Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සූර්යග්‍රහණයක් අස්සේ වදකහ බී සිදුවුණු ජරමරේ

දවාලේ දී රෑ වුණු ඒ දවසේ 

එමලි ගියා පිළිකන්නට විගසේ 

කළුවට හිටිය මලී පැනගෙන දුව ආපි

දෙයියො තමයි දන්නෙ සිද්ධිය 

බිව්ව නේද වදකහ සුදිය 

එමලි බිව්ව නේද වදකහ සුදිය 

සුදු වෙන්නට හිටපු දනා 

සුදිය නිසා මෝඩ වුණා 

මේක තමයි වදකහ සුදිය 

ඉහත සඳහන් කර තිබෙන්නේ ලාංකිකයන් අතර ඉතාමත් ජනප්‍රිය බයිලා ගීතයක්. වොලී බැස්ටියන් නම් දක්ෂ බයිලා ගායකයා විසින් මෙම ගීතය නිර්මාණය කළේ 1955 වසරේ ඇති වුණු සූර්යග්‍රහණය අවස්ථාවේ සිදුවුණු එක්තරා සිදුවීමක් නිසා යි. 

සූර්යග්‍රහණ වර්ග 

සූර්යයා සහ පෘථිවිය අතරින් චන්ද්‍රයා ගමන් කරන පිහිටීමක දි චන්ද්‍රයාගේ ඡායාවෙන් පෘථිවියේ පෙදෙසක් වැසී යන ආකාරය අනුව පූර්ණ සූර්යග්‍රහණ, අර්ධ සූර්යග්‍රහණ, සහ වලයාකාර සූර්යග්‍රහණ ලෙස සූර්යග්‍රහණ ප්‍රධාන වර්ග තුනකට වෙන්කර දැක්විය හැකියි.

1) පූර්ණ සූර්යග්‍රහණ- චන්ද්‍රයා නිසා සූර්යයා සම්පූර්ණයෙන්ම වැසී යයි 

2) අර්ධ සූර්යග්‍රහණ- චන්ද්‍රයා නිසා සූර්යයා අඬක් වැසී යයි 

3) වලයාකාර සූර්යග්‍රහණය- චන්ද්‍රයා නිසා සූර්ය මුහුණත වැසීයාමෙන් පසුව ඉතිරි කුඩා කොටස වළල්ලක් ආකාරයෙන් දිස්වෙයි 

වලයාකාර සූර්යග්‍රහණයක් (Live at 8)

1955 පූර්ණ සූර්යග්‍රහණය නැරඹීමට සූදානම් වුණු අයුරු 

1955 වසරේ ජූනි 20 වැනිදා ලංකාවට පූර්ණ සූර්යග්‍රහණයක් දිස්වීමට නියමිත බව පෙර සිටම දැනගන්නට ලැබුණා. එම නිසා සූර්යග්‍රහණ දිනය එළඹෙන තුරු බොහෝ දෙනෙකු උනන්දුවෙන් බලා සිටියා. ඒ එය ඔවුන්ට අමුතුම ආකාරයේ අත්දැකීමක් වුණු නිසා යි. එසේම සූර්යග්‍රහණය ලංකාවට හොඳින් දිස්වු නිසා විදෙස් රටවල තාරකා විද්‍යාඥයන් රැසක් මෙහි පැමිණියා. නමුත් සෝවියට් රුසියානු තාරකා විද්‍යාඥයන්ට මෙරටට පැමිණීමට අවසර ලැබුණේ නැහැ. ඒ එවකට බලයේ සිටි කොතලාවල රජය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සමීප සබඳතාවයක් පැවති නිසා යි. 

සූර්යග්‍රහණය ගැන පුවත්පත් වාර්තා කර තිබුණු අයුරු (The story book)

ලංකාවට පැමිණි විදෙස් විද්‍යාඥයන් සීගිරිය, පොළොන්නරුව, කදුරුවෙල, හිඟුරක්ගොඩ වැනි ප්‍රදේශ ආශ්‍රිතව කඳවුරු බැඳගත්තේ එම ප්‍රදේශවලට සූර්යග්‍රහණය ඉතාමත් හොඳින් දර්ශනය වීමට නියමිතව තිබුණු නිසා යි. ලාංකිකයන් සූර්යග්‍රහණය නැරඹීමට උනන්දුවෙන් සිටියත් එය ආරක්ෂිතව නරඹන ආකාරය පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ. එම නිසා පියවි ඇසෙන් එය නැරඹීම අහිතකර බව පුවත්පත්වල සඳහන් කර තිබුණා. එහි දී සූර්යග්‍රහණය නැරඹීමට සුදුසු ක්‍රම කිහිපයක් නිර්දේශ කරනු ලැබුවා. පහත දක්වා තිබෙන්නේ එම ක්‍රම තුන යි.

1) නිල් දියකර දමා සකස් කළ ජල බේසමක් භාවිතා කිරීම 

2) කළු කණ්නාඩියක් භාවිතා කිරීම 

3) කළු සෙලෝටේප් පටියක් භාවිතා කිරීම 

එදා සූර්යග්‍රහණය නැරඹීම සඳහා වෛද්‍යවරුන් විසින් විශේෂිත කණ්ණාඩියක් නිර්දේශ කර තිබුණා. එම නිසා සූර්යග්‍රහණයට පෙර බොහෝ දෙනෙකු කණ්ණාඩි මිල දී ගත්තා. 1955 වසරේ ජූනි 20 සඳුදා දිනයක් වුණත් සියලුම පාසල්වලට නිවාඩු ලබා දී තිබුණා. ඒ, සූර්යග්‍රහණය පියවි ඇසින් නැරඹීමෙන් පාසල් දරුවන්ට අක්ෂි දෝෂ ඇතිවනු ඇති බවට පැවති බිය නිසා යි.

පියවි ඇසින් නැරඹීමෙන් වලකින ලෙස දී තිබුණු උපදෙස් (Twitter)

සූර්යග්‍රහණය අවස්ථාවේ දී බොන්නට බෙහෙතක් නියම කරයි 

1955 වසරේ ජූනි 19 වැනි ඉරිදා නිකුත් කළ ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ අපූරු සටහනක්  පළ කර තිබුණා. එක්තරා දේශීය වෛද්‍යවරයෙකු ලියා තිබුණු එම සටහනෙන් දක්වා තිබුණේ සූර්යග්‍රහණ දිනයේ දී බීමට සුදුසු ඖෂධීය පානයක් පිළිබඳව යි. එම ලිපියෙන් වෛද්‍යවරයා පවසා තිබුණේ වදකහ යුෂ පානය කර විට ශරීරයේ තිබෙන විවිධ ආබාධයන් දුරු වී සුවදායක තත්ත්වයක් මතුවන බව යි. එසේම වදකහ තැඹිලි වතුර සමග මුසුකර පානය කළ විට බුද්ධිය වර්ධනය වන බවත්, කොත්තමල්ලි වතුර සමග මුසුකර පානය කළ විට රූප ශෝභාව වැඩිවන බවත් දක්වා තිබුණා. එම අවධියේ දී මෙරට තිබුණු ප්‍රධානතම ජාතික පුවත්පතක පළවුණු එම පුවත පිළිබඳව බොහෝ දෙනෙකු අවධානය යොමු කළා. 

1955 ජූනි 19 ඉරිදා ලංකාදීප පුවත්පතේ මුල් පිටුව (Twitter)

සූර්යග්‍රහණය පැවති විනාඩි කිහිපය තුළ සිදුවුණු දේ 

ජූනි 20 වැනිදා හිමිදිරියේ සිටම බොහෝ දෙනෙකු උනන්දුවෙන් බලා සිටියේ සූර්යග්‍රහණය දැක බලා ගැනීම සඳහා යි. උදෑසන 8.11ට ආරම්භ වුණු සූර්යග්‍රහණය විනාඩි 4ක කාලයක් පැවතුනා. එම කාලය තුළ රටම අඳුරේ ගිලී තිබුණා. කුරුලු රෑන් කෑ ගසමින්, සිය කූඩු කරා නැවත පියඹා යන්නට වුණු බවත්, උදෑසන වතුවල තණ කමින් සිටි හරකුන් රාත්‍රිය එළැඹී ඇතැ යි සිතා එනමුත් තමන් ගාල් නොකළ බැවින් බියවී කෑගැසූ ආකාරයත්, නැවත එළිය වැටීමත් සමග එහා මෙහා පියාඹමින් වල්මත් වී සිටි පක්ෂීන් කීචි බීචි හඬ නඟමින් මහත් ප්‍රීතියෙන් යුතුව නැවතත් පුරුදු ජීවන රටාවේ නියැළුණු අයුරුත් එකල පුවත්පත් මඟින් වාර්තා කර තිබුණා. එපමණක් නොව දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටි අලි ඇතුන්, ව්‍යාඝ්‍රයන් ඇතුළු සතුන් පවා අමුතු ආකාරයකින් හඬ නැගූ බව අසන්නට ලැබුණා. 

ඒ අතර සිදුවුණු තවත් දෙයක් වූයේ සූර්යග්‍රහණය අතරේ බොහෝදෙනෙකු විවිධ මාත්‍රාවලින් වදකහ බීම යි. සමහරු වැඩිපුර ලස්සන වන්නට සහ වැඩිපුර බුද්ධිය වර්ධනය වන්නට මාත්‍රාව ඉක්මවා වදකහ පානය කළා.

සූර්යග්‍රහණය පිළිබඳව වාර්තා කර තිබුණු අයුරු (පොතක තිබුණා මෙසේ)

වදකහ බී සිදුවුණු ජරමරේ 

පමණ ඉක්මවා වදකහ පානය කළ බොහෝ දෙනෙකුට වමනය සහ බඩඑළිය යන්නට වුණා. එම නිසා රට පුරා රෝහල්වල අධික තදබදයක් ඇති වුණා. එකල පළවුණු පුවත්පත් වාර්තාවලට අනුව කොළඹින් 1200ක්, මහනුවරින් 500ක්, ගාල්ලෙන් 200ක්, මාතරින් 100ක්, බළංගොඩින් 75ක්, සහ හලාවතින් 45ක් රෝහල්ගත කර තිබුණා. එසේම අනිකුත් ප්‍රදේශවලිනුත් රෝගීන් රැසක් වාර්තා වී තිබුණා. 

එසේම, පියවි ඇසින් සූර්යග්‍රහණය නැරඹූ පිරිසකගේ ඇස් අන්ධ වී තිබුණා. එලෙස රෝහල්ගත කළ අයට කඩිනමින් ප්‍රතිකාර කිරීම නිසා කිසිදු මරණයක් සිදුවුණු බවට වාර්තා වුණේ නැහැ. මෙරට ශාසනික ඉතිහාසය තුළ හමුවන පූජනීය හිමිනමක් වුණු බළංගොඩ ආනන්ද මෛත්‍රී හිමි සහ පසු කලෙක අගමැතිවරයෙකු වුණු විජයානන්ද දහනායකත් වදකහ පානය කර තිබුණා. එදා වදකහ කතාව කුමන පදනමකින් ප්‍රකාශ කළා ද යන්න අදටත් ගැටළුවක්. නමුත් එදින වදකහ පානය කළ ආනන්ද මෛත්‍රී නාහිමි වසර 101ක් ද, දහනායක අගමැතිවරයා වසර 94ක් ද ආයු වළඳා තිබුණා. 

වදකහ පානය කළ සිදුවීම ගැන එකල පුවත්පත් වාර්තා කළ අයුරු (පොතක තිබුණා මෙසේ)

කවරයේ ඡායාරූපය- දිනමිණ පත්‍රය සූර්යග්‍රහණය පිළිබඳව වාර්තා කර තිබුණු හැටි (suranjana kodokara) 

මූලාශ්‍රයයන්- දේශපාලඥයන්ගේ රස කතා- සෝමදාස අබේවික්‍රම

Related Articles