රන්න නගරයේ සිට වීරකැටිය මාර්ගයේ කිලෝ මීටර 10 ක් පමණ දුරින් තමයි නයිගල විහාරය පිහිටා ඇත්තේ. මෙම විහාර බිමට එක් පසෙකින් තියෙන්නේ අග්‍රහැර ගම යි. පුරාණයේ සිටි උසස් බ්‍රාහ්මණ වංශික පවුල්වල ජනයා අග්‍ර වූ ආහාර ලබා ගත් වෙල්යාය එම ගමේ පැවති නිසා ගමට අග්‍රහර යන නම ලැබී ඇති බවයි පැවසෙන්නේ.
විහාර බිමට අනෙක් පැත්තෙන් තියෙන්නේ වකමුල්ල ගම්මානය යි. මේ ගම් දෙක බෙදෙනුයේ නයිගල විහාර මාවතෙන්. විහාරය අයත් වන්නේ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයට යි. මිනිසකු තරම් විශාල නාග හැවක් හමුවූ තැනක් ලෙස ද පැවසෙන මේ විහාරය වටා නාගයන් සම්බන්ධ කුතුහලය දනවන කතා පුවත් රාශියක් ගෙතී පවතිනවා.
ඓතිහාසික පසුබිම
නයිගල ආරාම සංකීර්ණය අනුරාධපුර යුගයේ මුල් අවධියේ ආරම්භ වී පබ්බතාරාමයක් ලෙස සංවර්ධනයට පත් ව තිබෙනවා. පබ්බත විහාර යනුවෙන් හැඳින්වෙන්නේ දාගබ, බෝධිඝරය, උපොසථඝරය, පිළිම ගෙය යන ප්‍රධාන පූජනීය ගොඩනැඟිලි සතර සහිත ව ප්‍රාකාරයකින් වට කළ ආරාම සංකීර්ණයක්. මේ පවුරෙන් පිටත භික්ෂු ආවාස, වැසිකිළි ආදිය පිහිටා තිබුණා. මෙම විහාරවලට රාජකීය අනුග්‍රහයත් ලැබුණා. වර්තමාන නයිගල හා අවට ප්‍රදේශය පැරණි ගිරිකඩ රට හෙවත් ගිරිපා දනව්ව ලෙස හඳුනාගත හැකි යි. මෙම විහාරය ක්‍රිස්තු පූර්ව ආරම්භක සියවස වන විට රෝහණයේ ප්‍රධාන ආගමික ආයතනයක් බවට පත් වන්නට ඇති බව එහි විසිරී පවතින නටබුන්වලින් පැහැදිලි වෙනවා.
ආරාම සංකීර්ණයේ දක්නට ලැබෙන ඉපැරණි වජ්‍රාසනය හෙවත් ආසනඝරය එයට සාධක සපයනවා. මෙවැනි ශෛලමය ආසන වන්දනාව පැවතියේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය විමට පෙර යි. ක්‍රිස්තු වර්ෂ 4-5 සියවස වන විට මෙම ආරාම සංකිර්ණයේ සංවර්ධිත කාලය බව මෙහි හමු වන සෙල්ලිපි පවසනවා. ක්‍රිස්තු වර්ෂ 3-4 සියවසට අයත් සෙල්ලිපියෙහි කහවනු 100ක් ලබා දී වහලුන් නිදහස් කළ බවක් සඳහන් වන අතර ක්‍රිස්තු වර්ෂ 4-5 සියවසට අයත් දෙ වන ලිපියෙහි ආරාමයේ සිදු කෙරෙන අරියවංශ දේශනාව පැවැත්වීම සඳහා කහවනු පරිත්‍යාග කළ බව සඳහන්. ශිලා ලේඛනයට නුදුරින් සිදු කළ පුරාවිද්‍යා කැණීම මඟින් අරියවංශ දේශනාව පැවැත්වුවා යැයි සැකකරන එළිමහන් මණ්ඩපයක් සොයා ගෙන සංරක්ෂණය කර තිබෙනවා.
විහාර නාමය හැදුණු අයුරු
විහාරය හැඳින්වීමට වර්තමානයේ නයිගල යන වචනය භාවිත වුවත් ඒ පිළිබඳ කිසිදු ඓතිහාසික සඳහනක් හමු වන්නේ නැහැ. මෙහි දක්නට ලැබෙන සෙල් ලිපියක් අනුව එහි පැරණි නාමය කාලපබ්බත බව පේනවා. ආරාම සංකිර්ණය පිහිටා ඇත්තේ කිලෝ මීටර දෙකක් පමණ විහිදෙන කළු ගල්තලාවකයි. ක්‍රිස්තු වර්ෂ 4-5 සියවස් වන විට විහාරය හැඳින්වුයේ කාලහපබ්බත විහාරය නමින් බව උපකල්පනය කිරීමට ප්‍රමාණවත් සාධකයක් ලෙස සෙල්ලිපි වැදගත් වන බව බැරගම සද්ධානන්ද හිමියන් හා එච්.පී. අනුර ගුණවර්ධන පර්යේෂණ ලිපියක් ලියමින් පවසනවා.
විහාර බිමේ පිහිටි පළමු වැනි සෙල්ලිපියෙහි දෙවන පෙළහි කා(ළහ)පබව යනුවෙන් සඳහන් වෙනවා. සෙල්ලිපියේ කියවෙන්නේ මහවර (නම් ප්‍රදේශයේ වසන) සමාර නැමැත්තා කලහ පව (කාළහ පබ්බත) විහාරයට කහවනු 100 ක් දී වහරල මුදවන ලද බවත් එම පින සියලු සත්වයන්ට වේවා! යන්නත්. විහාරය වහලුන් සිටි මහා විහාරයක් බවත් ඉන් පැහැදිලි වෙනවා.
නයිගල යන නාමය ගැන සඳහන් ජනප්‍රවාදය මෙසේයි:
‘‘ක්‍රිස්තු පූර්ව 03 වැනි සියවසේ මහානාග යුව රජු අනුරාධපුරයෙන් රුහුණට පැමිණීමෙන් පසු ව මාලිගාව තනා ගෙන පදිංචිව ඇත්තේ වීරකැටිය මණ්ඩාඩුව ගමේ යි. එක් නියං සායක දී මාලිගාව ඉදිරිපසට පැමිණි සුදු නාගයකු මාලිගාව ළඟ සිට ආපසු හැරී ඇදී යන්නට වුණා. රජු නාගයා දැක ඌ පසුපස ගමන් කරන්නට වූ අතර එක්තරා ගල්තලාවක් මතදී නාගයා අතුරුදහන් ව තිබෙනවා. රජතුමා හා පිරිස එහිදී සිසිල් දිය පිරුණු පොකුණක් දැක සතුටට පත් ව එය මහා පුණ්‍ය භූමියක් බවට කල්පනාකර එහි විහාරස්ථානයක් ඉදි කිරීමට තීරණය කළා. එවිට නියඟය අවසන් ව මහ වැසි වැටෙන්නට පටන් ගත්තා. ඉන් පසු මහානාග රජු විහාරයක් ඉදිකර වන්දනාමාන කිරීම ආරම්භ කළා.‘‘
විහාරස්ථානයේ බෝධිය අසල ඇති ගල් පර්වතයේ කොටා ඇති නාගයකුගේ රූපයක් ද දැකගත හැකි යි. මධ්‍යතන යුගයේ පටන් එවැනි රූප කොටා ඇත්තේ කඩයිම් හෙවත් ගම්වල මායිම් සලකුණු ලෙස යි.
නයිගල නයිහැව ගැන අපූරු කතාවක් අදත් අසන්නට ලැබෙනවා. වැඩුණු පුද්ගලයකුගේ සිරුර ආවරණය කළ හැකි තරමේ අතිවිශාල නයිහැවක් මෙම විහාරස්ථාන භූමියේ තිබී හමු වී ඇති අතර ඒ කාලයේ නයිගල නයි හැව නමින් කවිකොළයක් ද නිර්මාණය කර එම නයි හැව ජනතාවට ප්‍රදර්ශනය කර තිබෙනවා. මෙම සිදුවිම සියැසින් දුටු වැඩිහිටියන් තවමත් මෙම විහාරස්ථානය ආසන්න ගමේ ජීවත් වෙනවා. මෙහි විශ්වසනීය බව ගැනනම් අපට ඇත්තේ සැකයක්. අදටත් කැලෑබද ප්‍රරදේශයක් තුළ පිහිටා ඇති නයිගල විහාරස්ථාන භූමිය නාගයන් බහුල ව ජීවත්වන පෙදෙසක්.
පුරාණ නටබුන්
ක්‍රිස්තු පූර්ව 03 වැනි සියවස තරම් ඈත කාලයක සිට පැවතෙන නටබුන් විහාර බිමේ සහ අවට පරිසරයෙත් අදත් විසිරී පවතිනවා. නාග පොකුණ, සෙල්ලිපි, ගල්තලාව මත පිහිටි බෝධිය, කැසිකිලිගල, පාදෙනි ගල, නටබුන් චෛත්‍යය, ආසනඝරය, කොරවක්ගල් යුගළය, එම නටබුන් අතර කැපී පෙනෙනවා.
පැරණි ගල්කණු සහ ගල් පාදම් කොටස් රාශියක් ද විහාර බිමේ දැක ගත හැකි යි. විහාරයේ දැක ගත හැකි පොකුණ නාග පොකුණ ලෙස හැඳින්වෙනවා. දිග අඩි 62ක් වන පොකුණ අඩි 9 ක් පළලින් ද යුක්ත යි.
පුස්කොළ පොත්
රුහුණේ පැරණි පුස්කොල පොත් ඇති ආගමික ස්ථාන අතර නයිගල රාජමහා විහාරයට සුවිශේෂ තැනක් හිමි වෙනවා. ත්‍රිපිටක පාලියට අයත් ග්‍රන්ථ, පාලි සූත්‍ර හා සූත්‍ර සන්න, පාලි ඡන්දස් අලංකාර, නිඝණ්ඪු වියරණ ග්‍රන්ථ ද ඡ්‍යොතිෂය, නක්ෂත්‍ර යන්ත්‍ර මන්ත්‍ර වෛද්‍ය පොත් පත් මෙන් ම සංස්කෘත ග්‍රන්ථ කිහිපයක් ද මේ විහාරයේ තැන්පත් කර තිබෙනවා. එමෙන්ම බුරුම, ලන්දේසි, ඉංල්‍රීසි වැනි භාෂාවන්ගෙන් ලියූ ඔප්පු තිරප්පු මෙන් ම රාජකීයයන් මෙම ස්ථානය වෙත පූජා කළ ප්‍රතිමා, කර්ණාභරණ, නිල ඇඳුම් ආදිය ද විහාරයේ පවතිනවා.
මහනුවර යුගයේ පුනර්ජීවනය
18 වන සියවසේ නයිගල බෞද්ධ පුනරුදයේ පුරෝගාමියා වුයේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගෙන් උපසම්පදාව ලැබු මුල්ගිරිගල විහාරාධිපති ධුරය දැරූ වටරක්ගොඩ ධර්මපාල හිමියන්ගේ පස්වන ශිෂ්‍යයා වු කටුවන අත්ථදස්සි හිමියන්. අත්ථදස්සී හිමියන් නයිගල විහාරයේ විහාරාධිපති ධූරයට පත් වන්නේ ක්‍රිස්තු වර්ෂ 1800 දී යි. පිළිම ගෙය 1865 දී නෙල්ලිගොඩ කොන්ඩඤ්ඤ හිමියන් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර පල්ලත්තර රතනපාල හිමියන් වැඩ නිම කරවා තිබෙනවා.
පිළිම ගෙයි දොරටුවට ඉහළින් ඇති මකර තොරණේ බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංඡනය මූර්තිමත් කර තිබෙනවා. විහාර ගෙයි උඩරට සම්ප්‍රදායේ සිතුවම් සහ මූර්ති දැක ගත හැකි යි. විහාර ගෙය අසල ම උඩරට යුගයේ ඉදි කළ බව සිතිය හැකි දාගබ ද පිහිටා තිබෙනවා. උඩරට රාජධානි යුගයේ දී විහාරස්ථානයට විශාල ඉඩම් ප්‍රමාණයක් පැවතුණ ද 1840 මුඩු බිම්පනත නිසා විහාරස්ථානය සතු ඉඩම් විශාල වශයෙන් අහිමි වී ඇති බව පැවසෙනවා.
නයිගල විස වෙද පරම්පරාව
ක්‍රිස්තු වර්ෂ 1908 දී පමණ මෙම විහාරස්ථානයේ අධිපතිත්වයට පත්වන දෙනගම ශිලානන්ද මාහිමියන්ගෙන් නයිගල වෙද පරම්පරාව ආරම්භ වූ බව සැලකෙනවා. පසුව අග්‍රහැරේ සෝමරතන මාහිමියන් (1954) හරහා පැවත ආ නයිගල වෙද පරම්පරාව වත්මනේ ඉදිරියට රැගෙන යන්නේ තලාවේ නන්දසාර හිමියනු යි. නයි විෂ ඇතුළු සර්ප විසට හා වසවිස වෙදකමට ප්‍රකට වෙද හාමුදුරුවරුන් මෙහි එදා පටන් වෙදකම කරනවා. පුරාණ හාමුදුරුවරුන් ලියූ “ සර්වාංග වෛද්‍ය ක්‍රමය” , “වස විස වෛද්‍ය ක්‍රමය”, “ සර්ප විස වෛද්‍ය ක්‍රමය”, “උන්මාද වෛද්‍ය ක්‍රමය” ආදී වෙද පොත් මෙහි පොත්ගුලේ තිබෙනවා. එහි වර්තමාන විහාරාධිපතින් වහන්සේ වන්නේ වකමුල්ලේ උදිත හිමියන්.