Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

සුවිශාල හිස් තැනූ ඔල්මෙක් ශිෂ්ටාචාරය

දහනම වන සියවස මැද භාගය වන විට මධ්‍යම ඇමරිකාවෙන් විශේෂිත​ පුරාවස්තු බොහොමයක් සොයා ගැනීමට හැකි විය. මෙම පුරවස්තු පරීක්ෂා කිරීමෙන් අනතුරුව අනාවරණය වූයේ එතෙක් සොයාගෙන තිබූ මධ්‍යම ඇමරිකාවේ කිසිදු ශිෂ්ටාචාරයකට මේවා නෑකම් නොකියන බවයි.

1862 වසරේ මධ්‍යම ඇමරිකාවේ ට්‍රෙස් සපොටෙස් හිදී ගලින් නිමවූ විශාල මිනිස් ප්‍රතිමාවක​ හිසක් හමුවිය. එකල ඇස්ටෙක්වරු මෙම ප්‍රදේශයේ සිටි ජනතාව හදුන්වන ලද්දේ ඔල්මෙක්වරු නමිනි. ඒ හේතුවෙන් මෙම පුරාවස්තු අයත් සංස්කෘතිය ඔල්මෙක් ශිෂ්ටාචාරය ලෙස හැදින්විණි.

බැසොල්ට් පාෂාණයෙන් නිමවන ලද සුවිශාල හිසක්. (gogringo.com)

මෙම සොයාගැනීමත් සමග පුරාවිද්‍යාඥයින්ට ප්‍රශ්න බොහොමයක් මතු විය. මෙම ශිෂ්ටාචාරයේ ගොඩනැගුවේ කිනම් ජන කොටසක් විසින් ද? ඔවුන් භාවිතා කල භාෂාව කුමක් ද? ඔවුන්ගේ එදිනෙදා ජීවිතය කෙබඳු වී ද? මේ අවට තිබූ අනෙක් ශිෂ්ටාචාර හා පැවැත්වූ සබඳතාව​ කෙසේ වීද? යන්න එම ගැටළු වලින් කිහිපයකි.ක්‍රම ක්‍රමයෙන් පරීක්ෂණ කරගෙන යන අතරතුර, මෙම ශිෂ්ටාචාරය මධ්‍යම ඇමරිකාවේ බිහිවූ ශිෂ්ටාචාරික ලක්ෂණ වලින් හෙබි මුල්ම ශිෂ්ටචාරය බවට සොයා ගැනීමට හැකි විය. ඔල්මෙක් ශිෂ්ටාචාරයට අයත් නටබුන් මූලික වශයෙන් ස්ථාන දෙකක කේන්ද්‍රගතව තිබුනි. ඒවා සාන්ත ලොරෙන්සෝ හා ලා වෙන්තා යන පහත්බිම් වෙරළාසන්න ප්‍රදේශයි.

ඔල්මෙක් ශිෂ්ටාචාරය පැතිරී තිබූ ප්‍රදේශ දැක්වෙන සිතියමක්. (wikipedia.org)

සාන්ත ලොරෙන්සෝ පිහිටි ප්‍රදේශ වනාන්තර අතරින් ගංගා ඇළ දොළ ගලා බසින ප්‍රදේශයක් වූ බැවින් කෘෂිකාර්මික නිශ්පාදන උත්පාදනය කිරීමේ හැකියාවක් සතු විය. මෙම ප්‍රදේශයේ සිටි වැසියන්ගේ වාස්තු විද්‍යා දැනුම මොනවට පැහැදිලි කරන නිදසුනකි මෙහි පිහිටා ඇති රතු මාලිගය. අඩි 165 ක් උස ගොඩනැගිල්ලක් මුදුන සමතලා කර ඒ මත ගොඩනැගිලි ඉදි කර තිබේ. මෙහි ප්‍රධාන ගොඩනැගිල්ල රතු මාලිගයයි. එය වටා දිය අගලක්ද ඉදි කර තිබී ඇත. මෙම මාලිගය ප්‍රභූවරයෙකුට අයත් බව සැලකේ. එමෙන්ම රතු මාලිගය අසල පිහිටි ගොඩනැගිලි වල සාමාන්‍ය ජනතාව ජීවත් වූ බවට සාධක නැත.

එහෙත් ගොඩැල්ලේ අක්කර 125ක පමණ ප්‍රදේශයක විසිරී ඇති මාලක වල සාමාන්‍ය ජනතාව ජීවත් වූ බවට සාධක තිබේ. මෙම ජනාවාස වටා ද දිය අගලක් ඉදි කර තිබේ.

සාන්ත ලොරෙන්සෝ හිදී හමුවූ හිස් කිහිපයක්. (latinamericanstudies.org)

සාන්ත ලොරෙන්සෝ හි ගොඩැල්ල මත තිබී හමුවූ දැවැන්ත මිනිස් හිස් නිමැවූයේ ආගමික කටයුතු සදහා බව විශ්වාස කෙරේ. මෙම මිනිස් හිස් නිමවා ඇත්තේ මීට සැතපුම් 37ක් පමණ දුරින් තිබෙන ස්ථානයකින් ලබාගත් බැසොල්ට් නම් පාෂාණය මගිනි. එමෙන්ම යකඩ බහුල ගල් විශේෂයක් ඔප දමා කණ්නාඩි ලෙස භාවිතා කර තිබේ.

ක්‍රි.පූ. 1200 දී පමණ ආරම්භ වූ සාන්ත ලිරෙන්සෝහි ඔල්මෙක් සංස්කෘතිය ක්‍රි.පූ. 900 වන විට මෙම ප්‍රදේශයෙන් ක්‍රම ක්‍රමයෙන් පිරිහෙන්නට පටන් ගත්තේය.

ලා වෙන්තා යනු ඔල්මෙක් ශිෂ්ටාචාරය කේන්ද්‍රගතව තිබූ තවත් ස්ථානයකි. මෙහි ප්‍රධාන ස්මාරකය අඩි 108 ක් උස ගොඩනැගිල්ලක් වන අතර ඒ වටා තවත් ගොඩනැගිලි ඉදි වී තිබුණි. ප්‍රධාන ගොඩනැගිල්ලේ ප්‍රභූවරයා ජීවත් වූ අතර අනෙක් ගොඩනැගිලි වල නිලධාරීන් ජීවත් විය.

ලා වෙන්තා හි ඉදිකර ඇති ගලින් නිම කරන ලද දේවාලයක්. (ancient.au)

මෙම ස්ථානයෙන්ද බැසොල්ට් නම් පාෂාණයෙන් නිමවන ලද මිනිස් හිස් සොයාගත හැකි විය. මෙම මිනිස් හිස් වලින් නිරූපණය වූයේ එකල පාලකයා ය. ඇමරිකානු ශිෂ්ටාචාරවල බොහෝ විට දකින්නට ලැබෙන පාලකයාගේ මුහුණ මූර්තිමත් කිරීම ඇරඹුනේ ඔල්මෙක් ශිෂ්ටාචාරයෙනි.

ලා වෙන්තා නම් ප්‍රදේශයෙන් සොයා ගත් විශේෂ දෙයක් වූයේ ක්‍රමානුකූලව සකස් කරන ලද සොහොන් ය. අනෙක් පැරණි ඇදහිලි වල මෙන්ම මිහිදන් කරන විට මියගිය පුද්ගලයා භාවිතා කල භාණ්ඩද මියගිය පුද්ගලයා සමග මිහිදන් කර තිබේ.

පැරණි ශිෂ්ටාචාරයක ලක්ෂණ පෙන්නුම් කරන ඔල්මෙක් ශිෂ්ටාචාරය ක්‍රි.පූ. 400 වන විට බිඳ වැටුණි.

මූලාශ්‍ර:

1) ඉපැරණි ලෝක ශිෂ්ටචාර – අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව 2) ancient.au3) history.com4) livescience.com

-කවරයේ පින්තූරය – ඔල්මෙක් ශිෂ්ටචාරයට අයත් මූර්තියක්. මේවා ආගමික කටයුතු සදහා භාවිතා කල බව විශ්වාස කෙරේ.

Related Articles