කාතුළත් කුතුහලය දනවන මහා ජනප්‍රවාදයක් වන රාම – රාවණ යුද්ධයේ දී හනුමන්තා ගෙන ආ කඳු කොටස වැටුණු බවට විශ්වාස කරන ස්ථාන අතරින් දොළුකන්ද එක් තැනක්. දොළුකන්ද පිහිටා තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල මැතිවරණ කොට්ඨාසයේයි. පුරාණයේ පටන් ම මේ අවට ජනාවාස පැතිර තිබුණු බවට සාධක වශයෙන් ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල්ලිපි කිහිපයක් ම කඳු පාමුල ලෙන් විහාරවල හමුවෙනවා.
ගමන් මාර්ගය
පසුගිය වසර කිහිපය තුළ දී රටේ පැතිර ගිය සංචාරක උනන්දුවත් සමඟ දෙළුකන්දත් බොහෝ තරුණයන් තරණය කරනා තවත් සුන්දර ගමනාන්තයක් බවට පත් ව තිබුණා. එහිදී වැඩිදෙනකු කන්ද වටා ගෙතුණු ඓතිහාසික වටිනාකම ගැන අවධානයක් යොමු කළ බවක් නම් පෙනුණේ නැහැ. අප දෙළුකන්ද තරණයට ගියේ දශක එකහමාරකට පමණ පෙරයි.
එහි දී අප ගමන් කළේ කුරුණෑගල සිට දඹුල්ල පාරේ ඉබ්බාගමුව හන්දියට පැමිණ එහි සිට පොල්පිතිගම පාරේ තවත් කිලෝ මීටර් අටක් පමණ පැමිණි විට හමු වන ගොඩගාල හන්දියෙන් හැරී දොළුව ගමට පියමං කිරීමෙන්. දොළුව ගම පිහිටා තිබෙන්නේ කඳුවැටිය පාමුල යි. ඒ ගමේ පිහිටි රණගිරිමඩ ලෙන් විහාරය අසලින් හැරී කඳු බෑවුම වෙතට වැටුණු අඩි පාරක ගමන් කර වනපෙතට ඇතුළු විය හැකියි. වනපෙත හරහා වෑවුම තරණය කළ විට කන්ද මතට පිවිසෙනවා. දොළුකන්ද මොන පැත්තෙන් නැග්ගත් ගස්, ගල් මුල් උඩින් අමාරුවෙන් තමයි නගින්න තියෙන්නේ. එහි යාමට පාර දන්න ගැමියකුගෙන් උදව් ලබාගැනීම වඩාත් ප්‍රවේසම්සහගත යි.
කන්ද මත ලෙන් කිහිපයක් මෙන්ම ඈත දර්ශනය ඉතා අලංකාර ව දිස්වන බැලුම් ස්ථාන කිහිපයක් ද පිහිටා තිබෙනවා.
සුන්දර කඳුවැටිය
පුරාණ බෙදීම් අනුව මේ කන්ද අයත් වන්නේ හිරියාල හත්පත්තුවේ තිත්තවැලි ගංදහය කෝරළේට යි. ප්‍රදේශයේ කැපී පෙනෙන භූ ලක්ෂණයක් වන දොළුකන්ද ඈතට පැහැදිලි ව හඳුනාගත හැක්කේ එහි හැඩය නිස යි. කඳුවැටියේ දිග කිලෝ මීටර් 16ක් පමණ වෙනවා. එහි උස අඩි 2000ක්. උතුරු- දකුණු දිසාගත ව පැතිර යන කඳුවැටියේ දකුණු කෙළවර සෘජු බෑවුමක් සහිත පර්වත කූටයකින් යුක්තයි. එහි අද්භූත ස්වභාවය නිසාම අතීතයේ පටන් ගැමියන් එම කොටස හඳුන්වන්නේ රාස්සගල කියලයි. සමහරුන් රාස්සමූණ කියලත් එම පර්වත කූටය හඳුන්වන බව අහන්නට ලැබුණා. මේ කන්ද දකුණින් නැලව, හකිරිල්ල, දොළුව, වෑවලගම යන ගම්වලට ද බටහිරින් හීපහුව, අරන්කැලේ යන ගම්වලටද මායිම් වෙනවා. උතුරින් පිහිටා තිබෙන්නේ කුඹුක්ගැටේ, හිරිපිටිය මාර්ගය යි. නැගෙනහිරින් මගලෙගොඩ, වේලිබැම්ම, හුණුපොල, මොරගොල්ල, බාරුබේ, ඔතුවෙල යන ගම් පිහිටා තිබෙනවා.
ඇළ දොළ කිහිපයක් ම මේ කන්දෙන් උපත ලබනවා. උතුරින් රාවණ ඇල්ල දොළත්, නැගෙනහිරින් දොළු ඇළත් ගලා බසිනවා. බස්නාහිරින් හුනුපොල දොළ ගලා බසිනවා. දකුණින් ගලා ගෙන යන්නේ දොළ පහර නම් ඇළ යි. මේ ඇළජල මාර්ගවලින් ලැබෙන ජලය අවට කුඹුරු වගා සරුසාර කරනවා.
1909 දී Ancient Ceylon පොත ලියූ හෙන්රි පාකර් සඳහන් කර ඇත්තේ දොළුකන්ද ගලේ දෙවියාට අධිගෘහිත ප්‍රදේශයක් ලෙස සලකන බවයි.
ආදිකාලීන සිංහලයෝ කඳුවල පිහිටි ගල්පර්වතවලට අරක්ගත් දෙවි දේවතාවන් ගැන විශ්වාස කළහ. මෙවැනි කඳුවල පර්වත සාමාන්‍යයෙන් දකුණට මුහුණ ලා තිබුණි. එවැනි එක් කන්දක් නම් දොළුකන්ද යයි පාකර් සඳහන් කරනවා.
ඉපැරණි ලෙන් විහාර
අනුරාධපුර යුගයට අයත් නටබුන් සහිත අරන්කැලේ ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේ මේ කන්දට ආසන්න ව කඳුපාමුල යි. ක්‍රිස්තු පූර්ව යුගයේ සෙල්ලිපියක් පිහිටි හිපව්ව ලෙන් විහාරයත් එයට යාබද ව පිහිටි පැරණි විහාරයක්.
කඳුබෑවුමේ පිහිටි රණගිරිමඩ ලෙන් විහාරයේ ද කටාරම් කොටන ලද ලෙන් 12ක් දැකගත හැකි යි. අඩි 60ක් දිගින් යුක්ත ප්‍රධාන ලෙනේ උතුරින් හා දකුණින් යන දෙපැත්තේ ම කටාරම් කොටා තිබෙනවා. එහි පැරණි දාගබක නටබුන් ද දකින්න තිබෙනවා. විහාරයට යාබද පෞද්ගලික ඉඩමක ද නටබුන් පැතිරිලා. කටාරම් කෙටූ ලෙන් තුනක්, පවුරු, ගොඩනැගිලි පාදම්, පියගැට පෙළ ආදිය එහිදි දැකගැනීමට පුළුවන්. දැනට ලෙන් දෙකක් විහාර ගෙවල් විදියට භාවිත කරනවා. විහාර මන්දිරය අසල ලෙනක් තුළ මහනුවර යුගයට අයත් කුඩා දාගබක් පිහිටා තිබෙනවා. මේ ලෙන්වල කොටා ඇති සෙල්ලිපි සංඛ්‍යාව පහක්. මෙම සෙල්ලිපි ක්‍රිස්තු පූර්ව 2-1 සියවස් අතර කාලයට අයත්. සෑම සෙල් ලිපියක ම කිසියම් ප්‍රභූවරයකු විසින් භික්ෂුන් වහන්සේට ලෙන් කරවා පූජා කිරීම ගැන සඳහන් වෙනවා. සෙල්ලිපි දෙකකම අබ නගරය ගැන සඳහන්. එය එකල පැවති විශාල නගරයක් බව පේනවා.
කන්ද වටා රාවණ ජනප්‍රවාද
රාවණ ජනප්‍රවාදය අනුව හනුමන්තා රාම – රාවණ යුද්ධයේ දී තුවාල ලත් ලක්ෂ්මනට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සංජීවනී පැළෑටිය අරන් ඒමට හිමාලයට යනවා. එහිදී හනුමන්තාට පැළෑටියේ නම අමතක වූ හෙයින් පැළෑටි වැවෙන කඳු කොටස ම ඔසවා ගෙන අහසින් එනවා. ඒ අතරමග දී කන්දේ කොටසක් කඩාවැටීමෙන් දොළුකන්ද ඇතිවූ බව පැවසෙනවා.
ඖෂධ වනයක් ලෙසින් නම් දරා ඇති නිසාම බුද්ධදාස රජු මෙම ඔසු උයනට අස් රියෙන් පැමිණ දෝලාවකින් කන්ද මතට පැමිණි බවට විශ්වාසයක් ද පවතිනවා.
මේ ජන කවියක දොළුකන්ද සඳහන් වන අන්දමයි:
පටුන ගම් සොඳයි දොළුකන්ද දෑලේ
පලවැල තිබෙයි එම කන්දේ හිමාලේ
ගල් වැඩ සොඳයි රජ දුටුගැමුණු තාලේ
මුහුද පෙනෙයි දොළුකන්දට වයිතාලේ
කන්දේ වනපෙත
මෙහි පැතිර තිබෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලෑවක්. එය මිනිසා සහ ජෛව ගෝල රක්ෂිතයක් ලෙස නම්කර තිබෙනවා. එහි විශාලත්වය අක්කර 1400ක්. ඒ වනාන්තරය මේ වනවිට බොහෝ තැන්වලින් විනාශ වෙලා. දැනට ඉතිරි ව පවතින්නේ කඳු මුදුන ආශ්‍රිත වන කුට්ටියක් පමණයි. හේන් වගාව නිසා අතීතයේ සිට ම විනාශ වූ වනාන්තරය කලකට පෙර දී ඉඩම් අල්ලා ගැනීමෙන් ද හානියට පත්වෙලා. 1950 -60 දශකයේ කඳු බෑවුමේ ඉඩම් බෙදා දී ගැමියන් පදිංචි කළ බව අපට අසන්නට ලැබුණා. වල් ඌරා, මීමින්නා, වැලිමුවා, හාවා, ඉත්තෑවා, වඳුරා ඇතුළු ක්ෂීරපායින් මෙහි ජීවත් වෙනවා. දොළුකන්දේ ස්වභාවික ඔසු වනය පුරාණයේ ප්‍රකටව පැවති ස්ථානයක්.
ගැමියන් විශ්වාස කරන්නේ බුද්ධදාස (ක්‍රිස්තු වර්ෂ 337-365) රජුගේ බෙහෙත් වනය මෙය බව යි. ඉරරාජ, සඳරාජ, ගරුඩරාජ, ජලරාජ, මහහැඩයා, කුඩාහැඩයා, මහපත්මය, කුඩාපත්මය, මහසුදනා, කුඩාසුදනා, පටීදාතු, වලස්ඇඳිරිය, වනරාජ, ජටාමකුට, බල්ලාකඩ, කළුවැල් ඇතුළු දුලබ බේත් පැළෑටි මේ වනයේ තිබුණු බව පැවසෙනවා.
දැන් නම් ඒ අතරින් බොහොමයක් වඳ වී ගොස් ඇති බව යි පේන්නේ. දැනට දශක පහකට පෙර නොයෙක් ප්‍රදේශවල සිට දක්ෂ වෙදැදුරන් දුර්ලභ ඖෂධ සොයා ගැනීම සඳහා මෙම වනයට ආගිය බව ගැමියන් පවසනවා.
දොළුකන්දේ නටබුන්
මහාවංශයේ සඳහන් දොළ පබ්බත මෙය විය හැකි බව සමහරුන් පැවසුවත් එය පිළිගැනීම අසිරු යි. වංශකතාවේ දැක්වෙන්නේ පණ්ඩුකාභය කුමරුන්ට රැකවරණය දුන් දොළ පබ්බතය මහවැලි නදීබඩ පිහිටි බව යි. මහසෙන් සහ ජෙට්ඨතිස්ස යන රජවරුන්ට ද මේ ගිරිකුල ආරක්ෂක ස්ථානයක් වූ බවට මතයක් පවතිනවා.
දොළුකන්ද මුදුනේ බළකොටුවක් තිබූ බවට හේතු රැසක් තියෙනවා. ගල වටේ තැනින් තැන ගල්කුට්ටිවලින් බැඳි පවුරක සලකුණු අදත් දැක ගැනීමට පුළුවන්. ඒ වගේම කන්ද මුදුනේ ගල් තලා දෙකක් අතර භූමියක පැරණි නටබුන් පුරාවස්තු තියෙනවා. එතැනට කියන්නේ මාලිගාතැන්න කියලයි.
දොළුකන්ද මුදුනේ එක් ස්ථානයක මුදුනක පැරණි දාගබක් යයි සැලකිය හැකි නටබුන් ද තිබෙන අතර එතැන හඳුන්වන්නේ වෙහෙරගල ලෙසින්. ඒ බොහොමයක් තැන් පුපුරුවා හැරලා හෝ වටේටම හාරලා නිදන් සොයා තියෙනවා. නිදන් හොරුන් ගේ ඒ අවකල් වැඩ නිසා දොළුකන්දේ පුරාවස්තු රැසක් විනාශවී ගොසින්. ඉතුරු ව තිබෙන ඒවා පවා දෙයක් හොයා ගන්න බැරි තරමට තැන තැන විසුරුවලා තියෙනවා.
ස්වභාවික පොකුණු තුනක් ද කන්ද මුදුනේ දැකගත හැකි යි. වැටකේ පොකුණ, දුනුකේ පොකුණ, කළුදිය පොකුණ ලෙස ඒවා හඳුන්වනවා.
හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වූ ඒ. එම්. හෝකාට් දොළුකන්ද ගැන පුරාවිද්‍යා වාර්තාවක සඳහන් කරන්නේ 1927 තරම් ඈත කාලයක යි. නමුත් මේ කන්ද ගැන පූර්ණ පුරාවිද්‍යා ගවේෂණයක් පසුකාලීනව සිදුවූ බවක් නම් අපට දැනගැනීමට ලැබී නැහැ.
දොළුකන්ද අරන්කැලේ සමීපයෙහි පිහිටි ඉපැරණි බළකොටුවකි. සීගිරියෙහි මෙන් මෙහි කොටු පවුරක් ගැන ඕවර්සියර් වාර්තා කළේය. එහෙත් කන්දට නැග විස්තර සොයා බැලීමට කාලයක් තිබුණේ නැත. මෙහි සිගිරිය සහ යාපහුව මෙන් බළකොටුවක් පවතින්නට ඇති බවට සැකයක් නැත. (Archaeological Survey of Ceylon -1927 A.M. Hocart)
භාවනා කළ ගල් ගුහා
දොළුකන්ද මුදුනට මඳක් පහළින් මෑත කාලයේ ස්වාමින් වහන්සේලා විටින් විට වැඩවාසය කළ ගල්ගුහා තියෙනවා. මේවා කටාරම් කෙටූ ගුහා නම් නොවේ. ආරණ්‍ය ස්වාමින් වහන්සේලා තමයි මේ තැන් සොයාගෙන, වැඩවාසය කරන්න කුටි තනා ගෙන ඉන්නේ. ස්වාමින් වහන්සේලා නැති කාලවලට ඇතැම් පිරිස් ගිහින් මේ තැන්වල නවාතැන් ගෙන පැමිණෙන බව පේනවා. තද වැස්සකට වුණත් නොතෙමී සිටිය හැකි මේ ගල් ගුහා සොබාදහමේ අපූරු නිර්මාණ ලෙස සැලකිය හැකි යි.