ඌව බින්තැන්න යැයි යමෙක් පැවසුවොත් අපගේ සිතට ප්‍රදේශ රැසක් නැඟෙනවා. බිබිල, මහියංගණය , සොරබොර, දඹාන, පදියතලාව ,මහඔය පොලේබැද්ද, නිල්ගල හා දානිගල යන ගම්මාන ඒ අතරින් කිහිපයක් (අතීතයේ ඌවට අයත් ව තිබූ මේ අතරින් ප්‍රදේශ කිහිපයක් වර්තමානය වන විට නැගෙනහිර පාළාතට අයත් අම්පාර දිස්ත්‍රික්කයට බෙදී ගොස් තිබෙනවා). ඌව නිදහස් අරගලය ආරම්භ වුණෙත් මේ පෙදෙසේ ගොවි නායකයන් මුල්වීමෙන්.
මේ වැඩි දෙනෙක් නොදන්නා පුරාණ බින්තැන්නේ අතීතය සොයා ගිය ගමනක්.
බින්තැන්න පත්තුව
බින්තැන්න පත්තුව අද අයත් වන්නේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතට. එය අම්පාර දිස්ත්‍රික්කයේ නැඟෙනහිර කොටසේ පැතිර තිබෙනවා. උඩරට රාජධානි කාලෙ දි එය වෙනම දිසාවක් ලෙස පාලනය වුණා. ඌව වෙල්ලස්සේ කටුහන්පොළ වසමෙන් ඇරඹෙන මගලවටවන් ආරු ඔය මගින් බින්තැන්න, වැව්ගම් පත්තුවෙන් වෙන් කරනවා. මෙහි දකුණු මායිම් රඹකැන් ඔය ඔස්සේ විහිදී යනවා.
බටහිර මායිම මාදුරුඔය දිගේ විහිදී ගොස් උල්හිටිය ඔය සහ මහවැලි ගඟ ඔස්සේ පොළොන්නරු දිස්ත්‍රික් මායිම තෙක් ගමන් කරනවා.උතුරෙන් පොළොන්නරු සහ මඩකළපු දිස්ත්‍රික් මායිම්වලට සීමා වෙනවා. බින්තැන්නට යාබද ව පිහිටා තිබුණේ පුරාණ ඌව වෙල්ලස්ස යි. බින්තැන්න පත්තුවේ අඩක් අයත් වුණේ මහඔය මිටියාවතට යි. එය ආරම්භ වන්නේ නිල්ගල කඳුකරයෙන්.
බින්තැන්නේ කඳු
බින්තැන්න කියන්නේ තැනිතලා බිම යන තේරුම දෙන වචනයක්. මේ නැතිතලාව බිඳගෙන තැනින් තැන කඳු හා පර්වත කූට නැඟී සිටිනවා. මේ බින්තැන්නේ කඳු ගැන කියවෙන ජන කවියක්:
‘‘මාදේගල කන්ද දකුණේ පෙනෙන්නා
එකරාගල කන්ද උතුරේ පෙනෙන්නා
නායක කොකාගල බටහිර පෙනෙන්නා
තඹලේගල යායෙ මා පැල් රකින්නා‘‘
කොකාගල කන්ද බින්තැන්නේ උස ම කන්ද වන අතර එහි උස අඩි 2252ක්. නැගෙනහිර සීමාවේ පිහිටි නුවරගල පර්වතය උසින් අඩි 2152ක් වෙනවා. මේ කඳු හා හෙල්වැටි නිසා බින්තැන්න තැනිතලාව වටා අඩ කවයක හැඩය ගත් කඳුවැටි පෙළක් දැකගත හැකි යි. එය බින්තැන්න සෙසු පළාත්වලින් හුදෙකලා කරන අතර පළාතට හොඳ ආරක්ෂාවක් ද ලබා දීමට හේතු වුණා.
ඉංග්‍රීසීන් උඩරට යටත් කරගත් කාලයේ දී බින්තැන්න, වෙල්ලස්‌ස යනුවෙන් පරිපාලන කොටස් දෙකකට බෙදා තිබුණා. බින්තැන්න වෙල්ලස්‌ස යන පළාත් දෙකේ ම වාසය කළේ එකිනෙකාට නෑ සබඳකම් තිබූ ජනතාවක්. ඔවුන්ගේ ජීවනෝපාය කුඹුරු හා හේන් ගොවිතැන යි. මේ ජනතාවට සිංහල බෞද්ධයන් හා වනගත ව විසූ වැදි ගෝත්‍රිකයන් ද අයත් වුණා. වැද්දන් සහ සාමාන්‍ය ජනතාව අතර පුරාණයේ හොඳ සබඳතාවක් පැවතුණා.
බින්තැන්නේ ඉතිහාස කතා
බින්තැන්නේ පිහිටි මහියංගන දාගබ බෞද්ධයන් අතර මහත් පුජනියත්වයෙන් සලකන පුදබිමක්. බුදුන් වහන්සේ යක්ෂයන් දමනය කර ඔවුන්ට දහම් පණිවිඩය බෙදා දීමට මහියංගනයට පැමිණි බව මහාවංශයේ සඳහන් වෙනවා. මේ යක්ෂයන් යනු යක්ෂ ගෝත්‍රික ජනකොටසක් බව යි පෙනෙන්නේ. බින්තැන්නේ මහඔයට නුදුරු නුවරගල පර්වතය, සීගිරිය වැනි බළකොටුවක් බව පැහැදිලියි.
විජයබාහු රජු සොළින්ගෙන් පොළොන්නරුව මුදා ගැනීමට යන ගමන බින්තැන්න හරහා ගිය බවට සාධක පවතිනවා. මහා පරාක්‍රමබාහු රජු රජකමට උරුමය සහිත පෙළපත් විනාශ කිරීමේ දී ලොකු ම අභියෝගය එල්ලවී ඇත්තේ බින්තැන්නෙන්. මානාභරණ බින්තැන්නේ කඳවුරු බැඳ ගෙන පැරකුම් රජුට එරෙහි ව සටන් කර තිබෙනවා. කාලිංග මාඝ ආක්‍රමණ කාලයේ දී සංඛ සෙනෙවි බින්තැන්නට යාබද වෙස්ට්මින්ස්ටර් ඇබේ කන්දේ (ගෝවින්ද හෙළ) බළකොටුවක් පිහිටුවාගෙන තිබෙනවා.
උඩරට රාජධානි කාලයේ දී බින්තැන්න වෙන ම දිසාවක් ලෙස සැලකුණා. එයට ගිරවා සහිත කොඩියක් ද වෙන් ව තිබුණා. රජුට අයත් වි අමුණු 584ක කූඹුරු බින්තැන්නේ තිබුණා. අනුරාධපුර රාජධානියේ මුල් යුගයට අයත් බ්‍රාහ්මී සෙල්ලිපි බින්තැන්නේ ස්ථාන කිහිපයකින් ම හමු ව තිබෙනවා. ඕමුණුකන්දේ ලෙන්වල කෙටූ සෙල්ලිපි තුනක් ද හෙනන්නේගල ලෙනෙන් එක් සෙල් ලිපියක් ද එසේ හමු ව තිබෙනවා.
පොල්ලෙබැද්දේ නුවරගල පාමුල පුරාණ ජල සම්පාදන ක්‍රමයක නටබුන් හමුවන තැනට කියන්නේ ගල්පෝරු යාය කියල යි. පදීදොරත් පැරණි නටබුන් සහිත තැනක්. බොල්ලෑගල රාජ මහා විහාරය, වරාපිටිය කුඩා හරස්ගල ආදී තවත් තැන්වල විහාර නටබුන් හමුවෙනවා.
උඩරට කැරැල්ලේ උපත
උඩරට මහ කැරැල්ල යන නමින් හඳුන්වන 1818 නිදහස් අරගලයේ මුල් බිජුවට මුලින් ම වැපිරුණේ උඩරටින් නෙවෙයි. රටේ දුප්පත් පෙදෙසක් වන බින්තැන්න වෙල්ලස්‌සෙන්. කැරැල්ල දරුණුවට ඇවිළ යන විටයි එවකට ඌවේ දිසාව වුණු මොනරවිල කැප්පෙටිපොල නිලමේ සහ තවත් උඩරට නායකයන් ඉංග්‍රීසින්ගේ තනතුරු හැර දමා එයට එක්වුණේ.
ඉංග්‍රීසින්ට විරුද්ධ විමුක්‌ති අරගලයේ තෝතැන්න වුයේ ද බින්තැන්නේ කොකාගල, කෙහෙල්වැල්ල, දංකුඹුර ආදී ස්‌ථාන යි. බින්තැන්නේ වැද්දන් ද තම දුනු හී ගෙන සුද්දන්ට එරෙහිව සටන් කිරීමට සිංහලයන් සමඟ එකතු වුණා. දඹාන, රතුගල, පොල්ලේබැද්ද, හෙන්නානිගල ආදී වශයෙන් අදත් වැදි ගම්මාන තිබෙනවා.
බින්තැන්නේ උස ම කන්ද වුණු විශාල වනගත පෙදෙසක් වන කොකාගල තමයි කැරැල්ලේ කේන්ද්‍රස්‌ථානය කරගෙන තිබුණේ. බොහෝ අවස්ථාවල දී ඉංග්‍රීසින්ගෙන් බේරී ආරක්ෂා වීමට කැරලිකරුවන් කොකාගල වනයේ සැඟ ව සිටි බව පැවසෙනවා. කැරැල්ලේ බින්තැන්නේ නායකයකු වූ බදුලුගම්මන රටේ රාළගේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ කොකාගල දී කැරලිකරුවන් රජකු පත් කර ගෙන සිටි බව යි.
රජු ආරක්‍ෂිත ව සිටි මාලිගය තිබුණේ කොකාගල කන්දේ එක් බෑවුමක බව පැවසෙනවා. වන වදුලෙන් වැසුණු ගල් ලෙන්වලින් හා ගල් පර්වතයෙන් යුතු කොකාගල කදි ම ආරක්ෂිත තැනක් වුණා. කොකාගල ආසන්නයේ පිහිටි උනාපාන කඳු වැටිය ආශ්‍රිත පෙදෙස උනාපාන වැදි වරිගයේ ජන්ම භූමිය ලෙස සැලකුණා. බදුලුගම්මන රටේ රාළ ඉංග්‍රීසින්ගේ දේශද්‍රෝහී ලැයිස්තුවට අයත් වුණු කෙනෙක්.
බින්තැන්නේ ජන වහර
පුරාණයේ සිට අද දක්වාම අපට මේ කලාපය වෙන් ව හඳුනා ගත හැකි ලක්ෂණයක් තමයි ඔවුන්ට ම වෙන් වූ කතා විලාසය. ඔවුන් වචන උච්චාරණය කරන්නේ උච්චස්වරයෙන්. ශබ්ද නඟා කතාකිරීම ඔවුන්ගේ උපන් ගෙයි පුරුද්දක් බව පේනවා. ප්‍රශ්නයක් අසන විට වාක්‍යය අගට ද යන්න යොදන්නෙ නැහැ. මවගේ මව කිරිම්මා ලෙසත් මවගේ පියා කිරිඅත්තා ලෙසත් හඳුන්වනවා. මේ වාක් කෝෂය සිංහලයේ ඉපැරණි ලක්ෂණ පෙන්නුම් කරනවා.
බුලත් පහේ අඩුවුවිට වැඩියෙන් ම ඔවුන් හපන්නේ පොතුවිට යි. බුලත්, පුවක්, හුණු දුම්කොළ බින්තැන්නට හිඟ නිසා ඖෂධීය ගුණයෙන් යුතු පොතු ගලවා කැබලි කර කොක්කනයේ බහා තබා ගෙන අවශ්‍ය වූ විට කටේ දමා හැපීමට පුරුදු වී සිටිනවා.
කෙළ පීරක් ගසා කතාවට එක්වෙන ඔවුන් ගෝහාලයේ හෝ කොට්ටපිලේ ඇනබාගෙන කටකමසෙයියාවක් නැතුන් පට්ටන්තර ඇදබානවා. සමූහයක් කුට්ටම් ගැහී කයිගොණු වුණා ම සමහරු හෑලි හෝල් ගාන්නේ ඉවක් බවක් නැතුන්.
ලෑලි ගානවා කියන්නේ යමක් සිහින් කැබලිවලට කපා ගැනීම හෝ පෙති ගසා ගැනීම යි. පුවක් ලෑලි ගානවා යනු පුවක් පෙති සිහින් ව ලියා ගැනීම යි. ගෝහාලය ලෙස හඳුන්වන්නේ ලී මැස්ස යි. කොට්ට පිල යනු ඉස්තෝප්පුවේ මැටියෙන් බඳින ලද වාඩිවීමට හා ඇලවී සිටීමට උපයෝගී කරගන්නා පිල යි.
ජනවහරේ විශේෂතා සමහරක්
කට කමසෙයියාවක් නැතුන් හෙවත් කටට පහසුවක් නැතුව කතා කරමින් සිටින කයිය හෙවත් පිරිසකට මැදිවන කෙනකුට එම කයිගොනුවෙන් ගැලවී යාමට නොහැකි වෙනවා. කයිගොනු වීම කියන්නේ කතාබහට එක්වීම යි. කතාබහට එක් ව පිරිසක් කතා කරද්දී ඇතමෙක් කටපත්ත ඇදගෙන හෑලි හෝලි ගානවා. කටපත්ත ඇදීම යනු වගාඩම්බර කීම යි. ‘පුච්චානම් දොඩනවා’ යැයි වෙල්ලස්සේ ඇත්තන් කියන්නේ ද මේ ආකාරෙට පුරාජේරු කතාවලට යි.
ගැහැනුන් කුට්ටම් ගැහෙන්නේ ගෙදර පිරිමින් නැති අල්ල පනල්ලක යි. උයන ගේ හෝ කරල් මඩුවේ, එහෙමත් නැතිනම් අටුගේ මේ ආකාරෙට කූටම් ගැහෙන උන් කයි ගොනු වන්නේ කයි කුයි ගාමින්. කයි කුයි ගාමින් කියන්නේ හෙමින් කතා බහ කරමින්. උඹ යන්න මේ පෙදෙසේ දී කියවෙන්නේ අඩා, අඩී යනුවෙන්. විවේකය ඉඩවරය ලෙස ද ඔජ වඩවනවා යන්න හපන්කම් පෙන්වීම ලෙසත් හඳුන්වනවා. මෙවැනි වචන රාශියක් බින්තැන්නේ ජනවහරේ දී අපට හමු වෙනවා. නමුත් පසුගිය දශක කිහිපය තුළ බින්තැන්නට පිටතින් විශාල ජන සංඛ්‍යාවක් පැමිණීම නිසාත් බින්තැන්නේ පිරිස් රැකියාවලට වෙනත් පළාත්වලට යාම නිසාත් මේ ජන වහර වෙනස්වීමකට ලක් වුණා.
බින්තැන්නේ වන විනාශය
අක්කර දහස් ගණනින් පැතිර තිබෙන මහඔය, නිල්ගල, රඹකැන් ඔය, පොල්ලෙබැද්ද ආදී ප්‍රදේශවල වටිනා වනාන්තර ඉඩම් විදේශීය සමාගම්වලට බදු දීමට ආණ්ඩුව ක්‍රියාකරන බව පසුගිය කාලයේ වාර්තා වුණා. මේ නිසා පාරම්පරික වගාබිම් අහිමි වන බව ගොවීන් චෝදනා කළා. මේ ඉඩම් පවරා ගැනීමට එරෙහි ව විරෝධතා ද පසුගිය කාලයේ අපට දැකගත හැකි වුණා. වැදි ජනතාව පවා මේ විරෝධතාවලට එක් ව සිටියා.