ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කඳුපාමුල වර්ග කිලෝමීටර් 13.05ක පුරා විහිදී ඇති නුවරඑළිය නිවාඩු නිකේතනයක් ලෙස ප්‍රකාශයට පත් කළේ සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා (1824-1831) යි. එයට පෙර සැමුවෙල් බේකර් වැන්නන් නුවරඑළිය ජනාවාසයක් ලෙස වර්ධනය කළා.
ක්‍රමයෙන් යුරෝපීයයන් රොඳ බැඳ ගත් මේ නිවාඩු නිකේතනය පසුව ඉහළ කඳුකර වතු වගාවටත් ජනප්‍රිය වුණා. අද වනවිට එළවළු සහ මල් වැවීමත් නුවරඑළිය අවට ප්‍රචලිත වෙලා. අදටත් නුවරඑළියට යන අපට යටත්විජිත මතක අලුත් කරන සිහිවටන රාශියක් දැකගත හැකි යි. ඒ අතරින් පැරණි හෝටල් සහිත ගොඩනැඟිලි කිහිපයක් ගැන විස්තර සොයා බැලීම මෙහි අරමුණ යි.
තැපැල් කන්තෝරුවේ නවාතැන් පොළ
නුවරඑළිය නගර මධ්‍යයට යන කාටත් කැපීපෙනන ලෙස දිස් වන වික්ටෝරියා ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත ගොඩනැඟිල්ල තමයි තැපැල් කාර්යාලය. එය මෙරට ඉදි කළ පැරණිත ම තැපැල් කාර්යාල අතුරින් එකක් ලෙස සැලකෙනවා. තැපැල් කන්තෝරුවකට එහා ගිය, නගරයට එන සංචාරකයන් නැරඹීමට යන තැනක් විදිහටත් මෙය පවතිනවා.
තැපැල් කන්තෝරුවේ සිහිවටන අලෙවිසලෙන් සමරු පෝස්ට් කාඩ්පතක් ගෙන තම ආදරණීයයන් වෙත යැවීමට ලංකාවට එන විදෙස් සංචාරකයන් බොහෝ කැමැත්තක් දක්වන බව දැන ගන්නට ලැබෙනවා.
යටත් විජිත අවධියේ බ්‍රිතාන්‍ය පාලකයන් මෙය ඉදි කළේ 1894 වර්ෂයේ දී බව තැපැල් කාර්යාලය පිළිබඳ වාර්තාවල දැක්වෙනවා. දෙමහල් ගොඩනැඟිල්ල නිමකර ඇත්තේ වික්ටෝරියා වාස්තු විද්‍යා ආකෘතිය අනුව යමින් සම්පූර්ණ රතු ගඩොලින්. පියස්සේ බෑවුමත් අධික යි. ගොඩනැඟිල්ලට සම්බන්ධ ව නිර්මාණය කොට ඇති ඔරලෝසු කණුව ගොඩනැඟිල්ලේ අලංකාරය ඉහළ නංවනවා. පිත්තල හා වානේවලින් නිර්මාණය කළ මෙම ඔරලෝසුව ක්‍රියාත්මක වන්නේ බර ලඹකැට මඟින්. කඳුකරයේ වතු වගා කරුවන්ගේ සහ විවේක ගැනීමට එන ඉංග්‍රීසි ජාතිකයන්ගේ තැපැල් අවශ්‍යතා සම්පූර්ණ කිරීමට යි මෙය එකල ඉදි කර තිබෙන්නේ. ඒ කාලයේ හැටියට මෙය විශාල ගොඩනැඟිල්ලක් වුණා. පසුකාලීන ව නවීකරණය කළත් අදටත් පැරණි ගෘහ නිර්මාණ අංග මේ ගොඩනැඟිල්ල තුළ ආරක්ෂා කර තිබෙනවා.
ඉහළ මහල සංචාරක නවාතැන්පළක්
2012 වර්ෂයේ දී මෙම තැපැල් කාර්යාලයේ ඉහළ මහල රුපියල් මිලියන 5.4 ක පමණ වියදමින් සංචාරක නවාතැන්පලක් ලෙස සංවර්ධනය කර තිබෙනවා. එහි 10දෙනකුට පමණ නවාතැන් ගත හැකි පහසුකම් තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයන්ට තැපැල් දෙපාර්තමේන්තුව හරහා එය වෙන්කර ගත හැකි යි.
ලෝක තැපැල් දිනයට සමගාමී ව නිකුත් කළ මුද්දරයක් සඳහාත් නුවරඑළිය තැපැල් කාර්යාලය යොදා ගෙන තිබෙනවා. මෙහි පෞරාණික වටිනාකම නිසා පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස 2007 පෙබරවාරි 23 වැනි දා නම් කළා.
බාන්ස් ආණ්ඩුකාර නිවස වුණු ග්‍රෑන්ඩ් හෝටලය
නුවරඑළියේ පැරණිත ම සංචාරක නවාතැන්පොළ ලෙස සැලකෙන්නේ ග්‍රෑන්ඩ් හෝටලය යි. වර්ෂ 2018 දී cnn travel වෙබ් අඩවිය මඟින් නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය ආසියාවේ හොඳ ම හෝටලයක් ලෙස නම් කර තිබෙනවා. එමෙන් ම 2018 දී ම නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය නිපද වූ අපූරු අතුරුපසක් ලෝක ප්‍රසිද්ධියට පත්වුණා. ඒ නුවරඑළියට ආවේණික වූ පලතුරක් වන ස්ට්‍රෝබෙරිවලින් සැකසුණු ස්ට්‍රෝබෙරි පීසාවක් වන අතර මෙය ලෝකයේ නිපදවූ විශාලත ම ස්ට්‍රෝබෙරි පීසාව ලෙස හැඳින්වෙනවා.
සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා නුවරඑළිය මහ හෝටලය පිහිටි ස්ථානයේ තමාගේ කඳුකර නිල නිවෙස ඉදි කර ගෙන විසූ බවට වාර්තාවල සඳහන් වෙනවා.එය තරමක් විශාල තනි මහලේ ගොඩනැඟිල්ලක්. පසුව එම නිල නිවාසය විශාල කර නවාතැන් පොළක් ලෙස සකස් කර තිබෙනවා. එය හැඳින්වූයේ බාන්ස් හෝල් නමිනු යි.
වැවිලිකරුවකු සහ ව්‍යවවස්ථාදායක සභාවේ නියෝජිතයකු වූ රෙජිනෝල්ඩ් ඩවුන්හෝල්, බාන්ස් හෝල් නවාතැන 1843 දී මිලදී ගෙන තිබෙනවා. ඔහුත් එය අමුත්තන්ගේ නවාතැනක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා. අවුරුදු 50කට පමණ පසුව 1891 දී මෙම ගොඩනැඟිල්ල මිලදීගත්තේ යුරෝපීයයන්ට අයිති ව තිබූ නුවරඑළිය හෝටල් සමාගම යි. ඔවුන් එහි නව ඉදිකිරීම් කර වැඩි පහසුකම් සහිත සංචාරක හෝටලයක් ලෙස එය නවීකරණය කළා. එම ගෘහනිර්මාණ සැලසුම් ද ඉංග්‍රිසි ටියුඩර් ක්‍රමයට සකස් කර තිබෙනවා. ඉන්පසු ව නුවරඑළියේ විශාලත ම හෝටලය යන අරුත දෙන ග්‍රෑන්ඩ් හෝටලය යන නම තැබුවා. අද දක්වා භාවිත වන්නේ ඒ නාමය යි.
ඉංග්‍රීසින්ගෙන් සහ වෙනත් සංචාරකයන්ගෙන් හෝටලයට විශාල ඉල්ලුමක් පැවතුණා. මේ නිසා ඉන්පසුවත් මෙහි නවීකරණ සහ පුළුල් කිරීමේ කටයුතු සිදු ව තිබෙනවා. 1892 දී එහි උතුරු අන්තය ඉදිකළ (Northern Wing) අතර අද එම කොටස හඳුන්වන්නේ ගවනර්ස් වින්ග් නමින්. 1904 දී හෝටලයට දෙවන මහලක් ද එක්වුණා. දකුණු අන්තයත් ඉදිවුණේ ඒ අවුරුද්දෙදි ම යි. ගොල්ෆ් පිටියට මුහුණ ලා ඇති නිසා එය හඳුන්වන්නේ ගොල්ෆ් වින්ග් නමින්.
1930 දී තමයි හෝටලයට තෙවන මහලක් ඉදිකර අද දකින ස්වරූපයට පත්වුණේ. එමෙන් ම එහි මුල් පදිංචිකරුවා සිහිපත් කරමින් හෝටලයේ බොජුන් හල බාන්ස් හෝල් ලෙස නම් කළෙත් 1930දි යි. ග්‍රෑන්ඩ් හෝටලයේ ඓතිහාසික අගය හේතුවෙන් 2007 පෙබරවාරි 23 වැනි දා එය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස නම්කර තිබෙනවා.
හිල් ක්ලබ්
යුරෝපීයයන්ට නුවරඑළියේ සමාජ ශාලාවක් නැතිවීමේ අඩුව සපුරාලමින් හිල්ක්ලබ් ආරම්භ වුණේ 1876දි යි. ඒ සඳහා මුල්වී තිබෙන්නේ ඩබ්ලිව්. එච්. වෝකර් සහ එච්. සෝන්ඩර්ස් නම් කෝපි වගාකරුවන් වුණු ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනා යි. ඔවුන් මුලින් ම කුඩා ගොඩනැඟිල්ලක බිලියඩ් කාමරයක් සහ අවන්හලක් ආරම්භ කර තිබෙනවා. මෙම සමාජ ශාලාව තැනීමට කෝපි, තේ, සහ සින්කෝනා වතු වගාකරුවන් මුල් වූ බව සඳහන්. මුල් කාලයේ එහි සියලු සාමාජිකයන් විදේශිකයන් වුණා.
සමාජ ශාලාවේ පළමු සභාපති ලෙස 1899 දී පත්ව ඇත්තේ එඩ්වඩ් රොස්ලින්. ක්‍රමයෙන් වඩාත් විශාල ව සංවර්ධනය වුණු හිල් ක්ලබ් අද දක්නට ලැබෙන පරිදි ඉංග්‍රීසි ගෘහ නිර්මාණ සැලසුමකට අනුව අලංකාර දෙමහල් කළුගල් ගොඩනැඟිල්ලකට පිවිසුණේ 1930දි යි. ගොඩනැඟිල්ල ඉදිරිපස පෝටිකෝව නිසා එයට වැඩි අලංකාරයක් ලැබී තිබෙනවා.
එය වඩාත් විශාල කර ඉදිකිරීමට මුල් වුණේ එංගලන්තය සහ කොළඹ මුල් කර ගත් ව්‍යාපාරික සමාගම් වන එඩ්වඩ්, රිඩ් සහ බෙග් යන ආයතන යි. සමාජ ශාලාවේ සාමාජිකත්වය මුලින් ම හිමිවුණේ විදේශික පිරිමින්ට පමණ යි. එය කොළඹින් පිටත පිහිටි වැඩිම පහසුකම් සහිත සමාජ ශාලාව ලෙස සැලකුණා. වර්ෂ 1967 සිට කාන්තාවන්ටත් මෙහි සාමාජිකත්වය විවෘත වුණා. සමාජ ශාලාව පිහිටා ඇත්තේ අක්කර 26ක ඉඩමක යි. ග්‍රෑන්ඩ් හෝටල පාරේ එය පිහිටා තිබෙනවා. අමුත්තන්ට නවාතැන් ගත හැකි කාමර 45කින් ද එය සමන්විත යි. අද වනවිට මෙහි දේශීය සහ විදේශීය සාමාජික සංඛ්‍යාව 750ක් පමණ වෙනවා.
කාන්තාවන්ට මෙන් ම පිරිමින්ටත් සාමාජිකත්වය ලබා ගත හැකි යුනයිටඩ් ක්ලබ් නම් සමාජ ශාලාව ද 1900 මුල් කාලයේ නුවරඑළියේ දී ආරම්භ කෙරුණා.
සෙන්ට් ඇන්ඩෘස් හෝටලය
මුලින් ම මෙම හෝටලය ඉදිකර තිබෙන්නේ 1875 දි යි. එංගලන්ත සිවිල් නිලධාරියකුට ආණ්ඩුව තිළිණ කළ බිම්කොටසක තමයි එය මුලින්ම තනා ඇත්තේ. එම ගොඩනැඟිල්ල ස්කොට් ක්ලබ් ලෙසයි පළමුවෙන් ඇරඹුණේ. ස්කොට් සමාජ ශාලාව ජර්මන් කළමනාකරුවකු යටතේ සෙන්ට් ඇන්ඩෘස් හෝටලය බවට පත්වන්නේ 1891දි යි. එහි මුල්ම කළමනාකරු හම්බට් නම් පුද්ගලයෙක්. එය පිහිටා ඇත්තේ නුවරඑළිය ගොල්ෆ් පිටියට යාබදව යි. ගොල්ෆ් පිටියේ දහවැනි ගස පිහිටා තිබුණේ ද හෝටල් බිමේ යි. දැනට දක්නට ලැබෙන ගොඩනැඟිල්ල අවුරුදු 132ක් පැරණි යි.
පළමු ලෝක යුද සමයේ දී මෙහි ජර්මන් කළමනාකරණය ඉවත්වන අතර 1918 දී හෝටලය ආතර් එඩ්වඩ් මිලදී ගන්නවා. මේ කාලයේ හෝටලය දෙමහල් ගොඩනැඟිල්ලක් ලෙසට වැඩිදියුණු කෙරෙනවා. නවීකරණය කළ හෝටලය 1919 නොවැම්බරයේ විවෘත කෙරුණා.
1924 දී ධනවත් ව්‍යාපාරික ජේම්ස් හෙන්රි ද සිල්වාගේ ඥාති සොහොයුරු එම්ප්‍රාස් එහි කළමනාකරුවකු ලෙස පත්වෙනවා. 1920 සහ 1930 අතර කාලයේ පැවති ලෝක ආර්ථික අර්බුදය නිසා 1930 දී හෝටලය වසා දමනවා. වර්ෂ 1933 දී ව්‍යාපාරික ජේම්ස් හෙන්රි ද සිල්වා පවුල එය මිලදී ගන්නවා. 1992 දී එය නවීකරණය කර අලුත් කාමර 24ක් ද එක් කළා. අද වන විට එය නුවරඑළියේ පුරාණ මතක අලුත් කරන හෝටලයක් ලෙස එය පවත්වාගෙන යනු දැකගත හැකි යි.