Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අප්‍රිකාවේ අබිරහස් නගරය: ග්‍රේට් සිම්බාබ්වේ

19 වන සියවස අගභාගය වන තුරුත් අප්‍රිකාවේ අභ්‍යන්තරය පිළිබඳ යුරෝපියානුවන් බොහෝ දේ දැන සිටියේ නැහැ. මේ නිසා එම භූමිය පිළිබඳ විවිධාකාර කටකතා නිර්මාණය වී තිබුණා. බයිබලයේ සඳහන් ෂීබා රැජිනියගේ රාජධානිය අප්‍රිකාව මැද සැඟ ව ඇති බව​, රත්‍රන් සම්පතින් අනූන ඔෆීරය නම් වූ නගරයක් පිළිබඳ පුරාවෘත්තය ආදිය මේ අතර ප්‍රධාන ව අසන්නට ලැබුණා.

මෙවන් පුරාවෘත්ත පිළිබඳ අසා දැනගත් දෙයින් අප්‍රිකාවේ අභ්‍යන්තරය ගවේෂණය කිරීමේ තදබල ආශාවක් ඇති වූ ජර්මන් ජාතික ගවේෂකයෙකු වූ කාර්ල් මෞක් 1865 දී අප්‍රිකාවට පැමිණියා. මෞක් ධනවතෙකු වූයේ නැහැ. විධිමත් අධ්‍යාපනය ලද්දෙකු වූයේත් නැහැ. නමුත් ඔහු බොහෝ දේ ගැන ස්වෝත්සාහයෙන් ඉගෙනගෙන තිබුණා. ඔහු අප්‍රිකාව ගවේෂණය සඳහා ජර්මන් භූ විද්‍යා ආයතනයට අයදුම් කළ විට එය ප්‍රතික්ෂේප වුණා. ඔහු ඉහළ පැලැන්තියේ අයෙකු නොවීම ඊට විශාල හේතුවක් වුණා. එහෙයින් ඔහු ඩර්බන් බලා එන නැවක නැවියෙකු සේ සේවයට බැඳී අප්‍රිකාවට පැමිණියා.

දකුණු අප්‍රිකාවේ පළමු වතාවට රත්‍රන් නිධි සොයාගත්තේ මෞක් බව ද විශ්වාසයක් පවතිනවා. නමුත් ඔහුට දේශගවේෂණය මිස රත්‍රන් පිළිබඳ ආශාවක් වූයේ නැහැ. 1871 දී ඔහු ලිම්පෝපෝ නදිය තරණය කර ඉන් ඔබ්බට ගමන් කළා. ඉපැරණි ඓතිහාසික නගරයක් පිළිබඳ ස්වදේශිකයන්ගෙන් දැනගත් මෞක් සිය අයහපත් සෞඛ්‍ය තත්ත්වය ද නොසලකමින් එය සොයා ගියා. අදටත් අබිරහසක් ව පවතින ඓතිහාසික ග්‍රේට් සිම්බාබ්වේ නගරය සොයාගන්නා ලද්දේ මෙම ආධුනික දේශගවේෂකයා විසින්.

ග්‍රේට් සිම්බාබ්වේ ජාතික ස්මාරකය

ග්‍රේට් සිම්බාබ්වේ නගරය වර්තමාන සිම්බාබ්වේ රාජ්‍යයේ ගිනිකොනදිග ප්‍රදේශයේ කඳුකරයෙහි පිහිටා තිබෙනවා. යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මෙහි නිල නාමය “ග්‍රේට් සිම්බාබ්වේ ජාතික ස්මාරකය​” වෙනවා.

ග්‍රේට් සිම්බාබ්වේ හි පුරාවස්තු ප්‍රධාන ප්‍රදේශයන් තුනක පැතිර පවතිනවා. ප්‍රදේශයේ උස්ම ස්ථානය වන සිම්බාබ්වේ කන්ද ඉන් එකක්. එහි ගල් පවුරුවලින් ආවරණය වූ ප්‍රදේශ දෙකක් තිබෙන අතර එකක් මෙම නගරයේ පාලකයන් ජීවත් වූ ස්ථානයක් ලෙස සලකනු ලබනවා. අනෙක වටා අතීතයේ දී සිම්බාබ්වේ හි හමු වූ විශේෂිත පක්ෂි ප්‍රතිමා හයක් තබා තිබුණු බව සඳහන් වෙනවා. එහෙයින් එය පූජනීය ස්ථානයක් වන්නට ඇතැ යි අනුමාන කෙරෙනවා.

සිම්බාබ්වේ කන්ද (Fanny Schertzer)

ග්‍රේට් සිම්බාබ්වේ හි දෙවැනි සහ වඩාත් ම ප්‍රකට කොටස වන්නේ ආවරණය කරන ලද ප්‍රධාන ප්‍රදේශය යි (The Great Enclosure). උසැති ඕවාලාකාර ගල් පවුරකින් එය වට කොට තිබෙනවා. මෙම පවුර උසින් වැඩි ම ස්ථානයේ මීටර එකොළහක් පමණ උසින් යුතු වෙනවා. මෙම ප්‍රදේශය තුළ නිවාස ද ඉදිකොට තිබුණා.

ග්‍රේට් සිම්බාබ්වේ හි තුන්වන සහ එතරම් ම ප්‍රකට නැති කොටස නිම්නය පුරා විසිරි පුරාවස්තු යි. හෙක්ටෙයාර 720ක පමණ වූ ප්‍රදේශයක් පුරා පැතිර ගිය එම පුරාවස්තූන් වැඩි ප්‍රමාණයක් ජනයාගේ නිවාස බව සැලකෙනවා.

ග්‍රේට් සිම්බාබ්වේ පිහිටීම (CNN)

ග්‍රේට් සිම්බාබ්වේ නගරය බලවත් ව සිටි කාලයේ එහි 15,000කට වැඩි ජනගහනයක් වාසය කළ බව විශ්වාස කෙරෙන අතර ඇතැම් ඇස්තමේන්තු අනුව එම ජනගහනය 25,000ක් පමණ වුව ද විය හැකියැ යි විශ්වාස කෙරෙනවා.

වෙළෙඳ සහ පරිපාලන මධ්‍යස්ථානයක්​

ග්‍රේට් සිම්බාබ්වේ හි ජනාවාස පිහිටුවන ලද්දේ ශෝනා ගෝත්‍රිකයන් විසින් 11 වන සියවසේ දී බව යි විශ්වාස කෙරෙන්නේ. සිම්බාබ්වේ කන්දෙහි වන ජනාවාසයන් හි එකල පටන් ජනයා වාසය කළ බවක් දිස්වනවා. ආවරණය කරන ලද ප්‍රධාන ප්‍රදේශයෙහි පවුරු ආදිය 14 වන සියවසට අයත් බව විශ්වාස කෙරෙනවා.

ග්‍රේට් සිම්බාබ්වේ හි ඉදිකිරීම් සඳහා අභාසය කොයි අයුරින් ලැබුණි ද යන්න විවාදාත්මක කරුණක්. ඉතිහාසඥයින් දන්නා එක් කරුණක් වන්නේ මෙවන් ලක්ෂණ පෙන්නුම් කෙරෙන ජනාවාස ප්‍රදේශය පුරා විසිර ඇති බව යි. විශේෂයෙන් ම වර්තමාන දකුණු අප්‍රිකාවේ පිහිටි මපුන්ගුබ්වේ එවන් එක් ඓතිහාසික ස්ථානයක් වුණා. විශාල ශේෂ කන්දක් වටා ගොඩනැගුණ එම ජනාවාසයෙහි කඳු මුදුනෙහි ගලින් ඉදිකළ පවුරුවලින් ආරක්ෂිත ව පාලක පන්තිය වාසය කළ අතර සාමාන්‍ය ජනයා එම කඳු පාමුල ජීවත් වුණා. 13 වන සියවසේ දී මපුන්ගුබ්වේ ජනාවාසය බිඳ වැටෙන අතර​, එම ජනයා ද උතුරට සංක්‍රමණය වූ බව විශ්වාස කෙරෙනවා. ග්‍රේට් සිම්බාබ්වේ ජනාවාසය දියුණු වූයේ මපුන්ගුබ්වේ බිඳ වැටුණ පසු බව යි විශ්වාස කෙරෙන්නේ.

ආවරණය කරන ලද ප්‍රධාන ප්‍රදේශය (Zimbabwe Tourism)

විශේෂයෙන් ම ලිම්පෝපෝ නදියෙන් උතුරේ වර්තමාන සිම්බාබ්වේ සහ මොසැම්බික් රටවලට අයත් ප්‍රදේශයන් හි ගලින් ඉදිකළ පවුරු සහිත ලොකු කුඩා ජනාවාස ගණනාවක් හමු වී තිබෙනවා. වත්මන් මොසැම්බික් හි මැනිකෙනි ඉන් ප්‍රධානම ජනාවාසයක් වෙනවා. මේ අනුව ග්‍රේට් සිම්බාබ්වේ යනු විශාල රාජ්‍යයක පරිපාලන මධ්‍යස්ථානය වන්නට ඇති බව විශ්වාස කෙරෙනවා.

ග්‍රේට් සිම්බාබ්වේ සහ මැනිකෙනි වැනි නගරවල පිටස්තර ලෝකය හා වෙළෙඳ සබඳතා පිළිබඳව ද සාධක හමු වී තිබෙනවා. විශේෂයෙන් ම ග්‍රේට් සිම්බාබ්වේට එපිටින් වූ ප්‍රදේශයන් හි සොයාගන්නා ලද රත්‍රන්, එම නගරයට ගෙන ඒමෙන් පසු එහි සිට තවත් වෙළෙඳ නගර හරහා වැටුණ වෙළෙඳ මාර්ග ඔස්සේ නැගෙනහිර අප්‍රිකා වෙරළෙහි වෙළෙඳ මධ්‍යස්ථාන කරා ද​, එතැන් පටන් අරාබිය​ හා චීනය ආදී ප්‍රදේශයන් කරා ද ගමන් කළ බව සඳහන් වෙනවා.

සුදු ජාතික නගරයක්

මුල්කාලීන ව දකුණුදිග අප්‍රිකාවේ යටත් විජිත පිහිටුවාගත් සුදු ජාතිකයන් විශ්වාස කළේ ග්‍රේට් සිම්බාබ්වේ යනු අප්‍රිකානු නගරයක් නොව සුදු ජාතිකයන් විසින් හෝ වෙනත් ජනතාවක් විසින් නිර්මාණය කරන ලද්දක් බව යි. මෙය ෂීබා රැජිණ විසින් ඉදිකරවූවක් බවට මෙම නගරය සොයාගත් කාර්ල් මෞක් තදින් ම විශ්වාස කළා. එමෙන්ම මෙය අබිරහස් ලෙස මෙම ප්‍රදේශයට පැමිණි සුදු ජාතික කණ්ඩායමක කටයුත්තක් බවට ද මතයක් වුණා. කෙසේ නමුත් වෙනත් කිසිදු ප්‍රදේශයක් නොමැති අනන්න්‍ය වූ ගෘහනිර්මාණ ශිල්පයක් මෙහි තිබීම ගැටලු මතු කළා.

ග්‍රේට් සිම්බාබ්වේ හි පටු පැසේජ​ (UNESCO)​

මෙම ගැටලුව නිරාකරණය කළේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙකු වූ බ්‍රිතාන්‍ය ජාතික​ ගර්ටෲඩ් කේටන් තොම්සන් විසින්. ගර්ටෲඩ් 1929 දී පෙන්වා දුන්නේ මෙම නගරය අප්‍රිකානුවන් විසින් ඉදිකරන ලද්දක් බව යි. එම මතය ඉදිරිපත් කිරීම හේතුවෙන් ඇය දකුණුදිග අප්‍රිකාවේ සුදු ජාතික පදිංචිකරුවන්ගේ අප්‍රසාදයට පත් වුණා. නමුත් ඇගේ මතය නිවැරදි බව පැහැදිලි ලෙස සනාථ වී තිබෙනවා. ඒ අනුව ග්‍රේට් සිම්බාබ්වේ යනු අප්‍රිකානු ජනතාව විසින් ඉදි කළ නගරයක් බව තහවුරු වුණා.

1450 පමණ වන විට මෙම නගරය අභාවයට ගියා. ඊට හේතුව ජනගහන වර්ධන වේගයත් සමග ඔවුනට ආහාර සපයා ගැනීමට වූ නොහැකියාව බව යි සලකනු ලබන්නේ.

1980 දී දකුණු රොඩීසියාව නිදහස ලැබූ අවස්ථාවේ එයට නම් තබන ලද්දේ සිම්බාබ්වේ යනුවෙන්. එරට ජාතික ධජයෙහි පක්ෂියකුගේ රුවක් ඇති බව ඔබට මතක ඇති. ග්‍රේට් සිම්බාබ්වේ නගරයෙන් හමු වූ සිම්බාබ්වේ පක්ෂි රුවට සමාන රූපයක් මෙසේ එරට ජාතික ධජයට එක්ව තිබෙනවා.

මූලාශ්‍රයයන්:

Related Articles