මුදල් ඔට්ටුවට සතුන් යොදා සූදු ක්‍රීඩා පැවැත්වීම අද නම් තහනම් වැඩක්. රජ කාලේ සිට මෑත අතීතය වන තෙක් සතුන් යොදාගෙන ඔට්ටුවට පොර කෙටවීම අප රටේ පැවතුණා. කුකුළු පොර නම් තවමත් හොර රහසේ සමහර පළාත්වල පවත්වන බව ඉඳහිට ආරංචි වෙනවා. ඒත් මේවා පොලීසියට අසුවූ විට ලොකු දඩයක් හෝ හිරේ විලංගුවේ ලැගීමටත් සිදුවෙනවා. සමහර පොර පැවැත්වීම අද වන විට ඉතිහාසයට එක්වෙලා.
සත්ත්ව අවිහිංසා පනත යටතේ සතුන් පොරවලට යොමු කිරීම තහනම්. නමුත් ඉස්සර කාලෙ ඔය පනත් තිබුණේ නෑනේ. හැබැයි ඉතින් මේවායෙන් සතුන් හිංසනයට පත්වූ බව නම් ඇත්ත. බොහෝ අවස්ථාවල දී පරාජිත සතා මරා මස්කෑමට තරම් කෝපයට පත් සමහර සත්ත්ව හිමිකරුවන් පෙළඹුණු බව අසන්නට ලැබෙනවා. මේ පුරාණයේ පැවති සත්ත්ව පොර කිහිපයක් ගැන විමසා බැලීමක්.
පොර පිටියේ ගොනා මැරෙන ගොන් පොර
අදත් ඉන්දියාවේ තමිල්නාඩුව, චීනය සහ ටිබෙට් ඇතුළු ආසියානු රටවලත්, බොස්නියාවේත්, ලතින් ඇමරිකානු රටවලත් ජන ක්‍රීඩාවක් ලෙස සිදුවන ගොන්පොර දෙස අපි බලා සිටින්නේ බියපත් දෑසින්. ම්ලේච්ඡ ක්‍රීඩාවක් ලෙසයි අපි ඒවා ගැන හිතන්නේ. ඒත් උඩරට රාජධානි කාලේ අපේ රටෙත් ගොන්පොර රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වුණා. ගම්මානවල මුදල් ඔට්ටුවට ගොන්පොර පැවැත්වීම 1930-40 දශක දක්වා පැවති බවට සාධක තිබනවා. ආචාර්ය දැරණියගල සඳහන් කරන්නේ කඩුගන්නාවේ 1940 ගණන්වල දී කුඹුරුවල අස්වැන්න නෙලා ගැනීමෙන් පසු සිංහල අවුරුදු කාලෙට විධිමත් ලෙස මීගොන්පොර පැවත්වූ බවයි. එහිදි විශාල ලෙස මුදල් ඔට්ටු ඇල්ලූ බවත් ඔහු කියනවා. ගොන්පොර පැවැත්වීමට පොර මළු හෙවත් ආරක්ෂිත ස්ථාන කුඹුරුවල සකස් කරගෙන තිබුණා. ගම් වශයෙන් බෙදී පොරවලට ඔට්ටු ඇල්ලූ බවටත් සාධක පවතිනවා.
දෙවැනි රාජසිංහ රජ්ජුරුවෝ විනෝදයට ගොන්පොර මෙන්ම ඇත්පොර ද නැරඹූ බව රොබට් නොක්ස් (1681) තමන් ලියූ An Historical Relation of Ceylon කෘතියේ සදහන් කරනවා. නොක්ස් පවසන්නේ කෘර රජු ඒවා බලා සතුටු වූ බව යි. ජෝන් ඩේවි සඳහන් කරන්නේ රජු ඇත්පොර, ගොන්පොර මෙන්ම බැටලු පොර ද බලා සතුටු වූ බව යි. හඟුරන්කෙත දේවාලයේ දේව අංගම් රෙද්දේ ද ඇත්පොර හා බැටලු පොර ඇද තිබෙනවා. 14 වැනි සියවසේ රචිත ගව රත්නෙ නම් පශු වෛද්‍ය ග්රන්ථයට අනුව පොරට යොදන ගවයන් පහත ලක්ෂණවලින් යුක්ත විය යුතු යි:
කොටවූ විශාල අං හා නහර පිපුන කන්තල විය යුතු ය. කොටවූ සිරුරත් සිහින් පාදත් පැවතිය යුතු අතර පාවල කුර වටව පැවතිය යුතු යි. මොල්ලියට පිටුපසින් ලොම් සුලියක් පැවතිය යුතු යි. උරපතුවලට පිටුපසින් මඳක් වළගැසුණු පිට තුනටිය අසල දී උස්ව පැවතිය යුතු යි.
(සිංහල ත්‍රාසජනක ක්‍රීඩා – පී. ඊ. පී. දැරණියගල, 19 පිට)
සබරගමුවේ පොරට ප්‍රසිද්ධ ගොනුන් සිටි බව ආචාර්ය පී. ඊ. පී. දැරණියගල සඳහන් කරනවා. ගොන්පොරවලට පෙර ගොනා ඉතා සැලකිල්ලෙන් පුරුදු කිරීම කළ යුතු වෙනවා. අයිතිකරු විසින් ගොනා රංචුවෙන් තනිකර නාවා කවා වැඩකරවා, මස්පිඩු තලා තෙල්ගා ශක්තිමත් කිරීම සිදුවෙනවා. කෑමත් වැඩිපුර දෙනවා. ධාන්‍ය කුඩු, තණකොළ හා කොල්ලු කැඳ උන්ට දුන් බව පැවසෙනවා. විටින් විට කටුසු පැටියෙක් ගිල්ලවීමත්, කප්පරවල්ලිය ඉස්ම යොදා නෑවිමත් කරනවා. අට්ටික්කා කොළ ඉස්ම පොවා බටකොළ, කොස් කොළ හා කෙසෙල් කඳන් කෑමට දෙන්නේ ශක්තිය වැඩි කිරීමට යි.
ගවයා මෙන්ම මීගොනා ද පොරවලට යොදා ගෙන තිබෙනවා. මීගොනාගේ නම් අංතුඩු තෙත රෙදිකඩකින් වසා තබා පසුව වීදුරු කටුවකින් සූරා උල්කර තිබෙනවා. ගොනා පොරට යැවීමට පෙර බෙල්ලේ පැගිරි තෙල් හෝ වදමල් යුෂ ආලේප කරන්නේ උන් කුපිත කර ඇවිස්සීමට යි. පොළොව හාරමින් පිඹිමින් සිදුකරන ගොන්පොර බලාසිටීමත් ත්‍රාසජනක අවස්ථාවක්.
පොරට වැටෙන ගොනා ප්‍රතිවාදියාගේ හිසට වේගයෙන් පහර දෙනවා. අනෙකා අඟ දැවටීමෙන් වැළකීමට උත්සාහ කරනවා. බිම වැටුණු ගොනාට ඇන උදරය පැලීමට ජයග්‍රාහකයා උත්සාහ කරනවා. අංවලින් ඇනීම නිසා දුර්වලයා තුවාල වීම බොහෝවිට සිදුවන දෙයක්. මේ පොර විනාඩි 20කින් පමණ අවසන් වෙනවා. පරාජිතයා බේරීම සදහා පොරපිටියෙන් මිනිසුන් සිටින පැත්තට දුවයාම සිරිතක්. ශක්තිමත් ගොනාගේ අං පහරවල් නිසා ගොන්නු පොරපිටියේ දීම මියගිය අවස්ථාත් තිබනවා. සමහර ගොන්නු සදාකාලික ආබාධිතයන් බවටත් පත් වෙනවා. තුවාලවලට ඌරුතෙල් හෝ වෙනත් බෙහෙත් වර්ග ආලේප කිරිමත් ගව අයිතිකරුවගේ සිරිතක්.
නයි මුගටි පොරයෙන් මුගටියා දිනුම්
ස්වභාවයෙන්ම නයා සහ මුගටියා සතුරු සත්ත්ව දෙකොටසක් ලෙස සලකනු ලබනවා. ඒ ඔවුන් ස්වභාවික පරිසරයේ හමුවූ විට ද මියයන තෙත්ම පොර කොටා ගන්නා නිස යි. නයා සහ මුගටි කැලයෙන් අල්ලාගෙන කූඩුකර පොරට යොදා ඔට්ටු අල්ලන්නට ඇති බව යි පෙනෙන්නේ. පෘතුගීසි පාලන කාලයේ දී මේ පොර ගැන වැඩි උනන්දුවක් දක්වා තිබෙනවා. පෘතුගීසි සෙබළුන් මුගටි ඇති කිරීම සිරිතක් කෙටගෙන සිටියා. පසුගිය සියවසේ මැද භාගය දක්වාම නයි මුගටි පොර කෙටවීම පැවතුණු බව දැරණියගල සදහන් කරනවා. බොහෝවිට මුගටියා මේ පොරවලින් ජයගත් බව යි වාර්තා පවසන්නේ. මුගටියා පොර කිහිපයක් නයා වෙහෙසවන තුරු කෙරීගෙන යන අතර පසුව නයා පහරදීමට සැරසෙන විටම ඌ උඩ පැන නයා යටි තල්ලෙන් අල්ලාගෙන තලා පෙලා දමයි.
සමහර අවස්ථාවල දී නයා ජයගන්නා අවස්ථා ද එළඹෙනවා. ඒ නයිවිෂ නිසා මුගටියා අඩපණ වූ විට යි. එහිදී මුගටියා මරණයට පත්වෙනවා. හීලෑ මුගටි, නයා විෂ සහිත බව දන්නා නිසා පොරට යාමෙන් වැළකීමට උත්සාහ කරනවා. අළුත අල්ලගත් මුගටි ඒ ගැන නොදන්නා නිසා පොරට දැමූ පමණින් සටන් කළ බව පැවසෙනවා.
සටන්කාමී කොණ්ඩ කුරුලු පොර
මේ ගැන ඉංග්‍රීසී ලේඛක එමර්සන් ටෙනන්ට් සඳහන් කරනවා. ඔහු කියන්නේ කුරුල්ලන් අතරින් දරුණුම සටන්කරුවා කොණ්ඩ කුරුල්ලා බව යි. පරාද වී පසුබසිනු වෙනුවට වෙහෙසින් දුර්වල වන තුරුම සටන් වදින පක්ෂියෙක් ලෙස පැවසෙනවා. අදත් ඉන්දියාවේ රහසිගතව මුදල් ඔට්ටුවට කොණ්ඩ කුරුළු පොර පවත්වන බවට වාර්තා වෙනවා. කුරුල්ලන් දෙදෙනාගේම කකුල් නූලකින් බැද මේසයක් මත තබා සටනට පොළඹවීම තමයි මෙහිදී සිදුවන්නේ. පිරිමි පැටව් අල්ලා හීලෑකර සටන් වැදීමට පුරුදු කරන තුරු කූඩුවක දමා තබනවා. පොර කෙටීමේදී ප්‍රතිවාදියාගේ රත්පාට උදරයට පහර එල්ල කිරීම ප්‍රධාන ඉලක්කය වී තිබනවා.
අහසේ උකුසු සටන්
රොබට් නොස්ක් මෙන්ම ජෝන් ඩොයිලි ද සඳහන් කරන්නේ මුහන්දිරම් කෙනකු යටතේ පාලනය වූ රජුගේ කුරුල්ලන් මඩුවේ උකුස්සන් ඇතිකළ බව යි. දෙවැනි රාජසිංහ රජු උකුසු ලෝලියෙක් බව පැවසෙන අතර, ඔහු ඕලන්ද ජාතිකයන් හරහා පර්සියානු සහ ඉන්දියානු උකුස්සන් මෙරටට ගෙන්වා ගෙන තිබෙනවා. උඩරට රාජධානි සමයේ දී මේ ක්‍රීඩාවට යොදාගන්නා ලද්දේ දුර පියාසර කරන්නන් නොව කෙටි දුරක් පියාඹා යන උකුස්සන්. එයට හේතුව කඳුකර රටක් නිසා කුරුල්ලන්ට එක දිගට පියාඹා යාම අපහසුවීම යි. තරග සදහා යොදවන ලද්දේ කොබෙයි උකුස්සා සහ කුරුළුගොයා බව ටෙනන්ට් සඳහන් කරනවා. වේගයෙන් කෙටිදුරක් පියාඹන කුරුළුගොයා කැලෑ පරෙවියාට පහරදෙනවා.
ගේකුරුළු උකුස්සා නමින් හැඳින්වූ පක්ෂියා පුහුණුකිරීම අපහසු වුවත්, උගේ වේගය පරෙවියකු හෝ කැස්වටුවෙකු මැරීමට වුව ද සෑහෙන බව සඳහන්. වඩාත් ශක්ති සම්පන්න වූ ඉන්දියානු උකුස්සන් යොදවන ලද්දේ ක්‍රීඩා පිණිස සේරු හා හාවන් ඇල්ලීමට යි. ඒ සඳහා උන් පුහුණු කරවා තිබෙනවා. මුලින්ම, හීලෑ කරන ලද කුරුලු පැටවාට මීයන් ඇල්ලීමට පුරුදු කර පසුව වෙනත් ගොදුරු ඇල්ලීමට පුරුදු කරවනවා. අරාබි ජාතිකයන් උකුස්සන් රැගෙන යන විට කොකු දමා උන්ගේ ඇසිපිය වැසුවත් සිංහලයන් ඇසිපිය සිදුරු කර සේද නූල් පටකින් බැද තබාගන්නවා. ගොදුරු වෙත යැවීමට පෙර ඒ නූල ඉවත් කර ඉලක්කයට යොමු කරවීම යි සිදු වුණේ.
කුකුළු පොර
9 කුකුළු පොරයක්- හගුරන්කෙත දේවාලයේ දේවඅගංම් රෙද්දකින්- සෙනරත් දිසානායකගේ හගුරන්කෙත කෘතියෙන්
පුරාණයේ පටන් ආසියාවේ කුකුළු පොර පැවැත්වීම සුලබව සිදුකර තිබෙනවා. පෘතුගීසි ලේඛක ජෝආඕ රුබේරු පවසන්නේ පළමු රාජසිංහ රජුගේ සොහොයුරෙක් වූ මාතලේ සිටි කුමාරයා කුකුළු පොරවලට කෙතරම් ලොල් වී ද යත්, ඔහු “පොර කුකුල් කුමාරයා” යන නම ලැබූ බව යි. අදත් ලංකාවේ හොර රහසේ කුකුළන් කොටවා පොලීසියට අසුවූ අවස්ථා ගැන වාර්තා වෙනවා. බොහෝවිට පොර කුකුළෝ මරණය තෙක් පොර වදින බව පැවසෙනවා.
හිසේ මස් ගුලියක් වැනි ලොකු කරමලයක් ද කෙටිවූ කන්පෙති ද අඩුවෙන් පිහාටු ද සිහින් සිරුරක් ද පොර කුකුළා සතු යි. මනු නීති සංග්‍රහයේ සදහන් වන්නේ ඉන්දියාවේ ක්‍රි .පූ. 1000 දී පමණ කුකුළු පොර පැවැත්වූ බව යි. මාදම්පේ කොළඹගම විහාරයේ උඩරට සම්ප්රදායේ සිත්තම් අතර කුකුළු පොරයක් මෝස්තරයක ආකාරයට ඇද තිබෙනවා.
ඕලන්ද ජාතිකයන් 1768 දී කොළඹ පොර කුකුළු කොටුවලට බලපත්‍ර නිකුත් කර තිබෙනවා. උත්සව කාලවල දී ඕනෑම අයකුට කුකුළු පොර කෙටවීමට අවසර ලැබී තිබෙනවා. වර්ෂ 1817 දී ලංකාවේ කුකුළු පොරකොටු හා සමාජ ශාලාවලින් ආණ්ඩුවට ලැබුණු ආදායම රික්ස් ඩොලර් 10000ක්. 1838 වන විට කුකුළු පොර කොටු බලපත්‍රවලින් ලැබුණු ආදායම පවුම් 344 සිලිං 10ක් වුණා. අබු සෙයිඩ් අල් හසාන් නම් සංචාරකයා ක්‍රි. ව. 851 දී මෙසේ ලියා තිබෙනවා:
කුකුළු පොර කෙටවීම ලංකාවේ සුලබ ය. කුකුළන්ට ඉතා හොද පොරකටු තිබේ. කුකුළු හිමියෝ පොරකටුවලට වානේ තල යොදත්. මෙම පොරවල දී රත්රන්, රිදී, ඉඩම් හා වෙනත් දේ ඔට්ටු වශයෙන් අල්ලති.
පුරුදු කළ පොර කුකුළන්ට කදිරා, සෙම්බා, හින්, කළුකොලුවා, වල්ලියා ආදී නම් තැබීම අයිතිකරුවන්ගේ පුරුද්දක් වුණා. කුකුළා තරමක් වැඩී හැඬලීම ආරම්භ කළ පසුව රංචුවෙන් වෙන්කර වෙනම ඇති කරනවා. පාදවල සහ බෙල්ලේ පිහාටු ගලවා ඉදුල් වතුරෙන් නාවා මස්පිඩු තලා ශක්තිමත් කරනවා. වී, කඩල, කුරක්කන්, සූරියකාන්ත ඇට, මුරුංගා, ඉරිගු ආදී ධාන්‍ය ඌට ලබාදෙනවා. අමු බිත්තර, අමුඉස්සො, තලගොයි මස්, අමු මස්, තලතෙලින් බැදගත් රොටි ආදිය ද ඌට කවනවා. රාත්‍රියේ ඌට ලැගීමට මුරුංගා ගසක් සකස් කර දෙන්නේ එවිට ශක්තිය වැඩිවේ යන විශ්වාසයෙන්. පොරකටු වර්ධනය වීම ඇරඹුණු පසු යළිත් පිහාටු උදුරා දමනවා. ඊට පසු වෙනත් කුකුළන් හා පොරවැදීමට, පිනුම් ගැසීමට, පිහිනීමට පුරුදු කරනවා. විරේක බේතක් ද ඉදහිට ඌට ලබාදෙනවා. ඇඹුල් හොඬරවාලු නම් කෙසෙල්, පොල්හකුරු, රතුළූණු ආදිය යොදා එම බේත සකස් කරනවා. කුකුළු පොරවලින් ශක්තිමත් කුකුළා ජයගත්තත් පරාජිත කුකුළා තුවාල වී මියයන අවස්ථා සුලබ යි.