Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අසිපත් හරඹයේ දස්කම් දැක් වූ අභීත සටන්කරුවන්

අසිපත් ලෙළවමින් සටන් වැදි අභීත සටන්කරුවන් බොහෝ විට අපට හමුවන්නේ ප්‍රබන්ධයන් හි වුවත්, එක් පහරින් සතුරාට මරණය රැගෙන එමින් ලෝක ඉතිහාසයේ රන් අකුරින් තම නාමය සනිටුහන් කළ අසිපත් හරඹයේ දක්ෂයින් කිහිපදෙනෙකු පිළිබඳ ව ද කථාන්තරයන් හි සඳහන් වෙනවා. ඒ අතර ජපන් අධිරාජ්‍යය ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් යුද පෙරමුණට ගිය සමුරායිවරුන් මෙන් ම ද්වන්ධ සටන් කලාව ප්‍රගුණ කළ සොල්දාදුවන් ද සිටින බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. මේ අසිපත් හරඹයේ දස්කම් දැක් වූ එවැනි අභීත සටන්කරුවන් කිහිපදෙනෙකු ගැන තොරතුරු බිඳක්.

ජපානයේ අසිපත් සාන්තුවරයා මියමොතෝ මුසාෂි

ජපන් ජනශ්‍රැතියේ සඳහන් වන පරිදි ද්වන්ධ සටන් 60කින් දිවි ගලවා ගත් රෝනින්වරයෙකු (ස්වාමියෙකු නොමැති සමුරායිවරයෙක්) වූ මියමොතෝ මුසාෂි, මුල්වරට අසිපත් හරඹයේ යෙදී ඇත්තේ වයස අවුරුදු 13ක් තරම් වූ ළපටි කාලයේ දී යි. බොහෝ විට ජපානය පුරා ඇවිදිමින් තමන්ට අභියෝග කරන ඕනෑම පුද්ගලයෙකු සමග සටන් කිරීමට කැමැත්තක් දක්වා ඇති ඔහු ඇතැම් විටෙක සොල්දාදුවෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා. පුරාවෘත්තයන් හි සඳහන් වන ආකාරයට මියමොතෝ මුසාෂි අසිපත් ද්විත්වයක් භාවිතා කරමින් සිදුකරන සටන් කලාවේ අතිදක්ෂයෙකු වුව ද ඔහු වඩාත් ප්‍රිය කර ඇත්තේ ‘බොක්කෙන්’ ලෙස හැඳින්වෙන ලී අසිපත් යොදාගනිමින් ද්වන්ධ සටන් හි නිතර වීමට යි.

© Wikimedia Commons

1612 දී ජපන් ඉතිහාසයේ හමුවන ශ්‍රේෂ්ඨතම අසිපත්කරුවෙකු ලෙස සැලකෙන සසාකි කොජිරෝ නම් සමුරායිවරයා සමග හබලකින් තනා ගන්නා ලද බොක්කෙන් අසිපතක් භාවිතා කරමින් ද්වන්ධ සටනක නියැලි මියමොතෝ මුසාෂි, එක් පහරින් ඔහු ව මරණයට පත් කරන ලද බව සඳහන්. එසේ ම ඔහු විසින් රචනා කරන ලද ‘ගෝ රින් නෝ සෝ’ නම් ග්‍රන්ථය සැලකෙන්නේ අසිපත් හරඹය සහ අනෙක් සටන් කලාවන් සම්බන්ධයෙන් රචනා වී ඇති ග්‍රන්ථයන් හි සන්ධිස්ථානයක් ලෙස යි. ජීවිතයේ අවසන් කාලයේ දී අසිපතට සමු දුන් මියමොතෝ මුසාෂි, ලේඛකයෙකු සහ සිත්තරෙකු ලෙස කාලය ගත කර තිබෙනවා.

මහත්මා අසිපත්කරු ජෝසෆ් බොලොඤ්ඤේ

© D’après Mather Brown & William Ward

ශාන්ත ජෝර්ජ් හි වංශාධිපති යන ගෞරව නාමයෙන් පිදුම් ලද ජෝසෆ් බොලොඤ්ඤේ, ප්‍රංශ ජාතික කුලීනයෙකුට දාව කළු ජාතික වහල් සේවිකාවකට උපන් දරුවෙක් බව යි සඳහන් වන්නේ. මිශ්‍ර දරුවෙකු වුව ද අසිපත් සටන් කලාව සහ වයලීන් වාදන පාඩම් ඇතුළත් ඉහළ අධ්‍යාපනයක් ඔහුට ලබාදීමට ඔහුගේ පියා කටයුතු කර ඇති අතර ඔහු තරුණ වියට පා තබා ඇත්තේ දක්ෂ අසිපත් සටන්කරුවෙකු ලෙස යි. කෙටි කලෙකින් ම ප්‍රංශයේ කීර්තිමත් අසිපත් සටන්කරුවෙකු ලෙස නමක් දිනා ගත් ඔහු නිරන්තරයෙන් ම යුරෝපයේ රාජකීයයන් සමග අසිපත් හරඹයේ නියැලී තිබෙනවා. එසේ ම ප්‍රංශ විප්ලවයේ දී ‘ශාන්ත ජෝර්ජ් හි මහා හමුදාව’ ලෙස හඳුන්වන ලද කළු ජාතිකයින්ගෙන් පමණක් සැදුම් ලත් රෙජිමේන්තුවට නායකත්වය දී ඇත්තේ ද ජෝසෆ් බොලොඤ්ඤේ විසින්.

අතිදක්ෂ ද්වන්ධ සටන්කරු ඩොනල්ඩ් මැක්බේන්

© Donald McBane / The Expert Swordsman’s Companion

ඇතැම් විටෙක සුරාසල් අධිපතියෙකු සහ ගණිකා නිවාස හිමියෙකු ලෙස කටයුතු කළ ස්කොට් ජාතික ඩොනල්ඩ් මැක්බේන් වඩාත් ජනප්‍රිය වී ඇත්තේ 18 වැනි සියවසේ වාසය කළ විශිෂ්ටතම අසිපත් සටන්කරුවා ලෙස යි. වෘත්තීමය වශයෙන් කර්නල්වරයෙකු වූ ඔහු සහභාගී වී ඇති ද්වන්ධ සටන් ප්‍රමාණය සියය ඉක්මවන බව යි වාර්තා වන්නේ. පසුකාලීන ව අසිපත් හරඹය හදාරන්නන් වෙනුවෙන් පුහුණු පාසලක් අරඹා ඇති ඩොනල්ඩ් මැක්බේන්, ඉක්මනින් ඉදිරියට පැන මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ හැකි අසිපත් සටන් ශිල්ප ක්‍රමයක් පවා වර්ධනය කර තිබෙනවා. එසේ ම ‘වල් ඌරාගේ තෙරපුම’ ලෙස හඳුන්වනු ලබන සතුරාගේ ගෙල පසාරු කරගෙන යන අයුරින් සටන්කරුවා එක් දණහිසක් නවාගෙන සිදුකරනු ලබන අසිපත් ප්‍රහාරය ද ඩොනල්ඩ් මැක්බේන්ට සුවිශේෂී බව සඳහන්. 1732 දී සිදු වූ ඔහුගේ මරණයට කෙටි කලකට පෙර ඔහුගේ අත්දැකීම් අනුසාරයෙන් ‘The Expert Sword-Man’s Companion’ නමින් ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට ඩොනල්ඩ් මැක්බේන් කටයුතු කර තිබෙනවා.

පුනරුද සමයේ අසිපත් විශාරදයා අකිලි මොරොට්සෝ

© Ilkka Hartikainen

අසිපත් හරඹය ගැන ලියැ වී ඇති පැරණි ම යුරෝපීය අත්පොත් අයත් වන්නේ ක්‍රි. ව. 1400ට පමණ වුවත්, ඒ අතරින් වඩාත් වැදගත් ග්‍රන්ථය ලෙස සැලකෙන්නේ 16 වැනි සියවසේ මැද භාගයේ දී පමණ ඉතාලි ජාතික අකිලි මොරොට්සෝ නම් අසිපත් සටන්කරු විසින් රචනා කරන ලද අත්පොත යි. ‘Opera Nova dell’Arte delle Armi’ යන නමින් හඳුන්වනු ලබන එය, පුනරුද සමයේ ලියැ වී ඇති අසිපත් හරඹයේ ඉරියව්, පහර මගහරින ශිල්ප ක්‍රම සහ වමත් සටන්කරුවන් ව පරාජය කිරීමට උපදෙස් ඇතුළත් විශිෂ්ටතම සංග්‍රහය ලෙස හැඳින්වීම වැරදි නැහැ. ඉතිහාසයේ අකිලි මොරොට්සෝගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් වන්නේ ඉතාමත් ස්වල්පයක් වන අතර ඇතැම් මූලාශ්‍රයන්ට අනුව ඔහු ඉතාලියේ බොලොඤ්ඤා නුවර පැවති ඉහළ ම අසිපත් හරඹ පුහුණු මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබෙනවා.

අසිපතක් අතින් ගත් සොඳුරු කත ජුලී ඩි ඕබීනී

© Gallica

18 වැනි සියවසේ මුල් කාලයේ දී ප්‍රංශ වැසියන් අතර ජුලී ඩි ඕබීනී ජනප්‍රිය වී ඇත්තේ ඇගේ කැපී පෙනෙන පෞරුෂය, සොඳුරු කටහඬ, සහ මරණීය අසිපත් සටන් හැකියාව හේතුවෙන්. දහහතර වැනි ලුවී රජුගේ රාජ සභාවේ සිටි වංශාධිපතියෙකුගේ දියණිය වූ ඇය තරුණ වියේ සිටි ම අසිපත් හරඹය ප්‍රගුණ කළ අයෙකු ලෙස සැලකෙනවා. වයස අවුරුදු 14ක් ව තිබිය දී ප්‍රංශ වංශවතෙකුගේ අනියම් බිරිඳ බවට පත් වූ ඇය, පසුකාලීන ව සෙරාන් නම් අසිපත් සටන්කරුවෙකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඔහු සමග පැන ගොස් තිබෙනවා. ඉන්පසු ව ඇය ජීවත් වීම සඳහා අවැසි මුදල් උපයාගෙන ඇත්තේ සුරාසල් හි අසිපත් හරඹ ප්‍රදර්ශන පැවැත්වීමෙන්. පුරුෂයන් සමග ද්වන්ධ සටන් හි යෙදී ඔවුන් ව පරාජය කිරීම ප්‍රිය කළ ඇය පසුකාලීන ව අසිපතට සමු දී කන්‍යාරාමයකට ඇතුළත් වූ බව යි වාර්තා වන්නේ.

කවරයේ පින්තූරය : © Derek Winchester

Related Articles