Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මරණය පෙනි පෙනී KGB උගුලෙන් පළා ආ ඔත්තුකරුවා: ඔලෙග් ගොර්දියෙව්ස්කි

සීතල යුද්ධය, එහෙමත් නැත්නම් නිරවි යුද්ධය​ පවතින කාලයේ ඇමෙරිකාව සහ එරට මිත්‍ර රටවල් වගේ ම, සෝවියට් දේශය සහ එරට මිත්‍ර රටවල් ද එකිනෙකා පිළිබඳ රහස් සෙවීමට ඔත්තු සේවාවන් යොදාගත්තා. ඇමෙරිකාවේ CIA සංවිධානය​, බ්‍රිතාන්‍යයේ MI6 සංවිධානය වගේ ම සෝවියට් දේශයේ KGB සංවිධානයත් ඒ කාලයේ ලෝක දේශපාලනය ගැන කියවද්දී නිතර ම මුණ ගැහෙන නම්වලින් කිහිපයක්.

මෙවන් සංවිධානයන්ට එක් එක් රටවල ඔත්තුකරුවන් සිටියා. ඇතැම් රටවල ඔත්තු සේවාවලට සේවය කරමින්ම ම ඊට ද්‍රෝහී වෙමින් ප්‍රතිවාදී ඔත්තු සේවා සඳහා සේවය කරන්නන් ද වුණා. මෙවන් ඇතැම් ද්‍රෝහී ඔත්තුකරුවන් ඔවුනගේ නිල සේවා ස්ථානයට විශාල හානියක් ද, ඔවුන්ගෙන් තොරතුරු ලබාගන්නවුන්ට විශාල වාසියක් ද වුණා.

වැඩිදුර කියවන්න​: සෝවියට් රහස් ඔත්තු සේවය – KGB

1980 දශකය මුල් කාලයේ බ්‍රිතාන්‍ය MI6 ඔත්තු සේවයට සෝවියට් KGB ආයතනය තුළ සිටි වටිනා ම ඔත්තුකරුවා වූයේ ඔලෙග් ගොර්දියෙව්ස්කි නම් කර්නල්වරයෙක්. ගොර්දියෙව්ස්කි ඉතා වටිනා වත්කමක් වූ අතර​, ඔහුගෙන් ලැබුණ තොරතුරු CIA සංවිධානය වෙත ද MI6 සංවිධානය වෙතින් ලබාදෙනු ලැබුණා. නමුත් මෙම ක්‍රියාවලිය ම ගොර්දියෙව්ස්කිගේ සත්‍ය මුහුණුවර KGB ආයතනයට හෙළි වීමට හේතු වූ බව ඔහු විශ්වාස කරනවා. ගොර්දියෙව්ස්කි විශ්වාස කරන්නේ CIA සංවිධානයේ සිට KGBයට තොරතුරු ලබාදුන් ඕල්ඩ්‍රිච් ඒම්ස් තමන් පිළිබඳ තොරතුරු KGBය වෙත ලබාදුන් බව යි.

KGB මූලස්ථානය​. වර්තමාන FSB මූලස්ථානය වේ (TASS)

1985 මැයි මාසයේ දී ගොර්දියෙව්ස්කි KGBය විසින් ප්‍රශ්න කෙරුණා. කුමන හෝ හේතුවක් මත ඔහු ව නිදහස් කිරීමට එම සංවිධානය කටයුතු කළා. නමුත් ඔහු ව සෑම අවස්ථාවක ම නිරීක්ෂණය යටතේ තබා ගැනුණා. එමෙන්ම ඔහුගේ ජීවිතයට වූ අනතුර ද සම්පූර්ණයෙන් ඉවත්ව​ තිබුණේ නැහැ. මෙම අවස්ථාවේ ඔහු බ්‍රිතාන්‍ය ඒජන්තයින්ගේ සහයෙන් මොස්කව් නගරයේ සිට පලා ඒමට සමත් වුණා. මෙය එකල සිදු වූ විස්මයජනකම​ පලා ඒම ලෙස හැඳින්විය හැකියි.

ඔලෙග් ගොර්දියෙව්ස්කි

ගොර්දියෙව්ස්කි උපන්නේ 1938 දී එකල NKVD ලෙස හඳුන්වන ලද සෝවියට් ඔත්තු සේවයේ නිලධාරියකුගේ පුත්‍රයෙකු ලෙස යි. ගොර්දියෙව්ස්කි 1961 දී සෝවියට් විදේශ සේවයට ඇතුළත් වූ අතර, 1963 දී KGB සංවිධානයට බැඳුණා.

ගොර්දියෙව්ස්කි සෝවියට් දේශයට එරෙහිව රහස් තොරතුරු සැපයීම සඳහා යොදා ගතහැකි අයෙකු බවට මුලින්ම අනුමාන කළේ ඩෙන්මාර්ක බුද්ධි සේවය විසිනුයි. එකල ගොර්දියෙව්ස්කි සේවය කරමින් සිටියේ ඩෙන්මාර්කයේ යි. සෝවියට් හමුදා චෙකොස්ලොවැකියාව ආක්‍රමණය කළ පසු සෝවියට් ප්‍රතිපත්ති පිළිබඳ ගොර්දියෙව්ස්කි තුළ සැක සංකා මතු ව තිබුණු අතර, ඩෙන්මාර්ක ඔත්තු සේවා නිලධාරීන් මේ බව නිරීක්ෂණය කළා. ඔවුන් තනි ව මේ පිළිබඳ කටයුතු කිරීමට මැළි වුණා. ඒ අනුව MI-6 සංවිධානයේ සහාය ඔවුන් ලබාගත්තා.

වැඩිදුර කියවන්න​: සෝවියට් දේශය විසින් කළ චෙකොස්ලොවැකියා ආක්‍රමණය

ගොර්දියෙව්ස්කි බ්‍රිතාන්‍ය MI6 බුද්ධි සේවාවෙහි රහස් ඔත්තුකරුවෙකු බවට​ පත් වුණේ 1974 දී යි. මේ අතර ඔහු KGBය වෙනුවෙන් ඔහුගේ සාමාන්‍ය කටයුතු කරගෙන ගිය අතර, එම සංවිධානය ඔහු පිළිබඳ සත්‍යය දැන සිටියේ නැහැ. 1982 දී ඔහු ව ලන්ඩනයේ KGB ප්‍රධානියා ලෙස පත් කිරීම මඟින් මේ බව හොඳින් ම පැහැදිලි වුණා.

වැඩිදුර කියවන්න​: අවසාන සෝවියට් නායකයා: මිහායිල් ගොර්බචොව්

ගොර්දියෙව්ස්කි විසින් සෝවියට් ප්‍රතිපත්ති පිළිබඳ තොරතුරු ලබාදුන් එක් වැදගත් අවස්ථාවක් වුණේ “ඒබල් ආචර් 83” යුධ අභ්‍යාසය අතරතුර සෝවියට් නායකත්වය තුළ යුධ භීතියක් මතු වූ අවස්ථාව යි. තවද​, මිහායිල් ගොර්බචොව් සෝවියට් නායකත්වයට පත්වන බටහිර රටවලට මුලින්ම තොරතුරු ලබාදුන්නේ ද ඔහු යි.

ආපසු කැඳවීම

1985 මැයි මාසයේ දී ගොර්දියෙව්ස්කිව ආපසු මොස්කව් වෙත කැඳවනු ලැබුණා. නිල වශයෙන් ඔහුට කුමක් දැන්වූවත් ගොර්දියෙව්ස්කි තුළ මෙම කැඳවීම ඇති කළේ සැකයක්. එහෙත් ඔහු මොස්කව් වෙත යාමට තීරණය කළා. ඔහු ව KGB මූලස්ථානයට ගෙන ගොස් ප්‍රශ්න කරන නමුත් ඔහුගෙන් කිසිදු වැදගත් දෙයක් KGBයට නොලැබුණ බව සිතිය හැක්කේ ඔවුන් විසින් ඔහු ව නිදහස් කිරීමෙන්. නමුත් යළි විදෙස් රටවල සේවයට ඔහුව නොයැවෙන බව ඔවුන් සඳහන් කළා. එමෙන්ම ඔහුව සෑම අවස්ථාවක ම KGB ඒජන්තයින් විසින් නිරීක්ෂණය කරනු ලබන බව ගොර්දියෙව්ස්කි දැන සිටියා.

ගොර්දියෙව්ස්කි (Rex Shutterstock)

යම් හෙයකින් මොස්කව් නගරයේ දී ඔහු අනතුරට පත් වී ඇත්නම් ඒ බව දැන්වීමටත්, ඔහු ගලවා ගැනීමේ මෙහෙයුම ඇරඹීමටත් ක්‍රමවේදයක් බ්‍රිතාන්‍ය බුද්ධි අංශ විසින් තීරණය කර තිබුණා. එම සැලැස්ම රහසිගත ව සඟවනු ලැබ තිබුණේ ශේක්ස්පියර්ගේ කෘතියක පිටත කවරය තුළ යි.

103, ලෙනින්ස්කි ප්‍රොස්පෙක්ට්, මොස්කව් හි පිහිටි තම තට්ටු නිවාස කාමරයෙහි තිබිය හැකි වූ රහස් කැමරාවලට නොපෙනීම සඳහා ඇඳෙහි හිඳගෙන ඇඳ ඇතිරිලිවලින් තමන්ව ආවරණය කරගත් ගොර්දියෙව්ස්කි, එම කවරය ජලයෙහි පොඟවා එහි රහස් තීන්තයෙන් වූ උපදෙස් අනාවරණය කරගත්තා. ඉන්පසු, ඔහු ඒවා මතකයේ තබාගෙන කවරය විනාශ කළා.

“ඔපරේෂන් පිම්ලිකෝ”

මෙම මෙහෙයුමට නම තබා තිබුණේ “ඔපරේෂන් පිම්ලිකෝ” යනුවෙන්. එහි අරමුණ වුණේ ගොර්දියෙව්ස්කි ෆින්ලන්ත දේශසීමාව හරහා සෝවියට් දේශයෙන් පිටමං කරගැනීම යි. ෆින්ලන්ත දේශසීමාව හරහා නිතර තානාපති සේවාවන් හි රථවාහන ගමන් කළ හෙයින් මෙය අවදානම් අඩු ම ක්‍රමය ලෙස සලකනු ලැබුණා. එහෙත් එය ද ඉතා අවදානම් කටයුත්තක් වුණා. තමන්ව නිරීක්ෂණය කෙරෙන බව දැන දැන ගොර්දියෙව්ස්කි බ්‍රිතාන්‍යයන්ට තමන් ගලවාගැනීමේ අවශ්‍යතාව දැන්විය යුතු වූ අතර ම ෆින්ලන්ත දේශසීමාවට ද යා යුතු වුණා.

1985 ජූලි 16 වන දා සවස් යාමයේ ගොර්දියෙව්ස්කි තම තට්ටු නිවාසයෙන් පිට වුණේ තීරණාත්මක හමුවකට යි. ඔහුගේ අත බෑගයක් වුණා. එම බෑගයේ විශාල අකුර සාමාන්‍යයෙන් හොඳින් ඈතට දිස් වන්නක්. ඔහු සවස 7ට පමණ මොස්කව් හි එක් වීදි කෙළවරක සිටගත්තා. වීදියෙන් අනෙක් පස කාර්යාලයක රාජකාරි කරමින් සිටි බ්‍රිතාන්‍ය ඒජන්තයන් වෙත යවන ලද සංඥාවක් වූ එයින් කියැවුණේ තමන් පිළිබඳ බලධාරීන්ට සැක මතු ව ඇති හෙයින් තමා රටින් පිටමං කළ යුතු ව ඇතැ යි යන පණිවිඩය යි.

විනාඩි 24කට පසු හැරොඩ්ස් බෑගයක් අත ගෙන මාර්ස් චොකලට් එකක් කමින් සිටි අයෙකු ඔහුට මීටර හතර පහකට ඔබ්බෙන් ගමන් ගත්තා. එක් ක්ෂණයකට දෙදෙනාගේ ඇස් හමුවුණා. බ්‍රිතාන්‍ය ඒජන්තයින්ට පණිවිඩය ලැබුණ බවට සහ ගලවාගැනීමේ මෙහෙයුම ක්‍රියාවට නැගෙන බව අඟවන ලද සංඥාව වූයේ හැරොඩ්ස් බෑගය සහ චොකලටය යි.

ගොර්දියෙව්ස්කිට මොස්කව් නගරයෙන් පලා යාමට අවස්ථාව ලැබුණේ ජූලි 19 වන දා යි. ඔහු සාමාන්‍යයෙන් සිදුකරන පරිදි එදින ද උදෑසන ව්‍යායාමය සඳහා දිවීමට පිටත් වුණා. නමුත් එදින ඔහුගේ අරමුණ වුණේ වෙනකක්. තමා ලුහු බඳින KGB නිලධාරීන් මඟ හැරිය ගොර්දියෙව්ස්කි  සාන්ත පීතර්බුහ් නගරයේ උතුරු ප්‍රත්‍යන්ත ප්‍රදේශයේ පිහිටි සෙලෙනොගෝර්ස්ක් කරා දුම්රියෙන් ගමන් කළා. එතැනින් බසයකට නැගුණ ඔහු ෆින්ලන්ත දේශසීමාව අසල ප්‍රදේශයකට ළඟා වුණා.

ගොර්දියෙව්ස්කි 1997 දී දෙවන එලිසබත් රැජිණගෙන් සම්මානයක් ලබමින් (PA)

ගොර්දියෙව්ස්කි කලින් සැලසුම් කළ ස්ථානයක පඳුරක් පිටිපස සැඟවුණා. එක්තරා අවස්ථාවක එම ස්ථානයට ෆෝර්ඩ් කාරයක් පැමිණි අතර එහි උන් අයෙකු ඉන් බැස, එහි බොනට්ටුව විවෘත කළා. ගොර්දියෙව්ස්කිට පිටතට ඒමට වූ සංඥාව වූයේ එය යි.

ගොර්දියෙව්ස්කි කාරය වෙත පැමිණි අතර එහි ඩිකියෙහි ඔහු සැඟවුණා. අභ්‍යවකාශ බ්ලැන්කට්ටුවක් (අධෝරක්ත ආදී කිරණ පරාවර්තනය කළ හැකි වන අභ්‍යාවකාශ යානා ආදිය සඳහා යොදාගන්නා ආවරණයක්) මඟින් ඔහු ව වසා දැමුණා. මෙසේ ඔවුන් දේශසීමාව කරා පැමිණුනා.

දේශසීමාවේදී ආරක්ෂකයින් වාහනය පරික්ෂා කළ නමුත් කිසිදු සැක සහිත යමක් හමුවූයේ නැහැ. ඒ අනුව වාසනාවට මෙන් ගොර්දියෙව්ස්කි ගැලවුණා.

බ්‍රිතාන්‍යයේ ජීවිතය​

ගොර්දියෙව්ස්කිට එරෙහිව ඔහු නොමැති ව නඩු විභාගයක් පැවැත්වූ සෝවියට් බලධාරීන් ඔහු ව මරණ දඬුවමට නියම කළා. එමෙන්ම 1991 වන තුරු ඔහුගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාට බ්‍රිතාන්‍යයට පැමිණීමට අවසර ලැබුණේ නැහැ. කෙසේ නමුත් පසු කලෙක ඔවුනගේ විවාහය බිඳ වැටුණා.

ගොර්දියෙව්ස්කි KGBය පිළිබඳ කෘති කිහිපයක් ම ලියා තිබෙනවා. ඒ අතර ක්‍රිස්ටෝපර් ඇන්ඩෲ සමග ලියූ “KGB” කෘතිය විශේෂ වෙනවා. මේ අතර බ්‍රිතාන්‍ය මාධ්‍ය ද නිතර ඔහු හා සෝවියට් දේශය​, සහ වර්තමාන රුසියාව පිළිබඳ සාකච්ඡා කරනවා.

ගොර්දියෙව්ස්කි විසින් සිදුකරන ලද ඇතැම් ප්‍රකාශ මතභේදයට තුඩු දුන්නා. එයින් එක් විශේෂ ම අවස්ථාවක් වූයේ හිටපු බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක මයිකල් ෆුට් KGBය සමග සබඳතා පැවැත්වූ බවට කරන ලද ප්‍රකාශය යි.

2007 නොවැම්බර් 2 වන දා ඔහු රෝහල්ගත කරන ලද බවත්, දිනකට වඩා සිහි නොමැති ව සිටි බවත් 2008 අප්‍රේල් මස බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් පළ කළ වාර්තා අනුව කියැවුණා. රුසියානු බුද්ධි නිලධාරීන් විසින් සිදුකරන ලද තැලියම් ශරීරගත කිරීමක් ඊට හේතු වූ බව ගොර්දියෙව්ස්කි චෝදනා කළා.

 

Related Articles