Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රසීලියානු ‘හිතුමතේ ජීවිතේ’

ලෝක ඉතිහාසය පිරික්සීමේ දී විවිධාකාරයේ ඝාතකයින් අපට හමුවනවා. තරුණ කාන්තාවන්, පිරිමින් මෙන්ම කුඩා දරුවන් හෝ මහළු අය පමණක් තෝරා බේරාගෙන ඝාතනය කළ අය මේ අතර වෙනවා. බ්‍රසීලය නිජබිම කරගත් පේද්‍රෝ රොඩ්‍රිගස් ෆීලෝ මේ අතරින් සුවිශේෂී යි. ඒ, ඔහු ඝාතනය කරන්නට තෝරාගත්තේ ඝාතකයින්, ලිංගික අපචාරකයින් වැනි සමාජය තැතිගැන්වූ අයවළුන් වීම නිසා යි.

කවුද මේ පේද්‍රෝ රොඩ්‍රිගස් ෆීලෝ?

1954 වසරේ ජූලි මස 17 වන දා බ්‍රසීලයේ උපන් පේද්‍රෝ රොඩ්‍රිගස් ෆීලෝ විසින් සිය ජීවිත කාලය තුළ සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන ප්‍රමාණය අවම වශයෙන් 70ක් වත් වනවා. මින් 10ක් ඔහු විසින් සිදුකර ඇත්තේ 18 වැනි විය සැපිරීමටත් පෙර යි.

බ්‍රසීල අපරාධ පරීක්ෂකයින් ෆීලෝ හඳුන්වන්නේ අසාමාන්‍ය හා සුවිශේෂී මනෝභාවයක් සහිත පුද්ගලයෙකු ලෙසයි. මොහුට ගොදුරු වූ බොහෝ දෙනා එක්කෝ ඔහු හට වධ හිංසා පැමිණවීමට පැමිණි අයවළුන් වුණා. එසේත් නැතිනම් ඔහු ප්‍රිය කරන අයෙකු හට අඩන්තේට්ටම් පමුණුවන පුද්ගලයින් වුණා.

ෆීලෝ ගේ දෛවය ඔහු හට අභියෝගාත්මක වන්නට පටන්ගත්තේ මෙලොවට ජනිත වීමත් සමග යි. ඔහුගේ මව ගර්භණීව සිටිය දී ඔහුගේ පියා විසින් ඇයට එල්ල කළ පහරක් හේතුවෙන් ෆීලෝගේ හිස්කබලට හානි සිදුවී තිබුණා. මේ නිසා ඔහුට ලැබී තිබුණේ යම් තරමකට විරූපී පෙනුමක්. කුඩා කල සිටම ඔහු තරමක් ප්‍රචණ්ඩ අන්දමින් හැසිරුණා.

ෆීලෝ තුරුණු වියේ දී- Paula Craft Dye/ Pinterest.co.uk

මිනිස් ඝාතන

පේද්‍රෝ රොඩ්‍රිගස් ෆීලෝ සිය ප්‍රථම මනුෂ්‍ය ඝාතනය සිදුකරන විට ඔහු යාන්තම් 14 වියට පා තබා තිබුණා. ඔහුට ගොදුරු වූයේ ප්‍රදේශයේ උප නගරාධිපති වරයා යි. උප නගරාධිපති වරයා විසින් ඊට මඳ කලකට පෙර ෆීලෝ ගේ පියා රැකියාවෙන් නෙරපා තිබුණා. පාසලක ආරක්ෂක නිලධාරියෙකු ලෙස ඔහු සේවය කරමින් සිටි අතර රැකියාවෙන් නෙරපීමට හේතු වී තිබුණේ එම පාසලෙන් ආහාර ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් සොරකම් කිරීම යි. සිය පියාට අත් වූ ඉරණමෙන් කුපිත වූ කුඩා ෆීලෝ ගිණි අවියක් සොයාගෙන, නගර ශාලාව ඉදිරියේ රැක සිට උප නගරාධිපතිවරයාට වෙඩි තබා ඝාතනය කළා.

ෆීලෝ විසින් සිදුකළ දෙවන ඝාතනය සිදුවූයේ ඊට මඳ කලකට පසුව යි. මෙවර ඔහුට ගොදුරු වූයේ තවත් ආරක්ෂක නිලධාරියෙකුයි. පසුකාලීනව හෙළි වූයේ ෆීලෝ ගේ පියා හට රැකියාව අහිමි වූ සිද්ධියේ දී සැබවින්ම ආහාර සොරකම් කර තිබුණේ මොහු බව යි.

ප්‍රදේශයේ පොලිසිය ෆීලෝ සොයා වහාම පරීක්ෂණ ආරම්භ කළ අතර ඔහු උපන් ප්‍රදේශයෙන් පැන යනවා. ඔහුගේ මීළඟ නවාතැන වූයේ සාවෝ පවුලෝ නුවර ආසන්න අර්ධ නාගරික පෙදෙසකුයි. මෙහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඝාතනය කරන ඔහු කඩාකප්පල්කාරී ක්‍රියා කිහිපයකටත් සම්බන්ධ වෙනවා. මේ අතර ඔහු මාරියා ඔලිම්පියා නම් කාන්තාවක් හා පෙමින් බැඳෙනවා. කෙසේ නමුත් උක්ත ජාවාරම්කරුවාගේ කණ්ඩායමේ සාමාජිකයින් වැඩි කාලයක් මේ දෙදෙනාට එක්ව විසීමට ඉඩ තබන්නේ නැහැ. ඔවුන් විසින් මාරියා කුරිරු ලෙස ඝාතනය කෙරෙනවා.

මාරියාගේ ඝාතනය ෆීලෝගේ සිතට තදින්ම කාවැදුණු එකක් වුණා. ඔහු තීරණය කරන්නේ වහාම ඇගේ ඝාතනයට සම්බන්ධ සියළු දෙනාම මෙලොවින් තුරන් කළ යුතු බව යි. ඔහු වහාම ඒ සඳහා වූ මූලික කටයුතු ආරම්භ කරනවා. ඉක්මණින්ම ඔවුන් සොයාගන්නා ඔහු ඉතා අමානුෂික අන්දමින් දස වධ දී ඔවුන් ඝාතනය කරනවා.

ෆීලෝ මැදි වියේ දී- The Lineup/ Pinterest.com

පීතෲ ඝාතකයා

පේද්‍රෝ රොඩ්‍රිගස් ෆීලෝ හට මීළඟට ගොදුරු වන්නේ ඔහුගේම පියා යි. වඩාත් දෛවෝපගත කාරණාව වන්නේ ඔහු සිය ප්‍රථම ඝාතනය සිදුකරන්නට හේතු වූයේත් ඔහුම වීම යි. 

මේ වන විට ෆීලෝ ගේ පියා ඔහුගේ මව ඝාතනය කොට සිරගතව සිටි අතර, ඔහු බැහැදැකීමට යන මුවාවෙන් එම බන්ධනාගාරයට යන ෆීලෝ ඔහු හට පිහි පහර 22ක් එල්ල කරනවා. ඔහු මියයනවා. එයින් නොනැවතුනු ඔහු සිය පියාගේ උර කුහරය පලා ඔහුගේ හදවත ඉවතට ගෙන, එහි කැබලි ආහාරයට ගෙන තිබුණා.

ෆීලෝ කොටුවෙයි

පේද්‍රෝ රොඩ්‍රිගස් ෆීලෝ අවසානයේ පොලිසියට කොටුවනවා. ඒ 1973 වසරේ මැයි 24 වන දා යි. ඔහු අල්ලාගන්නා පොලිසිය තවත් සිරකරුවන් දෙදෙනෙක් සිටි කාරයකට ඔහු දමා එහි දොරගුළු දමන්නේ පොලිස් ස්ථානය වෙත ගෙනයාම සඳහා යි. එහි සිටි එක් අයෙකු කාන්තා අපයෝජකයෙක් වුණා. මඳ වේලාවකට පසු දොර හැර බැලීමේ දී පොලිසිය දකින්නේ ෆීලෝ ඔහු ඝාතනය කර ඇති බව යි.

කෙටි නඩු විභාගයකට පසු ෆීලෝ සිරගත කෙරෙනවා. මෙහිදී ඔහුට කාලය ගත කරන්නට සිදුවන්නේ විවිධ ඝාතන සිදුකළ කූඨ අපරාධකරුවන් සමග යි. මෙහිදී ඔහු සිය දිවියේ නව පරිච්ඡේදයක් ආරම්භ කරනවා. ඒ අසාධාරණ හේතුවලට මිනිසුන් ඝාතනය කළ සිරකරුවන් ඝාතනය කිරීම යි.

සිරගතව සිටිය දී අවම වශයෙන් ෆීලෝ විසින් ඝාතනය කරන්නට යෙදුණු සිරකරුවන් ගණන 47ක්. ඔවුන් සියල්ලම පාහේ දරුණු මිනීමරුවන් වූ අතර, ඔහු විසින් පසුකාලීනව පොලිසියට පවසා තිබුණේ ඔවුන් මේ ‘දඬුවම්’ විඳින්නට සුදුසු බව යි.

පසුකාලීනව මාධ්‍ය විසින් සිදුකෙරුණු සම්මුඛ සාකච්ඡාවක දී ෆීලෝ පවසා සිටියේ තමන් දරුණු මිනිමරුවන් ඝාතනය කිරීමෙහ් සතුටක් ලබන බව යි. ඔහු බොහෝ කොටම පිහිවලින් ඇන, බ්ලේඩ් තල ආධාරයෙන් ඔවුන්ගේ සිරුරු කපා කොටා තිබුණා.

ෆීලෝ මුලින්ම බන්ධනාගාරගත කෙරුණේ වසර 128ක සිර දඬුවමකට යටත්ව යි. සිරගතව සිටිය දී සිදුකළ ඝාතන නිසා එය වසර 400ක් දක්වා දීර්ඝ වුණා. කෙසේ නමුත් බ්‍රසීල නීතිය අනුව යම් අයෙකු සිරගත කොට රඳවා තැබිය හැකි උපරිම කාල සීමාව වන්නේ වසර 30ක් නිසා අවසානයේ 2007 වසරේ දී ඔහු හට නිදහස ලැබෙනවා. 

ෆීලෝ අද වන විට අන්තර්ජාලය ඔස්සේ තරුණයින්ට යහමඟ පෙන්වා දෙනවා- folha.uol.com.br

සිරෙන් නිදහස් වූ ෆීලෝ ඉන් ඉවතට පැමිණෙන විට තමන් විසින් සිදුකරන ලද ක්‍රියාකාරකම් පිළිබඳව පසුතැවෙමින් සිටියා. ඔහුට සාමකාමී මිනිසෙකු වන්නට උවමනාව තිබුණා. ජීවිතය අළුතෙන්ම පටන්ගන්නට සිතා වරදට යොමු වෙන තරුණයින්ට උපදේශන පවා ඔහු ලබා දුන්නා. කෙසේ නමුත් 2011 වසරේ දී ඔහු නැවත පොලිස් භාරයට ගැනෙන්නේ සාවෝ පවුලෝහි දී සිදු කළ කඩාකප්පල්කාරී ක්‍රියා කිහිපයක් සම්බන්ධයෙනුයි. එහිදී නැවතත් ඔහුට සිරබත් කන්නට සිදුවනවා. 2018 වසරේ නැවත නිදහස් වූ ඔහු අද වන විට සාමකාමී දිවි පෙවෙතක් ගත කරනවා. වරදෙහි බැඳෙන තරුණයින්ට ඉන් මිදෙන්නට උපදෙස් දීම සඳහා යූ ටියුබ් චැනලයක් ද ඔහු ආරම්භ කර තිබෙනවා.

Related Articles