පෙර අපර දෙදිග යා කළ හිටයිට් ශිෂ්ටාචාරය

යුරෝපයේ ශිෂ්ටාචාර බිහි වන්නේ එක් දිවයිනක් මුල් කරගෙනයි. මෙම දූපත ක්‍රීට දූපතයි. හිටයිට් ශිෂ්ටාචාරයද බිහි වන්නේ මෙම දූපත මුල් කරගෙනයි. ඊජිප්තු, මෙසපොතේමියානු, ඉන්දු නිම්න, හොවැංහෝ වැනි ප්‍රකට සම්භාව්‍ය ශිෂ්ටාචාර ගණයට හීටයිට් ශිෂ්ටාචාරය අයත් වන්නේ නැත. මෙය සුළු ශිෂ්ටාචාරයකි. මෙම ශිෂ්ටාචාරය බිහිවූ ඒජියානු මුහුදු කලාපයේත් ඊජිප්තු හා මෙසපොතේමියානු ශිෂ්ටාචාර අතරත් සම්බන්ධතා ගොඩනැගීමේ පුරෝගාමීන් ලෙස කටයුතු කළේ හිටයිට් ශිෂ්ටාචාරයි. වෙනත් වචනයකින් කියනවානම් පෙර අපර දෙදිග සම්බන්ධතා වල අතරමැදියන් ලෙස කටයුතු කළේ මොවුන් ය. මේ නිසා සුළු ශිෂ්ටාචාරයක් වුවද මෙයට සුවිශේෂී වටිනාකමක් ඉතිහාසය තුළ හිමි වනවා.

ශිෂ්ටාචාරය සොයාගැනීම

හිටයිට් ශිෂ්ටාචාරය ගැන මුල් කාලයේ මිනිසුන් දැන සිටිය ද එය එතරම් වැදගත් ශිෂ්ටාචාරයක් ලෙස සැලකුවේ නැත. එමනිසා මිනිසුන් මේ ගැන සොයාබැලීමට ද එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. 1870 දී සිරියාවේ හමා නම් ප්‍රදේශයෙන් සොයාගත් ගල්පුවරු නිසා හිටයිට් ශිෂ්ටාචාරය ගැන සෙවිමේ උනන්දුව පුරාවිද්‍යාඥයින් තුල වර්ධනය විය. 1907 දී තුර්කියේ බිගාස් කොයි නම් ගම්මානයක සිදු කල කැණීමක දී පැරණි නගරයක් ඔවුන්ට හමුවිය. නැවත නැවතත් කැණීම් සිදුකරගෙන යන විට ඔවුන්ට මැටි පුවරු විසි දහසක් සහිත බලකොටු අගනගරයක් අනාවරණය කරගත හැකි විය. මෙමගින් ඊට පෙර අවධි වලදී හිටයිට් ශිෂ්ටාචාරය පිලිබඳව තිබූ මතයන් වෙනස් කිරීමට සමත් විය.

හීටයිට් ශිෂ්ටාචාරය පැතිරී පැවතුන ප්‍රදේශ (researchgate.net)

ආරම්භය හා පරිහානිය

හීටයිට්වරු පැමිණියේ කුමන ප්‍රදේශයක සිටද යන්න තවමත් නොවිසඳුණු ගැටළුවකි. මොවුන්ගේ බලයේ උච්චතම අවධිය ලෙස සැලකෙන්නේ ක්‍රි.පූ. 1600 සිට ක්‍රි.පූ. 1200 අතර කාලයයි. ක්‍රි.පූ. 1600 – 1500 අතර කාලය පැරණි හිටයිට් රාජධානිය ලෙසද ක්‍රි.පූ. 1500 – 1180 දක්වා කාලය නව හිටයිට් රාජධානිය ලෙසද හැදින්වේ. මෙම කාල වකවානුව අවසානයේ දී හීටයිට්වරු ඊජිප්තුව සමග යුද්ධයකට පැටලෙයි. එමගින් නැවත නැගිටීමට බැරි වන අයුරින්ම ශිෂ්ටාචාරය බිඳ වැටෙයි. නමුත් ක්‍රි.පූ. 1200 න් පසු යුප්‍රටීස් හා ටයිග්‍රීස් ගංගා නිම්න අසල තිබූ කාර්කෙමිෂ් නමින් හැදින්වූ හිටයිට් නගරය ක්‍රමක්‍රමයෙන් වාණිජ නගරයක් ලෙස වර්ධනය වන්නට පටන් ගත්තේය. ක්‍රි.පූ. 717 න් පසු එතෙක් පැවති හීටයිට් නගර ඒ අසල පැවති ශිෂ්ටාචාර විසින් තමන් සන්තකයට ගත්තේය.

ආර්ථිකය

හිටයිට්වරු පිළිබඳ​ දැනට සොයාගෙන ඇති කරුණු වලින් පැහැදිලි වන්නේ මොවුන්ට කෘෂිකර්මය ගැන පුළුල් දැනුමක් තිබූ බවයි. ඔවුන් මහා පරිමාණයෙන් රිදී හා තඹ පතල් පවත්වාගෙන ගිය අතර අසල්වැසි රාජ්‍යයන් වලට ඒවා විකුණන ලදි. යපස් නිධි ද මේ අවටින් සොයාගන්නා ලදි. ශිෂ්ටාචාරය තුල යකඩ නිශ්පාදනය උසස් මට්ටමකින් කෙරීගෙන ගිය බව එයින් පැවසිය හැකියි. හිටයිට්වරුන් ට ලෝහ කැණීම හා නිශ්පාදනය පිළිබඳ​ පුළුල් දැනුමක් පැවතුණි  අනෙක් ශිෂ්ටාචාර වලට සාපේක්ෂව මොවුන්ට මේ සම්බන්ධව අසමාන හැකියාවක් තිබුණේය. හීටයිට් වරුන්ගේ ආර්ථිකයෙන් ප්‍රධාන තැනක් වෙළදාමට හිමිවේ.

හීටයිට් වෙළදාම ගැන සඳහන් වන මැටි පුවරුවක්. (wikipedia.org)

නීතිය

හිටයිට් ශිෂ්ටාචාරය තමන්ගේ නීති ක්‍රමය නිසා සුවිශේෂීත්වයක් හිමිකර ගනියි. හිටයිට් නීතියේ එකල අවට පැවති ශිෂ්ටාචාරවල මෙන් කෲර දඬුවම් නොවීය. එකල තම පාලන බලය පවත්වාගෙන යාමට නිනේවේ හි පාලකයන් සිදු කලේ මිනිසුන්ගේ සම ගැලවීම, පුර්ෂයින්ගේ වෘෂණ කෝෂ කපා ඉවත් කිරීම, උල තැබීම වැනි දඬුවම් පැමිණවීමයි. හීටයිට් වරුන් එසේ අමානුෂික දඬුවම් ක්‍රම භාවිතා කල බවක් ඉතිහාසයේ සදහන් වන්නේ නැත. බයිබලයේ පැරණි ගිවිසුමේ සඳහන් නීති වලට ද හිටයිට් නීතිය තරමක් සමානකමක් දක්වයි.

හිටයිට්වරු මරණ දඩුවම දුන්නේ වැරදි අටක් සදහා පමණි. ඒ අතරින් රජ මාළිගයේ දේපළ සොරකම් කිරීම හා මායාකාරී ක්‍රියාකාරකම් ප්‍රධාන වේ. හිටයිට් ප්‍රදේශ දැඩි ආණ්ඩු පාලනයකට යටත්ව පැවතියේය. මැටි පුවරු වල සදහන් කරුණු වලින් අනාවරණය වූයේ මෙහි දියුණු නාගරික සමාජයක් තිබූ බවයි. රාජධානියේ සියලුම ඉඩම්වල හිමිකම රජතුමා සතු විය. හමුදා සේවයේ නියැලීම නිසා හමුදා සේවකයන්ට එම ඉඩම් ලබා දී තිබුණි. ඔවුන්ට මෙම ඉඩම් ලබා දුන්නේ අනිවාර්යයෙන් එහි වගා කල යුතුයි යන නියමයට යටත්ව යි.

හීටයිට් මැටි බඳුනක්. ( pinterest.com)

රාජ්‍යයේ පැවති සෑම භාණ්ඩයකටම ස්ථාවර මිලක් නියම කර තිබුණි. කාර්මික භාණ්ඩ පමණක් නොව ආහාර හා ඇඳුම් පැළඳුම්වලටත් ස්ථාවර මිලක් නියම කර තිබුණි. රාජ්‍යය තුල පැවති සේවාවන්වලටද නියමිත වැටුපක් හිමිවිය. සාමාන්‍යයෙන් පිරිමියෙක්ට ගෙවූ වැටුපෙන් හරි අඩකට වඩා අඩු වැටුපක් ස්ත්‍රීන්ට හිමි විය.

කලාව

සමකාලීනව පැවති ශිෂ්ටාචාර සමග සසදන විට හිටයිට්වරුන්ගේ නිර්මාණ අතර​ එතරම් කලාත්මක ලක්ෂණ වලින් හෙබි කලා නිර්මාණ දක්නට නොලැබේ. දැනට හඳුනාගෙන​ ඇති පරිදි ඔවුන්ට ඇත්තේ මූර්ති හා ගෘහ නිර්මාණ ශිල්පය පමණි. හීටයිට්වරුන්ගේ ගොඩනැගිලි තරමක් විශාලය. මෙම ගොඩනැගිලි මිනිස් ශ්‍රමය බහුලවම යොදාගෙන නිර්මාණය කර ඇත. එම ගොඩනැගිලි ද එතරම් විසිතුරු බවක් නොමැති සරල ගොඩනැගිලි ය. සෑම වැදගත් ගොඩනැගිල්ලක දොරටුව දෙපස සිංහරූප කැටයමින් යුත් ශෛලමය දොරටු වල රූප දෙකක් දක්නට ලැබේ. මොවුන්ගේ මූර්ති ද තරමක් රළු ස්වභාවයක් ගනියි. ඒවායින් නිරූපණය වූයේ යුද්ධය හා මිත්‍යා ප්‍රබන්ධ තේමා කරගත් දර්ශනයි.

ආගම

හිටයිට්වරුන්ගේ ආගම ගැන තොරතුරු එතරම් ප්‍රමාණයක් හමු නොවේ. මිත්‍යා ප්‍රබන්ධවල සදහන් දෙවිවරුන් විශාල ප්‍රමාණයක් මොවුන් අදහා ඇත. හීටයිට්වරුන්ට තිබුනේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයෙන් ආභාෂය ලද ඇදහීම් රටාවකි. දෙවිවරුන්ට හිමි වූ සුවිශේෂී බලයන් ගැන හීටයිට්වරු විශ්වාස කලේ නැත. එහෙත් ඔවුන්ව වන්දනාමාන කලේය. මෙය සුවිශේෂී කරුණකි. යුද්ධ ජයග්‍රහණයන්ගෙන් පසු එම ප්‍රදේශ වල ඇදහූ දෙවියන්වත් හිටයිට්වරු තම දේව මණ්ඩලයට ඇතුලත් කර ගත්හ. හීටයිට් ආගමේ පැවති මූලික ලක්ෂණ තුන නම් දේව වන්දනය, බිලි පූජාව හා පාරිශුද්ධකරණය යි.

වැදගත් ගොඩනැගිලි දෙපස තිබෙන සිංහ රූප(ancient.eu)

වර්තමාන තුර්කිය අවට බිහි වූ මෙම ශිෂ්ටාචාරය ලෝකයේ අනෙක් ශිෂ්ටාචාර හා සසඳන​ විට සුළු ශිෂ්ටාචාරයක් වුව ද එය ප්‍රධාන වශයෙන් වැදගත් වන්නේ යුප්‍රටීස් හා ටයිග්‍රීස් ගංගා නිම්න ප්‍රදේශය හා මෑත ආසියාවේ බටහිර ප්‍රදේශ අතර සබදතා වල අතරමැදියන් ලෙස​ ක්‍රියාකිරීම නිසායි. මෙම සබදතා නිසා සංස්කෘතික ලක්ෂණ ශිෂ්ටාචාර අතර සංසරණය විය.

මූලශ්‍ර :

1. ලෝක ශිෂ්ටාචාර – රාජ් සෝමදේව​, පද්මසිරි කන්නංගර​, අනුත්තරාදේවි විද්‍යාලංකාර​ (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව​)

2. ancient.eu

3. britannica.com

කවරයේ පින්තූරය – හීටයිට් ශිෂ්ටාචාරයට අයත් සිංහයෙකුගේ පිලිමයක්.

Related Articles

Exit mobile version