තෙල් සම්පත සොයා දස දහස් ගණන් ජීවිත බිලි දුන් චැකෝ යුද්ධය​

දකුණු ඇමරිකානු රාජ්‍යයන් දෙකක් වන බොලීවියාව සහ පැරගුවේ අතර 1932 සිට 1935 දක්වා කාලය තුළ ඇවිලී ගිය චැකෝ යුද්ධය තෙල් සම්පත් ඇති බවට සැක කළ නිසරු ප්‍රදේශයක් සඳහා කෙරුණ නිරර්ථක යුද්ධයක් වුණා. මෙම යුද්ධය හේතුවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 100,000 ක් පමණ බව ඇස්තමේන්තු කර තිබෙනවා.

මෙම යුද්ධයේදී වැඩි දෙනෙකු බලාපොරොත්තු නොවූ පරිදි පැරගුවේ රාජ්‍යය විසින් බොලීවියාව පරාජය කරනු ලැබුණා. තවද මෙම යුද්ධයේදී එකිනෙක හා තරඟකාරී තෙල් සමාගම් දෙකක් එම රටවල් දෙක පසුපසින් සිටි බවට සඳහන් වනවා. මෙම සමාගම් කෙතෙක් දුරට යුද්ධය කෙරෙහි බලපෑවේදැයි නිගමනය කිරීම අසීරු වුණත්, ලතින් ඇමරිකාවේ, විශේෂයෙන්ම වාමාංශික කණ්ඩායම්වල අදහස වන්නේ මෙම නිරර්ථක යුද්ධය තෙල් සමාගම්වල අවශ්‍යතාව මත ඇති වූ එකක් බවයි.

ග්‍රෑන් චැකෝ ප්‍රදේශය​

ග්‍රෑන් චැකෝ හෙවත් චැකෝ බොරියාලිස් ප්‍රදේශය බොලිවියාව​, පැරගුවේ සහ ආර්ජන්ටිනාව යන රටවල් තුනෙහි පැතිරුණ තැනිතලා, නිසරු බිමක්. එය අන්දීස් කඳුවලට නැගෙනහිරින් සහ පැරගුවේ නදියට බටහිරින් පිහිටා තිබෙනවා.

මතභේදයට හේතු වූ ප්‍රදේශය (taringa.net)

1879-1883 සමයේ පැසිෆික් සයුරේ යුද්ධයේදී (War of the Pacific) චිලී රාජ්‍යයට එරෙහිව පේරු සහ බොලීවියාව සටන් වැදුණා. මෙහිදී චිලී රාජ්‍යය විසින් මෙම දෙරටම පරාජය කළ අතර බොලීවියාවේ වෙරළබඩ තීරය චිලී දේශය විසින් අත්පත් කරගත්තා. මේ අනුව බොලීවියාවට වෙරළ තීරයක් අහිමි වුණා.

එතැන් පටන් බොලීවියාව සමුද්‍රීය වෙළෙඳාම සඳහා මාර්ගයක් විවර කරගැනීමට බලාපොරොත්තු වුණා. මේ අනුව පැරගුවේ ගංගාව දෙසට ගොඩබිම් මාර්ගයක් පාදා ගැනීම පිළිබඳ බොලීවියානුවන් අවධානය යොමු කරමින් සිටියා.

මේ අතර, ඇමරිකාවේ ස්ටෑන්ඩර්ඩ් ඔයිල් සමාගම විසින්, බොලීවියාවේ නැගෙනහිර ප්‍රදේශවල ඛණිජ තෙල් නිධි සොයාගනු ලැබුණා. එයින් පසුව ග්‍රෑන් චැකෝ ප්‍රදේශයේද තෙල් නිධි තිබිය හැකි බව අනාවැකි පළ වුණා. කෙසේ නමුත් එම ප්‍රදේශයේ තෙල් ගවේෂණ කටයුතු කරන ලද්දේ රෝයල් ඩච් ෂෙල් (Royal Dutch Shell) සමාගම විසින්.

දේශසීමා ගැටුම්

ග්‍රෑන් චැකෝ ප්‍රදේශය ආශ්‍රිතව බොලිවියානු සහ පැරගුවේ හමුදා අතර 1928 පමණ සිට දේශසීමා ගැටුම් සිදු වුණා. මෙම අවස්ථාවේ තත්ත්වය යුද්ධයක් කරා වර්ධනය නොවීමට එක් හේතුවක් වූයේ දෙපාර්ශවයම විශාල යුද්ධයක් සඳහා සූදානම් නොවී සිටීමයි. මේ අතර කලාපීය බලවතුන් විසින් දෙපාර්ශවය අතර වූ ගැටුම් තාවකාලිකව සමනය කරවීමට කටයුතු කෙරුණා.කෙසේ නමුත් පැරගුවේ සහ බොලීවියා රටවල් දෙකම යුද්ධයක් සඳහා සූදානම් වෙමින් සිටියා. මෙම දෙරටටම මුහුණ දීමට වූ එක් අභියෝගයක් වූයේ ආයුධ ගෙන්වා ගැනීමයි. එය අභියෝගයක් වූයේ දෙරටම ගොඩබිමින් සම්පූර්ණයෙන් වටවූ රටවල් වීමයි.

දෙරට සන්සන්දනය​

1932 වනවිට දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිවුවහොත් ඉන් බොලීවියාවට වැඩි වාසි අත්වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුණා. බොලීවියාවේ ජනගහනය මිලියන 2.1 ක් පමණ වූ අතර පැරගුවේ රටේ ජනගහනය 900,000 ට අඩු වුණා. මේ අනුව වැඩි හමුදාවක් බඳවා ගැනීමේ හැකියාව තිබුණේ බොලීවියාවටයි.

පැරගුවේ සෙබලුන් පිරිසක් (Public Domain)

තවද, බොලීවියාවේ හමුදාව ජර්මන් ජාතික ජෙනරල්වරයකු වූ හාන්ස් කුන්ඩ්ට් විසින් මෙහෙයවනු ලැබුවා. ඔහු බොලීවියානු හමුදාව ප්‍රතිසංවිධානය කොට පුහුණුවද ලබා දී තිබුණා.මේ අතර දෙරට සතුවම තරමක ගුවන් හමුදා තිබුණ අතර පැරගුවේ රට සතුව පැරගුවේ නදියෙහි ගමන් කළ හැකි නාවික යාත්‍රා කිහිපයක්ද වුණා.

යුද්ධය

බොලීවියාව සහ පැරගුවේ අතර යුද්ධය ආරම්භ වූයේ 1932 දීයි. ජූනි මාසයේදී බොලීවියානුවන් පැරගුවේ රාජ්‍යයට අයත්ව තිබූ බලකොටු කිහිපයක් අල්ලා ගත්තා. ඒ අතර ෆෝර්ටින් බොකෙරන් (බොකෙරන් කොටුව​) ද වුණා. මෙහිදී පැරගුවේ රාජ්‍යය තම සමස්ථ හමුදාවම ජංගමගත කිරීමට කටයුතු කළා. ජෙනරල් හොසේ එස්ටෙගරිබියා යටතේ ඔවුන් අගෝස්තුවේදී බොලීවියානුවන්ට ප්‍රතිප්‍රහාර​ එල්ල කරමින් සැප්තැම්බරය අවසාන වෙද්දී බොකෙරන් කොටුව අල්ලා ගත්තා.

ග්‍රෑන් චැකෝ ප්‍රදේශයට දුම්රිය මාර්ගයක් සතුව තිබීම පැරගුවේ රාජ්‍යයට​ අමතර වාසියක් වුණා. බොලීවියානු හමුදාවලට සිය සේනාංක මෙහෙයවීමට සිදු වූයේ බොරලු පාරවල් හරහායි. පැරගුවේ හමුදා, නෞකා මගින් පැරගුවේ ගංතෙර වූ පුවර්ටා කසාඩා වෙත පැමිණ, එතැන් පටන් දුම්රියෙන් සටන් බිම කරා ගමන් කළා.

පැරගුවේ හමුදා යුධ අගල් (Getty Images)

එමෙන්ම කඳුකරයේ ජීවත් වූ බොලීවියානුවන්ට පහත් බිම්වල සටන් කිරීම පහසු වූයේ නැහැ. තවද වියළි චැකෝ ප්‍රදේශයේ ජල හිඟය සහ සතුන්ගෙන් වන හිරිහැර ද බොලීවියානුවන් පීඩාවට පත් කළා. යුද්ධය පැවති සමය තුළ සටනේදී මියගියාට වඩා වැඩි බොලීවියානුවන් පිරිසක් විජලනය​, සර්පයින් සපාකෑම සහ වෙනත් හේතු නිසාවෙන් මියගිය බව සැළකෙනවා.

1933 ජනවාරියේදී පැරගුවේ හමුදා සතුවූ නනවා (Nanawa) කොටුව අල්ලා ගැනීම සඳහා බොලීවියානුවන් අසාර්ථක උත්සාහයක් සිදු කළා. ජූලි මාසයේදී නැවතත් එම කොටුව අල්ලා ගැනීමට උත්සාහ කෙරුණ අතර එහිදී ද බොලීවියානුවන් පරාජය වුණා.

මෙයින් පසු සටන් බිමේ වැඩි ගෞරවය අයත් වූයේ පැරෙගුවේ හමුදාවලටයි. ඔවුන් 1933 සැප්තැම්බරයේදී ප්‍රහාරක මෙහෙයුමක් ආරම්භ කර පැහැදිලි සාර්ථකත්වයක් ලබා ගත්තා. බොලීවියානු ජනාධිපති විසින් කුන්ඩ්ට් හමුදාපති ධුරයෙන් ඉවත් කෙරුණා. කෙසේ නමුත් නව හමුදාපතිවරයාට ද යුද්ධයේ වාසිය බොලීවියාව දෙසට හැරවීමට හැකි වූයේ නැහැ.

බොලීවියානු මැෂින් තුවක්කුකරුවෙක් 1934 දී (Getty Images)

නත්තල් සහ නව වසර වෙනුවෙන් පැවති සටන් විරාමයකින් පසු 1934 ජනවාරියේදී පැරගුවේ හමුදා නැවතත් ප්‍රහාරක මෙහෙයුම් ඇරඹූ අතර එම වසර නිම වෙද්දී ඔවුන් දේශසීමා අර්බුද පැවති ප්‍රදේශය පසු කර බොලීවියානු භූමියට ඇතුලු වී තිබුණා.

1935 ජූනි 12 වනදා සටන් විරාම ගිවිසුමක් සඳහා දෙපාර්ශවය එකඟ කරවාගනු ලැබුණා. ඒ වනවිට පැරගුවේ හමුදා බොලිවියානු තෙල් නිධි පිහිටි ප්‍රදේශය ආසන්නයට පැමිණ සිටියා.

යුද්ධයෙන් පසු කලාපීය බලවතුන් වූ ආර්ජන්ටිනාව​, බ්‍රසීලය​, චිලී, උරුගුවේ, පේරු සහ ඇමරිකා එක්සත් ජනපදය මැදිහත්වීමෙන් බොලිවියාව සහ පැරගුවේ අතර සාම ගිවිසුමක් සඳහා සාකච්ඡා කිරීම පිණිස පිණිස ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනුවරදී සමුළුවක් කැඳවනු ලැබුණා. 1938 ජූලි 21 වනදා මෙම ගිවිසුමට අත්සන් කෙරුණ අතර ඒ අනුව මතභේදයට තුඩු දුන් ප්‍රදේශයෙන් වැඩි කොටස පැරගුවේ වෙත ප්‍රදානය කෙරුණා.

විශාල විනාශයක් ගෙන ආ යුද්ධය හේතුවෙන් ග්‍රෑන් චැකෝ ප්‍රදේශයේ වැඩි කොටසක් පැරගුවේ රාජ්‍යයට ලැබුණ නමුත් 2012 පමණ වනතුරු එහි තෙල් සොයාගනු ලැබුණේ නැහැ. 2012 දී එම ප්‍රදේශයෙන් තෙල් හමුවූ බවට වාර්තා වුණා.

Cover Image: බොකෙරොන් සටන අතරතුර (greatmilitarybattles.com)

Related Articles

Exit mobile version