මිනිසා ශිෂ්ටාචාරගත වී කෙටි කාලයකින්, තම අවශ්‍යතා සපුරාගැනීම පිණිස තමන් ජීවත් වූ වටපිටාවේ සුදුසු ම ස්ථානයක් තෝරා ගෙන සිය වාසස්ථාන මෙන් ම අනෙකුත් වැදගත් මර්මස්ථාන ද ඉදි කළා. කාලයාගේ ඇවෑමෙන් ඒවා නගර බවට පත් වූ අතර, ඉන් අනතුරු ව මහා නගර බවට ද පෙරළුණා. කාලයක් තිස්සේ මිනිසුන් දහස් ගණක් ගැවසී ගත් මෙම මහා නගර සමහරක් අද වන විටත් ක්‍රියාකාරී මට්ටමේ පවතිනවා. කෙසේ නමුත් සමහරක් නගර විවිධ හේතු නිසා විනාශ මුඛයට පත් වූවා. ඒවා අද වන විට කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් ඇත්තේ, ඒ පිළිබඳව ශේෂ පමණක් ඉතිරි කරමින්. මේ අතරට එකල ලොව විශාලත ම නගර හැටියට සැලකෙන කිහිපයක් ද එක් වුණා.
මේ එවැනි නගර කිහිපයක් පිළිබඳව ගෙන එන ලිපි පෙළක පළමුවැන්න යි. මෙම ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ එලෙස විනාශ වී ගිය ග්‍රීක සහ රෝම නගර ත්‍රිත්වයක් පිළිබඳව යි.
අක්‍රොටිරි – සන්තෝරිනී
ක්‍රීටයේ මිනෝවන් ශිෂ්ටාචාරයට එම නම ලැබී තිබෙන්නේ එහි රජ කළ මිනොස් නම් රජතුමාට අනුව යි. කෙසේ නමුත් මිනොවන් ශිෂ්ටාචාරය පිළිබඳව ලිඛිත සාක්ෂි හමුවන්නේ ඉතාමත් අඩුවෙන්. මේ නිසා ඇත්තෙන් ම ඔවුන් තම ශිෂ්ටාචාරය කුමන නමකින් හැඳින්වූවේ දැයි නිශ්චිත සාක්ෂි නොමැති අතර, ව්‍යවහාරයේ පහසුව සඳහා ඉතිහාසඥයන් මිනොස් රජතුමාට අනුව මෙම ශිෂ්ටාචාරයට ද නම තබා තිබෙනවා.
20 වන සියවසේ ලෝකයට නැවත හෙළිවනතුරු සියවස් ගණනාවක් මෙම ශිෂ්ටාචාරය පැවතියේ සම්පූර්ණයෙන් ම කාලයේ වැලිතලාවෙන් වැසී ගොසින්. කෙසේ නමුත් එම ශිෂ්ටාචාරයට අයත් ක්නොසොස් හි මාලිගයේ ශේෂ සොයාගැනීමත් සමඟ මෙම ශිෂ්ටාචාරය පිළිබඳ කරුණු ගණනාවක් ලොවට හෙළි වුණා.
මිනෝවන් ශිෂ්ටාචාරයේ ප්‍රධානත ම මර්මස්ථානයක් වන අක්‍රොටිරි පිහිටා තිබී ඇත්තේ සන්තෝරිනී දිවයිනෙ යි. එම දිවයිනේ ම පිහිටා ඇති ‘තේරා’ යමහල ක්‍රි.පූ 1600 දී පමණ විදාරණය වී මහා විනාශයක් සිදුකිරීම නිසා මිනෝවන් ශිෂ්ටාචාරය වැනසී ගිය බැව් ඉතිහාසඥයන්ගේ මතය යි. 1967 දී හඳුනා ගත් අක්‍රොටිරි බළකොටුව තුළ සෑහෙන පමණකින් සංරක්ෂණය වී තිබූ චිත්‍ර, කැටයම්, තුන් මහල් ප්‍රාසාදවල කොටස් මිනෝවන් ශිෂ්ටාචාරය දියුණු තත්ත්වයක පැවති බවට සාක්ෂි සපයනවා. එහි ජල සැපයුම් පද්ධතිය නිරීක්ෂණය කිරීමේ දී උණු ජලය හා සීතල ජලය දෙක ම බළකොටුවට ලබා ගෙන තිබුණු බවට අනුමාන කළ හැකි යි. මෙලෙස උණු ජලය ලබා ගෙන ඇත්තේ ඔවුනට අවසානය කැඳවූ යමහල පාමුල වූ ස්වභාවික උණු ජල උල්පත් මඟින් වීම ද සුවිශේෂී යි.
ටිම්ගාඩ් – ඇල්ජීරියාව
ටිම්ගාඩ් පෞරාණික නුවර පිළිබඳ ව පැරණි නවකතා වැනි ලියවිලිවල සඳහන් වෙනවා. එවකට සහරා කතර අසබඩ පිහිටි ඉතා කාර්යබහුල නගරයක් ලෙස සටහන් වී ඇති මෙය ට්‍රජාන් අධිරාජ්‍යයට අයත් ව තිබූ බවට සඳහන්. මෙම ටිම්ගාඩ් නුවර රෝමානු අධිරාජ්‍යයේ බිඳවැටීමෙන් අනතුරුවත් සාර්ථකව පැවත ආ අතර, පසුකාලීනව ඉතා සාර්ථක වෙළෙඳ නගරයක් බවට ද එය පත් වුණා. පස්වන සියවසෙහි සිදු වූ බිඳවැටීම්වලින් අනතුරු ව එය නැවත නැඟී සිටියේ ක්‍රිස්තියානි මධ්‍යස්ථානයක් ලෙස යි.
ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසෙහි මෙම නුවර සම්පූර්ණයෙන් පාහේ මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක් වූ අතර, මේ නිසා එහි සිටි සියලු ජනයා ඒ වෙතින් පලා ගියා. මංකොල්ලකරුවන් මෙම නගරය සම්පූර්ණයෙන් විනාශ කර, එහි වූ වටිනා කියන සියලු දේ සොරකම් කරන්නට කටයුතු කළේ, එහි වූ ඉදිරිකීම් ද කඩා බිඳ දමමිනු යි. අනතුරුව එය කෙමෙන් කෙමෙන් සහාරා කතරේ වැලිවලින් වැසී ගියා.
සහරා කාන්තාරය මධ්‍යයේ වැල්ලෙන් වැසී පිහිටීම නිසා මෙම නගරයේ නටබුන් සෑහෙන පමණකින් කාලයක් මුළුල්ලේ ආරක්ෂා වී තිබූ අතර, එය නැවත ගවේෂණය කළේ 1881 වසරේ දී යි. අද වන විට ඇල්ජීරියාව මෙහි වූ නටබුන් ඉතා හොඳින් සංරක්ෂණය කර තිබෙනවා. මෙහි රෝමානු ගෘහනිර්මාණ ශිල්පයට අයත් විස්කම් රාශියක් දැකගත හැකි යි. විශේෂයෙන් ට්‍රජන් ආරුක්කුව, නාන තටාක මෙන් ම ජුපිටර් දෙවියන් උදෙසා තැනූ දෙවොල සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය වී තිබෙනවා. මෙය රෝමයේ පැන්තියන් දෙවොල තරම් ම විශාල වන අතර, මේ නිසා ම එකල රෝම පාලකයන්ට ටිම්ගාඩ් කෙතරම් වැදගත් නගරයක් වූවා ද යන්න පිළිබඳ ව සාක්ෂි සපයනවා.
පැව්ලොපෙට්‍රි
අත්ලාන්තිසය පිළිබඳ ව කෙතරම් පත පොතෙහි සඳහන් ව තිබුණත්, ඇත්තෙන් ම එය පැවතියා ද නැති ද යන්න පිළිබඳ අදටත් කිසිදු පිළිගත හැකි සාක්ෂියක් සොයාගන්නට කිසිවකුත් සමත් වී නැහැ. ජනප්‍රවාදවල සඳහන් වන්නේ අත්ලාන්තිසය සම්පූර්ණයෙන් මුහුදට බිලි වූ බව යි.
ලොව පුරා ඉතිහාසය පිරික්සීමේ දී එම මතය සාධාරණ බවට හේතු සැපයෙන වෙනත් සාක්ෂි කිහිපයක් ම හමුවනවා. අත්ලාන්තිසයට අත් වූවා යැයි පැවසෙන ඉරණමට සමාන ඉරණමකට මුහුණ දුන් පෞරාණික නගර කිහිපයක ම නටබුන් සොයාගන්නට විද්‍යාඥයන් මේ වන විට සමත් වී තිබෙනවා. කලක් ග්‍රීසියේ ක්‍රියාත්මක වූ ජනාකීර්ණ නගරයක් වන පැව්ලොපෙට්‍රි ඊට හොඳ ම උදාහරණයක්.
පැව්ලොපෙට්‍රි නම් ග්‍රීක නගරයට මූලික අඩිතාලම වැටී තිබෙන්නේ ගල් යුගය තරම ඈත සමයක යි. පසුකාලීන ව මුහුදු කෑම නිසා මෙය සම්පූර්ණයෙන් ම මුහුදු ජලයෙන් යට වී ඇති අතර, වර්තමානය වන විට පවතින්නේ අඩි ගණනාවක් මුහුද යට යි. කෙසේ නමුත් මෙලෙස මුහුදු ජලයෙන් යට වී තිබීම නිසා, එහි වූ ශෛලමය ඉදිකිරීම් වැනි දේ මනාව සංරක්ෂණය වී තිබෙනවා. පැව්ලොපෙට්‍රි නගරය අවට සමහර පෞරාණික ස්ථාන මුහුදු මට්ටමෙන් ඉහළට වන්නට පිහිටා ඇති අතර, ඒවායේ ඉපැරණි ඉදිකිරීම් විනාශ වී ඇත්තේ, වර්තමානය වන විට ඊට ඉහළින් නවීන ඉදිකිරීම් සිදුකර ඇති නිසා යි. කලක ඉතා සශ්‍රීක ව තිබුණු පැව්ලොපෙට්‍රි නගරය මෙලෙස මුහුදු ජලයෙන් යට වී ඇත්තේ කාලයාගේ ඇවෑමෙන් සිදු වූ මුහුදු ජලය ඉහළ යාම නිසා සහ භූ කම්පනවලට ලක්වීමෙන් බැව් ඉතිහාසඥයන්ගේ මතය යි.