පළමු ලෝක යුධ සමයේ දී බටහිර පෙරමුණේ සිදු වූ, සාපේක්ෂව කුඩා නමුත් වැදගත් සටනක් ලෙස න්‍යු ෂැපෙල් සංග්‍රාමය සැලකිය හැකියි.
මෙම සටන බටහිර පෙරමුණේ බ්‍රිතාන්‍යයන් මූලිකත්වය ගෙන සිදුකළ පළමු ප්‍රහාරක මෙහෙයුම විය. එමෙන්ම, බටහිර පෙරමුණේ දී බ්‍රිතාන්‍ය ඉන්දියානු හමුදා සහභාගී වූ පළමු සටන වූයේ ද එය යි.
එමෙන්ම, යුධ පෙරමුණේ ඔත්තු බැලීම සහ සටන් පෙරමුණේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ගුවන් යානා යොදවා ගැනීම පිළිබඳ ද මෙම සටන මුල් කාලීන උදාහරණයක් වුණා.
යුධ අගල්
1914 දී යුද්ධය ඇරඹි මුල් දිනවල ජර්මන් හමුදා පැරිසිය කරා පැමිණි ගමන මාර්න් නදී සංග්‍රාමයෙන් අවසන් වුණා. ඉන් ස්වල්ප කලකට පසු බටහිර පෙරමුණෙහි දෙපාර්ශවයම යුධ අගල් ඉදිකර, ඒවායේ සිට එකිනෙකා හා ගැටුණා. මෙම අගල්වලින් ප්‍රතිවාදීන් එළවා දැමීම පහසු වූයේ නැහැ. ඒවායේ ආරක්ෂාවට කටු කම්බි වැටවල් ඉදිකර තිබුණා. එමෙන්ම, මැෂින් තුවක්කු ද සවි කරනු ලැබුණා. එහෙයින් ප්‍රතිවාදී අගල් කරා හමුදා යැවීම අපහසු වුණා.
මේ අනුව, 1915 වන විට ජර්මන් හමුදා මෙන්ම මිත්‍ර හමුදා ද ප්‍රතිවාදී යුධ අගල් අල්ලා ගැනීම පිළිබඳ සැලසුම් සකසමින් සිටියා. මැෂින් තුවක්කු මෙන්ම කටු කම්බි වැටවල් ද මෙහි දී සැලකිය යුතු බාධක වුණා. පාබල හමුදා යැවීමට පෙර කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම මඟින් ඉදිරිපෙළ අගල්වල ආරක්ෂාවට සිටි සෙබළුන් පළවා හැරීම සහ කටුකම්බි වැටවල් විනාශ කිරීම කළ යුතුයැ යි තීරණය කෙරුණා.
බටහිර පෙරමුණේ දී වසන්ත ඍතුවේ එල්ල කෙරෙන ප්‍රහාරක මෙහෙයුම් සඳහා මිත්‍ර හමුදා සූදානම් වුණා. මෙහි මුල්ම පියවර ගැනීමට නියමිත වූයේ බ්‍රිතාන්‍ය හමුදාව යි.
මෙම ප්‍රහාරයට සූදානම් වන සමයෙහි බ්‍රිතාන්‍ය හමුදා තමන් සතු කාලතුවක්කුවලින් කුමක් ආරම්භක ප්‍රහාරය සඳහා වඩා සුදුසු වේ ද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා පරීක්ෂණ සිදුකළා. මෙහි දී ඔවුනට වැදගත් වූයේ ප්‍රතිවාදී යුධ අගල් ආරක්ෂා කළ කටුකම්බි වැටවල් කඩා දැමීම යි. මේ සඳහා ශ්‍රැප්නෙල් වර්ගයේ (කුඩා කැබලිවලට කැඩී යන) උණ්ඩ වඩා සුදුසුයැ යි පෙන්නුම් කෙරුණා.
1915 මාර්තු 10 වන දා බ්‍රිතාන්‍ය සේනාංක විසින් ආර්ටුවා ප්‍රදේශයේ, න්‍යු-ෂැපේල් ගම්මානයට එල්ල කරන ලද ප්‍රහාරය බටහිර පෙරමුණේ දී එම වසරේ සිදු වූ පළමු ප්‍රහාරය යි. ඉන්දීය හමුදාවේ මීරූට් සහ ලාහෝර් ඩිවිෂන ද මෙම සටන සඳහා සහභාගී වුණා.
මෙහි දී මූලික වශයෙන් බ්‍රිතාන්‍යයන් සාර්ථක වූ නමුත්, ඊට වැඩි සාර්ථකත්වයක් ලබාගැනීමට වූ අවස්ථාව ඔවුනගේම දුර්වලතා හේතුවෙන් මඟහැරී ගියා.
න්‍යු-ෂැපේල් සටන
මාර්තු 10 වන දා උදෑසන 7.30ට දරුණු කාලතුවක්කු ප්‍රහාරයක් ජර්මන් අගල් දෙසට එල්ල කෙරුණේ, එහි වූ කටු කම්බි සහ වෙනත් ආරක්ෂක විධිවිධාන ඉලක්ක කරගෙන යි. පැය භාගයක දරුණු ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍ය හමුදා ඉදිරියට ගොස් ජර්මන් අගල් පේළි සමහරක් අල්ලා ගත්තා. ජර්මානුන් මුල් ප්‍රහාරයෙන් මවිතයට පත්ව සිටි අතර, මුල් අගල් පේළි අතැර පසු බැසීමට ඔවුන් කටයුතු කර තිබුණා. ජර්මානු හමුදා වේගයෙන් පසුබැසීම හේතුවෙන් බ්‍රිතාන්‍ය සේනා න්‍යු-ෂැපේල් වෙත ද ඇතුල් වුණා.
බ්‍රිතාන්‍යයන්ට මූලික වරදක් සිදුවූයේ මෙම අවස්ථාවේ යි. මුල් යුධ සැලසුමේ ඉලක්ක කරා ළඟා වූ පසු එම හමුදා තවත් ඉදිරියට යාම නවතා දැමුවා. ඊට හේතුව වුණේ සටන් පෙරමුණේ තත්ත්වයන්ට අනුව යුධ සැලැස්ම වෙනස් කරගත නොහැකි වීම යි.
සටනට පෙර සැකසූ යුධ සැලසුමට අනුව මුල් ප්‍රහාරයෙන් පසු එම ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීමට අමතර සේනා පැමිණෙන තෙක්, ඉදිරිපෙළ සේනාංක මඳක් නැවතී සිටිය යුතු වුණා. යළි ඉදිරිය බලා ගමන් කළ යුතු වූයේ ඉන් පසුව යි. ජර්මන් පෙරමුණ එතරම් වේගයෙන් බිඳවැටෙනු ඇතැ යි බලාපොරොත්තු නොවීම මේ ආකාරයේ ආරක්ෂාකාරී සැලැස්මක් පිළියෙල කිරීමට හේතුව වුණා. මෙම අවස්ථාවේ පෙරමුණෙහි මතු වූ තත්ත්වය පිළිබඳ හමුදාවේ අණදෙන නිලධාරීන්ට දන්වන ලද නමුත්, ඔවුන්ගෙන් උපදෙස් ලැබීම ප්‍රමාද වුණා. මෙම ප්‍රමාදය හේතුවෙන් ජර්මන් සේනාංකවලට මුල් අගල් පේළිය පසුපසින් වූ දෙවන අගල් පෙළක දී ප්‍රතිසංවිධානය වීමට කාලය ලැබුණා. මේ අනුව බ්‍රිතාන්‍ය ප්‍රහාරය අඩාල වුණා.
ගුවන් නිරීක්ෂණය මඟින් සතුරු ඉලක්ක හඳුනාගැනීම සහ සටන සිදුවන අවස්ථාවේ දී ද අවශ්‍ය පරිදි ඉලක්ක වෙනස් කරගැනීම සඳහා ගුවන් නිරීක්ෂණය උපයෝගී කරගැනීම ද මෙම සටනේ දී බ්‍රිතාන්‍යයන් විසින් සිදුකළ අත්හදා බැලීම් වුණා. සටන සිදුවන අවස්ථාවේ පෙරමුණ නිරීක්ෂණය සඳහා ගුවන් ගත වූ බ්‍රිතාන්‍ය ගුවන් යානාවල රේඩියෝ යන්ත්‍ර සවිකොට තිබුණේ එම විස්තර තම හමුදා වෙත කඩිනමින් දැනුම් දීමට යි. කෙසේ වෙතත්, මේවා මූලික තත්ත්වයන් හි වූ හෙයින් එහි දී අඩුපාඩු සිදුවුණා.
මාර්තු 12 වන දා ජර්මන් හමුදා ප්‍රතිප්‍රහාරයක් දියත් කළා. බ්‍රිතාන්‍ය හමුදාවන් මෙම ප්‍රහාරය මැඩලූ නමුත්, ඒ සඳහා ඔවුනගේ කාලතුවක්කු උණ්ඩ විශාල ප්‍රමාණයක් වැය කිරීමට සිදුවුණා. මේ හේතුව නිසා, බ්‍රිතාන්‍යයන් විසින් එල්ල කිරීමට සැලසුම් කළ මීළඟ ප්‍රහාරය අතැර දැමීමට සිදුවුණා. මුලින්ම මාර්තු 15 වනදාට කල් තැබූ එම මෙහෙයුම, පසුව සම්පූර්ණයෙන්ම අතැර දැමීමට බ්‍රිතාන්‍ය හමුදා නායකත්වය තීරණය කළා.
අලුත් උපක්‍රම හඳුන්වා දීමට ගත් උත්සාහය හේතුවෙන් න්‍යු-ෂැපේල් සටන වැදගත් වුණා. එමෙන්ම, යුධ අගල්වල තෝරා ගත් ප්‍රදේශයකට එල්ල කරන ප්‍රබල කාලතුවක්කු ප්‍රහාර මඟින්, සාමාන්‍ය සාර්ථකත්වයක් ලබාගත හැකියැ යි මෙහි දී පෙන්වා දෙනු ලැබුණා.