දකුණු වියට්නාම් හමුදාවට හා ප්‍රබල ඇමරිකානු හමුදාවට එරෙහිව සටන් වැදුණු උතුරු වියට්නාම් හමුදාව හා වියට් කොං ගරිල්ලා හමුදාව 1972 වන විට තම යුධ බලය ඇමරිකානුවන්ට හා දකුණු වියට්නාම්වරුන්ට හොදින් ප්‍රදර්ශණය කරන අතර වියට්නාමයේ සිටි ඇමරිකානු භටයන්ගේ මරණ ගණන දිනෙන් දිනම ඉහළ යන බැවින් යුධ මෙහෙයුම්වල සිටි ඇමරිකානු භටයන් අදියර කිහිපයකින් නැවතත් මව් රටට ගෙන්වා ගැනීමට එවකට ඇමරිකානු ජනාධිපතිවරයා විසින් තීරණය කරනවා.
ඒ වන තුරු වියට්නාම් යුද්ධයේ සියළු තොරතුරු ලිපි හතකින් ඔබ වෙත ගෙන ආ අතර අද දිග හැරෙන්නේ එම ලිපි මාලාවේ අටවන කොටස මෙන්ම අවසන් කොටසයි.
දකුණු වියට්නාමයට මරු පහරක් වූ පාස්කු ප්‍රහාරය
වියට්නාමයේ සිටින ඇමරිකානු භට පිරිස නැවත තම රටට ගෙන්වා ගන්න අතර තුරදී ඇමරිකානුවන් විසින් වියට් කොන්ග් ගරිල්ලන්ට හා උතුරු වියට්නාම් හමුදාවට මනා ලෙස මුහුණ දිය හැකි ශක්තිමත් දකුණු වියට්නාම් හමුදාවක් ගොඩ නැගීමට උත්සාහ කරනවා.
මේ අතර තුර 1972 වසරේ මාර්තු 30 වනදා තිස් දහසකට අධික භට පිරිසකින් සැදුම් ලත් උතුරු වියට්නාම් හමුදාව හා වියට් කොන්ග් ගරිල්ලා භටයන් චීනයේ නිෂ්පාදිත යුධ ටැංකි සියයක් පමණ පෙරටු කරගෙන කාලතුවක්කු වෙඩි බලය ද උපයෝගී කරගනිමින් දකුණු වියට්නාමයේ පළාත් පහකට තුන් පැත්තකින් කඩා වදිනවා.
මෙලෙස පැමිණි කොමියුනිස්ට් ප්‍රහාරකයන්ගේ ප්‍රබල පාස්කු ප්‍රහාරය (Easter Offensive) හමුවේ දකුණු වියට්නාම් හමුදාවට පසු බැසීමට සිදු වන අතර ගරිල්ලා හමුදාව විසින් ක්වැන් ට්‍රයි (Quảng Trị), හුඒ (Huế), ඇන් ලොක් (An Lộc), හා කොන් ටම් (Kon Tum) යන දකුණු වියට්නාම් නගරවල බලය අල්ලා ගන්නවා. මෙම යුද්ධයේදී දකුණු වියට්නාමයට ඇමරිකානු ගුවන් හමුදාවේ සහය හිමි වෙන අතර ඔවුන් විසින් සතුරු ඉදිරි පෙරමුණට ද උතුරු වියට්නාමයේ ප්‍රධාන නගර වලට ද නැවතත් ගුවනින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනවා.
මෙම ප්‍රහාරය ඇමරිකානුවන් විසින් හඳුන්වනු ලබන්නේ ලයින්බැකර් මෙහෙයුම (Operations Linebacker) ලෙසයි. ඒ ඔස්සේ හැනොයි හා ප්‍රධාන නගර කිහිපයක තෙල් ගබඩා සංකීර්ණ විශාල ප්‍රමාණයක ට ප්‍රහාර එල්ල කරන්නේ කොමියුනිස්ට් හමුදාවේ සැපයුම් අඩාළ කිරීමටයි. මෙම මෙහෙයුමේ දී දළ වශයෙන් බෝම්බ ටොන් විසිදහසක් පමණ පතිත කරවූ බව සඳහන් වෙනවා.
දකුණු වියට්නාමයේ ප්‍රදේශ කිහිපයක් අල්ලා ගැනීම
දකුණු වියට්නාම් හමුදාව අප්‍රේල් මාසය අවසන් භාගයේදී ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත් බැවින් මාස හතකට අධික කාලයක් යුද්ධය ඇදී යනවා. උතුර විසින් අල්ලා ගත් කොටස් නැවතත් දකුණට එක් කිරීමේ දැඩි අවශ්‍යතාවය හේතුවෙන් දරුණු සටනකින් පසුව ක්වැන් ට්‍රයි (Quang Tri) වලින් කොටසක් අල්ලා ගැනීමට ඔවුන්ට ජූනි 28 වනදා හැකියාව ලැබෙනවා. මාස හතක් තිස්සේ පැවති යුද්ධයේ දී උතුරු වියට්නාමය විසින් අල්ලාගත් ප්‍රදේශය වලින් කිහිපයක් මුදා ගැනීමට දකුණු වියට්නාම් හමුදා සමත් වූවත් තවත් ප්‍රදේශ කිහිපයක උතුරු වියට්නාම් පාලනය ස්ථාවර වෙනවා.
මෙම සටනේ දී දකුණු වියට්නාම් හමුදා හා ඇමරිකානු හමුදා සාමාජිකයන් දස දහසකට අධික පිරිසක් මිය යන අතර මෙහෙයුමේ දී කොමියුනිස්ට් භටයන් තිස් තුන් දහසක් පමණ මරණයට පත් වූ බව සඳහන් වෙනවා. කෙසේ නමුත් ඔක්තෝම්බර් 22 වන දා මෙම සටන නිමා වන විට වියට් කොන්ග් ගරිල්ලන් ප්‍රමුඛ උතුරු වියට්නාම් හමුදාවේ යුධ හැකියාව පිළිබඳව ලෝකයේම අවධානය යොමු වෙනවා.
ඇමරිකානු හමුදාව වියට්නාමය දමා යයි
1973 වසරේ ජනවාරි 27 වනදා ඇමරිකානු ජනාධිපතිවරයා වියට්නාම් යුද්ධයෙන් ඇමරිකාව ඉවත් වී සාමකාමී වියට්නාමයක් ගොඩ නැගීම සඳහා වූ පැරිස් ගිවිසුමට (Paris Peace Accords) අත්සන් තබනවා.
මෙම ගිවිසුම උතුරු වියට්නාමය විසින් පිළිගත් අතර ඔවුන් විසින් තම භාරයේ පසු වූ ඇමරිකානු යුධ සිරකරුවන් බොහෝ ප්‍රමාණයක් නිදහස් කිරීම මෙහි දී සිදු වෙනවා. නමුත් ඇමරිකානුවන් පිට වී ගිය වහාම පෙර ලෙසම දකුණු වියට්නාමය අල්ලා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීම උතුර විසින් සිදු කරනවා.
1974 වසරේ අගෝස්තු මාසයේදී රිචර්ඩ් නික්සන් ඇමරිකානු ජනාධිපති ධූරයෙන් ඉවත් වෙන අතර නව ජනාධිපතිවරයා ලෙස පත්වෙන ජෙරල් ෆෝර්ඩ් (Gerald R. Ford) විසින් 1975 වසරේ ජනවාරි වන විට වියට්නාමයේ කිසිදු යුධ ක්‍රියාවලියක් සඳහා ඇමරිකාව මැදිහත් නොවන බව ප්‍රකාශ කර සිටිනවා.
උතුරු වියට්නාම්වරුන්ගේ ආක්‍රමණය වැළක්වීමේ දකුණු වියට්නාම් අවසන් උත්සාහය – ක්ෂ්වෙන් ලොක් සටන
දකුණු වියට්නාමය හා කොමියුනිස්ට් හමුදාව අතර පැවති අවසන් යුධ සංග්‍රාමය ලෙස මෙම සටන හදුන්වන අතර 1975 වසරේ අප්‍රේල් 9 වනදා සිට අප්‍රේල් 20 වන දා දක්වා දෙපාර්ශවය අතර සටන පැවති අතර පාස්කු ප්‍රහාරයෙන් අල්ලාගත් ප්‍රදේශ වලින් ඔබ්බට, දකුණු වියට්නාමයේ අගනුවර වන සයිගොන් හි බලය අල්ලා ගැනීම මෙම ප්‍රහාරයේ අරමුණ විය.
ක්ෂ්වෙන් ලොක් (Xuân Lộc) පළාත අල්ලා ගැනීමට ගරිල්ලා භටයන් විසින් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර එවකට සිටි දකුණු වියට්නාම් ජනාධිපතිවරයා ක්ෂ්වෙන් ලොක් ප්‍රදේශයෙන් තම හමුදාවට ඉවත් වීමට අණ කරන අතර වහා පැමිණ සයිගොන් හි ආරක්ෂාව තර කරන ලෙස නියෝග කරනවා.
මෙම සටන කොමියුනිස්ට් හමුදාව ජයග්‍රහණය කරන අතර අප්‍රේල් මස 21 වනදා තව දුරටත් දකුණු වියට්නාමය රැක ගැනීමට නොහැකි බව දැන ගන්නා දකුණු වියට්නාම් ජනාධිපතිවරයා වූ න්ගුයෙන් වැන් තියු (Nguyen Van Thieu) තම ධූරයෙන් ඉවත් වී ජනාධිපති ධූරය උප ජනාධිපතිවරයාට ලබා දෙනවා.
ඇමරිකානුවන්ගේ, සරණාගතයන් ගලවා ගැනීමේ මෙහෙයුම
වියට්නාම් කොමියුනිස්ට් හමුදාව විසින් දකුණු වියට්නාමයේ සයිගොන් නගරය අල්ලා ගැනීමේ දිනට ප්‍රථම දින, එනම් අප්‍රේල් 29 වන දා Operation Frequent Wind නමින් දකුණු වියට්නාමයේ තානාපති කාර්යාලයේ සේවය කළ සිවිල් වැසියන්, පරිපාලන උපදේශකයන් හා යුධ උපදේශක නිළධාරීන් ඇතුළු ඇමරිකානුවන් හා වියට් කොං ගරිල්ලන්ගෙන් ජීවිත හානි වෙතැ යි සැලකෙන දකුණු වියට්නාම් පුද්ගලයන් ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරනවා.
29 වන දා උදෑසන මෙම මෙහෙයුම ආරම්භ වන අතර සයිගොන් නගරයට පැමිණෙන ඇමරිකානු හෙලිකොප්ටර් මගින් ඇමරිකානුවන් 1000 කට අධික පිරිසක් හා 7000 කට අධික වියට්නාම් සිවිල් වැසියන් පිරිසක් රැගෙන යනවා.
මෙම මෙහෙයුමට එල්ල වූ උතුරු වියට්නාම් මිසයිල ප්‍රහාරයකින් මෙහෙයුමේ නිරතව සිටි ඇමරිකානු මැරීන් භටයින් දෙදෙනෙක් ද මරණයට පත්වෙනවා.
සයිගොන් නගරයේ බලය අත්පත් කර ගැනීම හා දකුණු වියට්නාමයේ යටත් වීම
ක්ෂ්වෙන් ලොක් සටනින් පරාජය වී සයිගොන් දක්වා පසු බසින දකුණු වියට්නාම් හමුදාවට අණ දීමට තරම් සුදුසු ඉහළ නායකත්වයක් නොතිබීම හේතුවෙන් කොමියුනිස්ට් හමුදාවට සයිගොන් බලය අල්ලා ගැනීම සඳහා ප්‍රබල සටනක් කිරීම අනවශ්‍ය වෙනවා.
ජෙනරාල් ඩුවන් වැන් මිං (Duong Van Minh) මේ වන විට දකුණු වියට්නාම් හමුදාවේ අණ දීම භාරගෙන තිබූ අතර ඔහු විසින් ලේ නොසෙල්වෙන යටත් වීමකට තමන් ඇතුළු දකුණු වියට්නාම් භට පිරිස් සුදානම් බව පවසනවා.
අප්‍රේල් 30 වන දා උදෑසනම සයිගොන් නගරයට කඩා වදින සෝවියට් රුසියාවේ නිෂ්පාදිත යුධ ටැංකි ඇමරිකානු තානාපති කාර්යාලය හා දකුණු වියට්නාම් ජනාධිපති මන්දිරය වට කරනු ලබනවා. එහිදී ජෙනරාල් ඩුවන් වැන් මිං ව අත් අඩංගුවට ගෙන සයිගොන් නගරයේ බලය අත්පත් කර ගන්නා ඔවුන් එය හෝ චි මිං නගරය ලෙස නම් කරන්නේ තම මියගිය නායකයාව සිහිපත් වීමටයි.
අනතුරුව 1975 වසරේ ජූලි මාසයේ දී උතුරු හා දකුණු වියට්නාමය එක් කර වියට්නාම් සමාජවාදී සමුහාණ්ඩුව (Socialist Republic of Vietnam) නිර්මාණය කරන අතර එහි ජනාධිපතිවරයා ලෙස ටොන් ඩු තන්ග් (Tôn Đức Thắng) පත්වෙනවා.
මේ ආකාරයට වසර ගණනාවක් පැවති වියට්නාම් යුද්ධය අවසන් වන අතර, යුද්ධය අවසන් වන විට 58 000 කට අධික ඇමරිකානු භට පිරිසක් මරණයට පත් වී තිබු අතර උතුරු වියට්නාම් හමුදා සාමාජිකයන් හා වියට් කොං ගරිල්ලා භටයන් මිලියන 1.1 ක් පමණ මියගොස් තිබුණා. දකුණු වියට්නාම් සොල්දාදුවන් 250 000 ද මරණයට පත් වූ අතර මිය ගිය සිවිල් වැසියන් ප්‍රමාණය මිලියන 2ක් ඉක්මවා ගිය බව සඳහන් වෙනවා.
සටන් ජයග්‍රහණය කිරීමට උපකාරී වූ වියට්නාම් උමං පද්ධතිය
වියට්නාම් ගරිල්ලා භටයන් බොහෝ විට ප්‍රහාර එල්ල කර පළා යන ආකාරය මුල් කාලයේදී ඇමරිකානු සෙබළුන්ට හිතා ගැනීමටවත් අපහසු වුණා. ඔවුන් ඒ සඳහා පැතිරී ගිය ජාලගත උමං පද්ධතියක් භාවිතා කළා. දකුණු වියට්නාමයේ සයිගොන් නගරයට ආසන්නව පිහිටි කු චි උමං පද්ධතිය (Củ Chi tunnels) භාවිතයෙන් ඔවුන් සන්නිවේදන හා සැපයුම් කටයුතු සාර්ථකව සිදු කළ අතර උමං තුළ දේශණ ශාලා, මුළුතැන්ගෙවල් හා රෝහල් පවා පිහිටා තිබුණා.
ඇමරිකානු හමුදා විසින් හෙළන ලද පුපුරා නොගිය බෝම්බ උමං තුළට ගෙන ගොස් ඒවායින් අත් බෝම්බ නිෂ්පාදනය කිරීම වැනි වැඩ කටයුතු ද මෙහි දී සිදු කර තිබෙනවා.
යුද්ධය ආරම්භ වී ටික කාලයකින් ඇමරිකානු හමුදා මේ පිළිබඳව දැනගත් අතර ඔවුන් උමං විනාශ කිරීමට ගුවන් බෝම්බ හෙළීම, හඳුනාගත් උමං විවර වලට විෂ වායු ඇතුල් කිරීම හා උමං සටන් සදහා පුහුණු කළ ඇමරිකානු භටයන් (Tunnel rats) ඇතුළට යැවීම වැනි පියවර ගනු ලැබුවත් ඒ එකදු පියවරකින් හෝ උමං පද්ධතිය විනාශ කිරීමට ප්‍රබල ඇමරිකානුවන්ට හැකියාව ලැබුණේ නෑ. ඒ පිළිබඳව ලිපියක් “අමෙරිකාව දණගැස්සූ වියට්නාමයේ කුචි උමං” ලෙසින් roar පිටුවෙන් මීට පෙර ඔබ වෙත ගෙනවිත් තිබෙනවා.
මේ සමඟින් වියට්නාම් යුද්ධය පිළිබඳව සම්පූර්ණ කතාව ගෙන ආ ලිපි පෙළ අවසන් වන අතර මෙවැනි යුද්ධයන් නැවතත් ලෝකය තුළ ඇති නොවේවායි යන්න සාමයට ලැදි ලෝක ජනතාවගේ පැතුමයි.
කවරයේ ජායාරූපය – සයිගොන් අල්ලා ගැනීමේ ජයග්‍රහණය සමරන කොමියුනිස්ට් හිතවාදී වියට්නාම් වැසියන් පිරිසක්. (www.history.com)