1956 මහා මැතිවරණය ලංකා ඉතිහාසය තුළ හමුවන පෙරළිකාර මැතිවරණයක් වන්නේ වසර 9ක් අඛණ්ඩව බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය ආසන 8ක් දක්වා පහතට වැටුණු නිසා යි. එදා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් විරුද්ධ පක්ෂවල නව හමුවේකයන් කිසිවෙකු අපේක්ෂා නොකළ අයුරින් පරාජයට පත්වුණා. එවකට එක්සත් ජාතික පක්ෂ නායක ජෝන් කොතලාවලගේ ක්‍රියා කලාපය නිසා ඔවුන්ගේ පක්ෂයට එවැනි පරාජයක් අත්වුණු බව අදටත් බොහෝ දෙනා පිළිගන්නා මතයක්. එම බල මහා පෙරළියෙන් පසුව බිහිවුණු සොලමන් බණ්ඩාරනායක රජය පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් සිදුකළ සේවාවන් අතරින් බස් ජනසතු කිරීමට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. මෙම ලිපිය ලියැවෙන්නේ 1958 වසරේ දී බස් ජනසතු කළ ආකාරය පිළිබඳව යි.
මෙරට බස් සේවාවේ ආරම්භය
ලංකාවට මුලින්ම බස් රථයක් ආනයනය කරවන ලද්දේ ටී. ඩබ්ලිව්. කොලට් නම් ඉංග්‍රීසි ජාතිකයා යි. 1907 වසරේ සිට විධිමත්ව ආරම්භ වුණු බස් ධාවනය කොළඹ සහ හලාවත නගරයන් අතර ක්‍රියාත්මක වුණා. එම අවධියේ දී අප රටට ගෙන්වා තිබුණු Thonyorft නැමති බස් වර්ගය ඝන ටයර්වලින් යුක්ත වුණා. දිගින් දිගටම බස් ආනයනය කළ කොලට් 1921 වසරේ දී Ceylon Motor Transit Company නම් සමාගම පිහිටවනු ලැබුවේ විධිමත් බස් සේවාවක් පවත්වාගෙන යාමේ අරමුණෙන්.
බස් සේවාව තවදුරටත් පුළුල් වුණු හැටි
1925 වසර වන විට ලංකාව තුළ බස් සමාගම් රැසක් ක්‍රියාත්මක වුණු නිසා බස් රථ 1500කට ආසන්න ප්‍රමාණයක් ධාවනය කිරීමට හැකියාව ලැබුණා. නමුත් ධාවනය වන බස් ප්‍රමාණය වැඩිවීමත් සමග ඇති වුණු ගැටලු නිරාකරණය කිරීමට මෝටර් රථ පනතක් සම්මත කරගනු ලැබුවේ 1927 වසරේ දී යි. එම පනතෙහි බස් රථයක තිබිය යුතු අංග, බස් රථ ලියාපදිංචි කිරීමේ නීති රීති, ධාවන බලපත්‍ර, රියදුරු බලපත්‍ර, බස් රථ රක්‌ෂණය, ධාවන වේග සීමා, ආදී කරුණුවලට අදාළ සම්මත නියමයන් ඇතුළත් වුණා. ඉන් අනතුරුව ලංකාව තුළ හොඳින්ම ක්‍රියාත්මක වුණු බස් සේවාව 40 දශකය ආරම්භ වන විට දිවයින පුරාම ව්‍යාප්ත වී තිබුණා. එම යුගය වන විට බස්නාහිර පළාත තුළ වඩාත්ම ප්‍රසිද්ධව තිබුණේ පහත සඳහන් බස් රථ සමාගම් කිහිපය යි.
1) ගාමිණී බස් රථ සමාගම
2) හයිලෙවල් බස් රථ සමාගම
3) විජය බස්‌රථ සමාගම
4) මුණගම බස් රථ සමාගම
5) රණසිංහ බස්‌රථ සමාගම
6) පානදුර මොටර් ට්‍රාන්ස්‌පෝට් සමාගම
7) කුකුළා බස් රථ සමාගම
එකල බස් රථ සේවයේ තිබුණු අඩුපාඩු
40 දශකය පමණ වන විට මෙරට බස් ධාවන කටයුතු සිදුවුණේ බස් සමාගම් කිහිපයක ඕනෑ එපාකම් මත යි. එම නිසා මඟී ජනතාව පීඩාවට පත්කරමින් ඔවුන් තම මඩිය තර කරගැනීම සඳහා දැඩි තරගයක නිරත වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පමණට වඩා පිරිසක් පටවාගන්නා බස්රථ, වැඩි ධාවන වාර ගණනක් ලබාගැනීමේ අරමුණින් වේගයෙන් ධාවනයේ යෙදුණා. නිසි ප්‍රමිතියකින් තොරව සිදුවුණු බස් ධාවනය නිසා මඟීන් දැඩි අපහසුතාවයකට පත්වන ආකාරය දක්නට ලැබුණා.
එවැනි අවස්ථාවන්වල දී ඇතැම් මඟීන් බස් හිමියන් සමග ගැටුම් ඇතිකරගත්තා. නමුත් සෑම බස් හිමියෙකු වටාම මැර කණ්ඩායමක් සිටි නිසා අසාධාරණයට එරෙහිව කතා කරන මඟීන් පහරකෑම්වලට ලක් වුණා. එම නිසා සිදුවන අසාධාරණකම් ඉවසාගෙන බස් රථවල ගමන්කිරීමට මඟීන්ට සිදුවුණා. එසේම එකල බස් රථ ධාවනය නියමිත කාල සටහනකට අනුව සිදුවුණේ නැහැ. බස් හිමියන් තමන්ගේ අභිමතය පරිදි බස් ධාවන කටයුතුවල නිරතවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් දුර ගමන් ගිය මඟීන් බොහෝ අවස්ථාවන්වල දී මහමඟ රස්තියාදු වුණා.
බස් හිමියන් සතුව තිබුණු බලය
එම යුගයේ දී බස් රථ හිමියන් සතුව විශාල බලයක් තිබුණා. 1947 මැතිවරණය ඔවුන්ගේ බලය පෙන්නුම් කළ එක් අවස්ථාවකට උදාහරණයක් ලෙසින් ගන්නට පුළුවන්. එවර මහා මැතිවරණය අළලා ලංකා සම සමාජ පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව තිබුණේ මෙරට මඟී බස් සේවය වැටී තිබෙන අගාධයෙන් ගොඩගැනීමට නම් බස් කර්මාන්තය වහාම රජය යටතට ගත යුතු බව යි. එය ඇසීමෙන් බස් සමාගම් හිමිකරුවන් දැඩි ලෙස කෝපයට පත්වුණා. ඔවුන් සමසමාජ පක්ෂයේ මැතිවරණය කටයුතු කඩාකප්පල් කිරීමට ක්‍රියා කළා.
බස් සමාගම් හිමියන්ගේ යටතේ සිටි මැරවරයන් සමසමාජ පක්ෂයේ රැස්වීම්වලට පහරදුන්නා. එසේම ඔවුන්ගේ රැස්වීම් පැවැත්වුණු දිනවල ඒ ප්‍රදේශය ආශ්‍රිතව බස් ධාවන කටයුතු නතර කිරීමට කටයුතු කළා. එවිට රැස්වීම් කඩාකප්පල් වුණා. ඉන් නොනැවතුණු එම බස් හිමියන් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය උදෙසා වෙහෙස මහන්සි වී වැඩ කළා. මැතිවරණ දිනයේ දී වඩාත් ක්‍රියාකාරී වුණු බස් හිමියන්ගේ මැර හමුදාව සමසමාජ ආධාරකරුවන්ට ප්‍රහාර එල්ලකළා.
බස් ජනසතු කිරීම සඳහා අවශ්‍ය පරිසරය සකස් වීම
1950 දශකයේ මැද භාගය වන විට ලංකාවේ වාමාංශික පක්ෂ බස් රථ සේවකයන්ට සිදුවන අසාධාරණයට එරෙහිව නැගීසිටින්නට පටන්ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස සවුත් වෙස්ටර්න් නම් බස් සමාගම තුළ සේවක වැඩ වර්ජනයක් පැවැත්වුණා. ඉන් පන්නරය ලද අනිත් බස් සමාගම්වල සේවකයන් සිය හාම්පුතුන්ට එරෙහිව කතා කරන්නට බියවුණේ නැහැ. එවැනි වටපිටාවක පැවති 1956 මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වුණු සොලමන් බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ පංච මහා බලවේග එකතු කරගෙන සිය දේශපාලන ව්‍යාපාරය සිදුකළා. එදා ජනරැල්ල මහජන එක්සත් පෙරමුණ දෙසට නැඹුරුවුණු නිසා මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් අත්වුණා.
බලයට පත්වුණු බණ්ඩාරනායක රජය ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට උනන්දු වන බවක් දක්නට ලැබුණා. 1956 නොවැම්බර් 22 වැනිදා එක්තරා සම්මේලනයක් ඇමතූ අගමැති බණ්ඩාරනායක පහත සඳහන් වචන ස්වල්පය පවසා සිටියා.
“අප සමාජවාදී ප්‍රතිපත්ති මත කටයුතු කිරීමට අදහස් කරනවා. පෞද්ගලික අංශයේ දායකත්වය රටකට අනවශ්‍ය යි කියල එයින් හැඟවෙන්නෙ නැහැ. නමුත් ඇතැම් අංශයන් රජය යටතට පවරාගෙන පවත්වාගෙන යාමට අප අදහස් කරනවා. එහෙත් මෙම ප්‍රතිපත්තිය අප ක්‍රියාවට නගන්නේ ඉතාමත් පරිස්‌සමෙන්. එහි දී එකවරම සියලුම පෞද්ගලික අංශ රජයට පවරා ගැනීමක් සිදුවන්නේ නැහැ. එම සේවාවන් රජයට පවරා ගැනීමට පෙර අප රජය පෞද්ගලික අංශයේ ආයතන හිමිකරුවන් සමඟ විධිමත් ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එනිසා පෞද්ගලික සමාගම් කොටස් අයිතිකරුවන් බියවිය යුතු නැහැ. ඔවුන්ට අගතියක් වන විදියට අප කිසි විටෙක කටයුතු කරන්නේ නැහැ”.
එදා බණ්ඩාරනායක අගමැතිවරයා කළ කතාවේ දී ජනසතු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානමින් සිටින බවට මුල්ම ඉඟිය ලැබුණා. අගමැති බණ්ඩාරනායක එම පොරොන්දුව වචනවලට පමණක් සීමා නොකර 1957 අංක 48 දරණ ලංකා ගමනාගමන මණ්ඩල පනත ගෙන එනු ලැබුවා. එහි දී ගමනාගමන සහ රජයේ වැඩ අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක විශාල කාර්යභාරයක් ඉටුකරනු ලැබුවා.
ජනතා ප්‍රසාදය මධ්‍යයේ බස් ජනසතුව ක්‍රියාත්මක වෙයි
1958 ජනවාරි 1 වැනිදා ලංකාවේ ජනතාව රබන් ගසමින් කැවුම් කිරිබත් කමින් සතුටුවුණා. ඒ, එදිනට බස් ජනසතු කිරීම සිදුවුණු නිසා යි. එදා බොහෝ පළාත්වල බස් රථ අලංකාර ලෙස සරසා තිබුණා. ඒවායේ පහත දැක්වෙන පාඨ ලියා තිබුණා.
“මහජන එක්සත් පෙරමුණට ජයවේවා!”
“බණ්ඩාරනායක අගමැතිතුමාට ජයවේවා!”
“බස් මුදලාලිලා භංග වේවා!”
“ගත්ත සල්ලි අපට දියව්”
එදින රජයේ මැති ඇමතිවරුන්ට ද කාර්යබහුල දිනයක් වුණා. ඒ, තමන්ගේ ඡන්ද කොට්ඨාසයේ බස් ජනසතු විවෘත කිරීමේ උත්සව සඳහා සහභාගිවීමට සිදුවීම හේතුවෙන්. ඒ අයුරින් ක්‍රියාත්මක වුණු බස් ජනසතුව යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් මුල්ම වරට ධාවනය වුණේ කොළඹ සහ නිට්ටඹුව අතර යි. බණ්ඩාරනායක රජය ක්‍රියාත්මක කළ බස් ජනසතු ව්‍යාපාරය නිසා රටේ මහජනතාවගේ ප්‍රවාහන ගැටළු රැසකට විසඳුම් ලැබුණා. එසේම අදටත් බස් ජනසතුවේ ප්‍රතිලාභ අප ලබමින් සිටිනවා. එම නිසා 1958 බස් ජනසතුව ජනතාවගේ මහජනතාවගේ යහපත වෙනුවෙන් තැබූ යෝධ පියවරක් ලෙස සැලකිය හැකියි.