Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චෙකොස්ලොවැකියාවේ වෙල්වට් විප්ලවය​

1989 වසරේ දී නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් කඳවුර බිඳ වැටීම ලෝක ඉතිහාසයේ ප්‍රකට සන්ධිස්ථානයක් වුණා. බර්ලින් තාප්පය බිඳ වැටීම මෙහි ප්‍රධානම අවස්ථාව යි. නමුත් අනෙකුත් කොමියුනිස්ට් රටවල ද ආණ්ඩු බිඳ වැටුණා. චෙකොස්ලොවැකියාවේ වෙල්වට් විප්ලවය එයින් එක් අවස්ථාවක් වුණා.

පැරණි සෝවියට් කඳවුරේ රටවල් අතුරින් චෙකොස්ලොවැකියාව සුවිශේෂී රටක්. එය අනෙක් රටවල් මෙන් නොව, පළමු සහ දෙවන ලෝක යුද්ධ අතර කාල සීමාවෙන් බොහෝ කලක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් පැවති රටක්. එම තත්ත්වය වෙනස් වූයේ 1938 සහ 1939 වසරවල ජර්මනිය විසින් එම රට යටත් කිරීමෙන් පසුව යි. අනෙකුත් සෑම නැගෙනහිර යුරෝපා රටක් ම ලෝක යුද්ධ දෙක අතර කාලය ඒකාධිපති පාලකයන් යටතේ පාලනය වුණා.

කොමියුනිස්ට් ආණ්ඩුව

දෙවන ලෝක යුද්ධය අවසානයේ සෝවියට් හමුදා විසින් චෙකොස්ලොවැකියාව මුදාගත් නමුත්, එහි එකවර ම කොමියුනිස්ට් පාලනයක් බිහි වූයේ නැහැ. කොමියුනිස්ට් පක්ෂය එරට ප්‍රධානම පක්ෂයක් වූ බව සත්‍යයක්. 1946 දී පවත්වන ලද මහ මැතිවරණයෙන් එය චෙකොස්ලොවැකියා පාර්ලිමේන්තුවේ විශාලම තනි පක්ෂය බවට පත් වූ නමුත්, ඔවුනට ලැබුණේ ආසන 300කින් 93ක් පමණයි. එය ලද ඡන්ද ප්‍රතිශතය සියයට 31.2ක්.

චෙකොස්ලොවැකියාවේ කොමියුනිස්ට් පාලනය ස්ථාපිත වුණේ, 1948 පෙබරවාරි 25 වන දා යි. මෙය කොමියුනිස්ට්වාදීන් විසින් චෙකොස්ලොවැකියාවේ පෙබරවාරි විප්ලවය ලෙසත්, කොමියුනිස්ට් විරෝධීන් විසින් පෙබරවාරි කුමන්ත්‍රණය ලෙසත් හඳුන්වනු ලබනවා. මේ අනුව 1948 පෙබරවාරියේ දී ක්ලේමන්ට් ගොට්වාල්ඩ් චෙකොස්ලොවැකියාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වුණා. එම වසරේ ම ජූනි මාසයේ දී ඔහු, ජනාධිපති ධූරයට පත් වුණා.

ගොට්වාල්ඩ් (irozhlas.cz)

1953 සිදු වූ ගොට්වාල්ඩ්ගේ මරණින් පසුව චෙකොස්ලොවැකියාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධූරයට පත් වූයේ ඇන්ටොනින් නොවොට්නි. ඔහු ද පසුව එරට ජනාධිපති ධූරයටත් පත් වුණා. 1968 ජනවාරි 5 වන දා ඔහු ව පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් ඉවත් කළ අතර, එම වසරේ ම මාර්තු මාසයේ දී ඔහු ජනාධිපති ධූරයෙනුත් ඉවත් කෙරුණා. මෙය ප්‍රාග් වසන්තය නමින් හැඳින්වෙන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ ඇරඹුම සනිටුහන් කළා. එහි නායකයා වුණේ නොවොට්නි වෙනුවට පක්ෂ මහ ලේකම් ධූරයට පත් වූ ඇලෙක්සැන්ඩර් ඩුබ්චෙක්.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සෝවියට් දේශයේ සතුටට හේතු වූයේ නැහැ. එහි ප්‍රතිඵලය වුණේ 1968 අගෝස්තු 20 වන දා සෝවියට් හමුදා විසින් චෙකොස්ලොවැකියාව ආක්‍රමණය කිරීම යි.

චෙකොස්ලොවැකියා ගුවන්විදුලි මූලස්ථානය කරා සෝවියට් යුධ ටැංකි ගමන් කරයි (Czech Press Agency)

සෝවියට් දේශය ඇතුළු වෝර්සෝ ගිවිසුමට අයත් රටවල් චෙකොස්ලොවැකියාව ආක්‍රමණය කිරීම පිළිබඳ මෙම ලිපියෙන් වැඩිදුර කියවන්නට පිළිවන්: සෝවියට් දේශය විසින් කළ චෙකොස්ලොවැකියා ආක්‍රමණය

ඩුබ්චෙක් ව හෝ එවක ජනාධිපති වූ ලුඩ්වික් ස්වෝබොදා ව එකවර ම තනතුරුවලින් ඉවත් කෙරුණේ නැහැ. නමුත් ඔවුනගේ ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රමක්‍රමයෙන් නවතා දමනු ලැබුණා. 1969 අප්‍රේල් මාසයේ දී පක්ෂ මහ ලේකම් ධූරයට ස්ලොවැක් ජාතිකයෙකු වූ ගුස්ටාව් හුසාක් පත් කෙරුණා. 1975 දී ඔහු ජනාධිපති ධූරයට ද පත් කෙරුණා. 1987 දී කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් ධූරයෙන් ඔහු ඉවත් වූ නමුත්, වෙල්වට් විප්ලවය තෙක් ම ජනාධිපති ධූරය දැරුවා.

විරෝධය​

කොමියුනිස්ට් පාලනයට එරෙහි චෙකොස්ලොවැකියානු ජනතාවගේ විරෝධය පැහැදිලි වූ එක් අවස්ථාවක් වූයේ 1969 ජනවාරියේ දී යාන් පලාක් නම් තරුණ ශිෂ්‍යයාගේ සියදිවි නසාගැනීම යි. විසි හැවිරිදි සිසුවෙකු වූ පලාක්, 1969 ජනවාරි 19 වන දා සිරුරට ගිනි තබාගෙන මියගියේ චෙකොස්ලොවැකියාවේ අගනුවර වූ ප්‍රාග් නගරයේ දී යි.

1968 ආක්‍රමණයෙන් පසුව සෝවියට් හමුදා චෙකොස්ලොවැකියාවේ රඳවන ලද නමුත්, ඔවුන් සාමාන්‍යයෙන් වැඩිපුර පෙනෙන්නට සිටියේ නැහැ. නොදන්නා අයෙකුට එම රට සෝවියට් බලපෑම යටතේ පවතින රටක් ලෙස නොපෙනී යන්නටත් ඉඩ තිබුණා. නමුත් සෝවියට් හමුදා නොවන්නට එම රටේ කොමියුනිස්ට් පාලනය වැඩිකල් නොපවතින බව පැහැදිලි කරුණක්.

ගුස්ටාව් හුසාක් (irozhlas.cz)

චෙකොස්ලොවැක් ජනතාව සහ බුද්ධිමතුන් අතරින් විරෝධතා දැක්වීම් විවිධ අවස්ථාවන් හි මතු වුණා. 77 ප්‍රඥප්තිය එවැනි අවස්ථාවක්. මානව හිමිකම් සුරැකීම පිළිබඳ චෙකොස්ලොවැක් රජයේ අසාර්ථකත්වය විවේචනය කළ මෙම ලියවිල්ල සඳහා අත්සන් එකතු කිරීම 1976 අවසානයේ දී ආරම්භ වුණා. 1977 ජනවාරි 6 වන දා පළකෙරුණ මෙම ලියවිල්ල බටහිර පුවත්පත් කිහිපයක පළ වුණා. මෙය චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් පාලනයට එරෙහි සටනෙහි වැදගත් ම ලියවිල්ල බවට පත් වූ අතර, ඒ ඔස්සේ ගොඩනැඟුණ විරෝධතා ව්‍යාපාරයට ද 77 ප්‍රඥප්තිය යනුවෙන් නම් තබා තිබෙනවා.

වක්ලාව් හවෙල් (vaclavhavel-library.org)

විවිධ ක්ෂේත්‍රයන් හි වෘත්තිකයන්, කලාකරුවන් ආදීන් 77 ප්‍රඥප්තිය අත්සන් කළ අතර, ඒ සමහරෙක්ට එරෙහිව රජය විසින් දැඩි පියවරයන් ගනු ලැබුණා. 77 ප්‍රඥප්තිය බෙදාහැරීම අපරාධමය වරදක් ලෙස සැලකුණා. මෙම ව්‍යාපාරයට සම්බන්ධ වූ මුල් පෙළ නායකයන් බොහෝ දෙනෙක් පසුකලෙක චෙක් සහ ස්ලොවැක් දේශපාලනයේ වැදගත් චරිත බවට පත් වුණා. චෙකොස්ලොවැකියාවේ කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමෙන් පසු එරට ජනාධිපති ධූරයට පත් වූ වක්ලාව් හවෙල් එවැන්නෙක්.

වෙල්වට් විප්ලවය

නැගෙනහිර යුරෝපයේ සමහර රටවල දේශපාලනික අර්බුද ඇති වෙමින් පැවතුණ ද, 1989 වසරේ බොහෝ කලක් යන තුරු චෙකොස්ලොවැකියාව නිහඬ ව පැවතියා. බර්ලින් තාප්පය බිඳ වැටීමෙන් පසුවත් මෙම තත්ත්වය ඒ ආකාරයෙන් ම පැවතුණා.

මෙම තත්ත්වය වෙනස් වුණේ 1989 නොවැම්බර් 17 වන දා පවත්වන ලද සිසු විරෝධතාවයක් හේතුවෙන්. නොවැම්බර් 17 යනු අන්තර්ජාතික ශිෂ්‍ය දිනය යි. එය සමරන ලද්දේ 1939 නොවැම්බර් 17 වන දා නට්සීන් විසින් චෙකොස්ලොවැකියාවේ සිසු විරෝධතාවක් මැඩ පැවැත්වීම සැමරීමට වීමත් විශේෂත්වයක් වුණා. එම සිද්ධියේ 50 වන සංවත්සරය දිනයේ ම එම සිද්ධිය සිදු වූ රටේ ම යළිත් සිසු උද්ඝෝෂණයක් මතු වීම දෛවයේ සරදමක් මෙන් වුණා. නමුත් 1939 උද්ඝෝෂණය මෙන් නොව 1989 උද්ඝෝෂණය සාර්ථක වීමට නියමිත ව තිබුණා.

සිසු උද්ඝෝසණය සංවිධානය කළේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ සමාජවාදී තරුණ එකමුතුව යි. නමුත් මීට සහභාගී වූවන් විසින් එය කොමියුනිස්ට් විරෝධී උද්ඝෝෂණයක් බවට පෙරළා ගත්තා. මීළඟ දිනවල දී පවත්වන ලද කොමියුනිස්ට් විරෝධී විරෝධතා සහ වැඩවර්ජන සඳහා මෙය සංඥාවක් බවට පත් වුණා. සිසුන් පන්ති වර්ජනය කිරීමට පටන් ගත් අතර, වෙනත් ක්ෂේත්‍ර කරා ද වැඩ වර්ජන රැල්ලක් පැතිර ගියා. ප්‍රාග් නගරයේ මෙන්ම වෙනත් ප්‍රධාන නගරයන් හි ද වැඩවර්ජන සහ උද්ඝෝෂණ ඇති වුණා. ප්‍රාග් හි වෙන්සෙස්ලාස් චතුරශ්‍රයේ දැවැන්ත උද්ඝෝෂණ පැවැත්වුණා.

වෙල්වට් විප්ලවයේ උද්ඝෝෂණයක්. Svobodu යනු “නිදහස” යි (Getty Images)

නොවැම්බර් 19 වන දා උද්ඝෝෂණ ව්‍යාපාරයන් හි වැදගත් සන්ධිස්ථානයක් වුණා. 77 ප්‍රඥප්තිය ව්‍යාපාරය සහ වෙනත් සංවිධාන කිහිපයක් එක්ව ප්‍රජා සභාව නම් වූ විරෝධතා ව්‍යාපාරය සංවිධානය කළා. මීළඟ දිනවල දී ඔවුන් රජය සමග සාකච්ඡා සඳහා යොමු වුණා.

නොවැම්බර් 24 වන දා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් වූ මිලෝෂ් යාකේෂ් ඇතුළු සමස්ථ සභාපති මණ්ඩලය ඉල්ලා අස් වූ අතර, කරෙල් උර්බානෙක් මහ ලේකම් ලෙස පත් කෙරුණා. මධ්‍යස්ථ මතධාරී කොමියුනිස්ට්වාදියෙකු වූ උර්බානෙක්, පත් කිරීමෙන් බලාපොරොත්තු වූයේ ප්‍රතිසංස්කරණයන් හඳුන්වාදෙමින් කොමියුනිස්ට් පාලනය ආරක්ෂා කරගැනීම යි. නමුත් විරෝධතාකරුවන් ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම සඳහා කොමියුනිස්ට්වාදීන් කටයුතු කරන්නේ ය යන්න විශ්වාස කළේ නැහැ. ඔවුනට අවශ්‍ය වුණේ කොමියුනිස්ට් පාලනය ම පෙරළා දැමීම යි.

නොවැම්බර් 29 වන දා චෙකොස්ලොවැකියානු ෆෙඩරල් ව්‍යවස්ථාදායක සභාව විසින් එරට ව්‍යවස්ථාව වෙනස් කොට​, කොමියුනිස්ට් පක්ෂය සතු ව පැවති ප්‍රමුඛ ස්ථානය අහෝසි කළා. මෙය නව දේශපාලන පක්ෂ සඳහා අවස්ථාව ඇති බවටත් කොමියුනිස්ට් පාලනය අවසන් බවටත් සංඥාවක් වුණා.

දෙසැම්බර් 10 වන දා කොමියුනිස්ට්වාදීන් නොමැති නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දුන් අතර, ඉන් සුළු මොහොතකට පසු ගුස්ටාව් හුසාක් ජනාධිපති ධූරයෙන් ඉවත් වුණා. ඔහුගේ තැන ගත්තේ වක්ලාව් හවෙල් විසින්. ඔහු දිවුරුම් දුන්නේ දෙසැම්බර් 29 වන දා යි.

නව රජය විසින් සෝවියට් හමුදා රටින් පිටමං කිරීම සඳහා සෝවියට් දේශය සමග එකඟත්වයක් ඇති කරගත්තා. 1990 ජූනි මාසයේ දී නිදහස් මහ මැතිවරණයක් පවත්වනු ලැබුණා.

මින් පසුව, චෙකොස්ලොවැකියාවේ කොටස් දෙක වූ චෙක් ජනරජය සහ ස්ලොවැකියාව වෙන් විය යුතු ය යන අදහස ප්‍රචලිත වූ අතර, පැරණි කොමියුනිස්ට් පක්ෂය ඇතුළු ඇතැම් පාර්ශවයන් හි විරෝධතා මධ්‍යයේ වුව ද එය ක්‍රියාවට නැඟුණා. මේ අනුව 1993 ජනවාරි 1 වන දා සිට චෙකොස්ලොවැකියාව නිල වශයෙන් චෙක් ජනරජය සහ ස්ලොවැකියාව යන රටවල් දෙක බවට පත් වුණා.

කවරයේ පින්තූරය: වෙන්සෙස්ලාස් චතුරශ්‍රයේ දැවැන්ත උද්ඝෝෂණයක් (Brian Harris)

මූලාශ්‍රය:

Rebirth: A History of Europe Since World War Two by Cyril E. Black, Jonathan E. Helmreich, Paul C. Helmreich, Charles P. Issawi, A. James McAdams. Westview Press (1992)

Related Articles