Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එඩ්වින් එල්. ඩ්‍රේක් නිසා ව්‍යාපාරයක් බවට පත් වුණු බොර තෙල්

ඛනිජ තෙල් කියන්නේ බොහෝ කාලයක් තිස්සේ මිනිසා ගමන් බිමන් යාමටත්, බලශක්තිය නිපදවීමටත්, අපිට අවශ්‍ය ප්ලාස්ටික් අැතුළු අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයකුත් නිපදවන්න භාවිත කළ ප්‍රධානතම මූලාශ්‍රය කියලා සලකන්න පුළුවන්. අද වනවිට පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙමින් පැවතුණත් ලෝකය පසුගිය සියවස තුළ මේ තරම් වේගයෙන් දියුණු වීමට ප්‍රධානතම සාධකය වුණේ ඛනිජ තෙල් අාශ්‍රිත නිෂ්පාදන බවට කිසිදු විවාදයක් නැහැ. ඛනිජ තෙල් තරම් ලෝක අාර්ථිකයට වගේම දේශපාලනයටත් බලපෑම් කළ තවත් දෙයක් නැති තරම්.

ඉතින් අපට මෙතරම් වැදගත් ඛනිජ තෙල් මුලින්ම ලෝකයට හඳුන්වා දුන් පුද්ගලයා ගැනයි මේ ලිපියෙන් කියන්න යන්නේ. ලෝක තෙල් කර්මාන්තයේ පියා ලෙස හඳුන්වනු ලබන ඔහු නමින් එඩ්වින් එල්. ඩ්‍රේක්.

එඩ්වින් එල්.ඩ්‍රේක් තෙල් සොයා ගැනීම

ඩ්‍රේක්ගේ පළමු තෙල් ලිඳ (thoughtco.com)

එඩ්වින් ලොරන්ට්ස් ඩ්‍රේක් උපත ලැබුවේ 1819 මාර්තු මස 11 වන දිනයි. නිව්යෝක්හි ග්‍රීන්විල් නැමැති ප්‍රදේශයේ තමයි ඔහු ජන්ම ලාබය ලැබුවේ.

ලොව ප්‍රථම වරට වාණිජ්‍යමය වශයෙන් පොළව යට අැති ඛනිජ තෙල් ලබා ගැනීමට හැකිවන තෙල් ලිඳක් නිර්මාණය කිරීමට ඩ්‍රේක්ට හැකි වුණා. මීට පෙරද බොර තෙල් ගැන මිනිසා දැන සිටියත් පොළොව අභ්‍යන්තරයේ අැති තෙල් පිටතට ගැනීමට එ් වන තුරු සාර්ථක ක්‍රමයක් තිබුණේ නැහැ. ඛනිජ තෙල් ඉතිහාසයේ නොමැකෙන පරිදි සිය නම රැඳවීමට ඔහුට හැකි වුණේ ඒ නිසයි.

පෙන්සිල්වේනියාව අවට තැන් තැන්වල ලාම්පු දැල්වීම සඳහා භාවිත කළ හැකි තෙල් තට්ටු පවතින බවට ආරංචි වීමත් සමග සෙනෙකා ඔයිල් නමින් සමාගමක් බිහිවූ අතර ඔවුන් අපේක්ෂා කළේ මේ තෙල් භාවිතයෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි. මෙය තෙල් දිගින් දිගටම ලබාගත හැකි ක්‍රමයක් සෙවීම සඳහා සෙනෙකා ඔයිල් සමාගම කොන්ත්‍රාත් පදනම මත ඩ්‍රේක්ව බඳවා ගත්තා. ඔහු මේ සඳහා යොදාගත්තේ ලුණු ආකර වලින් ලුණු ලබා ගැනීමට පාවිච්චි කරන ක්‍රමයට සමාන මූලධර්මයක්. එ් සඳහා බලය ලබා දීමට මිලට ගන්නා ලද වාෂ්ප එන්ජිමක සහය ලබා ගැනුණා.

ඉතා මහන්සියෙන් සිදුකරන ලද මෙම කැණීම දිනකට අඩි 3 ක පමණ ප්‍රමාණයකට සීමා වුණා. එක් දිනක් අඩි 69.5ක් දක්වා හැරීම සිදු කර එදිනට වැඩ නවත්වා තිබෙන අතර ඊළඟ දිනයේදී වැඩට පැමිණි සේවකයන් එයින් තෙල් කාන්දු වෙනු දැක තිබෙනවා. ඒ ගැන වහාම ඩ්‍රේක්ව දැනුවත් කරන ලද අතර ඔහු අතින් ක්‍රියා කරන පොම්පයක් ආධාරයෙන් මෙම බොරතෙල් නාන බේසමක පුරවාගෙන තිබෙනවා. පොළොව ගැඹුරේ ඇති ඛනිජ තෙල් පවා පිටතට ගැනීම සිහිනය ඉන් පසු සැබෑවක් වුණා.

අද කාලයේ සියලුම දේවල් වලට පාහේ භාවිත කරන ඛනිජ තෙල් අැති තරම් පොළවෙන් ලබා ගැනීමේ තාක්ෂණය ආරම්භ වූයේ ඒ විදිහටයි.

බොර තෙල් බිහි වූ හැටි

Picture 03 (slideshare.net)

අතීතයේ පෘථිවියේ වැඩි කොටසක් මහා මුහුදින් වැසී තිබුණා. මීට වසර මිලියන හාරසිය ගණනකට පෙර සිට මුහුදේ හා ගොඩබිමේ ජිවත් වුණු ජීවීන් මිය ගියාම එම මිය ගිය ජීවීන්ගේ දේහ මඩත් එක්ක මිශ්‍ර වෙලා පල්පයක් ආකාරයට තැන්පත් වෙලා තිබෙනවා. කාලයක් තිස්සේ ගංගාවලින්, ඇළ දොළවලින් ගලාගෙන ආපු රොන් මඩ හේතුවෙන් පල්පයක් විදියට තිබුණ ජීවී කොටස් සම්පුර්ණයෙන්ම වැහිලා ගිහිල්ලා තියෙනවා. කාලය ගත වීමත් සමගම මේ මඩ තට්ටු පාෂාණ බවට පරිවර්තනය වෙලා.

අධික බරක් සහිත මේ පාෂාණ ස්ථරය හේතුවෙන් ජීවී කොටස්වලින් යුක්ත පල්පයට විශාල පීඩනයකට යටත් වුණා. එයටම පොළොව යට පවතින උණුසුමත් එකතු වුණා. මේ අධික පීඩනය හා උණුසුම නිසා මිශ්‍රණයේ තිබුණ කාබන් හා හයිඩ්‍රජන් මූල ද්‍රව්‍යවල වෙනස් කම් සිදු වුණා. පාෂාණ ස්ථරය නිසා ඔක්සිජන් ලැබීම නතර වුණු අතර මේ ක්‍රියාවලිය බොහෝ කාලයක් සිදු වීම නිසා හයිඩ්‍රො කාබන මිශ්‍රණයක් පමණක් ඉතිරි වුණා.

ඒ අනුව පෙනිස්වේනියාවේදී ඩ්‍රේක් ට හමු වුණේ වසර ගණනාවකට පෙරාතුව තැන්පත් වූ ජීවී කොටස්වලින් යුත් මිශ්‍රණයක්. මෙය පිරිපහදු කර මුලින්ම ලාම්පු දල්වන්න යොදා ගත්තත් පසුව එ් තුළ පවතින ද්‍රව්‍ය අැසුරෙන් නා නා ප්‍රකාර දේ විශාල ප්‍රමාණයක් බිහි වුණා.

බොර තෙල් සහ ගල් අඟුරු

ඇත්තටම මේ විදිහට පොළොව ගැඹුරේ තැන්පත් වෙලා තියෙන්නේ බොර තෙල් සහ ගල් අඟුරුවල මිශ්‍රණයක්. බොර තෙල්  හැදිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් ම මියගිය සත්ත්වයන්ගේ දේහ  කලින් කියපු විදිහට  පීඩනයට හා උණුසුමට ලක්වී  කාලයක් පැවතීම නිසායි. මේ ක්‍රියාවලිය ඈත අතීතයේ තිබුණු  විශාල වනාන්තරවල පැවති ශාක කොටස් ලක් වුණාම  එයින් බිහි වුණේ ගල් අඟුරුයි.

පොළොව කණිනකොට හමුවන මිශ්‍රණයේ හයිඩ්‍රජන් වැඩියි නම් එමගින් ඛනිජ තෙල් ලබා ගන්න පුළුවන් බවටත්, හයිඩ්‍රජන් අඩුයි නම් එමගින් ගල් අඟුරු ලැබෙන බවටත් පර්යේෂණ තුළින් සොයා ගැනීමට පුළුවන් වුණා. මේ සියල්ලම ලබා දෙන මිශ්‍රණය පොදුවේ හඳුන්වන්නේ පෙට්‍රෝලියම් කියලයි. පෙට්‍රෝලියම් කියන්නේ ලතින් වචනයක් වන අතරම එහි අදහස තමයි ගලින් ලබා ගන්න තෙල් කියන එක.

පිරිපහදු කිරීම

වර්තමාන භාවිතයන් දක්වා ක්‍රියාදාමය (picquery.com)

බොරතෙල්වල සංයුතිය වගේම වර්ණයත් එක් තෙල් නිධියෙන් අනෙක් තෙල් නිධියට වෙනස් වෙනවා. මේ ආකාරයේ තෙල් නිධි ගොඩබිම පවා පිහිටා තිබුණත් එ්වා වැඩිපුරම පිහිටලා තියෙන්නේ මුහුද යට පවතින පාෂාණ ස්ථරවලයි. භූ විද්‍යාත්මක ගවේෂණ මඟින් එම නිධි ගවේෂණය කිරීමෙන් අනතුරුව ඒවායෙන් බොරතෙල් ලබා ගන්නවා. මෙය ඉතාම විශාල ව්‍යාපාරයක්. ලෝකයේ වටිනාකම අතින් ඉහළම සමාගම් විශාල ප්‍රමාණයක් ඛනිජ තෙල් කර්මාන්තයේ යෙදී සිටින්නන්.

පෙට්‍රල්, ඩිසල්, භූමිතෙල් යනාදී ඉන්ධන සියල්ලම ලබා ගැනෙන්නෙ මේ බොර තෙල් පිරිපහදු මධ්‍යස්ථානවලදී ඉන්ධන පිරිපහදුවට ලක් කිරීම මඟින්. වර්තමානයේදී මුහුදේ පිහිටා තිබෙන අැතැම් සුවිසල් තෙල් කණින අැටවුම් (oil rig) එතැනදීම පිරිපහදුව සිදු කර කෙලින්ම නැව්වලට පුරවන්න තරම් දියුණුයි.

බොර තෙල් ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ ඉන්ධන නිපදවන්න වුවත් ඊට අමතරව මෙම ක්‍රියාවලියෙන් අතුරු ඵල රැසක්ද නිපදවෙනවා. වර්තමානයේ භාවිතා කරන භාණ්ඩවලින් 75% කට වැඩි ප්‍රතිශතයකට අවශ්‍ය අමුද්‍රව්‍ය ලැබෙන්නේ ඛනිජ තෙල් සම්පතේ අතුරු ඵල  අාශ්‍රයෙනුයි.

ලෝකයේ තෙල් නිධි ව්‍යාප්තිය

ලෝකයේ තෙල් නිධි ව්‍යාප්ත වී ඇති අයුරු (kids.britannica.com)

ලෝකයේ රටවල් කිහිපයකම තෙල් නිධි පිහිටා තිබෙනවා. මැද පෙරදිග ඉන් 65.4%ක්ද, මධ්‍යම හා දකුණු ඇමරිකාවේ 9.4% ක්ද, යුරෝපයේ 9.3% ක්ද, අප්‍රිකාවේ 7.4% ක්ද, උතුරු ඇමරිකාවේ 4.8% ක්ද, ආසියා පැසිෆික් කලාපයේ 3.7% ක්ද ලෙස මේ නිධි ව්‍යාප්ත වී පවතිනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් මත පල කරන්නන් ප්‍රකාශ කරන්නේ ඛනිජ තෙල් වල ස්වර්ණමය යුගය අවසන් වෙමින් පවතින බවයි. බ්‍රිතාන්‍යයේ බලශක්ති ආයතනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූ පෙට්‍රෝලියම් රිවීව් නම් ප්‍රකාශනයේ ක්‍රිස් ස්ක්‍රෙබොව්ස්කි පෙන්වා දෙන්නේ ලෝක තෙල් නිෂ්පාදනය මේ වන විට අඩු වෙමින් පවතින බවයි. පොසිල ඉන්ධන දහනය නිසා වායුගෝලයට පිටවන කාබන් ඩයොක්සයිඩ් හේතුවෙන් කාලගුණයට ඇතිවන බලපෑම බොර තෙල්වලට ඇති ඉල්ලුම පහළ යාමට ප්‍රධාන හේතුවක්.

පොළොවේ කොතරම් ඛනිජ තෙල් පවතිනවාද යන්නද තවමත් කිසිවෙකුත් නිවැරදිව ගණනය කර නැහැ. එමෙන්ම තෙල් පවතින ස්ථාන සොයා ගැනීමද අපහසු හා වියදම් අධික කටයුත්තක්.

බොහෝ පර්යේෂකයන් හා සමාගම් තෙල් ගවේෂණ කාර්යයෙහි සක්‍රීයව නිරත වී සිටින බවද වාර්තා වනවා. අද වන විට තෙල් මිශ්‍ර වැලි නිස්සාරණය තුළින් බොර තෙල් ලබා ගැනීමේ ක්‍රියාවලියද මහා පරිමාණයෙන් සිදු වෙනවා.

අනාගතය?

එදා එඩ්වින් එල්. ඩ්‍රේක්ගේ උත්සාහය නිසා අවශ්‍ය ලෙස ලබා ගන්නට අවස්ථාව සැලසුණු ඛනිජ තෙල් කාලයක් තිස්සේ ලෝකයේ සිදු වූ සියලුම දේට බලපෑම් කරනවා. නමුත් එන්න එන්නම දකින්න ලැබෙන්නේ බොර තෙල් වලට ඇති බලය හීන වෙමින් යන බවක් තමයි.

මැදපෙරදිග ප්‍රදේශවල සිදුවුණු විශාල දියුණුවටත්, ඒ ප්‍රදේශයේම ඇති වුණු බොහෝ යුද්ධවලටත්, විවිධ ආර්ථික ගැටලුවලටත් ප්‍රධානම හේතුවක් වුණේ ඒ ප්‍රදේශයේ පවතින බොර තෙල් ප්‍රමාණයයි.  නමුත් බොරතෙල් හැමදාම නොපවතින බව වටහා ගෙන ඔවුන් පවා අද වෙනත් බලශක්තීන් වෙත යොමු වෙමින් පවතිනවා.

මේ නිසා ඉන්ධන නිෂ්පාදනයට බොර තෙල් පාවිච්චි කරන එක පහත වැටෙන්නට ඉඩ තිබුණත් ප්ලාස්ටික් ඇතුළු බොහෝ දේ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගන්න හරි තවත් බොහෝ කාලයකට බොර තෙල් භාවිතය සිදු වේවි කියලා විශ්වාස කරන්න පුළුවන්.

කවරයේ පින්තුරය:wikiwand.com

Related Articles