Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුපියල් 15ට ඉගැන්නූ කොළඹ වාසිටියේ කතාව

අප රටේ විශ්වවිද්‍යාලයයන් 14ක් මේ වනවිට පිහිටා තිබෙන අතර, ඒ අතරින් පැරණිම උසස් අධ්‍යාපන ආයනය කොළඹ සරසවිය යි. සල්ලි ගෙවා ඉගෙන ගන්නා උසස් කොලීජියක් විදිහට මුලින්ම ආරම්භ වූ මෙහි ඉතිහාස කතාව රසවත් තොරතුරුවලින් පිරී පවතිනවා. ඒ කාලෙ සිංහල භාෂාවත් ඉංග්‍රිසියෙන් තමයි උගන්නලා තියෙන්නේ. මෙම විශ්වවිද්‍යාලය පසුගියදා සිය ශතවර්ෂ පූර්ණය සැමරුවා.

සරසවි බිම

විද්‍යා පීඨ ගොඩනැගිල්ල – Wikipedia.org

කොළඹ සරසවියේ අද පශ්චාත් උපාධි සිසුන්ද සමග පූර්ණකාලීන සිසුන් 23,000කට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබනවා. ලොව හොඳම විශ්වවිද්‍යාල දහස අතරට ද මේ සරසවිය අයත්. කොළඹ නගරය මැද කුරුඳුවත්ත කුමාරතුංග මුනිදාස කුමාරතුංග මාවත අවට ප්‍රදේශයේ අක්කර 50ක් පුරා සරසවි බිම පැතිර තිබෙනවා. මෙම ප්‍රධාන භූමියට අමතරව කොළඹ මහරෝහලට ආසන්නයේ කිංසි පාරේ පිහිටි වෛද්‍ය පීඨය මුලින්ම ඇරඹුණු පැරණි ගොඩනැගිලිත් සහිතව දැකගත හැකියි. වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය නොරිස් කැනල් මාවතේ ද, දේශීය වෛද්‍ය ආයතනය රාජගිරියට ආසන්නව ද පිහිටා තිබෙනවා. හම්බන්තොට කෘෂි තාක්ෂණ ආයතනය සහ හොරණ පිහිටි ශ්‍රීපාලී මණ්ඩපය ද කොළඹ විශ්වවිද්‍යාලයයට අයත් ආයතන යි.

සරසවියක අවශ්‍යතාව

පළමු පාලක මණ්ඩලය- cmb.ac.lk

සුද්දන් වගේම ඉංග්‍රීසින්ට කත් ඇදි දේශීය ව්‍යාපාරික ධනවතුන්ගේ දරුවොත් මුල් කාලයේ උසස් අධ්‍යාපනයට යැව්වේ එංගලන්තයේ කේම්බ්‍රිජ්, ඔක්ස්ෆඩ් වගේ විශ්වවිද්‍යාලවලට. ඒ තරම් දුර යාමට නොහැකි වුණු ලාංකිකයන්ට උසස් අධ්‍යාපනයට වරම් හිමිවුණේ නැහැ. මේ නිසා ලංකාවට විශ්වවිද්‍යාලයයක් අවශ්‍ය බවට විසිවැනි සියවස මුල දී පොන්නම්බලම් අරුණාචලම්, ජේම්ස් පීරිස්, ඩී. ආර්. විජයවර්ධන වැනි නායකයන් ගෙන ගිය ජාතික ව්‍යාපාරය හරහා අදහස් මතු වුණා. ඒ අනුව ඉංග්‍රීසි ආණ්ඩුව කොළඹ යුනිවර්සිටි කොලීජියක් පිහිටුවීමට තීරණය කළා. 1921 ජනවාරි 21 දා ආරම්භ වූ එහි පළමු විදුහල්පති වුණේ රොබට් මාර්ස්.

මහාචාර්ය ගුණපාල මලලසේකර- sundayobserver.lk

කොළඹ යුනිවර්සිටි කොලීජියේ 1920-30 දශකවල කලා විෂය ධාරාවට ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක්, සිංහල, දෙමළ, සංස්කෘත, පාලි, ඉතිහාසය, භූගෝල විද්‍යාව, දර්ශනය යන විෂයයන් ඇතුළත් වුණා. ඒ හැම විෂයයක්ම ඉගැන්වීම සිදුවුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. සිංහල, පාලි, සංස්කෘත යන ප්‍රාචීන භාෂා ඉගැන්වීම බාරව සිටියේ විශිෂ්ට පඬිවරයකු වන මහාචාර්ය ගුණපාල මලලසේකර යි. 

ලන්ඩන් උපාධිය කොළඹින්

1933 දී ආචාර්ය මණ්ඩලය – cmb.ac.lk

සිසුන් 115 දෙනෙකු ලියාපදිංචි කර 1921 දී ආරම්භ කරන ලද එහි සිසුන් සංඛ්‍යාව අවුරුද්ද අවසාන වනවිට 166 දක්වා ඉහළ ගොස් තිබුණා. ඊට පෙර වර්ෂ 1870 දී  වෛද්‍ය විද්‍යාලයයත් ආරම්භ කර තිබුණා. එය පසුව කොළඹ විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨය ලෙස අනුබද්ධ කළා. කොළඹ විශ්වවිද්‍යාල කොලීජියේ උසස් පාඨමාලා පැවැත්වුණේ ලන්ඩන් විශ්වවිද්‍යාලයයට අනුබද්ධිව යි. මේ නිසා මෙහි ඉගෙන ගන්නා සිසුන්ට හිමිවූයේ ලන්ඩන් උපාධියක්. මෙහි පන්ති පැවැත්වීම සඳහා ශ්‍රීමත් එඩ්වඩ් ඩෙනම්ගේ නිර්දේශය යටතේ 1920 දී එවකට රැජින වලව්ව ආණ්ඩුව මිල දී ගත්තා. අතර එය පසුව කොලේජ් හවුස් නමින් හඳුන්වන්නට වුණා.

එවකට ආණ්ඩුකාරව සිටි විලියම් මැනිං විසින් විශ්වවිද්‍යාල කොලීජියේ ආරම්භය සටහන් කළේ විද්‍යාල මන්දිරය හෙවත් කොලේජ් හවුස් නම් එම සුවිශේෂී ගොඩනැගිල්ලේ පැවති උත්සවයකින්. එය අදටත් කොළඹ විශ්වවිද්‍යාලයයේ පරිපාලන ගොඩනැගිල්ල ලෙස පවත්වාගෙන යනවා. රෙජිනා වලව්ව යනු දානපතියකු වූ ශ්‍රීමත් චාල්ස් හෙන්රි ද සොයිසාගේ පුතකු වන ආතර් ද සොයිසාට අයත් නිවෙසක්. කලා හා විද්‍යා උපාධිවල මූලික දේශන පැවැත්වූයේ එම විද්‍යාල මන්දිරයේ ශාලාවල යි. ඉඩකඩ මඳවීම නිසා පැරණි රාජකීය විද්‍යාල ගොඩනැගිලි කිහිපයක් 1923 දී  විශ්වවිද්‍යාල කොලිජියට පවරා ගත්තා.  

යුනිවර්සිටි කොලිජියේ පාලක මණ්ඩලයේ නිර්දේශය මත රජය 1924 මාර්තු මාසයේ දී කොළඹ බුලර්ස් පාරේ ඉඩමක් විශ්වවිද්‍යාල භූමිය ලෙස ප්‍රකාශයට පත් කළා. එහි අලුත් ගොඩනැගිලි ඉදිවුණා. 1921 සිට 1935 දක්වා කාලය තුළ විශ්වවිද්‍යාල කොලිජියේ සිසුන් 337 දෙනෙකු ලන්ඩන් විශ්වවිද්‍යාලයයෙන් උපාධිය ලබාගත් අතර, එයට කාන්තා උපාධිධාරීන් 25 දෙනකුත් ඇතුළත්.

පාලක සභාව

කොලේජ් හවුස් සිත්තරෙක් දුටු අයුරු- thuppasis.com

මුල් කාලයේ මෙහි පාලක සභාවට අග්‍ර විනිශ්චයකාරවරයා, සෞඛ්‍ය, අධ්‍යාපන හා කෘෂිකර්ම ක්ෂේත්‍රවල ප්‍රධාන පරිපාලකයන් ඇතුළත් වුණා. එහි සභාපති වූයේ ආණ්ඩුකාර විලියම් මැනිං. ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, ඩබ්ලිව්. ඒ. ද සිල්වා, වෛද්‍ය එස්. සී. පෝල්, මහාචාර්ය එස්. ඒ. ජේක්මන් ඇතුළු පිරිසක් ද පාලක මණ්ඩලයට ඇතුළත්ව සිටියා. මුල් කාලයේ විදුහල්පති වශයෙන් සිටියේ ආර්. මාර්ස්.

(ආචාර්‍ය කන්නන්ගර ගැන වැඩි තොරතුරු මෙතැනින් කියවන්න)

1942 අප්‍රේල් මාසයේ දී රාජ්‍ය මණ්ඩලය විසින් ලංකාවේ වෛද්‍ය විද්‍යාලයය සහ කොළඹ යුනිවර්සිටි කොලීජිය ඒකාබද්ධ කරමින් ලංකා විශ්වවිද්‍යාලයය පිහිටවූවා. එහි පළමු උපකුලපතිවරයා වූයේ ශ්‍රීමත් අයිවර් ජෙනිංස්. 1949 දී කොළඹ විශ්වවිද්‍යාලයයේ කොටසක් අලුතින් ඉදිකළ පේරාදෙණිය සරසවි බිමට රැගෙන ගියා.  විද්‍යා පීඨය කොළඹම පැවතුණා. පසුව සියලුම පීඨත් සමග කොළඹ විශ්වවිද්‍යාලයය ස්වාධීන ආයතනයක් බවට පත්වුණා.

විද්‍යා රසායනාගාරය

විද්‍යා අධ්‍යාපනය ලබාදෙන පැරණි ගොඩනැගිල්ල- Wikipedia.org

විද්‍යා අධ්‍යාපනයට අවශ්‍ය රසායනාගාරය 1921 ඔක්තෝබර් 1 දා විවෘත කෙරුනේ ද ආණ්ඩුකාර මැනිං විසින්. විද්‍යා සිසුන් විසින් රසායනාගාරයේ ඔවුන් අතින් කැඩෙන උපකරණ වෙනුවෙන් අයකර ගැනීමට රු.30ක තැන්පතුවක් ද ලබාදිය යුතු වූ බව මුල්කාලීන ශිෂ්‍ය අත්පොත්වල සඳහන්.

මුල්කාලීන උපාධිධරයන්

මුල් යුගයේ සිසුවෙක් වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර- Wikipedia.org

1950-60 දශකවල පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයයේ මානව ශාස්ත්‍ර අධ්‍යයන අංශ ආලෝකවත් කරමින් මෙරට භාෂා සාහිත්‍ය කලා හා ශාස්ත්‍රීය කටයුතුවල පෙරමුණ ගෙන ක්‍රියා කළ ඩී. ඊ. හෙට්ටිආරච්චි (සිංහල), ඩී. ජේ. විජේරත්න (සිංහල), එදිරිවීර සරච්චන්ද්‍ර (සිංහල), ඇම්. බී. ආරියපාල (සිංහල), ඕ. එච්. ද විජේසේකර (සංස්කෘත), කේ. එන්. ජයතිලක (දර්ශනය) වැනි මහාචාර්යවරුන් සියලු දෙනාම 1930 දශකයේ දී පමණ යුනිවර්සිටි කොලීජියේ අධ්‍යාපනය ලැබූ පිරිසක්. ඔවුන් බොහෝදෙනකුගේ විෂයයන් වුණේ සිංහල, පාලි, සංස්කෘත වැනි ප්‍රාචීන භාෂා සාහිත්‍ය විෂයයන්. මේ රටේ භාෂා සාහිත්‍යය හා කලාව වෙනුවෙන් කටයුතු කරන්නට ඔවුන් පෙළැඹී ඇත්තේ යුනිවර්සිටි කොලීජියේ අධ්‍යාපනය ලැබූ කාලයේ දී දේශීය භාෂා සාහිත්‍යය හා කලාව පිළිබඳව ඇති වූ උනන්දුවත් සමග යි.

එක් විෂයයකට රුපියල් 15යි

වෛද්‍ය පීඨ ගොඩනැගිලි- faculty of medicine- Colombo FB page

ක්‍රමයෙන් කොළඹ විශ්වවිද්‍යාල කොලීජිය ශාස්ත්‍රවන්ත සිසුන්ගෙන් පිරී යන්නට වුණා. ඔවුන්ට ශිල්ප ලබාදීමට සිටියේ ලන්ඩනයේ සහ ඉන්දියාවේ විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය ලැබූ ඇදුරු මඩුල්ලක්. 1935 වනවිට ශිෂ්‍ය සංඛ්‍යාව 540 දක්වා ඉහළ නැග තිබුණා. අද මෙන් නිදහස් අධ්‍යාපනයක් නොතිබූ එකල විශ්වවිද්‍යාල කොලීජියේ ඉගෙනගත හැකි වූයේ මුදල් ගෙවීමෙන්. ඇතුළත් වීමේ ගාස්තු වර්ෂයකට රු.10ක්. එක් විෂයයක් සඳහා එක් වාරයකට රු.15ක් ගෙවිය යුතු වුණා. පූර්ව වෛද්‍ය සිසුවෙකුගේ වාරයක ගාස්තුව රු.50ක්. විභාග ගාස්තු වශයෙන් ලන්ඩන් අන්තර් මධ්‍යම කලා සඳහා රු.108ක් ද, විද්‍යා සඳහා රු.113ක් ද, ලන්ඩන් බී. ඒ. සඳහා රු.108ක් ද ගෙවිය යුතු වුණා.

1922-23 කාලයේ ශිෂ්‍යයන් සඳහා නේවාසිකාගාර තුනක් විවෘත කෙරුණා. ක්‍රිස්තියානි නේවාසිකාගාරය, යූනියන් නේවාසිකාගාරය, සහ කතෝලික නේවාසිකාගාරය වශයෙන්. මේ කාලයේ දීම ඉතිහාසය, ගණිතය, සහ රසායන විද්‍යාව විෂ්‍යයන්ගෙන් ගෞරව උපාධි පන්ති ද ආරම්භ වුණා. කොළඹ විශ්වවිද්‍යාල කොලීජියට ඇතුළත් වූ මුල්ම භික්ෂුව වූයේ පසුව විශිෂ්ට ශාස්ත්‍රවන්තයකු බවට පත්වූ මහාචාර්ය වල්පොල රාහුල හිමියන්.  

(මහාචාර්‍ය වල්පොළ රාහුල හිමියන් ගැන රසවත් තොරතුරු මේ ලිපියෙන්: පොල්කටු නිකායේ විප්ලවයක් කළ මහාචාර්ය හාමුදුරුවෝ)

ශාස්ත්‍ර පීඨය

කොළඹ සරසවියේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් ඉගෙනගන්නේ ශාස්ත්‍ර පීඨ්‍ය හෙවත් කලා පීඨයේ. එය මේ වනවිට අධ්‍යයන අංශ 11ක්, ඒකක 3ක්, සහ මධ්‍යස්ථාන 3ක් සහිත යි. සමාජ ප්‍රතිපත්ති විශ්ලේෂණ පර්යේෂණ මධ්‍යස්ථානය, බහු සංස්කෘතික කේන්ද්‍රය, සහ ආබාධිකත්ව පර්යේෂණ අධ්‍යාපනය හා භාවිතය සඳහා වූ මධ්‍යස්ථානය ද මීට අයත්වෙනවා. ශාස්ත්‍ර පීඨයෙන් උපාධි පාඨමාලා 573ක් පිරිනමනවා. එහි ඉගෙනුම ලබමින් සිටින ශිෂ්‍ය සංඛ්‍යාව 2458ක්. ප්‍රථම උපාධියට සීමා නොවී පශ්චාත් උපාධි අධ්‍යයන හා පර්යේෂණ ද පැවැත්වීමෙන් අධ්‍යාපනය තවත් පුළුල් කිරීමට ශාස්ත්‍ර පීඨය කටයුතු කර තිබෙනවා.

මෙහි පශ්චාත් උපාධි ශිෂ්‍ය සංඛ්‍යාව 1200ක් තරම් ඉහළ අගයක් ගන්නවා.

විද්‍යා පීඨය

 විශ්වවිද්‍යාල ගොඩනැගිලි – our history FB page

අප මුලින් සඳහන් කළ සේ ලන්ඩන් විශ්වවිද්‍යාලයයේ විද්‍යාව පිළිබඳ විභාග සඳහා සහ ශුද්ධ විද්‍යා පිළිබඳ පළමු වසරේ වෛද්‍ය පරීක්ෂණය සඳහා පාඨමාලා පිරිනැමිමට තමයි මෙය මුලින්ම පටන් ගත්තේ. පළමු පීඨාධිපතිවරයා වූයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඒ. ඩබ්ලිව්. මයිල්වාගනම්. විද්‍යා පීඨයේ විශ්වවිද්‍යාල කොලීජි සමයේ මුල්ම මහාචාර්යවරු වූයේ ඒ. කන්දයියා (රසායන විද්‍යාව), එන්. ජී. බෙල් (උද්භිද විද්‍යාව), ජේ. පී. ඇඩෲස් වැනි විද්වතුන්. 1967 දී ශ්‍රී ලංකාවේ පළමු පරිගණක වැඩසටහන් පිළිබඳ පාඨමාලාව ඇරඹුණේ ද කොළඹ විද්‍යා පීඨයෙ යි. වර්ෂ 1968 දී සංඛ්‍යාන ඒකකයක් එහි පිහිටුවන ලද අතර 1980 දී පරිගණක මධ්‍යස්ථානය ආරම්භ වුණා. මේ සඳහා මූලිකත්වය ගත්තේ කොළඹ විද්‍යා පීඨයේම උගත් මහාචාර්ය වී. කේ. සමරනායක යි. එය මෙරට විශ්වවිද්‍යාලයක ආරම්භ වූ මුල්ම පරිගණක මධ්‍යස්ථානය යි. පසුව වර්ෂ 2002 දී කොළඹ විශ්වවිද්‍යාලයයේ පරිගණක පාසල ආරම්භ කෙරුණා.

(මහාචාර්‍ය වී. කේ. සමරනායක ගැන මේ ලිපිය ඔබ කියවිය යුතුම යි: කොම්පියුටරේ ලංකාවට හුරු කළ නිහතමානී මහාචාර්යවරයා)

විද්‍යා පීඨයේ අධ්‍යයන අංශ හතක් තිබෙන අතර එයට සිසුන් 650කට අධිකව වාර්ෂිකව බඳවා ගැනෙනවා. පශ්චාත් උපාධි සඳහා ලියාපදිංචි වී සිටින සිසුන් සංඛ්‍යාව 400කට අධික යි.

පුස්තකාලය

පැරණිම සරසවි පොත්ගුල ඇත්තේ ද කොළඹ යි. එය ද ආරම්භ කළේ 1921 දීම යි. පුස්තකාල විද්‍යා අධ්‍යාපන ද මේ මඟින් ලබාදෙනවා.

Related Articles