Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විනෝදය සඳහා අසල්වැසියාගේ දිවි හානි කළ ඇලීසා බුස්ටමන්ටේ

පසළොස් වියැති, එක්සත් ජනපදවාසී දැරියක වූ ඇලීසා බුස්ටමන්ටේ ආශ්‍රය කළ අයවලුන්ට වැටහී ගියේ, ඇය  මුරණ්ඩු ගති පැවතුම් තිබුණා වුව ද යහපත්, සාමාන්‍ය නව යුගයේ ඇමෙරිකානු තරුණියක බව යි. කෙසේ නමුත් මුහුණු පොත ඇතුලු ඇගේ සමාජ ජාලා ගිණුම්වල ඇය ලෝකයාට පෙන්වීමට උත්සාහ ගනිමින් සිටියේ තමන් කඩාකප්පල්කාරී මෙන්ම අපරාධ වැඩ කටයුතුවලට ප්‍රිය අයෙකු බව යි. මෙය නව යොවුන් වියෙහි පසුවන සමහරක් දෙනා අන් අයගේ අවධානය ලබාගැනීමට සිදුකරන එක්තරා උපක්‍රමයක් බැවින්, ඇගේ මේ හැසිරීම් පිලිබඳව කිසිවෙකුත් එතරම් තැකීමක් කළේ නැහැ. කෙසේ නමුත් ඇය සැබෑ ජීවිතයේ දීත් එය අත්හදා බැලීමත් සමග මුළු මහත් ඇමරිකාවම ඇවිලී ගියා.

අවුලෙන් පිරි කුඩා කාලය

ඇලීසා බුස්ටමන්ටේ උපත ලැබුවේ 1994 වසරේ ජනවාරි මස 28 වන දා ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ දී යි. බොහෝ සමාජ විරෝධීන්ට මෙන්ම ඇයට ද යහපත් ළමා වියක් උරුමව තිබුණේ නැහැ. 2002 වසරේ සිට 2009 වසර දක්වා ඇය හැදී වැඩුණේ සිය මිත්තණිය හා මුත්තණුවන් භාරයේ යි. ඇගේ මව මිචෙල් බුස්ටමන්ටේ මත්පැන් හා තවත් මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වී සිටි අයෙකු වූ අතර මේ නිසා සිර දඬුවම් පවා වින්දා. ඇගේ පියා වන සීසර් බුස්ටමන්ටේ ද අඩන්තේට්ටම් කිරීමේ සිද්ධියක් හේතුවෙන් සිටියේ සපිරි ගෙදර යි.

ඇලීසා බුස්ටමන්ටේ- Alyssa Bustamante/Facebook

ඇලීසාගේ මිත්තණිය හා මුත්තණුවන් ඇය හා ඇගේ බාල සොයුරු සොයුරියන් තිදෙනා තමන් සන්තකයට ගෙන මිසූරිහි පිටිසර පෙදෙසක් වන ශාන්ත මාටින්ස් වෙත ගියේ කුඩා දරුවන්ගේ මනස සුවපත් කිරීම සඳහා යි. මෙය සාර්ථක ව්‍යායාමයක් බැව් පෙනී ගියේ ඇලීසා පාසලේ දී හොඳින් දස්කම් දැක්වීම නිසා යි. සිය දමව්පියන්ගෙන් නොලැබුණු ආදරය, කරුණාව හා සැලකුම් මධ්‍යයේ ඇලීසා නිදහස්ව හැදී වැඩුණා. ඇය නිතරම තම මිතුරු මිතුරියන් සමග කෙලිදෙලෙන් කාලය ගත කළ අතර, කවි, ගීත, නිසදැස් වැනි දේ ද රචනා කළා. සිය පෙදෙසේ වූ පල්ලියට ද නිතර ගිය ඇය එහි ද ක්‍රියාකාරී සාමාජිකාවක වුණා.

මානසික ගැටළු

සියල්ල හොඳින් සිදුවන බැව් පෙනී ගිය ද ඇයට විශාල ගැටළුවක් ඇති බැව් පෙනී ගියේ 2007 වසරේ දී ඈ හදිසියේ සියදිවි නසාගැනීමට උත්සාහ කිරීමත් සමග යි. තියුණු ආයුධයක් ගෙන කිහිප විටක්ම සිය මැණික් කටුව පෙදෙස කපාගැනීමට උත්සාහ කිරීම නිසා රෝහල්ගත කෙරුණු ඇයට ප්‍රතිකාර ආරම්භ කෙරුණා. ඇයට මානසික පීඩනය ඇති බැව් හඳුණාගැණුනු අතර, ඒ සඳහා ඖෂධ නිර්දේශ කෙරුණා. නැවත නිවස කරා පැමිණි පසු ඇය සාමකාමී දිවි පෙවෙතකට හුරු වන බවයි පෙනෙන්නට වුණේ.

යහපත් දරුවෙකු ලෙස පිටත සමාජයට පෙනී ගිය ද සමාජ ජාල වෙබ් අඩවිවල නම් ඇය පෙනී සිටියේ වෙනස්ම පෞරුෂයකිනු යි. ඇගේ ට්විටර් ගිණුමෙහි ඇය වරක් සඳහන් කර තිබුණේ ඇය සමාජය හා වෛරයෙන් පසු වන බව යි. තව ද ඇය ‘නරක තීරණ විශිෂ්ට කතා මවන’ බැව් ද එහි සඳහන් කර තිබුණා. මීට අමතරව ඇගේ යූටියුබ් හා මයි ස්පේස් ගිණුම්වල තම විනෝදාංශය ලෙස ඇය සඳහන් කර තිබුණේ ‘මිනිසුන් මැරීම’ හා ‘කැපීම’ යි. ඇගේ එක් යූ ටියුබ් වීඩියෝවක සඳහන් ව තිබුණේ ඇය සිය බාල සොයුරන් දෙදෙනෙක් විද්‍යුත් ආරෝපිත වැටක් ඇල්ලීම සඳහා පොළඹවන ආකාරය යි.

සමාජ ජාලාවලට ඇලීසා නිකුත් කර තිබූ ඡායාරූපයක්- cbsnews.com

එලිසබෙත් ඕල්ටන් ඝාතනය

2009 වසරේ ඔක්තෝබර් මස 21 වන දා ඇලීසාගේ දිවියේ සුවිශේෂී දිනයක් වුණා. ඒ එදිය ඇය ඇගේ සිතෙහි වූ කුරිරුතම මෙන්ම පහත්ම ආශාවක් ඉටු කර ගැනීමට සමත් වීම නිසා යි.

නව හැවිරිදි එලිසබෙත් ඕල්ටන් ජීවත් වූයේ ඇලීසා සිටි නිවසට නිවෙස් කිහිපයක් ඈතින්. ඇය නිතරම ඇලීසා හා ඇලීසාගේ සොයුරු සොයුරියන් සමග ක්‍රීඩා කරන්නට පැමිණියා. ඔක්තෝබර් මස 21 වන දින සවසත් එලිසබෙත් සිය නිවසෙන් නික්මී ගියේ බුස්ටමන්ටේ සොයුරියන් සමග කෙළි දෙලෙන් ගත කිරීම සඳහා යි.

සවස 6 වන විටත් එලිසබෙත් නැවත නොපැමිණි නිසා ඇගේ මව ඒ පිළිබඳව විමසිලිමත් වුණා. සිතට දැනුණු අසහනය නිසා මේ පිළිබඳව ඇය වහාම පොලිසිය දැනුවත් කළ අතර, එලිසබෙත් සොයා පරීක්ෂණ ඇරඹුණා.

ගෙයින් ගෙය යමින් සිටි එෆ්.බී.අයි නිලධාරීන් කිහිප දෙනෙක් ඇලීසාගේ නිවසට ද පැමිණියා. ඇලීසා අසහනකාරී ලෙස හැසිරෙනු ඔවුන් නිරීක්ෂණය කළා. එමෙන්ම ඇගේ දිනපොතෙහි තිබූ සමහර මතභේදාත්මක කරුණුත් ඔවුන්ගේ සැකයට තුඩු දුන්නා. මේ අතර ඔවුන් දුටුවේ එම ගෙවත්තේ මිනීවලක ප්‍රමාණයකට වලක් හාරා ඇති බව යි. මේ පිළිබඳව ප්‍රශ්න කරන ලදුව ඇලීසා පවසා සිටියේ තමන් විනෝදාංශය ලෙස එලෙස වලවල් හාරන බව යි. මේ පිළිබඳ සැක සිතූ ඔවුන් දැඩි ලෙස ගෙවත්ත පරීක්ෂා කළ අතර, එහිදී කොළ රොඩුවලින් වසන ලද තවත් වලක තිබී එලිසබෙත්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර හමුවුණා.

එලිසබෙත් ඕල්ටන්- Tanvir Ahmed/ findagrave.com

වහාම ඇලීසා පොලිස් භාරයට ගැණුනු අතර ඇයට එරෙහිව මිනිමැරුම් චෝදනා ගොණු වූයේ අසල්වැසියන්ගේ දෑස් උඩ හිඳුවමිනු යි.

නඩු විභාගය

පොලිසිය පැමිණීමට පෙර ඇලීසා ඇගේ දිනපොතේ, තමන් එලිසබෙත් ඝාතනය කිරීමෙන් පසු සතුටු වූ ආකාරය ලියා තිබූ සටහන විකෘති කිරීමට උත්සාහ ගෙන තිබුණා. කෙසේ නමුත් ඇය ලියා තිබූ දේ නිවැරදිව හඳුනාගන්නව බලධාරීන් සමත් වුණා. එහිදී ඇය එලිසබෙත්ගේ ගෙල සිර කර මැරූ ආකාරය මෙන්ම,  අනතුරුව ඇගේ ගෙල කපා, පිහියෙන් ඇන්න ආකාරයත් හොඳින් පැහැදිලි කර තිබුණා. ඇය වැඩි දුරටත් දක්වා තිබුණේ මේ ඝාතනයෙන් පසු ඇය ‘පහසුවෙන් කළ නොහැකි යමක් කළ’ බවට උදම් ඇනූ බව යි.

ඇලීසාට එරෙහි නඩු විභාගය අතරතුර ඇය පාපොච්ඡාරණයක් කළා. මෙහිදී ඇය එලිසබෙත් ඝාතනය කළ ආකාරය මෙන්ම ඇගේ සිරුර වැළලූ ආකාරයත් විස්තර කළා. මේ අනුව ඇය චෝදනාවලට වැරදිකරු බවට ඔප්පු වුණා.

ඇලීසා වරදකරියක බවට ඔප්පු වුව ද දඬුවම් පැමිණුවීමට ඇගේ වයස බාධාවක් වුණා. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 18 සම්පූර්ණ නොවී තිබීම නිසා, මෙවැනි ඝාතනක් කිරීමට හිමිවන මරණ දඬුවම ඇයට නියම කරන්නට මිසූරිහි නීතියට ඍජු හැකියාවක් තිබුණේ නැහැ. මේ හේතු නිසා ඇයට එරෙහි නඩු විභාගය දිනෙන් දින කල් ගියා. වසර 18 පිරීමට පෙර ඇය සිය වරද පිළිගතහොත් මරණ දඬුවමින් ගැලවිය හැකි බැව් මෙන්ම සිර දඬුවම් ද විශාල වශයෙන් අඩු වනු ඇතැ යි සිතූ ඇලීසා එලෙස එක් වරම වරද පිළිගත් බැව් පසුකාලීනව ඇය පවසා තිබුණා. මේ අනුව ඇයට වසර 30කට පසු නිදහස් වීමේ යම් අවකාශයක් පවතින්නේ යැ යි ඇය විශ්වාස කළා. කෙසේ නමුත් ඇයට එරෙහි දඬුවම් විශාල වශයෙන් අඩු නොවූ අතර, මරණ දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට පත් කෙරුණා.

ඇලීසා නඩු විභාගය අතරතුර- pinterest.com

පසුවදන

මියගිය එලිසබෙත් ගේ මව ඇලීසාට ලැබුණු දඬුවම පිළිබඳව කිසි ලෙසකින් සෑහීමකට පත් වූයේ නැහැ. ඇය පැවසුවේ ඇලීසා හට උරුම මරණ දඬුවම බව යි. මේ ගැන පවසමින් ඇය 2015 වසරේ දී නඩු මඟට බැස්සා. එමෙන්ම ඇය ඇලීසාගෙ මානසික ගැටළුවලට ප්‍රතිකාර කළ අයවළුනටත් චෝදනා කළා. පසුකාලීනව ඇය හට ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක වන්දි මුදලක් ගෙවන ලෙස ඇලීසාගේ පවුල හට නියම කෙරුණා.

සිය මුල් ළමා වියේ දී මුහුණදුන් ගැටළු හේතුවෙන් නව යොවුන් දැරියක සිය ජීවිතයම අඳුරේ හෙළාගත්තේ ඒ ආකාරයෙනු යි.

Related Articles