරොත්තුව වූයේ ජපන් ප්‍රහාරයක් ඇති වුවහොත් එය පරාජය කර පසු කලෙකදී යළි චීනය හෙවත් චිං අධිරාජ්‍යය හා එක් වීමයි. ටෑංග්ගේ පැරණි මිතුරකු වූ ද කාලවර්ණ ධජ හමුදාවේ (Black Flag Army) ප්‍රධානියා වූද ලියු යොන්ග්ෆුට නව ජනරජයේ හමුදා නායකත්වය පිරිනමන ලද අතර චියු එහි මිලීෂියා කණ්ඩායම්වල ප්‍රධානියා බවට පත් වුණා.
කෙසේ නමුත් මෙම නව ජනරජය බාහිර ලෝකයේ රටවල් විසින් පිළිගැනුණේ නැහැ. ඒ වනවිට ෂිමොනෙසෙකි ගිවිසුමෙන් ජපානයට ෆෝර්මෝසාව පවරා දී තිබුණු හෙයින් යළි එහි වෙනත් රජයක් බිහි වුව ද එය පිළිගැනීමේ හැකියාවක් නොතිබීම ඊට හේතුව යි. චීනයේ චිං පාලනය නොනිල වශයෙන් ෆෝර්මෝසාවේ ජනරජයට සහය දුන්න ද නිල වශයෙන් ෂිමොනොසෙකි ගිවිසුම පිළිගත්තා. මේ අතර ජපානය විසින් ලබාගත් චීනයේ ලියාඔටුං අර්ධද්වීපය යළි ලබා ගැනීම සඳහා බටහිර බලවතුනගේ සහය ලබා ගැනීමට චීනය කටයුතු කරමින් සිටියා.
මේ අනුව ෆෝර්මෝසා ජනරජයට වෙනත් රටවල පිළිගැනීමක් ලැබුණේ නැහැ.
කඩා වැටීම
හමුදාමය අතින් ගත් කළ මෙකල තායිවානයේ සැළකිය යුතු හමුදාවන් රැඳී සිටියා. 19 වන සියවස අවසාන අවුරුදු වල තායිවාන දූපතේ ජනගහනය මිලියන 2.5 ක් පමණ වූ අතර ඉන් බොහොමයක් දෙනා චීනයෙන් සංක්‍රමණය වූවන් වුණා. දූපත මැද සහ එහි නැගෙනහිර ප්‍රදේශයේ වූ කඳුකරයන් හි ස්වදේශීය ජනයා වාසය කළ නමුත් බටහිර ප්‍රදේශවල මේ චීන ජාතිකයන් ජීවත් වුණා.
ජනරජය ප්‍රකාශයට පත් කරන විට චීන හමුදා සේනාංක ද ෆෝර්මෝසාවේ වූ අතර ජනතාව ද මිලීෂියා කණ්ඩායම් ලෙස සංවිධානය කෙරුණා. දූපතේ සිටි සම්පූර්ණ හමුදා සේනාංක සහ මිලීෂියා භටයන්ගේ ශක්තිය පිළිබඳ විවිධ මත තිබෙන නමුත් එය 75,000 – 150,000 අතර වන්නට ඇතැයි අනුමාන කරනු ලබනවා.
ජපන් හමුදා ෆෝර්මෝසා දූපතේ පාලනය තහවුරු කිරීමට අප්‍රමාදව කටයුතු කළා. 1895 මැයි මස 29 වනදා ජපන් හමුදා කීලුංග් නගරය අසළට ගොඩ බැස්ස අතර ඉන් දින කිහිපයකට පසු තායිපේ නගරය ජපනුන් විසින් අල්ලා ගනු ලැබුණා. ෆෝර්මෝසාවේ ජනාධිපති ටෑංග්, දූපත අතැර චීනයට පළා ගියා. ෆෝර්මෝසා ජනරජයේ නායකයා ලෙස ලියු යොන් ග්ෆු පත් කරගත් නමුත් ඔහු තමාව ජනාධිපති ලෙස හඳුනා ගැනීම ප්‍රතික්ෂේප කළා.
මින් පසුව ජපන් හමුදා ෆෝර්මෝසා දූපත දිගේ දකුණුදිගට පැමිණියා. චීන සේනා ජපනුන්ට විරුද්ධව සටන් වැදුණ නමුත් එම ආක්‍රමණය පරාජය කිරීමට ඔවුනට හැකි වූයේ නැහැ. ඔක්තෝබර් 19 වනදා ලියු ද චීනයට පළා ගිය අතර ඔක්තෝබර් 21 වනදා ජපන් හමුදා ටයිනාන් නගරයට ඇතුලු වීමත් සමඟ ෆෝර්මෝසා ජනරජය අවසානය දුටුවා.
ෆෝර්මෝසා දූපත ජපානයේ පළමු යටත් විජිතය බවට පත් වූ අතර 1945 දක්වා එය ජපන් පාලනය යටතේ පැවතුණා.
Cover Image: ජපන් නිලධාරියකු වන කපිතාන් අවාටා තායිවාන ස්වදේශික සටන්කාමියකු හා සටන් වදී (තොෂිකාවා මිසුනෝ)
මූලාශ්‍ර:
- Restless Empire: China and the World Since 1750 – Odd Arne Westad