සෝවියට් බෝල්‍ෂවික් විප්ලවය සිදු වී වසරක්වත් ගෙවී තිබුණේ නැහැ. නව සෝවියට් රජය රුසියාව ඇතුළතින් මෙන්ම පිටතින් ද විවිධ ප්‍රතිවාදීන්ට මුහුණ දෙමින් සිටියා. මේ අවස්ථාවේ රතු හමුදාවේ ප්‍රධානී ලියොන් ට්‍රොට්ස්කි සිටියේ සිම්බර්ස්ක් සහ කසාන් ආශ්‍රිත වොල්ගා නදී ප්‍රදේශයේ සටන් මෙහෙයවමින්. මොස්කව් සිට රජය මෙහෙයවූයේ ව්ලැඩිමීර් ඉලීච් ලෙනින්. ඔහු නිරන්තරයෙන් කම්කරුවන් සහ පාක්ෂිකයන් හමුවූයේ ඔවුනගේ විශ්වාසය සිය රජය කෙරෙහි පවත්වාගත යුතු වූ බැවින්. මෙම අවස්ථාවේ නාගරික කම්කරු පන්තිය සෝවියට් බලයට අත්‍යවශ්‍ය වුණා.
මෙවන් එක් රැස්වීමක් සඳහා ලෙනින් සහභාගී වූයේ 1918 අගෝස්තු 30 වන දා මොස්කව්හි “දෑකැත්ත සහ මිටිය” කම්හලේ දී. රැස්වීම අවසානයේ සිය මෝටර් රථය වෙත යමින් සිටි ඔහුට වෙඩි පහර තුනක් එල්ල වුණා. එයින් එකක් ඔහුගේ කබාය හරහා ඉවත ඇදී ගිය නමුත් අනෙක් දෙක ඔහුගේ සිරුර තුළට වැදුණා. එක උණ්ඩයක් ඔහුගේ වම් පෙණහැල්ල පසාරු කරගෙන ඇදී ගියා.
තුවාල ලද ලෙනින් වහා ක්‍රෙම්ලීනය වෙත රැගෙන යනු ලැබුණා. මෙම ප්‍රහාරය විශාල කුමන්ත්‍රණයක කොටසක් විය හැකියැ යි සැක සිතූ ඔහු රෝහලකට යාම ප්‍රතික්ෂේප කළා. මේ අනුව ඔහුට ප්‍රතිකාර කළේ ක්‍රෙම්ලීනයේ දී. බරපතල ලෙස තුවාල ලැබූ නමුත් ඔහුගේ ජීවිතය ගැලවුණා. එසේ නමුත් සිය මරණය තෙක්ම ලෙනින් සම්පූර්ණ සුවයක් ලැබූයේ නැහැ.
ෆැනී කප්ලාන්
ලෙනින් ඝාතනය කිරීමට උත්සාහ කරන ලද ස්ථානයේ දී සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි බව කියන කාන්තාවක අත්අඩංගුවට ගනු ලැබුණා. ඇය වඩාත්ම ප්‍රකටව සිටින්නේ ෆැනී කප්ලාන් හෙවත් ෆන්යා කප්ලාන් යන නමින් වුවත් ඇගේ සැබෑ නම කුමක්දැ යි නිශ්චිතව නිගමනය කොට නැහැ.
අත්අඩංගුවට ගන්නා ලද පසු ඇය පහත ප්‍රකාශය ලබා දුන්නා.
“මගේ නම ෆන්යා කප්ලාන්. අද මම ලෙනින්ට වෙඩි තැබුවා. එය මා කළේ තනිවම යි. මම මගේ රිවෝල්වරය ලබාගත්තේ කාගෙන්දැ යි හෙළි කරන්නේ නැහැ. මම කිසිවක් හෙළි කරන්නේ නැහැ. මම බොහෝ කලෙක සිට ලෙනින් මරා දැමීමට අදහස් කරගෙන සිටියා. ඔහු විප්ලවයට ද්‍රෝහී වුණ බව යි මම හිතන්නේ. කීව් නගරයේ දී සාර් රජයේ නිලධාරියෙකු ඝාතනයට තැත්කළ චෝදනාවට මා අකතුයි වෙත පිටුවහල් කෙරුණා. එහි මා වසර 11ක් බරපතළ වැඩ සහිත කඳවුරක සිටියා. විප්ලවයෙන් පසු මා නිදහස් කෙරුණා. මම ව්‍යවස්ථාදායක සභාවට සහය දුන් අතර අදටත් ඊට සහය දෙනවා.”
ඇගේ ප්‍රකාශය තේරුම් ගැනීමට නම් අප මඳක් ඉතිහාසයට යා යුතු යි.
සමාජ විප්ලවකාරීන්
20 වන සියවසෙහි මුල් කාලයේ දී රුසියාවේ සාර් පාලනයට එරෙහිව බිහි වූ පක්ෂයක් වුණේ සමාජ විප්ලවකාරී පක්ෂය යි. මෙය විවිධ කණ්ඩායම්වල එකතුවක් වුණ අතර වැඩිපුර ජනප්‍රිය වුණේ ග්‍රාමීය ගොවිජනයා අතර යි. ෆැනී කප්ලාන් මෙහි සාමාජිකාවක වුණා.
1890 දී යුදෙව් පවුලක උපන් කප්ලාන් තරුණ වයසේ දී ම සමාජ විප්ලවකාරීන් සමග එකතු වුණා. ඇය කීව් නගරයේ දි සාර් ආණ්ඩුවේ නිලධාරියෙකු මරා දමන්න උත්සාහ කරන්නේ වයස අවුරුදු 16 දී. එහි ප්‍රතිඵලය ලෙස ඇයව සයිබීරියාවට පිටුවහල් කළා.
1917 පෙබරවාරි විප්ලවයට පසුව ඇයව නිදහස් කරනු ලැබුණා. නව පාලන සමය තුළ සමාජ විප්ලවකාරීන් ප්‍රබල කණ්ඩායමක් වුණා. නමුත් කෙමෙන් කෙමෙන් තාවකාලික ආණ්ඩුවේ ද ජනප්‍රියත්වය පහළ වැටෙමින් පැවතුණා. බෝල්‍ෂවික් විප්ලවය සිදු වූයේ 1917 නොවැම්බර් 7 වන දා (පැරණි දින දර්ශනය අනුව ඔක්තෝබර් 25) එම රජය පෙරළා දමමින්.
නොවැම්බර් 25 වන දා ව්‍යවස්ථාදායක සභාව සඳහා මැතිවරණය පවත්වනු ලැබූ අතර, එහි දී තනි පක්ෂයක් ලෙස වැඩිම ඡන්ද සහ ආසන සංඛ්‍යාව ලබා ගත්තේ සමාජ විප්ලවකාරීන්. ඔවුන් 40%ක් ඡන්ද ලබා ගනිද්දී බෝල්‍ෂවික් පක්ෂය ලැබූයේ ඡන්ද 24%ක ප්‍රතිශතයක් පමණ යි.
කෙසේ නමුත් රටේ පාලන බලය ගෙන යන බෝල්‍ෂවික් පක්ෂය මෙහි දී කියා සිටින්නේ සියලු බලතල සෝවියට් සභාවන්ට පැවරිය යුතු බව යි. පෙබරවාරි විප්ලවයෙන් පසුව සමස්ත රුසියානු සෝවියට් සභාවක් පිහිටුවනු ලැබ තිබුණ අතර එහි මේ අවස්ථාව වන විට බලය තිබුණේ බෝල්‍ෂවික් පක්ෂයට යි. ඒ අනුව සෝවියට් රජය විසින් ව්‍යවස්ථාදායක සභාව විසිරුවා හැරියා.
සමාජ විප්ලවකාරිණියක වූ ෆැනී කප්ලාන් ව්‍යවස්ථාදායක සභාවට සහය දෙන බව ප්‍රකාශ කළේ මේ කරුණ හේතුවෙන්.
කෙසේ වෙතත් සමාජ විප්ලවකාරීන් අතුරින් වඩා වාමාංශික කොටස බෝල්‍ෂවික් පාලනයට සහය දැක්වූවා. ඔවුන් හැඳින්වුණේ වාම සමාජ විප්ලවකාරීන් ලෙස යි. ඔවුන් සහ සෝවියට් රජය අතර හොඳ හිත පැවතියේ 1918 මුල වන තුරු පමණ යි. 1918 මාර්තු 3 වන දා ජර්මනිය සහ සෝවියට් රුසියාව අත්සන් කළ බ්‍රෙස්ට් ලිටොව්ස්ක් ගිවිසුමට විරෝධය පළ කරමින් ඔවුන් රජයෙන් ඉවත් වුණා. 1918 ජූලි මාසය මුල දී රාජ්‍ය බලය අල්ලා ගැනීමට ඔවුන් සිදු කළ උත්සාහයක් අසාර්ථක වුණා.
1918 අගෝස්තු 17 වන දා පෙත්‍රොග්‍රාදයේ චෙකා (සෝවියට් රහස් පොලිසිය) සංවිධානයේ ප්‍රධානී මොයිසෙයි උරිට්ස්කි ඝාතනය කරන ලද අතර එය සමාජ විප්ලවකාරීන්ගේ ක්‍රියාවක් බව සැක කෙරුණා. ලෙනින් ඝාතන තැතත් සමග වඩා පුළුල් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ ය යන සැකය ඇති වීමට එය ද හේතු වුණා.
සැබෑවටම ඝාතන තැත සිදු කළේ ෆැනී කප්ලාන් ද?
ඇතැම් ඉතිහාසඥයින් සැක පළ කරන්නේ ලෙනින් ඝාතන තැත කප්ලාන් විසින් සිදු කරන්නට නැති බව යි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඇය ඝාතන උත්සාහයක් දැරීමට තරම් මානසික සිහි කල්පනාවකින් යුතු නොවූ බව ඔවුන් සැක පළ කරනවා. ඒ අනුව මෙම ක්‍රියාව බෝල්‍ෂවික්වාදීන් විසින් ම කරන ලද්දකැ යි සැකයක් මතුවෙනවා.
මෙම කරුණ සත්‍යයක් නම් ඉහත සඳහන් වූ පාපොච්චාරණය ද බෝල්‍ෂවික්වරුන් විසින්ම ලියන ලද්දක් වීමට ඉඩ තිබෙනවා.
ෆැනී කප්ලාන්ගෙන් අගෝස්තු 30 වන දා ට පසු බෝල්‍ෂවික්වරුන්ට වැඩක් වූ බවක් පෙනෙන්නේ නැහැ. ඇය යහපත් මානසික තත්ත්වයකින් සිටියේයැ යි සැලකුවහොත් කිව හැක්කේ තමා දන්නා තොරතුරු කිසිවක් ඇය හෙළි නොකළ බව යි. ඇය හොඳ සිහි කල්පනාවකින් නොසිටි ඉත්තකු පමණක් වී නම් ඝාතන උත්සාහයෙන් පසු කොහොමටත් ඇගෙන් බෝල්‍ෂවික්වාදීන්ට පලක් වූයේ නැහැ.
සාමාන්‍යයෙන් විශ්වාස කෙරෙන්නේ දෙවන කරුණ නොව පළමු කරුණ යි. එනම් ඇය දැනුවත්ව එම ඝාතන උත්සාහය කරන ලද බව යි. ඇයට වධ දීමෙන් ද කිසිත් එළි නොවූ තැන 1918 සැප්තැම්බර් 3 වන දා ඇයට වෙඩි තබා මරා දමන ලද බව සැලකෙනවා.
නමුත් මෙම ඝාතන තැත පිළිබඳ විවාදය විටින් විට මතු වුණා. 1991 දී සෝවියට් දේශය බිඳ වැටුණ පසුව ද එම සිද්ධිය පිළිබඳ අලුතින් පරීක්ෂණයක් පවත්වනු ලැබුණා.
ලෙනින් එදින මිය ගියා නම්?
ලෙනින් එදින මිය ගියා නම් පක්ෂයේ සහ රජයේ බලය බොහෝ විට යාකොව් ස්වර්ඩ්ලොව් වෙත පත් වීමට ඉඩ තිබුණා. ස්වර්ඩ්ලොව් ඒ වනවිට බෝල්‍ෂවික් පක්ෂයේ ලේකම් මණ්ඩලයේ සභාපති වුණා. එනම් පක්ෂයේ ප්‍රධාන ලේකම් වූයේ ඔහු යි.
ඝාතන උත්සාහය සිදු වූ අවස්ථාවේ රජයේ කටයුතු අතට ගත්තේ ස්වර්ඩ්ලොව්. මෙය තාවකාලික පියවරක් වුණත්, ලෙනින් එදින මිය ගියා නම් එය කල් පවතින පියවරක් වීමට හොඳටම ඉඩ තිබුණා.
ඒ වනවිට ඔහුට තර්ජනයක් විය හැකි වූ එකම තැනැත්තා වූ ට්‍රොට්ස්කි අගනුවරින් ඈත සටන් බිමක සිටියා. ට්‍රොට්ස්කි සිය ජීවිත කතාවෙහි පවසන අයුරින් ලෙනින් ඝාතන තැත පිළිබඳ ඔහු දැනගත්තේ සැප්තැම්බර් 11 වන දා.
ට්‍රොට්ස්කි මෙසේ කියයි: සැප්තැම්බර් 11 දා හදිසියේම මම මොස්කව්වලින් කේතමය විදුලි පුවතක් ලදිමි. “වහාම එන්න. ව්ලදිමීර් ඉලීච් තුවාල වෙලා. කොපමණ අනතුරුදායකදැ යි තවම නොදනී. සම්පූර්ණ සාමය පවතී. 1918 අගෝස්තු 31. ස්වර්ඩ්ලොව්.” (උපුටා ගැනීම. ට්‍රොට්ස්කිගේ “My Life” හි සිංහල පරිවර්තනය. මගේ ජීවිතය – ටී. අන්ද්‍රාදි).
මේ අනුව ස්වර්ඩ්ලොව්ට ද ට්‍රොට්ස්කි අවශ්‍ය වූ බව පෙනී යනවා. ඒ වගෙම ට්‍රොට්ස්කි ද ස්වර්ඩ්ලොව් පිළිබඳ ඉතා ප්‍රසාදයෙන් අදහස් දක්වනු දකින්න හැකියි. එසේ නම්, බොහෝ විට, ලෙනින් මිය ගියා නම් ස්වර්ඩ්ලොව් බලයට පැමිණීමට ඉඩ තිබුණා. එමෙන්ම, මාස කිහිපයකට පසු ස්වර්ඩ්ලොව් ද අයහපත් සෞඛ්‍යය තත්ත්වය හේතුවෙන් (බොහෝ විට ක්ෂය රෝගය) මිය ගිය හෙයින්, 1918 අගෝස්තු 30 වන දා ලෙනින් මිය ගියේ නම් මාස ගණනක දී ට්‍රොට්ස්කි බලයට පැමිණීමට ද ඉඩ තිබුණා.
ලෙනින් ඝාතන උත්සාහයෙන් පසු සෝවියට් රජය විසින් ප්‍රතිවාදීන්ට එරෙහි දරුණු මර්දනකාරී පියවරයන් ගත් අතර විශාල පිරිසක් ඝාතනය වුණා. මෙය රක්ත භීෂණය යනුවෙන් හඳුන්වා දෙනු ලබනවා. පෙරට වඩා දුර්වල වූ ලෙනින් දිගටම සෝවියට් නායකයා ලෙස කටයුතු කළ අතර ඔහුගේ විශ්වාසය දිනාගත් ස්ටාලින් කෙමෙන් කෙමෙන් බලය කරා පැමිණියා.
කවරයේ පින්තූරය: ලෙනින් ඝාතන තැත. ව්ලැඩිමීර් ප්ශෙන් විසින් අඳින ලද සිතුවමක්
මූලාශ්‍රයයන්:
Fanny Kaplan Tried to Assassinate Vladimir Lenin (Russia Beyond)
Vladimir Lenin Shot (history.com)
Russia is Re-Investigating 1918 Attempt on Lenin’s Life (Los Angeles Times)
Spies and Commissars: Bolshevik Russia and the West – Robert Service
මගේ ජීවිතය – ට්‍රොට්ස්කි (පරිවර්තනය ටී. අන්ද්‍රාදි)