ක්‍රි. ව. 1215 දී කාලිංග මාඝ නම් දරුණු ආක්‍රමණිකයා පොළොන්නරුව ආක්‍රමණය කරනු ලැබුවා. ඒ වන විට පොළොන්නරුවේ රජකම් කරමින් සිටි පරාක්‍රම පණ්ඩු රජතුමාට මාඝ සමග සටන් කිරීමට ප්‍රමාණවත් හමුදා බලයක් තිබුණේ නැහැ. එම නිසා මාඝගේ හමුදාවට පහසුවෙන්ම පොළොන්නරුව අල්ලාගැනීමට හැකිවුණා. මාඝ, පරාක්‍රම පණ්ඩු රජතුමාට දස වද දී ඇස් උගුල්ලා මරා දමනු ලැබුවා.
එලෙස පොළොන්නරුවේ පාලකයාව මරා දැමූ මාඝ එහි වෙහෙර විහාර විනාශ කර භික්ෂූන්වහන්සේ ද අපවත් කරවමින් දරුණු පාලනයක් ගෙන ගියා. ඒ අතරතුර තවත් භික්ෂූන්වහන්සේ පිරිසක් උපක්‍රමශීලීව දන්ත ධාතූන්වහන්සේ පොළොන්නරුවේ සිට කොත්මලේට වැඩම කරවනු ලැබුවා. එම කාල සමයේ දී පොළොන්නරුවේ සිටි ප්‍රභූ කුමාරවරු රැසක් කාලිංග මාඝගෙන් ආරක්ෂාවීම සඳහා රටේ නිරිතදිග ප්‍රදේශයට සංක්‍රමණය වුණා.
ඒ අතර සිටි වත්හිමි විජයබාහු කුමාරයා 1232 වසරේ දී තුන්වන විජයබාහු නමින් දඹදෙණියේ රජවුණා. දඹදෙණිය රාජධානියේ ආරම්භක පාලකයා බවට පත්වුණු තුන්වන විජයබාහු කොත්මලේ සඟවා තිබුණු දන්ත ධාතූන් වහන්සේ සහ පාත්‍රා ධාතුව බෙලිගලට වැඩම කරවා එහි අලුතින්ම සෑදූ විහාරයක තැන්පත් කළා. දඹදෙණි යුගයේ දී දන්ත ධාතූන්වහන්සේ තැන්පත් කිරීම නිසා බෙලිගල ප්‍රසිද්ධියට පත්වුණත් එහි ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා දිවයනවා.
බෙලිගල සම්බන්ධ ඉතිහාස කතා
ක්‍රි. ව. 112-134 කාලසමය තුළ අනුරාධපුරයේ රජකම් කළ පළමු ගජබා රජතුමා බෙලිගල නම් නුවර කරවූ බව කුරුණෑගල විස්තරයේ සඳහන් වනවා. ගජබා රජතුමා නීල මහා යෝධයා සමග සොළී දේශයට ගොස් එහි රජතුමාට අභියෝග කර ලංකාවෙන් පැහැරගෙන ගිය සිංහලයන් 12000ක් ආපසු රැගෙන ආවා. එසේම සොළී රජතුමා තවත් සොළීන් 12000ක් වහලුන් ලෙස ගජබා රජතුමාට ලබාදුන්නා. එලෙස සොළී දේශයෙන් මෙහි රැගෙන ආ මිනිසුන් යොදාගෙන රට සංවර්ධනය කළ බව ඉතිහාස මූලාශ්‍රවල ලියැවී තිබෙනවා.
ඒ අනුව ගජබා රාජ්‍ය සමයේ දී බෙලිගල නගරය ඉදිකිරීමේ දී සොළී සිරකරුවන්ගේ සේවය ලබාගත් බවට අනුමාන කළ හැකියි. කුරුණෑගල විස්තරයේ සඳහන් වන ආකාරයට එකල තැනූ බෙලිගල නගරයේ වෙහෙර විහාර, විශාල ප්‍රාසාද, කුළු ගෙවල්, ගබඩා ගෙවල් සාදා තිබුණා. ගජබා යුගයේ දී ඉදිවුණු බෙලිගල නගරයේ බෙලිගල විහාරය පූජනීයත්වයට පත්වුණේ දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමක් එහි රෝපණය කිරීමත් සමග යි.
වර්තමාන බෙලිගල විහාරය ඉදිවීම
තෙවන විජයබාහු රජතුමා දඹදෙණිය රාජධානියේ පාලකයා බවට පත්වන විටත් බෙලිගල පර්වතය ආශ්‍රිතව පැරණි විහාරයක් සහ දෙතිස් ඵල බෝධීන් වහන්සේ දක්නට ලැබුණා. ඒ වන විට කොත්මලේ පුසුල්පිටිය විහාරයේ දන්ත ධාතූන්වහන්සේ රහසිගතව සඟවා තිබුණා. දන්ත ධාතූන්වහන්සේ පොළොන්නරුවෙන් රහසිගතව රැගෙන ගිය බව ආරංචි වීමත් සමගම මාඝ කලබලයට පත්වුණා. එම නිසා ඔහු දන්ත ධාතූන් වහන්සේ සොයාගැනීමට උත්සාහ කළා. මාඝගේ අනුගාමිකයන් දන්ත ධාතූන්වහන්සේ සොයමින් සිටින නිසා තවදුරටත් පුසුල්පිටිය විහාරයේ එය සඟවා තැබීම සුදුසු නැති බව විජයබාහු රජතුමාව අවබෝධ වුණා.
විජයබාහු රජතුමා උත්සාහ කළේ දඹදෙණි රාජධානියේ ආරක්ෂිත ස්ථානයක දළදා මාලිගයක් ඉදිකරවා දන්ත ධාතූන් වහන්සේව එහි තැන්පත් කරවීමට යි. ඒ සඳහා දඹදෙණි පර්වතය තෝරාගැනීමට රජතුමා මැලිවීමට ප්‍රධානතම හේතුව වුණේ කාලිංග මාඝ දඹදෙණිය ආක්‍රමණය කිරීමට වැඩි ඉඩකඩක් පැවතීම යි. යම් හෙයකින් මාඝ දඹදෙණිය ආක්‍රමණය කළොත් දන්ත ධාතූන්වහන්සේ සිංහලයන්ට අහිමිවීමට ඉඩ තිබුණා.
දඹදෙණි රාජධානියට අයත් බෙලිගල පර්වතය ඉතාමත් ආරක්ෂිත ස්ථානයක පිහිටා තිබුණා. එය දන්ත ධාතූන්වහන්සේ තැන්පත් කිරීමට වඩාත්ම සුදුසු ස්ථානය බව විජයබාහු රජතුමාට අවබෝධ වුණා. එම නිසා බෙලිගල පර්වතයේ දළදා මාලිගයක් ඉදිකර දන්ත ධාතූන්වහන්සේ එහි තැන්පත් කළා. එසේම දළදා මාලිගය ආසන්නයේ තවත් වෙහෙර විහාර ඉදිකළා. විජයබාහු යුගයෙන් පසුව දඹදෙණියේ පාලකයා බවට පත්වුණු දෙවන පරාක්‍රමබාහු රජතුමා කාලිංග මාඝව පොළොන්නරුවෙන් පළවා හැරියා. අනතුරුව දඹදෙණි පර්වතය ආශ්‍රිතව දළදා මාලිගයක් ඉදිකරවා දන්ත ධාතූන්වහන්සේ එහි තැන්පත් කළ බව වංශ කතාවල සඳහන් වනවා.
දන්ත ධාතූන්වහන්සේ වෙනත් ස්ථානයක් කරා වැඩම කරවනු ලැබුවත් බෙලිගල විහාරස්ථානයට ලැබුණු සැලකිලිවල අඩුවක් දක්නට ලැබුණේ නැහැ. ක්‍රි.ව 1412-1467 කාල සමයේ දී කෝට්ටේ රජකම් කළ 6 වන පරාක්‍රමබාහු රජතුමා මෙම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කළ බව බෙලිගල විහාර සන්නසෙහි සඳහන් වනවා. එසේම මහනුවර යුගයේ රජකම් කළ රජවරුන් ද මෙම විහාරයේ උන්නතිය සඳහා කටයුතු කළ බව මෙහි තිබෙන මහනුවර යුගයට අයත් සිතුවම්වලින් අනුමාන කළ හැකියි.
බෙලිගල විහාරස්ථානයේ දක්නට ලැබෙන නටබුන්
මෙම විහාර භූමිය තුළ අද වන විටත් පැරණි ගොඩනැගිලිවල නටබුන් ඉතිරිව තිබෙනවා. එසේම අතීතයේ දී භාවිතා කළ පොකුණු සහ ගල් පඩිපේළි දක්නට ලැබෙනවා. ඊට අමතරව බෝධි ප්‍රාකාරය වටා ඉදිකරන ලද පැරණි ශෛලමය ආරක්ෂිත බැම්මක් දක්නට ලැබෙනවා. තව ද මහනුවර යුගයට අයත් අලංකාර සිතුවම් විහාරගෙය තුළ පිහිටා තිබෙනවා. නමුත් එම සිතුවම් ක්‍රමයෙන් විනාශයට පත්වෙමින් තිබෙන ආකාරය දක්නට ලැබෙනවා.
බෙලිගල විහාර භූමියේ අදටත් ඉතිරිව තිබෙන සුවිශේෂී නිර්මාණය වන්නේ සඳකඩ පහන යි. මෙම සඳකඩ පහනේ විශේෂිතම ලක්ෂණය වන්නේ සත්ත්ව රූප පිහිටා තිබෙන ආකාරය යි. බොහෝවිට සඳකඩපහණෙහි සත්ත්ව රූප එක් කෙළවරකින් පටන් ගෙන අනෙක් කෙළවර දක්වා එක් පැත්තකට පිහිටන පිරිදි නිර්මාණය කර තිබෙනවා. නමුත් බෙලිගල සඳකඩපහණෙහි සත්ත්ව රූප දෙපැත්තෙන් පටන් ගෙන මැද දී හමුවන අයුරින් නිර්මාණය කර තිබීම සුවිශේෂී ලක්ෂණයක් ලෙසින් දක්වන්නට පුළුවන්.
මෙම සඳකඩ පහනේ මධ්‍යයේ පිහිටි පද්මය උස්කොට පිහිටා ඇති අතර එය ර්ධ කවයකට වැඩි වන ලෙසට නිර්මාණය කර තිබෙනවා. සඳකඩපහණෙහි පිටත කෙළවර මකර රූප දෙකක් ද, අවසන් කවයෙහි ලියවැල් වෙනුවට ගිනි දැල් ද යොදා තිබෙන ආකාරය දක්නට ලැබෙනවා. එසේම පිටත කවයේ සිට පිළිවෙළින් සිංහ, ඇත්, සහ අශ්ව රූප කව යොදා තිබෙන ආකාරය නිරීක්ෂණය කරන්නට පුළුවන්. ඊට අමතරව මෙම සඳකඩ පහනේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂ වන්නේ සිංහයන්ගේ හිස් පිටුපසට හැරී පැවතීම, ඇත්පෙළ පිටුපස කකුල් මඳක් ඔසවාගෙන සිටීම, අශ්වයින්ගේ හිස් පස්සට නැමී තිබීම වැනි ඒවා යි.
19 වන සියවසේ අග භාගයේ දී එච්. සී. පී. බෙල් නම් පුරාවිද්‍යාඥයා මෙහි කැණීම් කටයුතු සිදුකරනු ලැබුවා. ඉන්පසුව සෙනරත් පරණවිතාන යන කීර්තිමත් පුරාවිද්‍යාඥයා ද මෙම විහාරය පිළිබඳව ගවේශනය කළා. නමුත් පසුගිය කාල සමයේ දී බෙලිගල සංරක්ෂණය කිරීමට අදාළ බලධාරීන් විශාල අවධානයක් යොමු කළේ නැහැ. එම නිසා අද වන විට මෙහි ඇතැම් නටබුන් විනාශවෙමින් පවතිනවා. එක් කාල සමයක දන්ත ධාතූන් වහන්සේට සෙවණදුන් මෙම භූමිය පූජනීය ස්ථානයක්. එම නිසා මෙම පින්බිම රැකගැනීමට කාලය එළඹ තිබෙනවා.