Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උසින් අවුකනටත් වැඩි රැස්වෙහෙර පිළිමයේ කතාව

ලංකාවේ හිඳි බුදු පිළිම අතර වඩාත් ප්‍රකට පිළිමය තමයි අවුකන බුද්ධ ප්‍රතිමාව. අවුකනට නුරුදුව වනගත පෙදෙසක තිබෙන රැස්වෙහෙර පිළිමය අවුකනටත් වඩා උසයි. මේ පිළිම දෙක වටා ගෙතුණු ජනප්‍රවාද රාශියකුත් හමුවෙනවා. අනුරාධපුර යුගයේ මුල් කාලයේ ඇරඹුණූ රැස්වෙහෙර විහාරය මහනුවර යුගයේදීත් රාජ අනුග්‍රහය ලද විහාරයක්.

1 රැස්වෙහෙර ලෙන් විහාරයක්-  exploresrilanka.com

 පුද බිම පිහිටි බිම

මෙම පුද බිම පිහිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවේ නැඟෙනහිර හතළිස් පහේ කෝරළේ ගල්වැවට ඊසාන පැත්තෙන්. ගල්ගමුව – නිකවැව මාර්ගයේ ඇහැටුවැවෙන් හැරී දිවුල්ගනේ, කත්නොරුව හරහා කි. මී. 14ක් පමණ හැරී ගොස්  ඊසාන දෙසට තවත් කිලෝ මීටර් 10ක් පමණ ගිය පසුව මෙම පුදබිමට ළඟා වීමට පුළුවන්. කුරුණෑගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක දෙකේ මායිම් ප්‍රදේශයේ තමයි රැස්වෙහෙර පිහිටා තිබෙන්නේ. එය ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්.  කලාවැව සිට වලස්වැව, කුඹුක්වැව හරහාත් රැස්වෙහෙරට පැමිණීමට පුළුවන්. 

2 ගල් කුහරයක නෙළූ පිළිමය- Wathsala Karunanayake, flickr.com

රැස්වෙහෙර

රැස්වෙහෙර එහෙම නැත්නම් සැස්සේරුව කියලත් මේ විහාරය හඳුන්වනවා. රැස්වෙහෙර පුදබිම පිළිබඳව සී.ඩබ්ලිව්. නිකලස් මෙසේ සඳහන් කර තිබෙනවා:

සැස්සේරුව විහාරය, ක්‍රිස්තු පූර්ව කාලයේ විශාල ලෙන් විහාරවලින් එකකි. එහෙත් එහි පුරාණ නම අප්‍රකටය. මෙහි මහකන්දේ උස අඩි 1143 කි. මෙහි තිබෙන නොයෙකුත් ලෙන්ලිපි අතරේ එකක් රජ කෙනෙකුගේ දියණියකගේ ය. මේ රජ වට්ටගාමිණි (වළගම්බා රජු) වීමට හොඳටම ඉඩ ඇත. මේ දූ කුමරිය ප්‍රධානියෙකු (පරුමක) හා විවාහ වී තිබුණි. මෙයින් හැඟෙන්නේ වළගම්බා රජු වනගතව සිටි අවදියේ දී මේ ප්‍රධානියාගේ පවුලෙන් අගය කළ නොහැකි උදව්වක් රජුට ලැබුණු බවයි.

( පුරාතන සහ මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය-  සී.ඩබ්ලිව් නිකලස්, පරිවර්තනය: සෝමපාල ජයවර්ධන පි. 115.

3 අෂ්ටඵලරුහ බෝධිය- amazing lanka.com

ඉතිහාස කතා

රැස්වෙහෙර අනුරාධපුර මුල් යුගයේ පටන් ම පූජනීය ස්ථානයක් විදිහට පැවතිලා තිබෙනවා. මෙහි කන්දේ කටාරම් කෙටූ ලෙන් රාශියක් දැකගත හැකි යි. ඒවායේ කෙටූ ක්‍රි. පූ යුගයට අයත් සෙල්ලිපිවලින් විහාරයේ ඓතිහාසිකත්වය පැහැදිලි වෙනවා. නම්පොත හෙවත් විහාර අස්නේ මේ විහාරය හඳුන්වන්නේ රැස්වෙහෙරුව කියලයි.

ලංකාවට බුදු සමය රැගෙන ආ මහින්දාගමනයත් සමඟ ම මේ අවටද බුදු දහම අදහන බැතිමතුන් සිටි බවට විහාරය සාධක සපයනවා.  ඒ කාලයේ ම වාගේ මෙහි ගල්ලෙන්වල වැඩ වාසය කරමින් භික්ෂූන්වහන්සේලා බවුන් වැඩූ බව මෙහි ඇති ගල්ලෙන් හා ඒ ගල්ලෙන්වල ඇති බ්‍රාහ්මී අක්ෂරවලින් ද හෙළි වෙනවා.  ශ්‍රී මහා බෝධියේ හටගත් දෙතිස්ඵල රුහ ශාඛාවලින් එකක් මෙම විහාරයේ ද රෝපණය කළ බව සිංහල බෝධි වංසයේ සඳහන් වෙනවා. රැස්වෙහෙරේ අදත් තිබෙන බෝධි වෘක්ෂය එය බවට විශ්වාස කරනවා. ජනප්‍රවාදයට අනුව දෙවනපෑතිස් රජු පැමිණ මෙහි බෝධිය රෝපණය කරන අවස්ථාවේ ඉන් රැස් විහිදුණු නිසා රැස්වෙහෙර යන නම ලැබී තිබෙන බව සඳහන්.

රැස්වෙහෙර ශෛලමය බුද්ධ ප්‍රතිමාව මහසෙන් රජුගේ කාලයේ දී (ක්‍රි.ව.274-301) නිර්මාණය වී ඇතැයි අනුමාන කෙරෙනවා.  මහාවංශයට අනුව මානවම්ම රජු (ක්‍රි.ව. 684 – 718) හා දෙවැනි සේන (ක්‍රි.ව. 850 – 887 ) යන රජවරුන් රැස්වෙහෙර විහාරයට පුද පූජා පවත්වා තිබෙනවා.

 රැස්වෙහෙර සහ අවුකන පිළිම – lanka- excursions-holidays.com/Wikipedia.org

 අවුකනටත් වඩා උස බුදු පිළිමය

මේ විහාරය රට පුරාම ප්‍රකට ව පවතින්නේ එහි ගල් පර්වතයක කොටා ඇති විශාල හිටි බුද්ධ ප්‍රතිමාව නිස යි. මෙම හිටි පිළිමයේ උස අඩි 39 අඟල් 3ක්. හිස පමණක් උසින් අඩි 7 අඟල් 4 ක් වෙනවා. අවුකන බුදුපිළිමයට වඩා අඟල් 5 ක් මෙම  බුදුපිළිමය උසයි. පිළිමය අපට දැක ගත හැක්කේ සියුම් ආකාරයට නිම කළ ස්වභාවයට නොවේ. එහි වැඩ අතරමග නතරවූ විදිහටයි.

පිළිමයේ නිර්මාණ කටයුතු අවසන් කිරිමට පෙර මහසෙන් රජු මිය ගිය හෙයින් එහි වැඩ කටයුතු අතරමඟ නැවතුණු බවට ජනප්‍රවාදයේ පවතිනවා.

තවත් ජනප්‍රවාදයක කියැවෙන්නේ මෙම බුදුපිළිමය අවුකන බුදු පිළිමයට පෙර සාදන ලද බව යි. බුදු පිළිමය නිර්මාණය කිරීමේ දී  පර්වතය ඒ සඳහා සුදුසු නැති බව හැඟී ගිය නිසා මෙය අතහැර අවුකන බුදුපිළිමය නෙළීමට කලාවැව අසල ගල්පර්වතය තෝරා ගත් බව තවත් කතාවක කියවෙනවා.  

 ලෙන් වියනේ සිතුවම් – derlust-srilanka.blogspot.com       

රැස් වෙහෙර පිළිමය හා අවුකන පිළිමය එකම ශිල්පියකුගේ කර්මාන්තයක් බව අනුමාන කරන අය ද සිටිනවා. තවත් අයකුට අනුව රැස් වෙහෙර පිළිමය අවුකන නෙළූ ශිල්පියාගේ ගෝලයකුගේ වැඩක්  බව පැවසෙනවා. එහෙත් රැස් වෙහෙර අවුකනට වඩා පැරණි බව ඉතිහාසඥයන්ගේ මතයයි.  ආර්. එල්. බ්‍රෝහියර් සඳහන් කරන්නේ රැස්වෙහෙර පිළිමය අවුකන පිළිමයේ නිවුන් සොහොයුරකු සේ පෙනෙන බවයි.

 

රැස්වෙහෙර හිටි බුදුපිළිමය ද නිර්මාණය කර ඇත්තේ අවුකන බුදුපිළිමය මෙන් පිහිටි ගලක යි. පිහිටි ගලෙහි කාවාටයක් හාරා ඒ තුළ මෙම  පිළිමය නිර්මාණය කර තිබෙනවා.  බුදුපිළිමය සම්පූර්ණයෙන් ම වැඩ අවසන් නො කළ පිළිමයක් ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන  සඳහන් කරනවා. පරණවිතාන මතය අනුව බුදු පිළිමය කරවන ලද්දේ මහසෙන් (ක්‍රි.ව. 274 – 301) රජතුමාගේ අනුග්‍රහයෙන්. “මහාසේන ප්‍රඨිමා’‘ ලෙස ප්‍රකට වූයේද එම ප්‍රතිමාව බවට මතයක් පවතිනවා.

6 සැතපෙන පිළිමය සහිත ලෙන් විහාරය- derlust-srilanka.blogspot.com    

මේ පිළිමය ගැන ආචාර්ය කඹුරුපිටියේ වනරතන නාහිමි මෙසේ සඳහන් කරනවා:

අභය මුද්‍රාවෙන් යුතු මෙම පිළිමයට අයත් ආසනයක් නැත. පිහිටි ගලෙහිම පිළිමයේ දෙපතුළ සිටින ලෙස නෙළා ඇත. මේ බුදුපිළිමයේ මුහුණද වෙනත් සිංහල බුද්ධ ප්‍රතිමාවන්ට වඩා වෙනස් ය. හුදු හතරැස් නොවූවත් හතරැස් හැඩයක් ගෙන තිබේ. කන් දෙකින් එකක් අසම්පූර්ණ ලෙස නෙළා ඇත. මෙම ප්‍රතිමාවෙහි බුදුපිළිමයක තිබිය යුතු ප්‍රසන්න භාවය ප්‍රකටව නැත.

(මූර්ති කලාව – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි. පි. 28 ( 1990) 

ලෙන් විහාර

හිටි බුදු පිළිමයට අමතර ව මහනුවර යුගයේ කලා සම්ප්‍රදාය සිහිපත් කරවන ලෙන් විහාර මන්දිර දෙකක් ද මෙහි පිහිටා තිබෙනවා. විහාරය ආශ්‍රිතව දක්නට ලැබෙන සිරිපතුල් ගල්, පියගැටපෙළ, පොකුණු, සක්මන් මළු ආදිය කියාපාන්නේ විහාරය පුරාණයේ පැවති අලංකාරයයි.

7 මුචලින්ද නාග දරණය යට බුදු හිමියෝ- exploresrilanka.com

 

ලෙන් විහාර දෙක සත්පිළිම විහාරය සහ මහරජ විහාරය ලෙස නම්කර තිබෙනවා. මෙම ප්‍රතිමා සහ සිතුවම්වලින් මහනුවර සම්ප්‍රදාය පිළිබිඹු වෙනවා.  මහරජ විහාරයේ  සැතපෙන බුදු පිළිමය දිගින් අඩි 42ක්.  එම බුදු පිළිමයේ සිවුරේ රැළිවලට යටින් කපු නූල් අලවා ඒ මත බදාම ආලේප කර සිවුරු රැළි නිර්මාණය කර තිබෙනවා.  

වෙනත් සැතපෙන පිළිම මෙන් නොව පිළිමය වටේ ගමන් කරමින් පැදකුණු කළ හැකි ආකාරයටයි පිළිමය නිර්මාණය කර ඇත්තේ.  පසෙක පුරාණ ඇඳක් ද දැකගත හැකියි. මෙගම විසූ වඩුවෙක් මහනුවර යුගයේ  දී කැටයම් සහිත ඇඳක් සෑදූ බවත් ඇඳක් පරිභෝජනය ගන්නට සාමාන්‍ය මිනිසුන්ට අවසර නොවූ නිසා රාජ උදසහට ලක්වේ යයි සිතා එය  විහාරයට පූජා කළ බවත් පැවසෙනවා.

8 සැතපෙන බුදු පිළිමය-facebook

සෙල් ලිපි

මෙම පුදබිමේ ඇති ලෙන් ලිපි පිළිබඳව මහාචාර්ය සෙනරත් පරණවිතාන හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලියූ Inscriptions of Ceylon පළමුවැනි වෙළුම කෘතියේ පළ කර තිබෙනවා.  මෙහි කන්දේ වනාන්තරයේ පිහිටි ලෙන්වල සෙල්ලිපි 29ක් දැකගත හැකියි. ඒවා ක්‍රි. පූ. 3 සියවසේ සිට ක්‍රි. ව. 1 සියවස දක්වා කාලයට අයත්. මෙහි ඇති ක්‍රිස්තු පූර්ව යුගයේ සෙල්ලිපියක ගමණි අබය නම් මහ රජකුගේ අනුරාධි නම් කුමරියක් ගැන සඳහන් වෙනවා.

නිකලස් පවසන්නේ මේ රජු වට්ටගාමිණි අභය හෙවත් වළගම්බා රජු වීමට ඉඩඇති බව යි. මෙහි ඇති සෙල්ලිපිවල යටවැව, පුනදගම, හලිගම, කදලගම, බමණගම ආදී ගම්වල නම් සඳහන් වෙනවා. මෙහි සඳහන් බරත තිස නම් පුද්ගලයා දකුණු ඉන්දියාවෙන් පැමිණ බරත ගෝත්‍රිකයන්ගෙන් පැවතෙන කෙනකු බවත් ඉතිහාසඥයන් සඳහන් කරනවා. මෙහි තවත් සෙල්ලිපියක චුඩ, චලු යන නළුවන් ගැන පැවසෙනවා. නළුවන් ගැන දැක්වෙන ආදි ම සෙල්ලිපි සාධකය වශයෙන් එය වැදගත් වෙනවා.

කවරයේ පින්තූරය - බුදු පිළිමයේ අලංකාරත්වය - Nishan Weerasooriya, amazing lanka.com 

මූලාශ්‍ර:

Inscriptions of Ceylon  Vol. 1 Paranavithana

Budusarana.lk

මූර්ති කලාව - පුරාවිද්‍යා ශත සංවත්සර ග්‍රන්ථ මාලා 1990- පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි. පි.

 පුරාතන සහ මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන  විස්තරය - සී.ඩබ්ලිව් නිකලස්, පරිවර්තනය: සෝමපාල ජයවර්ධන

වන් මෙ අරණ්නේ - කුසුම්සිරි විජයවර්ධන

Related Articles