1945 වසරේ සැප්තැම්බර් දෙවන දා වියට්නාමය නිදහස් රජයක් ලෙස වියට් මින් නායක හෝ චි මිං විසින් ප්‍රකාශ කරන අතර දෙවන ලෝක යුද්ධයෙන් පරාජය වූ ජපාන හමුදා වියට්නාමයෙන් ඉවත් වීම ඒ සමඟම සිදු වෙනවා.
හෝ චි මිංගේ නව ආණ්ඩුව පිළිගැනීමට චීනය හා රුසියානු සමුහාණ්ඩුව කැමති වූවත් බටහිර රටවල් නව ආණ්ඩුව පිළිගැනීමට කැමැත්තක් දක්වන්නේ නෑ. තවද තමන්ගේ පැරණි යටත් විජිතය නැවතත් ලබාගෙන තම රජයට පක්ෂපාති ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රංශය විසින් උත්සාහ දරනවා.
හෝ චි මිං සයිගොන් වල සිට, ගෙන යන කොමියුනිස්ට් පාලනයට අකමැති වූ ප්‍රංශය, 50 000 ක භට පිරිසක් නැවත වියට්නාමය බලා එවීමට ක්‍රියා කරන අතර පළමු භට පිරිස 1946 වසරේ මැද භාගයේදී එවනු ලබන්නේ සයිගොන් (Saigon) හි බලය අල්ලාගෙන වියට්නාමය නැවත ප්‍රංශයේ යටත් විජිතයක් කර ගැනීමේ අරමුණෙන්.
ප්‍රංශ සෙබළුන් රැගත් නෞකා හයිෆොන්ග් වරායට
සෙබළුන් රැගත් නාවික යාත්‍රා හා ප්‍රහාරක යාත්‍රා විශාල ප්‍රමාණයක් 1946 වසරේ නොවැම්බර් මාසය වන විට ඊසානදිග වියට්නාමයේ හයිෆොන්ග් (Haiphong) වරායට පැමිණෙනවා. පසුව හැනෝයි හා හයිෆොන්ග් ප්‍රදේශ වල ගම්මාන වලට ඇතුල් වී සිවිල් වැසියන් ඝාතනය කිරීමට ප්‍රංශ හමුදා විසින් ක්‍රියා කරනවා.
මේ සමඟම හෝ චි මිංගේ නායකත්වයෙන් හා ව නුවෙන් ග්යැප්ගේ (Võ Nguyên Giáp) අණදීම යටතේ ක්‍රියාත්මක වන වියට් මින් ගරිල්ලා භට කණ්ඩායම් ප්‍රංශ හමුදා කඳවුරු ලා සිටි මෙම ස්ථාන දෙකට වරින් වර ගරිල්ලා ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනවා. එයට පිළිතුරු ලෙස කාලතුවක්කු හා නාවික යාත්‍රා වල ඇති බර අවි භාවිතා කරමින් ඉතා දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කිරීම ප්‍රංශ හමුදා විසින් ආරම්භ කරන අතර වසරේ අවසානය වන විට මෙම ප්‍රදේශ දෙක ඉලක්ක කර ගනිමින් වරින් වර සටන් ඇවිලී යනවා.
ප්‍රාථමික යුධ අවි රැගෙන සටන් කිරීමට පැමිණි වියට් මින් බළකාය
ජපානයෙන් හා ප්‍රංශයෙන් නිදහස් වී මේ වන විට වසරක්වත් කල් පිරි නොතිබූ, යුධ අවි අතින් හා අත්දැකීම් අතින් ඉතා ළදරු මට්ටමක සිටි මෙම ගරිල්ලා හමුදාවට අණ දීම සිදු කරන්නේ කලක් ඉතිහාස ගුරුවරයෙක්ව සිටි හැනොයි විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක් වූ ව නුවෙන් ග්යැප් විසින්.1946 වසර අවසන් වන විට වියට් මින් බලකායේ සෙබළුන් ප්‍රමාණය 60 000ක් පමණ වූවත් ඔවුන් සතු රයිෆල් ගණන වූයේ 40,000 ක් පමණයි. එම රයිෆල් ද බොහෝ ඒවා ජපන් හමුදාව විසින් ඉවත් කළ යල් පැනගිය අවි වූ අතර අනෙක්වා ප්‍රංශ හමුදාවෙන් පැහැරගත් ඒවා විය.
ග්යැප් ප්‍රමුඛ වියට් මින් බළකායට, ප්‍රබල ප්‍රංශ හමුදාව සමඟ මුහුණට මුහුණ ලා සටන් කළ නොහැකි බැවින් ඔවුන් වියට්නාමය අභ්‍යන්තරයේ කඳු හා වනාන්තර ප්‍රදේශ වල සිට ගරිල්ලා මෙහෙයුම් ආරම්භ කරනවා. මෙම කාලයේදී හෝ චි මිං හා ග්යැප්, මාඕ සේතුංගේ ගරිල්ලා යුධ උපක්‍රම පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ බව සඳහන් වෙනවා. යුද්ධයේදී වැදගත්ම කරුණ ලෙස වියට් මින් ගරිල්ලන් විසින් හදුනාගන්නේ මහජනතාවගේ සහයෝගයයි.
වියට්නාමයට එවන ලද ප්‍රංශ හමුදාව “ප්‍රංශ ඈත පෙරදිග කාර්ය සාධන බලකාය” (French Far-East Expeditionary Corps – CEFEO) නමින් හැදින්වූ අතර වියට් මින් වරුන්ට වඩා යුධ තාක්ෂණය හා යුධ උපකරණවලින් මනාව සන්නද්ධව සිටිනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රංශය විසින් මෙම බළකායේ සෙබළුන් හා නිළධාරීන් 200,000 ක් පමණ වියට්නාමය හා අප්‍රිකා රටවලට පිටත් කර තිබූ අතර එම ප්‍රමාණයෙන් වැඩි පිරිසක් ස්ථානගත කර තිබුනේ වියට්නාමයේයි.
ප්‍රංශ හමුදා විසින් ප්‍රධාන නගර අල්ලා ගැනීම
1947 වර්ෂය ආරම්භ වන විට දැඩි අසිරුතාවයකින් තොරව ප්‍රංශ හමුදාව වියට්නාමයේ ප්‍රධාන නගර සියල්ල පාහේ ආක්‍රමණය කිරීමට සමත්වෙනවා. 1946 වසරේ සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් ඝාතනය කරමින් හයිෆොන්ග් නගරය අල්ලා ගන්නා ඔවුන් එම වසරේම වියට් මින් භටයන් පළවා හරිමින් හැනොයි නගරයේ ද බලය අත්පත් කර ගන්නවා.
ප්‍රංශ බුද්ධි සේවාව විසින් ලබා දුන් ඔත්තුවකට අනුව වියට්මින් ප්‍රධාන මුලස්ථානය ලෙස හදුනාගත් බැක් කෑන් (Bac Kan) නගරය ඉලක්ක කරමින් ඉතා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන්නේ 1947 වසරේ ඔක්තෝම්බර් මාසයේදීයි. මෙය “ඔපරේෂන් ලී” නමින් හැදින්වූ අතර පැරෂුට් සෙබළු 1100ක් බැක් කෑන් නගරය තුළට පතිත වෙනවා. ඒ ආසන්නයේ සිට තවත් ප්‍රංශ පාබළ කණ්ඩායම් නගරය දෙසට ඇදී ආවත් ඔවුන් පැමිණීමට ප්‍රමාද වූ බැවින් වියට්මින් ගරිල්ලන් හට පලා යාම සදහා අවස්ථාව ලැබෙනවා.
ප්‍රංශ මෙහෙයුමේ අපේක්ෂිත ආකාරයට හෝ චි මිං හෝ ගරිල්ලා නායකයන්ව ඝාතනය කිරීමට නොහැකි වූ අතර මෙහිදී 40,000ක් පමණ ගරිල්ලා භට පිරිසක් පලා යනවා. මෙහෙයුමෙන් ගරිල්ලා භටයන් 9,000ක් පමණ ඝාතනය කිරීමට හැකියාව ලැබුණු බව ප්‍රංශ හමුදා පවසන අතර හමුදා සෙබළුන් 6,000ක් පමණ තම ප්‍රහාර හමුවේ මරණයටපත් වූ බව වියට් මින් සංවිධානය පවසනවා.
වියට්නාමය තුළ ප්‍රංශයට හිතවත් ආණ්ඩුවක් පිහිටුවීම
යුද්ධය තුළින් ප්‍රතිඵලයක් ලබාගැනීමට වඩා වියට්නාමය තුලින් දේශපාලනික විසඳුමක් කරා යාමේ අරමුණෙන් ප්‍රංශ රජය විසින් ඔවුන්ට හිතවත් පාලනයක් ප්‍රංශයේ නිර්මාණය කිරීමට උත්සාහ කරනවා.ඒ මගින් වියට් මින් ගරිල්ලා ව්‍යාපාරය අතුගා දැමිය හැකි බව ප්‍රංශ රජය විසින් උපකල්පනය කරනවා. ප්‍රංශය විසින් වියට්නාමයේ සිටි අවසන් අධිරාජයා වූ බාඕ ඩයි (Bao Dai) 1949 වසරේදී වියට්නාමයේ පාලකයා ලෙස පත් කරනවා. එය වියට්මින් ගරිල්ලනට ලැබෙන ජනතා සහාය අඩු කිරීම උදෙසා යෙදූ උපක්‍රමයක්.
දකුණු වියට්නාමය තුළ ප්‍රංශයට හිතවත් ආණ්ඩුව නිර්මාණය කිරීමෙන් පසුව සැලකිය යුතු ආකාරයට එම ප්‍රදේශයේ වියමින් ගරිල්ලන්ට තිබු සහය අඩු වූ අතර වියට්නාම් ජාතික හමුදාව (Vietnamese National Army (VNA)) නමින් නව හමුදාවක් ස්ථාපනය කර ඔවුන්ට ප්‍රංශ හමුදා පුහුණුව ලබා දීමට ද තීරණය වෙනවා. 1950 වසරේදී ප්‍රංශ හිතවත් ආණ්ඩුවට ඇමරිකානු හා බ්‍රිතාන්‍ය රජයේ පිළිගැනීම ලැබුණු අතර හෝ චි මින්ගේ ආණ්ඩුවට චීනයේ හා සෝවියට් සමූහාණ්ඩුවේ සහය හිමිවෙනවා.
ගරිල්ලා ප්‍රහාර
1950 වසරේ දී වියට් මින් බළකාය විසින් රතු ගංගා ඩෙල්ටාවේ දී (Red River Delta) ප්‍රංශ හමුදාවට දරුණු ප්‍රහාරයක් එල්ල කරන අතර එහිදී 4800ක් පමණ ප්‍රංශ භට පිරිසක් ඝාතනය වෙනවා. මෙම වසර තුළදී ග්යැප්ගේ අණදීම මත වින් යැන් (Vĩnh Yên), මාඕ කෙහ් (mạo khê) හා පාත් දියම් (Phat Diem) වැනි නගර වල පිහිටි ප්‍රංශ හමුදා කඳවුරු වලට පහර දෙන අතර ක්ෂණිකව පහර දී පලායාම මෙම සටන් වලදී ඔවුන් අනුගමනය කළ උපක්‍රමය විය.
1954 වන තුරු වියට් මින් බළකාය, ප්‍රංශ හමුදාව සමඟ මුහුණට මුහුණ ලා සටන් නොකළ අතර වරින් වර ඔවුන්ගේ කඳවුරු වලට ගරිල්ලා ප්‍රහාර එල්ල කරන අතරතුර ප්‍රංශ හමුදා විසින් ක්‍රියාත්මක කරන මෙහෙයුම් විශාල ප්‍රමාණයක් ද ව්‍යර්ථ කිරීමට සමත් වෙනවා.
1954 වර්ෂය දක්වා සටන් කළ නමුත් ගරිල්ලා යුධ භටයන් යටත් කර ගැනීමට ප්‍රංශ හමුදාවට හෝ වියට්නාම් ජාතික හමුදාවට හැකි වන්නේ නෑ. එයට ප්‍රධානතම හේතුව ලෙස ඔවුන් දකින්නේ වියට්නාම් ගරිල්ලන්ට ලාඕස දේශ සීමාව හරහා ලැබෙන සැපයුම් නැවත්වීමට නොහැකි වීමයි. ඒ අනුව ක්‍රියාත්මක වෙන ප්‍රංශ හමුදාව ඉන්දු චීන යුද්ධයේ විශාලම සටන මෙන්ම හැරවුම් ලක්ෂය වන ඩියෙන් බියෙන් ෆූ නිම්නය ආක්‍රමණය කරමින් ගරිල්ලන්ගේ සැපයුම් මාර්ගය අවහිර කිරීමට සැරසෙනවා. ප්‍රංශය ආසියාතික රටක ලැබූ දරුණුම පරාජය එම සටනේදී අත්විදින අතර එම පරාජයේ තොරතුරුත් රැගෙන වෙනත් ලිපියකින් හමුවෙමු.
කවරයේ ජායාරූපය – ප්‍රංශ හමුදා සොල්දාදුවන් (Flickr)