Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙසින් දෙවරක් කටයුතු කළ මහින්ද රාජපක්ෂ සිය දේශපාලන ගමන් මඟ ආරම්භ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්. එම නිසා පසුගිය කාල සමයේ පැවති ජනාධිපතිවරණවල දී මෙම දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණා. එසේම අවසන් වරට පැවති ජනාධිපතිවරණ 3 දීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට ඉහළම ඡන්ද ප්‍රතිශතයක් ලබාදුන් දිස්ත්‍රික්ක කිහිපය අතරට හම්බන්තොට දිස්ත්‍රික්කයත් අයත් වුණා. 

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත්වන ආසන

1976 දී නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව හම්බන්තොට දිස්ත්‍රික්කය ආසන 4කට වෙන්වුණේ පහත සඳහන් ආකාරයට යි.

1) මුල්කිරිගල ආසනය

2) බෙලිඅත්ත ආසනය

3) තංගල්ල ආසනය

4) තිස්සමහාරාම ආසනය

මුල්කිරිගල ආසනය 

1959 වසරේ දී වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයට අනුව පැරණි හම්බන්තොට ආසනයෙන් සහ බෙලිඅත්ත ආසනයෙන් කොටස් එකතු වී මුල්කිරිගල ආසනය නිර්මාණය වුණා. අතීතයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක වුණු මුල්කිරිගල ආසනය ඔවුන් පරාජයට පත්වුණේ 1988 ජනාධිපතිවරණයේ දී පමණ යි.

මුල්කිරිගල ආසනය නියෝජනය කරන චමල් රාජපක්ෂ (gettyimages)

බෙලිඅත්ත ආසනය 

1946 වසරේ සෝල්බර් කොමිසම සිදුකළ සීමා නිර්ණයේ දී හම්බන්තොට ආසනයෙන් කොටසක් කැඩී බෙලිඅත්ත ආසනය නිර්මාණය වුණා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙසින් දෙවරක් කටයුතු කළ මහින්ද රාජපක්ෂ දේශපාලනයට පිවිසි ආසනය වන බෙලිඅත්ත 1994-2015 දක්වා පැවති සියලුම ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

මහින්ද රාජපක්ෂ (asiaone.com)

තංගල්ල ආසනය 

1976 දී බෙලිඅත්ත සහ තිස්සමහාරාම ආසනවලින් කොටස් වෙන් වී තංගල්ල ආසනය නිර්මාණය වුණා. මුල් යුගයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක වුණු තංගල්ල ආසනය 1994 වසරේ සිට පැවති සියලුම ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. අවසන් වරට පැවති ජනාධිපතිවරණ 3දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඉහළම ඡන්ද ප්‍රතිශතය මෙම ආසනයෙන් ලැබුණු බව විශේෂයෙන්ම සිහිපත් කළ යුතු යි. එහි දී 2010 ජනාධිපතිවරණයේ දී ඔවුන් ඉදිරිපත් කළ අපේක්ෂකයා වුණු මහින්ද රාජපක්ෂ තංගල්ල ආසනය තුළ දී 70.59%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබුණා. එය ඕනෑම ජනාධිපතිවරණයක දී යම් අපේක්ෂකයෙකු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසනයකින් වාර්තා කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය බවට පත්වුණා.

තිස්සමහාරාම ආසනය

1959 දී පැරණි හම්බන්තොට ආසනයේ නම තිස්සමහාරාමය ලෙසින් වෙනස් වුණා. තරමක් විශාල ආසනයක් වන මෙය හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිම ලියාපදිංචි ඡන්ද දායකයන් පිරිසක් සිටින ආසනය ලෙස සටහන් වනවා. දිස්ත්‍රික්කයේ ඇති අනිකුත් ආසන මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක වුණු මෙම ආසනය ඔවුන් පරාජයට පත්වුණේ 1982 සහ 1988 ජනාධිපතිවරණවල දී පමණ යි.

ජනාධිපතිවරණවල දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු 

80 දශකය තුළ පැවැත්වුණු ජනාධිපතිවරණවල දී හම්බන්තොට දිස්ත්‍රික්කය වඩාත් වාසිදායක වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට යි. නමුත් ඉන් පසුව ක්‍රමයෙන් මෙම දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක වීම ආරම්භ වුණා. පසු යුගයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළ මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමත් සමගම හම්බන්තොට දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් බවට පත්වුණා.

1982 ජනාධිපතිවරණය 

මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ.ආර් ජයවර්ධන තරග කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග වැදුණා. එහි දී ජේ.ආර් ජයවර්ධන මුල්කිරිගල හැර අනිකුත්  ආසන 3ම ජයග්‍රහණය කළ නිසා ඔහු දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 14,143ක් ලබාගනිමින්.

ජේ.ආර් ජයවර්ධන- ඡන්ද 90,545 (45.90%)

හෙක්ටර් කොබ්බෑකඩුව- ඡන්ද 76,403 (38.73%)

1988 ජනාධිපතිවරණය 

1988 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස තරග වදින විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක තරග වැදුණා. රට පුරාම භීෂණය රජ කරමින් තිබුණු සමයක පැවැත්වුණු මෙම ජනාධිපතිවරණයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 29.43%ක් ලෙස සටහන් වුණා. එවැනි තත්ත්වයක් යටතේ පැවති ජනාධිපතිවරණයේ දී දිස්ත්‍රික්කයේ  සියලුම ආසන ජයග්‍රහණය කළ රණසිංහ ප්‍රේමදාස දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 1,855ක් ලබාගනිමින්.

රණසිංහ ප්‍රේමදාස – ඡන්ද 41,198 (49.62%)

සිරිමාවෝ බණ්ඩාරනායක – ඡන්ද 39.343(47.39%)

1994 ජනාධිපතිවරණය 

1994 ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ ශ්‍රීමතී දිසානායක යි. එවර චන්ද්‍රිකා බණ්ඩාරනායක හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන 4ම පහසුවෙන් ජයගත් නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 55,138ක් ලබාගනිමින්. එසේම හම්බන්තොට දිස්ත්‍රික්කය 60%කට වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ මුල්ම අපේක්ෂකයා වීමේ අවස්ථාව චන්ද්‍රිකා බණ්ඩාරනායකට හිමිවුණා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 132,873 (61.50%)

ශ්‍රීමතී දිසානායක- ඡන්ද 77,735 (36.00%)

1999 ජනාධිපතිවරණය 

1999 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවරත් චන්ද්‍රිකා බණ්ඩාරනායක හම්බන්තොට  දිස්ත්‍රික්කයේ ආසන 4ම පහසුවෙන්ම ජයග්‍රහණය කළත් ලබාගත් ඡන්ද ප්‍රතිශතය 47.41% දක්වා අඩුවී තිබුණා. එලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ඡන්ද ප්‍රතිශතය අඩුවීමට හේතුව වුණේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුණු නන්දන ගුණතිලක 13.30%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබීම යි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 120,275 (47.41%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 95,088 (37.48%)

2005 ජනාධිපතිවරණය 

2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය ප්‍රමුඛ පිල) මහින්ද රාජපක්ෂ තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා වැඩිම ඡන්ද ප්‍රතිශතය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ලබාදීම සුවිශේෂී සිදුවීමක් වුණා. එහි දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන 4ම පහසුවෙන් ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ වැඩි ඡන්ද 90,206කින් දිස්ත්‍රික් ජයග්‍රහණය හිමිකරගත්තේ 63.43%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින්. 

මහින්ද රාජපක්ෂ- ඡන්ද 202,918 (63.43%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 112,712 (35.23%)

2010 ජනාධිපතිවරණය 

2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (එක්සත්  ජාතික පක්ෂය ප්‍රමුඛ පිල) තරග වැදුණේ සරත් ෆොන්සේකා යි. එවරත් දිස්ත්‍රික්කයේ ආසන 4ම අපහසුවකින් තොරව ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 121,551ක් ලබාගනිමින්. එසේම දිස්ත්‍රික්කය තුළ  67.21% ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ ඉතිහාසය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කය වැඩිම ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ අපේක්ෂකයා බවටත් පත්වුණා.

මහින්ද රාජපක්ෂ – ඡන්ද 226,887 (67.21%)

සරත් ෆොන්සේකා  – ඡන්ද 105,336 (31.20%)

2015 ජනාධිපතිවරණය 

2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ මෛත්‍රීපාල සිරිසේන යි. එවරත් මහින්ද රාජපක්ෂ හම්බන්තොට  දිස්ත්‍රික්කයේ ආසන 4ම ජයග්‍රහණය කරමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 104,587ක් වාර්තා කරමින්.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 243,295 (63.02%)

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 138,708 (35.93%)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

මූලාශ්‍රය- ජනාධිපතිවරණ ප්‍රතිඵල 1982-2015 (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව 

Related Articles